ඉගිල්ලෙන්න බැරි අමුතු සතා සොයා ගිය ගමන!

ළමා කාලයේ රුව හඳුනා සිටි සතා හැබැහින් දකින්න ගියෙමි

මීට වසර 70කට ඉස්සර අප පාසල් යන කාලේ අපේ හිතේ නොමැකෙන ලෙස ඇඳී තිබූ කුරුලු රුවක් තිබුණා. ඒ පුංචි පන්තිවල ඉගෙන ගන්න කාලේ කුරුල්ලකු අඳින්න කිව්වමත් අපි ඇන්දෙ ඒ කුරුල්ලවමයි. හැමදාම උදේ ඉස්කෝලෙ යන්න සපත්තු පොලිෂ් කරන කොට ඒ ටින් එකේ තිබී අපේ ඇස ගැටුණු ඒ කුරුල්ලා තමා කිවි. හොට දිග ඒ පුංචි කුරුලු රූපය වැටි සේයාවක් (silhouette) වුවත්, එය පුංචි අපට පෙනුනේ යමක් සොයමින් යන පණ ඇති කුරුල්ලකු වගෙයි. ඒ නිසා කිවිගේ ‘සොයා යාමේ ආසාව’ ළමා අප තුළත් ඇති වුණා. එය අපේ ඉගෙනීමටත් රුකුලක් වුණා. ඒ සමගම සතාව හැබැහින් දැක ගැනීමේ ආසාවකුත් පුංචි කාලෙදිම මා තුළත් ඇති වුණා. ඒත් ඒ ආසාව ඉටු කර ගන්න ඉක්මනින් ලැබුණේ නැහැ. වසර හැත්තෑවකට පස්සේ මං මේ ගැන මගේ පොඩි පුතු වජිරට කීවේ නවසීලන්තයට ආවමයි.

‘කිවි බලන්න පහසුවෙන් පුලුවන් ෆන්ගරේ  කෞතුකාගාරයෙහි කිවි හවුස් එකේදි. අපි එහි යමු.’ ඔහු කිවා.

ඒ අනුව මගේ නවසීලන්ත චාරිකාවේ දී ෆන්ගරේ ගිය අතර අපට ඒ කෞතුකාගාරයට ගොඩවීමටද අවස්ථාව ලැබුණා. එහි ඉදිරිපිට වාහනය ගාල් කරද්දී අපූරු වාහන රඳවන තැනක් මගේ ඇස ගැටුණා. එහි තිබුණේ අමුතු රෝද රටාවක්. මගේ සිත එක්වරම ඈත අතීතයට ගියා. ඒ 1880 යුරෝපයේ එළි දුටු බයිසිකලයට නම දුන් පෙනිෆාදින් නම් පැදියටයි. එහි වූයේ ලොකු රෝදයක් පසුපසින් සවි කළ කුඩා රෝදයක්. එහි අනු රුවක් තමයි, ඔවුන් බයිසිකල් ගාල් කිරීම සඳහා වෙන් කළ ඉඩ සඳහා යොදා තිබුණේ. ඒ නාම පුවරුව වෙනුවටයි. එය බයිසිකල් ගාල් කිරීම ගැන විතරක් නෙවෙයි, එහි ඉතිහාසයත් අපට මතක් කර දෙනවා. ඒත් බයිසිකලයේ ඒ කතාව වෙන දවසක කථා කරමු. මෙවැනි නව අදහස් නවසීලන්තයේ බොහෝ තැන්වලදී අප දුටුවා.

කිවි නිවසෙහි පදිංචිකරුවා - කිවි

අපි මෙහි ආවේ කිවි නිවෙස (kiwi house) වෙත ගොස් කිවි හමුවීමටයි. කිවි මොන අතින් බැලුවත් සුවිශේෂ සතෙක්. කිවි වෙනුවෙන් විශේෂ පරිසරයක් ඇතිව නිවෙසක් ඔවුන් විසින් සකස් කර දී තිබුණා. නිවෙස තුළ තිබුණේ කැළෑවක්. කැළෑව අඳුරෙන් වෙලිලා. යම්තම් හඳ එළියක් බඳු ආලෝකයක් විතරයි තිබුණේ. නිශාචර සත්වයකු වූ කිවි දැක ගැනීම ලේසි වුනේ නැහැ. වාසනාවට අප එහි ගියේ ඔවුන්ට කෑම දෙන වෙලාවක් ආසන්නයෙදියි. සේවිකාවක් සීරුවෙන් ඇවිත් ඒ බිමෙහි තැන් කීපයක කෑම තියලා ගියා. අපි සියලුදෙනාම ඒ තැන් දිහා අඳුරේ ම ඇස් දල්වාගෙන නිසොල්මනේ බලා සිටියා. විනාඩි ගණනාවක් ගතවුණා. කෝ කිවි? තවත් විනාඩි ගණනාවක් ගතවුණා.

ඔන්න ටිකකින් අඩ අඳුරේ ගුළියක් සෙලවෙනවා පෙනුනා. කෑම දාපු තැනකට එනකොට තමයි, අපට උගේ හොට හා දිලිසෙන ඇස් පෙනුනේ. බොහොම විමසිල්ලෙන් ආ කිවියා ඉක්මනට ඉක්මනට කෑම ටිකක් ගිලලා එක පාරටම හැරිලා ආපහු ගියා. ගිහින් අඳුරු කුටියක් අස්සට ගියා. ඒ උගේ නවාතැනයි. අපි ආයිත් අඳුරේ ම ඇස් දල්වාගෙන ඒ කුටිය දෙස බලා සිටියා. තවත් මිනිත්තුවකින් ‍දෙකකින් විතර ආයිත් කිවියා මතුවුණා. කලින් විදියටම කෑම ටිකක් ගිලලා එක පාරටම හැරිලා ආපහු ගියා. ටිකකින් ආපහු ආවා. මේ විදියට හිතේ හැටියට කිවි දැක ගත් අපි ඒ ගැන තවත් විස්තර ඇසුවා.

මේ කිවි නිවසේ ප්‍රධාන අරමුණ අපට කිවි දැක ගන්න සැලැස්වීමම නෙමෙයි. මෙය කිවි සංරක්ෂණය සඳහා වූ එක් ව්‍යාපෘතියක්. වඳවී යන සත්ව විශේෂ පහෙන් එක් කිවි විශේෂයක් බෝකර රක්ෂිත වනාන්තරවලට මුදා හැරීම මෙහි දී සිදු කෙරෙනවා. මේ වගේ තවත් තැන් නවසීලන්තයෙහි තියෙනවා.

නවසීලන්තයට ආ‍වේණික සතකු වූ මේ කිවි පියෑඹීමට නොහැකි කුරුල්ලෙක්. නවසීලන්තයට අයත් යන අදහස දීමට ‘කිවි’ යන පදය අද භාවිත කෙරෙනවා. මෙහි රටවැසියන් ද හැඳින්වෙන්නේ කිවියන් හෙවත් ‘කිවි’වරුන් ලෙසයි.

කිවි යන සත්වයා ද ලෝකයේ අනෙක් බොහෝ සතුන්ට වඩා වෙනස් වෙනවා. කිවි, සිරුරට සාපේක්ෂව ලොව ලොකුම බිත්තරය දමන කුරුල්ලා ද වෙනවා. උගේ සිරුර හොඳින් වැඩුණු කිකිළියකගේ තරම් වුවත් උගේ බිත්තරය කුකුල් බිත්තරයක් මෙන් දස ගුණයක් විතර විශාලයි. එය කිවි කිකිළියගේ සිරුරේ බර මෙන් පහෙන් එකක්. ඊට අමතරව කිවි කිකිළියක් වසරකට බිත්තර 100ක් පමණ දමනවා. අනෙක් කුරුල්ලන්ගේ මෙන් නොව උගේ පිහාටු අපේ කෙස් වගෙයි. පාද කෙටියි. ඒ වගේම ඒවා ඉතාමත් සවිමත්. හොට ඉතා දිගුයි. නාස් පුඩු පිහිටා ඇත්තේ ඒ දිගු හොටේ තුඩෙහියි. ඒ නිසා යමක් ඇස් දෙකෙන් දකින්නට ඉස්සරින් කිවිට එහි සුවඳ නැහැයට දැනෙනවා.

කිවි අයත් වන්නේ ඇප්ටෙරික්ස් ගණයටයි. එහි අරුත ‘පියෑඹිය නොහැකි’ යන්නයි. පැස්බරුන්, එමු, රීයා හා කැසෝවරි මේ ගණයට අයත් අනෙක් සතුන්. කිවි අයත් වන්නේ ඇප්ටෙරිගිඩේ පවුලටයි. කිවි විශේෂ පහක් මෙහි ඉන්නවා. ඔවුන් නම්, මහ පුල්ලි කිවියා (Apteryx haastii), කුඩා පුල්ලි කිවියා(A. owenii), ඔකාරිටෝ දුඹුරු කිවියා(A. rowi), දකුණු දුඹුරු කිවියා (A. australis) හා උතුරු දූපතේ දුඹුරු කිවියා (A.mantelli) ආදී වශයෙන්. මේ සතුන් වඳවී යාමේ උවදුරට ලක් වූ අය සේ සලකා ඔවුන් රැක ගැනීම සඳහා විශේෂ පියවර ගෙන තියෙනවා. අතීතයේදී වනාන්තර එළි කිරීම ඔවුන්ගේ වඳවී යාමට ප්‍රධාන හේතුව වුවත් අද ඔවුන් වඳවී යාමේ හේතුව වී ඇත්තේ මිනිසා ඇතුළු මැමේලියානු විලෝපිකයන් විසින් ඔවුන් දඩයම් කරනු ලැබීමයි.

නවසීලන්තය ඉගිල්ලෙන්න බැරි කුරුල්ලන්ට ප්‍රසිද්ධයි. කිවි හැරුනාම තවත් පියෑඹීමට නොහැකි කුරුල්ලන් කීප දෙනෙක් ම ඉන්නවා. ලෝකයේ ඉගිල්ලෙන්න බැරි කුරුලු විශේෂ හතළිහක් විතර ඉන්නවා. එයින් විශේෂ වැඩි ගණනකට නවසීලන්තය නිවහන වී තියෙනවා. නවසීලන්තය ඉගිල්ලෙන්න බැරි කුරුල්ලන්ට ප්‍රසිද්ධ වුනාට අද ඔවුන් අතරින් විශේෂ 16ක් විතරයි ඉතිරි වී තියෙන්නෙ. තවත් හඳුනා ගෙන සිටි ඉගිල්ලෙන්න බැරි කුරුල්ලන් විශේෂ 15ක් ම දැනටමත් වඳවී ගිහින්.

දැනට ඉතිරිව සිටින සත්ව විශේෂ 16න් එකෙක් ටකාහි (takahe) නම් ගිරවෙක්, කකාපෝ (kakapo) නම් රෙලු විශේෂ දෙකක්, කිවි විශේෂ පහක්, සේරු(teals) විශේෂ දෙකක්, පෙන්ගුවින් විශේෂ හයක් ඉන්නවා.

මිනිසා ‍ආදියේ නවසීලන්තය සොයා ගන්නා කාලයේ මේ ප්‍රධාන භූමියෙහි ඉගිල්ලෙන්න බැරි කුරුලු විශේෂ විශාල ගණනක් තිබුණා. දැවැන්ත මොවා (moa) කුරුලු විශේෂ නවයක් ඇතුළුව කිවි විශේෂ ගණනාවක්, යෝධ පාත්ත විශේෂ දෙකක්, ඇඩ්ස්බිල් කුරුලු විශේෂ දෙකක්, රෙන් (wrens) කුරුලු විශේෂ කීපයක්, රෙලු (rails) කුරුලු විශේෂ පහක් පමණ මෙහි වාසය කළ බව පැවසෙනවා.


මේ අතරින් දැවැන්ත මොවා කුරුල්ලකුගේ හමුවූ ඇට සැකිල්ලක කැබලි ෆන්ගරේ කෞතුකාගාරයෙහිදී අපට දැක ගන්න ලැබුණා.

ඉගිල්ලෙන්න බැරි කුරුල්ලන් මේ තරම් විශාල ගණනක් මේ අපූරු දූපතේ අනාදිමත් කාලයක් නිරුපද්‍රිතව වාසය කර ඇත්තේ ඔවුන් ගොදුරු කර ගන්න මිනිසා ඇතුළු විලෝපිකයන් මෙහි නොවූ නිසයි. අද ලොව පුරාම සත්ව හා ශාක විශේෂ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වඳ වී යාමේ අනතුරට ලක්වී සිටිනවා. ඒ නිසා කෞතුකාගාරයකින් මෙවැනි පියවරක් ගැනීම අගය කළ යුතුයි.

මේ කෞතුකාගාරයෙහි ආදායම් ඉපැයීම සඳහාත්, මෙහි එන සංචාරකයන් ආකර්ෂණය සඳහාත්, නොයෙක් දේ යොදා තිබෙනවා. මෙහි කෞතුකාගාර භූමිය පුරා දුවන කුඩා දුම්රියක් තියෙනවා. සිහිවටන මිලදී ගන්න විශේෂ අංශයක් තියෙනවා. අවට පරිසරයෙහි පැරණි මන්දිර, ඒ කාලයේ පරිහරණය කළ භාණ්ඩ, මෝටර් රථ ආදි හැම දෙයක් ම මෙහිදී දැක ගන්න පුළුවන්.

පර්සි ජයමාන්න

පැරණි පෙනිෆාදින් බයිසිකලයක්

ෆන්ගරේ කෞතුකාගාරයෙහි බයිසිකල් ගාල

ඉගිල්ලෙන්න බැරි ගිරවා, ටකාහි

ෆන්ගරේ කෞතුකාගාරයෙහි මොවා අස්ථි

කිවි අනු රුවක්

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments