HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 2,700 ක් පැරණි අපස්මාර යක්ෂයෙක් සොයා ගනියි!

ඉරාකයෙන් සොයා ගත් වසර 2700ක් පැරණි මැටි පුවරුවකින් තමයි, අපස්මාරය ඇති කරන යක්ෂයාගේ රූපය සොයා ගෙන තියෙන්නේ. ඒ අනුව පුරාණ ඇසිරියානුවන් අපස්මාරය නමැති රෝගයට හේතුව මේ යක්ෂයාගේ බැල්ම වැටීම නිසා බව විශ්වාස කර ඇති බවයි, එයින් පෙනෙන්නේ. මෙය ඒ කාලයේ ඇසිරියානු වෛද්‍යවරුන්ට, රෝගවලට හේතු හා ඒවා හඳුනා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර කිරීමට ඔවුන් පුහුණු කිරීමේදී යොදා ගත් සටහන් බවයි කියැවෙන්නේ.

වසර දශක දෙකකට පෙර, වර්තමාන ඉරාකයෙන් සොයා ගන්නා ලද ඇසිරියානු කීලාකාර අක්ෂර සඳහන් මැටි පුවරුවක තිබී මේ අපූරු යක්ෂ රූපය මතුකර ගැනීමට පුරාවිද්‍යා පර්යේෂකයකු වූ ආචාර්ය ටොරියල්ස් ප්‍රෑන්ක් ආබෝල් (Troels Prank Arboll) සමත් වී තියෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේදියි. මේ විස්මිත සොයා ගැනීම කර ඇත්තේ ඔහු ඒ කීලාකාර අක්ෂර කියවීමට කළ උත්සාහයකදීයි. එහි ඇතුළත් කරුණුවලට අදාළ රූපයක් තමා මෙසේ මතුවී ඇත්තේ.

මේ විස්මිත සිදු වීම සොයාගත් පර්යේෂක ආචාර්ය ආබෝල්


විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අතීතයේ භූත විද්‍යාවලින් රෝග සුවකිරීම බහුලව පැවතියත් මේ මැටි පුවරුවල සඳහන්ව ඇති දේ අනුව වෛද්‍ය විද්‍යාත්මක අතිනුත් කරුණු දක්වා ඇති බවයි.

මෙවැනි මැටි පුවරු බොහොමයක් සොයා ගෙන ඇත්තේ දශක කීපයකට පෙර උතුරු ඉරාකයේ අසූර් නගරයේ පුරා විද්‍යාත්මක කැණීම්වලිනුයි. මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ ‘ශිෂ්ටාචාරයේ තොටිල්ල’ කියායි. මේ මැටි පුවරු ලියා ඇත්තේ සුමේරියානුවන් විසින් නිපදවන ලද කීලාකාර අක්ෂරවලින් යුත් බසකින්. මෙසේ සොයා ගෙන ඇති නව පුවරුවල ඇත්තේ කිසිර්-අෂූර් නම් පුහුණු වන වෛද්‍යවරයකු විසින් තබන ලද සටහන් වගයක්. ඔහු සිය සටහන් ලියා ඇත්තේ කීලාකාර අක්ෂරවලින්.

ඇසිරියානු කීලාකාර අක්ෂරවලින් ලියූ මැටි පුවරුවේ ඇති රූපය හා ඒ අනුව ආබෝල් ඇඳි කටුසටහන.
 

ඒවායෙහි සටහන් වන්නේ ඉපැරණි වෙදකම (පසුව ග්‍රීකයන් අතට පත්වූ) හා අදාළ කරුණු සමග භූතවේදයද යොදා ගෙන රෝග සුව කරන ආකාරයයි.

ඉපැරණි මැටි පුවරුවලට අයත් මේ විශේෂ පුවරුව ආබෝල් අතට පත් වූයේ මීට වසර හතරකට පෙරයි. ඒ ඔහු ජර්මනියේ බර්ලින් නුවර සිටියදීයි. පසුව ඔහු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධියට හදාරන විට ඔහුට එය නැවත සියුම් ලෙස පරීක්ෂා කරන්නට සිදු වුණා. ඒ අවස්ථාවේදී තමයි, ඔහුට මේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූයේ.

‘අපි බොහෝ කාලයක් තිස්සේ දැනුවත්ව සිටියා, රෝග වැළඳීම, දෙවියන්ගේ, යක්ෂයන්ගේ හෝ භූත කර්මවල හෝ බලපෑමෙන් සිදුවෙතැයි ඇසිරියන්වරුන් හා බැබිලෝනියන්වරුන් විශ්වාස කළ බව. ඒ නිසා රෝග සුව කිරීමේදී ඒ අත්භූත බලපැම් ඉවත් කොට ඒ සඳහා ඖෂධවලින් පමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර ආදියෙනුත් ප්‍රතිකාර කළයුතු යැයි ඔවුන්ගේ විශ්වාසය වුණා.’ ආබෝල් කියනවා.

‘ඒත් මෙය, කෙළින් ම රෝගයක් ඉලක්ක කර ගෙන, එනම් අපස්මාරය විශේෂයෙන් වෙන් කර දක්වා ඉතා දුර්ලභ ගණයේ චිත්‍ර ඇතුළත් කර වෛද්‍ය සටහන් අපට හමුවූ පළමුවන වතාවයි. ඒ රෝගය ඇසිරියන්වරුන් හා බැබිලෝනියන්වරුන් හඳුන්වා ඇත්තේ බෙන්නු (Bennu) කියලයි.

‘බෙන්නු(අපස්මාරය), ඒ වසර 2,700ක් පැරණි සටහනේ ඉරාකයේ විසූ පැරැන්නන් බියට පත් කළ රෝගයක්. එම රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඒ සටහනෙහි දක්වා ඇත්තේ සිරුරේ දැඩි ගැස්ම, සිහි නැතිවීම, සමහර අවස්ථාවල එළුවකු මෙන් කෑ ගැසීම ආදියයි.

‘එසේ ම මේ සටහනෙහි චන්ද්‍ර දෙවියන් වූ සින්(Sin)ගේ නියෝජිත යක්ෂයකුගේ බැල්මට ලක්වූ අයකු රෝගී විය හැකි යැයි දක්වා තියෙනවා. ඒකෙන් තමයි මෙම රෝගය චන්ද්‍රයාට හා උන්මාදයට සම්බන්ධ එකක් ලෙස ඇසිරියන්වරුන් හා බැබිලෝනියන්වරුන් විශ්වාස කළ බව පෙනෙන්නේ. ‘ඊළඟ සියවසේදී මේ අදහස වඩාත් ව්‍යාප්ත වෙලා දැනටත් ලොව පුරා නොයෙක් තැන්වලදී මේ තත්වය උන්මාදය යන අරුත් දෙන ඉංගිරිසි වදන වූ lunacy යන්නෙන් හඳුනා ගන්නවා.’ ආබෝල් වැඩිදුරටත් කියනවා.

‘වෙනත් විදියකින් කිව්වොත් පුරාණ ශිෂ්ඨාචාරවල පැවති රෝග පිළිබඳ දැක්ම, රෝග විනිශ්චය, ප්‍රතිකාර ක්‍රම ආදිය, පසු කලෙක, ඉතිහාසයේ මෑතක් වන තෙක් රෝග හඳුනා ගැනීමට සැලකිය යුතු බලපෑමක් කර ඇති බැව් පැහැදිලියි’ ආබෝල්ගේ වාර්තාවෙහි දැක්වෙනවා.

ඒ වගේම ආබොල් පැහැදිලි කරනවා, මෙවැනි වෛද්‍ය තොරතුරු අඩංගු මැටි පුවරුවල සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ යාගහෝම මන්ත්‍ර ආදියට අදාළ රූප වුවත් මෙසේ යක්ෂයකු ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය බව.

‘මෙම සටහන්වල රෝගීනට කරන බොහෝ ප්‍රතිකාරවලට දක්වා ඇත්තේ දෂ්ඨ කිරීම් හා සපාකෑම් ආදියයි. ඒ කාලේ වෛද්‍යවරුන් එසේ කරන්නට ඇත්තේ විෂවලින් සිරුරට සිදු කෙරෙන බලපෑම් ගැන හොඳ දැනුවත්වීමක් ඇතිව බවයි.’ ඔහු සඳහන් කරනවා. කිසිර්-අෂූර් ජීවත්ව සිට ඇත්තේ නවීන බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන ග්‍රීක විද්‍යාඥ හිපොක්‍රිටස් උපදින්නත් අවුරුදු සිය ගණනකට කලින් වුවත් ඔහුත් ඒ අදහස්වලට සමාන අදහස් එකල දැරූ බව ආබෝල් විසින් සොයා ගෙන තියෙනවා. මේ මැටි පුවරුවල සඳහන් වෙනවා, පිත මිනිස් සිරුර තුළ ක්‍රියා කරන ආකාරය ගැන, ඒ නිසා ඇති ගැටලු සහගත තත්වයන් ගැන. 

මේවා සලකනු ලබන්නේ පුරාණයේ පැවති වෛද්‍ය අධ්‍යාපනය හා ප්‍රතිකාර ක්‍රම සවිස්තරව දක්වා ඇති වාර්තා අතර මේවාට සුවිශේෂ තැනක් හිමි වන බවයි.

කිසිර්-අෂූර් ඔහු ඉගෙන ගත් දේ කාලානුක්‍රමයකට මේ මැටි පුවරුවල සටහන් කර ඇති නිසා පර්යේෂකයන්ට ඔහුගේ පුහුණු වූ දිනවකවානු ආදිය පැහැදිලි කර ගත හැකිවී තියෙනවා.

ආචාර්ය ආබෝල් කියන්නේ සිරුරේ යම් යම් ක්‍රියාවලීන් නිසා රෝග ඇතිවීමට මෙන් ම රෝග ඇතිවීමට බලපාන සාධක ඇති විය හැකි යැයි එහි සඳහන්ව ඇති බවයි.

හිපොක්‍රිටස්ගේ න්‍යායක් ලෙස සැලකෙන සිරුරෙහි වැගිරෙන එනම් ස්‍රාවයන් හතර වන රුධිරය, ශ්ලේෂ්මාව(සෙම), කහ පිත හා කළු පිත ආදියේ සමතුලිතතාව නොමැති වීම නිසා සිරුරේ රෝග ඇති වන බවට දක්වා ඇති මතය තිසිර්-අෂූර් ද දැරූ බව ඒ සටහන්වලින් දැක්වෙනවා.

‘කෙසේ වෙතත්, පිත පිළිබඳ මිසොපොටේමියානු මතය ග්‍රීක මතයට වඩා වෙනස් වෙනවා. එහෙත් ඒ සමස්ත අදහසම මිසොපොටේමියාවෙන් ග්‍රීසියට ආ බව නොරහසක්. ඒ ගැන තවදුරටත් විමසිය යුතුව තියෙනවා.’ ආබෝල් කියනවා.

පර්යේෂකයා විශ්වාස කරන්නේ මේ මිසොපොටේම්යානු වෛද්‍යවරයා මිනිසුන්ට ප්‍රතිකාර කරන්නට පෙර සතුන්ට ඒ ප්‍රතිකාර කර අත්හදා බලන්නට ඇතැයි කියායි. පුහුණු කාලයේ අවසානයේ දී ඔහු ළමයින්ටත් පසුව වැඩිහිටියන්ටත් ප්‍රතිකාර කරන්නට ඇති.

ඇසිරියානු කීලාකාර අක්ෂර පුවරුව ආබෝල් ළඟ සිව් වසරක් තිස්සේ ඔහුගේ බර්ලින් නුවර ගෙදර තිබුණු අතර ආචාර්ය උපාධිය හදාරන්න ගත් පසුයි මෙය හදිසියේ දැක ඇත්තේ.

මේ මැටි පුවරු හමු වී ඇත්තේ පුරාණ අසූර් නගරයේ පිහිටි කිසීර්-අෂූර් පවුලට අයත් නිවසේ තිබූ පුස්තකාලයේදියි. වර්තමාන ඉරාකය ඇති ප්‍රදේශයට අයත් මේ නගරයකි. මේ නගරය ක්‍රිස්තූ පූර්ව 614ට පෙර සරුව තිබූ එකක්. ඇසිරියන් අධිරාජ්‍යය සතුරන් විනාශ කරද්දී මේ නගරය මුළුමනින්ම ගිනි බත් කරනු ලැබුවා.

විසිවන සියවසේ මුල් හරියේදී පුරාවිද්‍යාඥයන් මෙහි කැණීම් කරන්නට පටන් ගන්නා තෙක් කිසිවකු මෙයට අතවත් තබා තිබුණේ නැහැ. ඒ යුගයේ තොරතුරු බොහොමයක් ලැබුණේ ඒ පුස්තකාලයෙනුයි. මේ වෛද්‍ය සටහනෙන් එක් අයකුගේ වන නිසා මෙය එකල පොදු භාවිතයේ පැවති වෙදකම ලෙස නොසැලකිය හැකි වුවත් මේ කිසීර්-ඇෂූර් තමා හඳුනාගත් හා ප්‍රතිකාර කළ රෝග ගැන ලියා තැබීම නිසා ඔහුට ‍‍ඓතිහාසිකව විශේෂ තැනක් හිමි වන බවයි ආබෝල් පවසන්නේ.

ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේ කිසීර්-ඉෂූර් නම් වෛද්‍යවරයකු විසින් ලියා ඇති මේ මැටි පුවරු සොයා ගන්නා ලද්දේ උතුරු ඉරාකයේ කැණීම්වලින්.


Post a Comment

0 Comments