HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකය දික්විජය කළ නවසීලන්තයේ දී හමු වූ අරුම පුදුම පලතුර!

නවසීලන්තයේ දී මට හමු වුණා අරුම පුදුම පලතුරක්. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැලකදී ඒ දුටු විට මට එතරම් පුදුමයක් ඒ තුළින් පෙනුනේ නැහැ. එහෙත් මෙහෙදි එය දුටුවාම කිවි පක්ෂියාට තරම්ම මගේ විශේෂ අවධානයක් ඊට යොමු වුණා. ඒ තමා කිවිපෲට් (kiwifruit). කිවියා තරම් කුඩා වුනත් ඒ පලතුර කිවියා තරම් ජනප්‍රියයි. කිවියාගේ පාටයි නමයි දෙකම පුංචි පලතුරට ආවේ කොහොමද? ඇයි මේකට කිවිපෲට් කියන්නේ මගේ ප්‍රශ්නය වුණා. පිළිතුර වුණේ පලතුරක් වගේ ම රසවත් කතන්දරයක්. මීට අවුරුදු එකසිය පහළොවකට ඉස්සර මෙහේ, මේ නවසීලන්තයේ වන්ගුනුයි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ මේරි ඉසබෙල් ප්‍රේසර් මැතිනියට චීනයේ තියෙන මිෂනාරි පාසල් පරීක්ෂා කරන්න යන්න සිදු වුණා. දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ගුවනින් යන්න බැරි නිසා නැවෙන් තමයි ඇය ගියේ. ටික කලක් ගතවුණු මේ සංචාරයෙන් පස්සේ ඇය පලතුරු ඇට වගයක් ගෙනාවා. ඒ පලතුරේ නම චීන බසින් යැං ටාවෝ. සියවස් ගානක් තිස්සේ චීනයේ වැවුණු මේ පලතුර නවසීලන්තයට ආවේ 1904 දියි. මේ පලතුර මුලින්ම වැවුවේ 1906දි වන්ගුනුයි ප්‍රදේශයේ හිටපු ඇලෙක්සැන්ඩර් ඇලිසන් නම් ගොවියෙක්. ඒ ගස්වල පලතුරු හටගත්තේ 1910දි. මේ පලතුරෙහි වූ ඇඹුල් මුසු මිහිරි රසය හින්දා ඒ කාලෙ කිව්වෙ ‘චීන ගූස්බෙරි’ කියලයි. ඒත් මෙය සාමාන්‍යයෙන් ගූස්බෙරි පලතුරු අයත් වන ග්‍රොසුලාරියාසේ ශාක පවුලට අයත් එකක් නෙවෙයි. මේ ‘චීන ගූස්බෙරි’විශේෂය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. විශාල වශයෙන් වගා කෙරුණා විතරක් නෙවෙයි නවසීලන්ත සමාගමක් ඒවා ඇමරිකාවට පැටවීමටත් සූදානම් වුණා. එ්ත් ඒකට ප්‍රශ්නයක් මතුවුණා.



ඒ 1950 ගණන්වල ඇමරිකාව හා රුසියාව යන කඳවුරු දෙක අතරේ හටගත් නිරවි යුද්ධය උච්ච අවස්ථාවට පැමිණ තිබුණ නිසා රුසියානු පිලට අයත් ‘චීන’ නම තියෙන භාණ්ඩ ගැනීමට ඇමරිකන් ව්‍යාපාරිකයන් කැමති වුණේ නැහැ. ටර්නර්ස් හා ග්‍රෝවර්ස් නම් ඒ නවසීලන්ත සමාගම මේකට හදිසි විසඳුමක් සෙව්වා. කුඩා කොමඩු වර්ගයක් යන අරුතින් ‘මෙලනට්’ කියා කීවත් ඇමරිකානු සමාගම් ඒකට කැමති වුණේ නැහැ. කොමඩු ඇමරිකාවේ ජනප්‍රිය නැහැ. ඒ වගේම කොමඩු හා බෙරි වර්ග දෙකටම තියෙන ආනයන බද්දත් වැඩියි. ඒ නිසා ඒ අවස්ථාවේ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වුණේ නැහැ. ඒත් පසුව 1959 දී ජැක් ටර්නර් යෝජනා කළා මේ පලතුර ‘කිවිපෲට්’ කියල රට පටවමු කියලා. ඒ අනුව මුල් ම ‍පලතුරු තොගය ඇමරිකාවට යැවීමත් සමඟ ම ඊට ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඇමරිකාවේ විතරක් නෙවෙයි යුරෝපයේ රටවලටත් ඇණවුම් ලැබුණා.


අද මෙය ලෝකය පුරාම ජනප්‍රිය පලතුරක්. කිවි පක්ෂියා නවසීලන්තයට ආවේණික වුනත් මේ පලතුර නවසීලන්තයට ආවේණික එකක් නොවේ. චීනෙන් ගෙනාවත් නවසීලන්තයේ දී නැවත ඉපිද නවසීලන්ත නමක් අර ගෙන ලොව පුරා පැතිර ගිය මේ අපූරු පලතුර අද කිවි පෲට් කියා ලොව පුරා ම වවන කර්මාන්තයක්. කිවිපෲට් වැවීමේ කර්මාන්තය ආරම්භ වුනේ නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්කේ පිහිටි ටේ පුකේ කියන නගරයෙන්. එය අද හැඳින්වෙන්නේ ‘ලෝකයේ කිවිපෲට් අගනුවර’ කියලයි. අද ලෝකයේ කිවිපෲට් වැවීමේ දී ඉදිරියෙන් ඉන්නේ නවසීලන්තය නොවෙයි, ඉතාලියයි. නවසීලන්තයට ලැබෙන්නේ දෙවැනි තැනයි. ඊට අමතරව චිලි, ග්‍රීසිය, ප්‍රංශය, ඉරානය, ඉන්දියාව, තායිවානය වැනි රටවල් විතරක් නෙවෙයි ඇමරිකාවත් කිවිපෲට් විශාල වශයෙන් වවනවා. චීනයත් ඒවා වවා කිවිපෘෘට් නමින්ම වෙළඳ පොළට එවනවා. බොහෝ රටවල මේ නම කෙටි කර ගෙන ‘කිවි’ කියා හඳුන්වනවා. ඒත් නවසීලන්තය දැන් කිවිපෲට් නමින් මේ පලතුර පිටරට පටවන්නේ නැහැ. වෙනත් රටවලින් එන කිවිපෲට්වලින් වෙනස්ව පෙනෙන්නට ඔවුන් මෙයට නැවතත් අලුත් නමක් දීලා තියෙනවා. ඒ සෙස්ප්‍රි (Zespri) කියන නමින්. මේ අරුම පුදුම පලතුර මුලින් ම චීන බසින් හැඳින්වුනේ ‘යැං ටාවෝ’ කියලයි.
චීන වැසියන් මේ පලතුර නම් ගණනාවකින් හඳුන්වනවා. මන්කි පීච්, මැකී පෙයාස්, වයින් පෙයාස්, සන් පීච්, වුඩ් බෙරි ආදි අරුත් දෙන වදන්වලින්. කොළපැහැති මදය සහිත මේ පලතුරු ශාකයේ මුල් විද්‍යාත්මක නාමය වුණේ ඇක්ටිනිඩා චිනෙන්සිස් (Actinida chinensis). එහෙත් මෙය 1984 දී යළි චීනයේ දී පරීක්ෂා කර බැලූ උද්භිද විද්‍යාඥයන් මෙය යළි නම් කළා ඇක්ටිනිඩා ඩෙලිසියෝසා (Actinida deliciosa) කියලා. දැන් ඇක්ටිනිඩා චිනෙන්සිස් කියන්නේ කහපැහැති මදය තියෙන විශේෂයට විතරයි. 1970 ගණන්වල කහ පැහැති මදය තියෙන පලතුර හැදෙන ඇක්ටිනිඩා චිනෙන්සිස් ශාකයේ බීජ චීනයෙන් නවසීලන්තයට ආනයනය කරනු ලැබුවා, නව කිවිපෲට් වර්ගයක් බිහි කිරීම සඳහා හෝටි රිසර්ච් කියන පර්යේෂණායතනය මගින්. එහිදී වගාවට සුදුසු පරිදි සංවර්ධනය කර බිහි කළ නව ප්‍රභේදය 2000දී ලෝක වෙළඳ පොළට ගෙනාවා. එය සෙස්ප්‍රි සන්ගෝල්ඩ් කියලයි හැඳින්වෙන්නේ. මේ නව පලතුර හඳුන්වා දීම නිසා පලතුරු ලෝකයේ ලොකු පෙරළියක් ඇති වුණා. මේ නව පලතුර තුනී පොත්තක් ඇති මදය කහ හෝ රන්වන් පැහැති අඹවල රසයට සමාන රසයක් ඇති නිසා නව ආසියානු වෙළඳ පොළක් ද දැන් ඊට ඇති වෙලා. සෙස්ප්‍රි සන්ගෝල්ඩ් කිවිපෲට් මැයි හා ඔක්තෝබර් අතර කාලයේ දී නවසීලන්තයේත් නොවැම්බර් හා ජනවාරි මාස අතර කාලයේ ඉතාලියේ හා ප්‍රංශයේත් පල දරනවා. දොඩම්වලට වඩා තුන්ගුණයක් මෙහි විටමින් සී ඇති බවයි කියන්නේ. පොටැසියම්, පෝලියේට් අම්ල ලවණ, තන්තු වෙනත් ඛනිජ වර්ග රාශියක් මේ පලතුරෙහි අන්තර්ගතයි.

- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments