HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිරුරෙන් එළිය විහිදුවන නවසීලන්තයේ ග්ලෝවර්ම්!

නවසීලන්තයේ සංචාරක සටහනක් ලියන්න පටන් ගත්තා. එහි මුල්ම සටහන දෙසැම්බර් 8 වැනිදා තැබූ බව ඔබට මතක ඇති. ඒ නවසීලන්තයේ ළමා සෙල්ලම් පිටියක ආකිමිඩීස් දඟරයක් යනුවෙන්. අද පළමුවැනි සංචාරය යන්නයි හදන්නේ. ඒ Whangarei කියන මේ රටේ වඩාත් උතුරෙන් පිහිටි ප්‍රධාන නගරයටයි. එහි නම සිංහලෙන් උච්චාරණය ලියන්නේ ‍‍ෆන්ගරේ කියලයි. මේ රටේ බහුලව ස්ථාන නාම යොදා ඇත්තේ මෙරට මුල් පදිංචිකරුවන්ගේ Maori භාෂාවෙහි එන වදන්වලින්, ඉංගිරිසි අකුරු යොදා ගෙනයි. ඒවා උසුරුවන හැටි හා ඒවා සිංහලෙන් ලියන හැටි සොයා බලන්න මට සිද්ධ වුණා. මුල් පදිංචිකරුවන් හඳුන්වන වදන ම'වුරි, මාවුරි හෝ මාඋරි කියල ලියන්න පුළුවන්. මාවුරි කට වහරක් නිසා ඒ වදන් ඉංග්‍රීසියෙන් ලිවීමෙන් කරුණු දෙකක් ඉටු වෙනවා. එකක් නාම පුවරු ලියන්න භාෂා දෙකක් අවශ්‍ය වන්නේ නැහැ. පොදුවේ හැමෝටම ඒවා කියවන්න පුළුවන්. අනෙක් අතට ස්වදේශිකයන්ට නිසි ගරුත්වයත් ලැබෙන නිසා සියලු ජනතාව අතර සංහිඳියාව ඇති වෙනවා.

පසුගියදාක මා මෙහි ප්‍රාථමික පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක් නරඹන්න ගියා. උත්සවය ආරම්භයේදී ඒ කුඩා දරුවන් ඉතා අලංකාර ලෙස රඟපාමින් නවසීලන්තයේ ජාතික ගීය ගැයුවා.  ඒවා භාෂා දෙකකින්, එනම් මාවුරි හා ඉංග්‍රීසි යන දෙබසින් ම එක විට ගායනය කිරීම එහි මා දුටු විශේෂත්වයක්. අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන සැකසුණු විශේෂ ගීයක් ද නවසීලන්ත සංඥා භාෂාවෙන් ගායනය කළා. එයින් කුඩා දරුවන් තුළ සහෝදර දරුවන් ගැන සුහද හැඟීමක් ඇති කෙරෙනවා. සංහිදියාව ඒ ආකාරයට කුඩාම කාලයේ සිට ඇති කළයුත්තක් ‍ලෙසයි මට එවේලේ හැඟුණේ.

ලෝකයේ වැඩිම ජන වර්ග ගණනක් එකම රටක ඉන්නවා නම් ඒ නවසීලන්ත‍යයි. මෙහි පිළිගත් ජන වර්ග 213ක් ඉන්නවා. ඒ රටවල් 196කින් ආ අයයි. ප්‍රධාන ජන වර්ග පහට නවසීලන්ත යුරෝපීයයන්, මාවුරිවරුන්, චීන ජාතිකයන්, සැමෝවාවරුන්, ඉන්දියානුවන් අයත් වෙනවා. මුලින් ම 13 සියවසේදි පොලිනීසියානු ජනයා මෙහෙ ආවා. ‍මෙහි ජනාවාස පිහිටුවා ගෙන නව ජනසමාජයක් හා නව සංස්කෘතියක් ඇති කළා. දැන් මෙහි ස්වදේශික ජනයා ලෙස සැලකෙන්නේ ඒ ප්‍රජාවයි. යුරෝපීයයන් ආවේ 18 වන සියවසේදියි. 2019 වන විට මෙහි ජනගහනය මිලියන 4.9ක්. ඔවුන් සියලු දෙනාම නවසීලන්ත ජාතිකයන් ලෙස එහෙම නැත්නම් කිවීස්ලා ලෙස සංහිඳියාවෙන් ජීවත්වෙනවා.

මුල්ම සංචාරය ලෙස අප යොදාගත්තේ ඕක්ලන්ඩ්වලින් උතුරින් පිහිටි ෆන්ගරේ නගරයට යන්නයි. පැය එකහමාරක විතර ගමනක් අපට යන්න තිබුණා. ඒ මග යෙදී තිබුණේ හරිත වර්ණයෙන් පිරුණු තුරුලතාවලින් ගහන සිත්කළු වටාපිටාවක් හරහායි. අතරින් පතර මිදි වතු, පලතුරු වතු දක්නට ලැබුණා. බැටළුවන් රංචු පිටින් සිටින වතුයායවල් දැක්කා. නවසීලන්තයේ බැටළු ගහනය මිලියන 27.3ක් ඉන්නවා. එය මෙහි ඉන්නා ජනගහනයට වඩා පස් ගුණයකටත් වැඩියි. තණ පිටිවල කිරි හරක් රංචු තණ කමින් සිටිනු පෙනුනා. මෙහි ගව සම්පත මිලියන හතරකටත් වැඩියි. තැනින් තැන අශ්වයන්ද රංචු දිව යන අයුරු දුටුවා. මේ එක ක්ෂීරපායී සතෙකුවත් මෙහි කලින් සිටියේ නැහැ. කලින් සිටි එකම ක්ෂීරපායී සත්වයා වවුලා විතරයි. මේ සියලුම සතුන්  මෙහි වරින් වර ආ සංක්‍රමණිකයන් විසින් ගෙන එන ලද අයයි.

කතාවෙන් කතාවෙන් අපි අපේ ගමනාන්තයට ආවා. ඒ ෆන්ගරේ නගරයට. එය වරාය නගරයක්. ලස්සන මුහුදු වෙරළ තීර රැසක් තියෙනවා. මෙය වෙරළ 100 නගරය කියා හැඳින්වෙන් ඒ නිසයි. මෙහි  අපි නරඹන්න ආ වයෝමියෝ ග්ලෝවර්ම් ලෙන්වලට අමතරව ලස්සන දිය ඇල්ලකුත් තියෙනවා.

මේ වගේ ග්ලෝවර්ම් ලෙන් ගණනාවක් නවසීලන්තයේ තියෙනව. කලින් වතාවක නවසීලන්තයට ආපු වෙලාවෙ  බෝට්ටුවෙන් ගිහින් බලන සුප්‍රසිද්ධ වයිටමෝ ලෙන් දැක තිබුණු හින්දා ඊට වඩා නිස්කලංකව බලන්න පුළුවන් එකකට යමු කීවාම පුතා අපව කැටුව ගියේ වයෝමියෝ ලෙන්වලටයි. එය කලින් හඳුන්වා ඇත්තේ කවිටි ලෙන් කියලයි.

ලෙන් දොරකඩදි මග පෙන්වන්නෙක් එක් වුණා. ඔහු  අප අතට ලන්තෑරුමක් දුන්නා. ලෙන් තුළ අඳුරු නිසා මග සොයා යන්න. එයා කියන විට එකවරම හැමෝම ලන්තෑරුම් නිවන්න කියලත් කිව්වා.  ලෙන් තුළින් යන මග ලී තරප්පු යොදා ගමන් පහසුව සලසා තිබුණා. යන අතර ඔහු  අපට ඒ ලෙන් සොයා ගැනීම ගැන තියෙන මාවුරි ජන ප්‍රවාදයකුත් කිව්වා.

වයෝමියෝ ලෙන් සොයා ගෙන තියෙන්නෙ 17 වන සියවසේ මුල හරියෙදි, රොකු කියන ගෝත්‍රික කාන්තාව තමයි ඊට මග පාදලා තියෙන්නෙ. නගටි හිනේ ගෝත්‍ර‍ නායිකාව වූ‍‍‍ හිනියෙමාරු නම් තරුණිය ‍ටොරංගාරේ නම් ඇගේ මහලු පියාත්, සහෝදරයනුත් සමග වයෝමියෝවලට ආ විටයි, මේ සොයා ගැනීමට මග පෑදිලා තියෙන්නෙ. අනෙක් අය විවේක ගනිද්දී ඇය තනිවම ඒ නිම්නය හරහා ඇවිදින්න ගියා. මෙහෙම යද්දී ඇය ටවා දම් ග‍ෙඩි වැටිලා තියෙනව දැකලාථ ඒ පැත්තට යනකොට ඒ අසල කන්දෙන් දුමක් නඟිනවා දුටුවා. ඇය තවදුරටත් ඒ ගැන විපරම් කළා. ඇය දැක ගත්තා දුම එන්නේ ලෙන තුළින් බව. ඇය මීටර් 20ක් විතර ලෙන ඇතුළට ගියාම ඇයට දැක ගන්න ලැබුණා, ගිනිමැලයක් ළඟ කාන්තාවක් වාඩිවෙලා ඉන්නවා. ඒ රොකු බව ඇය අඳුනා ගත්තා. රොකු කියන්නෙ නඟටිටු ගෝත්‍රයේ හවුමොයිවරංගිගේ බිරිඳ බවත් ඇය ගෝත්‍රයෙන් පිටමං වී යන බවත් දැන ගත්තා. ඇය නිසා තමයි හිනියෙමාරුට මේ ලෙන් හමුවුණේ.

අද මේ ලෙන් අයිති කවටි පවුලට. ඔවුන් තමයි මෙය පවත්වා ගෙන යන්නේ. ඒ අය නගටි හිනේ ගෝත්‍රයේ නායිකාව වූ හිනියෙමාරුගෙන් කෙළින් ම පැවත එන අයයි.   


මේ කතාව කියන අතරෙ අපේ මග පෙන්වන්නා එක පාරටම ලන්තෑරුම් නිවන්න කීවා. ඔන්න ලෙන ඇතුළෙ අඳුරු වුණා. ඒ එක්කම ග්ලෝවර්ම් කියන ජෛවසන්දීප්ත කීටයන් දීප්තිය පතුරුවන හැටි අපට දැක ගන්න ලැබුණා. හරිම ලස්සනයි. අහසෙ තරු දිලිසෙනවා වගේ මුළු ලෙන් පියැස්සම අලංකාර වුණා. මේ  අපේ කලාමැදිරියන් වැනි මේ සතුන් ලක්ෂ ගණනක් මෙහි ඉන්නවා. මේ කෘමි විශේෂ සත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ අරැක්නොකැම්පා ලුමිනෝසා කියලයි. මේ සතා නවසීලන්තයට ආවේණික එකෙක්. මේ කෘමියාගේ කීට අවස්ථාව තමයි, අපි මේ දකින්නේ. මේ කීටයා අශ්ව ලාඩමක හැඩයේ කෝෂයක් හදනවා. ඒ කෝෂය තුළින් සිහින් නූල් වැනි කෙළ වෑස්සෙන්නට සලස්වනවා. කෝෂ අවස්ථාවේ ආහාරයට ගන්නේ ඒවායේ ඇලෙන පුංචි සතුන්. ජෛවසන්දීප්ත ආල‍ෝකය නිකුත් කරන්නේ ඒ සතුන් ඇද ගන්නයි. අපි හොඳින් දන්නා කණාමැදිරියා, රෑබදුල්ලා වැනි සතුන් ද ජෛවසන්දීප්ත ආල‍ෝකය නිකුත් කරනවා.


මේ ග්ලෝවර්ම් ලෙන්වල දක්නට ඇති අනෙක් අපූරුම දෙය තමා හිරිලඹ (stalactites) හා හිරිටැඹ (stalagmites) කියන හුණුගල් පාෂණ විශේෂයන්. ලෙන්තුළ පියැස්සේ සිට පහළට එල්ලෙන ලෙසට පිහිටන ඒවා හිරිලඹ (stalactites) වන අතර ලෙන් දෙපස බිම තුළ සිට ඉහළට විහිදෙන පිහිටන්නේ  හිරිටැඹ (stalagmites) යි. මෙවැනි හුණුගල් රටා හැදෙන්න අවුරුදු මිලියන ගණනක් ගත වෙනවා. හුණුගල් පර්වතවල ඇති කැල්සියම්, වැසි දිය සමග මුසුව ලෙන් සියැස්ස තුළින් කාන්දු වීමෙන් තමයි, මේවා සෑදෙන්නේ.

අපේ  ශ්‍රී ලංකාවේ ද මේ ආකාරයේ භූගත හිරිගල් ගුහාවක් තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ-කොලොන්න ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයේ කඹුරුගමුවේ පිහිටි මේ හිරිගල් ගුහාව හැඳින්වෙන්නේ වවුල්පනේ කියලයි.

ග්ලෝවර්ම් ලෙන්වලින් පස්සෙ අපි ගියා ෆන්ගරේ දිය ඇල්ල බලන්න. අලංකාර දිය ඇල්ලක්. එහි මා දුටු විශේෂය ඒ දිය ඇල්ල බලන්න එන අයට එහි ලස්සන දැක ගන්න, ඡායාරූප ගන්න හැකි වන විදියට පරිසරය සකසා තිබීමයි. සංචාරක ආකර්ෂණය ඉතා ඉහළයි. දිය ඇල්ල මුදුනින්, විවිධ පැතිවලින් බලන්න හැකි වන  ආකාරයට වනෝද්‍යානයක් මැදින් යන්න මග සකස් කරලා තියෙනවා. මේ වගේ දිය ඇලි දහස් ගණනක් අපේ ශ්‍රී ලංකාවෙ තිබුණත් ඒ එක තැනකවත් මේ වගේ සංචාරක ආකර්ෂණ වැඩපිළිවෙළක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

- පර්සි ජයමාන්න




Post a Comment

0 Comments