HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජපානයේ තරුණ හොන්ඩා ඉංජිනේරු කණ්ඩායම ලෝකය හෙල්ලූ හැටි

‘අපේ දරුවන් වෙනුවෙන් නිල් අහස ඉතුරු කරමු’

හොන්ඩා මෝටර් සමාගම ලෝපතල වීමට හේතු වූ සිදුවීම ගැන අපූරු ටීවී වාර්තා වැඩ සටහනක් අපට දැක ගැනීමට ලැබුණා. ඒ වැඩ සටහන වසර විස්සක් විතර පරණ එකක් වුනත් ඒ තැන සටහනක් තබන්නට අප කල්පනා කළේ එය පරිසරයට අසීමිතව ආදරය කළ තරුණ ඉංජිනේරුවන් පිරිසකගේ අප්‍රතිහත ධෛර්යය කියාපාන එකක් නිසයි. ඒ වගේම ඒක අදටත් වලංගුයි.

ඇ‍මරිකාවේ මිචිගන්හී ඈන් ආබෝ නම් ස්ථානය ලොවපුරා මෝටර්රථ නිෂ්පාදකයන්ගේ අවධානයට යොමු වූ තැනක්. ඒ එහි පිහිටි පරිසර ආරක්ෂක අධිකාරියේ ඉන්ධන විමෝචන රසායනාගාරය නිසයි.

මීට වසර හතළිස් හයකට පෙර ජපානයේ මෝටර් රථයක් තමයි, ලොව පළමු වරට මෙහි ඇති ඉතා දැඩි විමෝචන රෙගුලාසිවලින් සමත් වූයේ. ඒ මෝටර් රථය මත තමයි හොන්ඩා සමාගම ඔවුන්ගේ අනාගතය පරදුවට තබා තිබුණේ. ඔවුන් ඒ අභියෝගය ජය ගත්තා පමණක් ලෝක ප්‍රකට ඇමෙරිකානු මෝටර් රථ සමාගම් පවා පරාජයට පත් කළා.

මේ ජයග‍්‍රහණය පසුපස ඉන්නේ ජපානයේ තරුණ තාක්ෂණික ශිල්පීන් පිරිසක්. ඒ වැඩ සටහනට ඇතුළත් වුණේ ලොව හෙල්ලූ ඒ මෝටර් රථය නිර්මාණය කළ අන්දම ගැනයි. විශේෂයෙන්ම ඒ පසුපස වූ මෝටර්රථ සංවර්ධන වැඩ පිළිවෙළ ගැනයි.

මේ මෝටර් රථය වෙළෙඳ පොළට ආවේ 1973දීයි. මෙය ඇමෙරිකාව ඇතුළු ලෝකයා මහ ඉහළින් පිළි ගත්තේ එහි තිබුණු අවම පරිසර දූෂණය සහිත ඇංජිම නිසයි. ඇමරිකාව විසින් පනවන ලද පරිසර දූෂණ රෙගුලාසි නිසා ඒ මට්ටමට ළඟාවීමටවත් නොහැකි තත්වයක ඇමරිකාව ඇතුළු ලොව මෝටර් රථ නිපදවන සමාගම් පසුවෙද්දී තමයි, ඔවුන් මේ තත්වය උදා කර ගත්තේ.

මේ රථය නිපදවා ඇත්තේ එතෙක් නොවූ විරූ ආකාරයටයි. ඉන් නිකුත් වන පිටාර වායුව සාමාන්‍ය මෝටර් රථයකට වඩා දහයෙන් එකක් අඩුයි. ඒ විතරක් නොවෙයි ඔබට මා මේ කියන්නේ ඇමරිකාවේ ඉතා දැඩි විමෝචන රෙගුලාසි සපුරා ලූ ලෝකයේ ප‍්‍රථම කාරය ගැනයි.

එහි ඇංජිම සංවර්ධනයේ සාර්ථකත්වය පසුපස සිටින ආයතනයේ තරුණ ඉංජිනේරුවන් පිරිස ඒ සමාගමේ නිර්මාතෘ සොයිචිරෝ හොන්ඩාව හඳුන්වන්නේ විස්කම් දෙවියකු ලෙසයි. ඒත් ඔවුන් මේ ඇංජිම තැනුවේ ඔහුටත් හොරෙන්.

1965 දී විශාල පිබිදීමක් සිදුවුණා, ජපානයේ මෝටර්රථ නිෂ්පාදනය ගැන. ඒ වසරේ කාර් නිෂ්පාදනය 1,870,000ක් වුණා. තමන්ට ම කියා මෝටර්රථයක් හිමි කර ගැනීමේ ජපන් ජාතිකයන්ගේ සිහිනය සැබෑ වුණා. ‘මයි කාර්’ යන ඉංගී‍්‍රසි යෙදුම ජපානයේ වාංමාලාවට ඇතුළු වුණා.

අලෙවිය වැඩි කර ගැනීමට, ජපානයේ ප‍්‍රධාන කාර් නිෂ්පාදකයන් වූ ටොයොටා හා නිසාන් සමාගම් අතර ඇති වූයේ ලොකු තරගයක්. යෙන් හාර ලක්ෂයක් වැනි දැරිය හැකි මුදලකට 1000 cc ධාරිතාවේ රථයක් අලෙවි කෙරුණා.

මේ වන විට හොන්ඩා යොමු වී සිටියේ රෝද දෙකේ වාහන වූ මෝටර් බයිසිකල් තැනීම කෙරෙහියි. කෙසේ වෙතත් අනෙක් අයට නැති දෙයක් ඔවුන් දිනාගෙන තිබුණා. ඒ තමා වේගය. ‍ගෙවුණු වසර හතර තුළ හොන්ඩා ලොව ඉහළ ම මෝටර්සයිකල් රේස් තරගයක් වූ මෑන් ඔෆ් අයිල් හා එක්ව සිටියා. ඔවුන් දිනා ගත්තා කවදාවත් නැති අයුරින් සෙසු ලෝකයම පරදවමින් එකේ සිට පහ දක්වා හැම ස්ථානයක් ම.

ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ රෝද හතරේ මෝටර්රථ වෙළඳ පොළයි. ටොයොටා හා නිසාන් වෙළඳ පොළ අල්ලන අදහසින් වැඩි වේගයක් ඇති, දැරිය හැකි මිලකට ගත හැකි, කාරයක් නිපදවීම ඔවුන්ගේ අරමුණ වුණා.
සභාපති සොයිචිරෝ හොන්ඩාට ඒ වන විට වයස 58ක්.

කුඩා කල පියාගේ කම්මලේ වැඩට අත් උදවු දුන් ඔහු පසුව ගරාජයක සහයකයකු ලෙස වැඩ කළා. පසුව මිකැනික් කෙනකු හැටියට මෝටර් රථ අලුත් වැඩියා කිරීම ඇරඹූ ඔහු තමාගේ මෝටර් රථ තනන වැඩපළක් පටන් ගත්තා. හොන්ඩා මෝටර් රථ සමාගම බවට පත් වූයේ එයයි. ඔහු එහි සභාපති මෙන්ම ප්‍රධාන ඉංජිනේරුවාද වුණා. ඒත් ඔහු වැඩ කිරීම අත් ඇරියේ නැහැ.

ව්‍යාපාරික කටයුතු අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරූ ඔහු සෑම දා ම නිෂ්පාදන අංශයට ගියා. ගිහින් තෙල්, ගී‍්‍රස් ගා ගෙන තරුණ පිරිස් සමග හරිහරියට වැඩ කළා.

සභාපති හොන්ඩා වැඩ කෙළේ 400ක් පමණ වූ සිය තරුණ ඉංජිනේරුවන් පිරිසක් සමගයි. කෑමටත් වඩා කාර් පි‍්‍රය කළ ඔවුන් වැඩිදෙනා 27 හැවිරිදි වියේ පසුවූ අයයි.

හොන්ඩා සමග එක් වූ මෝටර්සයිකල් රේස් පැද්ද කණ්ඩායම පාසල් අධ්‍යාපනය අවසන් කොට පිට වූ අයයි. ඒ වගේ ම විශ්වවිද්‍යාල උපාධිධරයනුත් ඊට එක්වුණා, වෘත්තීය තරග ධාවකයන් වශයෙන්. ඔවුන් හැම දෙනා ම හොන්ඩා ඇමතුවේ ‘පොප්’ (පියා) කියන සුරතල් නාමයෙන්.

හොන්ඩා තිතට වැඩ කළ කෙනෙක්. පැවරූ වැඩක් පමා වුනොත් ඔහුගෙන් ප‍්‍රහාරයක් එල්ලවෙනවා සිකුරුයිි.
"විවාහයෙන් දින දෙකකට පස්සේ, එංජින්වල තත්ව පරීක්ෂාව බාරව සිිිටි මට රාති‍්‍රය පුරා ම පර්යේෂණ අංශයේ වැඩ කරන්නට සිදුවුණු නිසා මගේ බිරිඳට දවස් තුනක් ම මං නැතිව තනිව ඉන්නට සිදුවුණා." ශිශුවෝ යාගි ඔහුගේ අත්දැකීමක් කීවා. "මා වැඩෙහි යෙදී සිටියදී එක පාරටම මා දිහාවට පිස්ටන් කෑල්ලක් පියාඹලා ආවා."

"‘මොනවද උඹ මෙච්චර වෙලා කරන්නෙ?’ එයා මං දිහා බලා ඉන්නවා. ඒක ඔහු වීසි කරපු එකක්. ඔබ අසාවි ‘ඇයි පාත්වෙලා බේරුණේ නැත්තෙ’ කියලා. එහෙම වෙන එක හොඳයි. ඒකට පාත් වුනා නම් ඊළඟට එන්නෙ ඊට වඩා ලොකු එකක්." කියා ඔහු සිනාසුණා.

 ''පසුවදා ඒ කිසිත් නූනා වගේ ඔහු ඇවිත් මා එක්ක හිනාවෙලා කථා කළා. ඒකයි මම එයාව දාල යන්නෙ නැත්තෙ." යාගි කියනවා.

හොන්ඩා සමග එක් වුණු මොහොතේ සිටම තදාශි කුමේ තමයි, ඔහුගේ හොඳම ගෝලයා වුනේ. ඔහු හැම විට ම හොන්ඩා මහතා සමග එන්ජින් සැලසුම් පිළිබඳව වාද විවාද කර ගත්තා.

"එක දවසක් ඇත්තටම මට හිතුණා දාල යන්න. මට කොච්චර තරහ ගියා ද කිව්වොත් මං මාසයක් ම වැඩට ගියේ නෑ.පස්සෙ එයාම මාව සොයා ගෙන ආවා." කුමේ එහෙම තියනවා.

"හොන්ඩා මහතා හැම තිස්සේම දැඩි උනන්දුවකින් තමයි, වැඩ කළේ්. ඔහු හදිසියේ කෝප ගත්තොත් පහුවදාට හිනාවෙලා කථා කරනවා, මුකුත් නූන ගානට. ඔහුගේ සේවකයන් හැම දෙනා ම කැප වෙලා වැඩ කළා, ඔහුට අවශ්‍ය දේ කර දීමට." කුමේ වැඩිදුරටත් කියනවා.

 මේ කාලෙදි තමයි, ඇමෙරිකාවෙ යෝධ මෝටර් රථ නිෂ්පාදකයින්ට විසඳීමට අසීරු ලොකු ගැටලුවකට මුහුණ පාන්නට සිදුවුණේ. ඒ පරිසර දූෂණය ගැන. විශේෂයෙන් ම පිටාර වායුවෙන් සිදුවන ඒවා ගැන.
ඇමෙරිකානු රජය ගෙනා මෝටර්රථ පිටාර වායු දූෂණය වැළැක්වීමේ රෙගුලාසිවලට අනුව වාහන තැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා.

ඇමරිකාවේ  යෝධ මෝටර් රථ සමාගම් තුන වූ ෆෝර්ඞ්, ජීඑම් හා ක‍්‍රයිස්ලර් යන ආයතන පිටාර වායු දූෂණය අවම කරන්නට ක‍්‍රම සොයමින් වෙහෙසුණා. ඒත් ඒ වන විටත් ඔවුන්ට ක්‍රමවේදයක් සොයා ගත හැකිවුනේ නැහැ.

ශිෂෝ යාගී තමයි මුලින්ම හොන්ඩා ආයතනය යොමු කළේ මේ පරිසර දූෂණ ප‍්‍රශ්නය ගැන, පිටාර වායුවෙන් ඇති වන පරිසර ගැටලූ ගැන. විදේශ පුවත්පතක තිබී අහම්බෙන් ඔහුට ඒ ගැන කියවන්නට ලැබුණා.
ඇමෙරිකානු යෝධ සමාගම් තුනටම බැරිවුනා, පිටාර විමෝචන ගැටලූව විසඳන්න. යාගී විශ්වාස කළා, ඔවුන්ගේ පරීක්ෂණ සාර්ථක වුනොත් ලෝකයේ අංක 1 බවට පත්වීමට තමන්ට හැකිවේවි, එවිට හොන්ඩා මහතාත් ඒ ගැන සතුටුවේවි කියලා.

"ඒ වෙලාවෙ මට හිතුනෙ ඒක අපේ අනාගතය වෙනුවෙන් ආපු අභියෝගයක් හැටියටයි. හොන්ඩා මහත්තයා කවදත් කැමති වුණේ නෑ, කොතැනකවත් දෙවැනි තැන ගන්න. ඔහුට  ඕනෑ වුණේ, හැමදාම පළවෙනියා වෙන්නයි. ඒකෙන් ඔහු ලොකු තෘප්තියක් ලැබුවා. එයා ගැන දන්න හින්ද මටත්  ඕනැ වුණා, එයා සතුටු කළ හැකි හැම දෙයක් ම කරන්න."

යාගී කීවා හොන්ඩා මහතාට, "මට පර්යේෂණයක් කරන්න  ඕනෑ" කියලා. හොන්ඩා මහත්තයා කීවා, "ඔබට  ඕනැනම් කරන එකයි ඇත්තෙ" කියලා.

ඒ වන විට හොන්ඩා මහතා දැරිය හැකි මිලකට වඩාත් වැඩි වේගයක් ඇති මෝටර් රථයක් නිපදවන්නේ කොහොමද කියල සොයා බලමින් තමයි හිටියෙ.

යාගී පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හමුවුණා. පිටාර වායුව ගැන පරීක්ෂණ කරන්න  ඕනැ කියල කිව්වා.
"ඇමෙරිකානුවන්ට ඇතිවුණ ගැටලුව ඉක්මනින් ජපානයටත් ඒවි" කී පර්යේෂණ අංශයේ ප‍්‍රධානියා වූ හෙදෙයෝ සුගීරා, හොන්ඩා මහතාගෙන් අහලා ඒ ව්‍යාපෘතිය සංවිධානය කරන්න උදවු වුණා.


1966 සැප්තැම්බරයේ දී මේ වැඩ සටහන සඳහා 28 වියැති සාමාජිකයන් පිරිසක් රැස් කර ගත්තා. පර්යේෂණ ව්‍යාපෘතිය හැඳින්වූයේ ඒපී හෙවත් වායු දූෂණ පර්යේෂණ අංශය කියලයි.

වේගය වැඩි කිරීමට මුල් තැන දෙමින් සිටි හොන්ඩා සමාගම මේ නව ව්‍යාපෘතිය පටන් ගත්තේ වැඩි ප‍්‍රසිද්ධියක් නැතිවයි. 'හොන්ඩා එන් 360 සම්ප‍්‍රදායික කාර්වල වේග සීමා බිඳ දමයි." පුවත්පත් වාර්තා පළවුණා.
ඊළඟ වසරේ හොන්ඩා ආයතනය එන් 360 වෙළඳපොළට ගෙනාවා.

එන් 360 කාරය ඒ කාර් වෙළඳපොළේ වැඩිම අලෙවියක් වාර්තා කළා. හැමෝම ඒ ගැන සතුටු වුණා, හොන්ඩාගේ ව්‍යාපාරයේ ඉදිරි පියවර ගැන.

මේ වන විට යාගී ඇතුලු පර්යේෂණ අංශයේ පිරිස ඔවුන්ගේ පර්යේෂණ දිගටම කරගෙන ගියා. ඔවුන් සොයාගත් කරුණු ගැන ඔවුන්ට ම පුදුම හිතුණා. ඔවුන්ට පැහැදිලි පින්තූරයක් ලැබුණා, පිටාර වායුවේ ඇති විෂ පිළිබඳව. එහි ඇති නයිට‍්‍රජන් ඇදුම රෝගයටත්, හයිඩ්‍රො කාබන් වර්ග ස්නායු පද්ධතියටත්, බලපාන බව. මෙතෙක් වේගය ගැන වෙහෙසුනු ඔවුන් ඉදිරි මුළු ජීවිත කාලයම ගත කළේ පිටාර වායුවෙන් වන හානි වළක්වන්නයි.

29 හැවිරිදි ටොෂීමාසා ශිෂිඩෝ් ඒ වන විට ගැහැනු දරුවෙකුගේ පියෙක්. ඔහු තුළ ඇය වෙනුවෙන් යමක් කළ යුතුයි කියල දැඩි හැඟීමක් ඇති වුණා.

කාර් නිසා වායු දූෂණය වනවා නම් අපේ වගකීම වන්නේ ඉංජීනේරුවන් වශයෙන් වායුව පිරිසිදු කිරීමයි. ඒ නිසා අපි ඒකට එකහිතින් වැඩ කළා.

32 හැවිරිදි අකිරා ඉෂුෂුයා සිතුවේ සියලුම ළමයින් සඳහා නිල් අහස් ගෝලය පිරිසිදුව තබා ගැනීමේ වගකීම ඔවුන් වෙත පැවරී ඇති වගයි.

අපි අපේ ඉලක්කයට හැකිතරම් වේගයෙන් ගියා විතරක් නෙවෙයි, අපේ වැඩ අවසානයේ දී පැහැදිලි අහසක් අපට ඉතිරි වුණා. මං ඇත්තෙන් ම සතුටුවුණා, මේ ආකාරයට ලෝකයට උපකාර විය හැකි යුගයක ජීවත්වෙන්නට ලැබීම ගැන.

හානිකර විමෝචන පිට නොකරන, ඇංජිමක් තැනීම ගැන, හැමෝම එකඟ වුණා. ඔවුන් පර්යේෂණ කළේ  ඒවා  විමෝචනය නොකර උරා ගැනීම ගැනයි. ඒත් කවුරුත් අපේක්ෂා කළේ නැහැ, මේ වගේ කුඩා ව්‍යාපෘතියක් නිසා හොන්ඩා මහතාත් තරුණ ඉංජිනේරු පිරිසත් අතර ගැටුම් ඇතිවේවි කියල.

මෙහිදී මේ හිතුවක්කාර මහලු මිනිසා එක පැත්තකටත්, ඊනියා පරිසර දූෂණය අවම කරන එන්ජිමක් තනන්නට වෙහෙසුන තරුණ ඉංජිනේරුවන් අනික් පැත්තටත් දාලා තමයි හැමෝම බැලුවෙ.

ඒ දවස්වල හැම දෙනාම, විශේෂයෙන් හොන්ඩා මහත්මයා වැඩ කළේ හරිම වේගයෙන්. වැඩි අවධානයක් යොමු කළේ් බලය වැඩි එන්ජින් තැනීම ගැනයි. ඒ නිසා කවුරුනුත් අවධානයක් යොමු කළේ නැහැ, ඉන්ධන දැවීමෙන්, විශේෂයෙන් රසායනික ද්‍රව්‍ය දැවීමෙන් ඇතිවන ප‍්‍රතිවිපාක ගැන.

අනිත් අතට හොන්ඩා පිටාර විමෝචන ව්‍යාපෘතියෙනුත් ගැටලු මතුවුණා.

1968 දී ‍හොන්ඩා රියේ ප්‍රධාන ආකර්ෂණීය බලය වුණේ වේගයයි. එන් 360න් පස්සේ ‍ හොන්ඩා ඉල්ලා හිටියා හැමෝගෙන් ම ටොමායි අධිවේගී මාර්ගයේකාර් 100ක් පහුකර යා හැකි මෝටර් රථයක් හදන්න පටන් ගන්න කියා. එයින් සිදු වුණේ වැඩියෙන් ඉන්ධන දහනය වී විමෝචන මට්ටම වැඩි වීමයි.

ඒ අතර යාගී හා පර්යේෂණ කණ්ඩායම වද වුණා, ඔවුන්ගේ අංශයේ දියුණුවක් නැති එක ගැන.
යාගී තර්ක කළා වායු දූෂණය අවම කරන්න නම් දැවෙන ඉන්ධන ප‍්‍රමාණය අඩු කරන්න  ඕනෙ කියල. කොහොම වුනත් ඉන්ධන අඩු කළාම එන්ජිම නිසි ලෙස කි‍්‍රයාත්මක වුණේ නැහැ.

සමාගම තුළ පැවති විවේචන දරුණු වුණා, සමහර අයට ඔවුන්ගේ වේතනය නිසා හොන්ඩා මහතාට කැමති විධියට වැඩ කරන්න සිද්ධ වුණා.  ඒ අතර සමහරු නව මෝටර් රථ ආකෘතියේ සංවර්ධනය ගැන සතුටු වුණා.
ඒත්ඇත්තෙන්ම ඔවුන්ගේ සිත් ගත්තේ තරග දිවීමයි, රිය නිෂ්පාදනය වැඩි කිරීමයි විතරයි. ඒ නිසා වැඩි දෙනෙක් කල්පනා කළේ ඒ වැඬේට එක් වෙන්න. හැමෝම ඇහුවෙ මොනවද දැන් කරන්නෙ කියලයි. වැඩ කරන ගමන් ඔවුන් කීවේ ‘අපි වේගයෙන් වැඩ කරගෙන යනවා ඔයගොල්ලො මොනවද කරන්නෙ?’ කියල.

ඉතා දැඩි අව් රශ්මිය ඇති, 1970 ජූලි මාසේ ආර්ද්‍රතාව වැඩි, ගිම්හානේ දවසක, වාහන තදබදයක් ඇතිවුණා, අධිවේගී හුවමාරු අංක 7 අසල පාසල් ක‍්‍රීඩාංගනයක් තුළගැහැනු ළමයි පිරිසක් සරඹ කරද්දි එක්වරම සිහි නැතිව ගියා.  එසේ රෝගී වූ සංඛ්‍යාව 47ක්. වාර්තා වුණේ වාහනවලින් වාතයට මුදා හැරුණු රසායනික ද්‍රව්‍ය හා සූර්ය කිරණ සමග ඇති වූ ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා සිදු වූවක් ලෙසයි.

එදා රාත‍්‍රියේ හොන්ඩා ඉංජිනේරුවන් ගොඩක් දුටුවා ටෙලිවිශනයෙන්, ඒ සිසුවියන් සිහිනැතිව ඇද වැටෙන අයුරු.

''අපි අත් දෙක බැඳගෙන හිටියට ප්‍රශ්නෙ විස‍ෙඳන්නෙ නැහැ. අපි හොඳයි කියල හිතපු දේ නැවත පටන් ගත්තා." යාගී කීවා. ඒ අතර  ඉංජිනේරු ඉෂාවෝ පූජී මේ සඳහා  විසඳුමක් සොයා ගත්තා.ඔවුන්ට හමුවුණා පර්යේෂණ ලිපියක්, පැරණි සෝවියට්මෝටර් ඇන්ජිමක සැලසුමක්.ඒක 1959 දී සෝවියට් දේශයේ සම්පත් අඩු කාලයේ අඩු ඉන්ධන ප‍්‍රමාණයකින් කි‍්‍රයාත්මක කළ හැකි ඇංජිමක සැලැස්මක්.

මෙම ඇන්ජිමට තිබුණා කුඩා කුටීරයක්. අන්තර්දහන කොටසට ඉහළින් පිහිටි මේ කුඩා කුටීරය තුළ තමයි, මෝටර් රථය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන දහනය වුණේ.

යාගී සහ පිරිස අදහස් කළා දූෂණය අවම නව ඇංජිමට මෙම බෙදුන අන්තර්දහන කුටිර ක‍්‍රමය යොදා ගන්නට.
මේ ක‍්‍රමය අත්හදා බලද්දී ඉන්ධන අඩුවෙන් භාවිත කළ නිසා පිටාර වායු විමෝචනය අඩුවුණා. ඒත් ඇන්ජිමේ කි‍්‍රයාකාරිත්වය කාරයකට නුසුදුසු තරමට පහත වැටුණා.

මාසයකට පසු හොන්ඩා සමාගම කම්පා කළ සිද්ධියක් ඇතිවුණා. හොන්ඩා සභාපතිවරයාට මිනීමරුම් චෝදනාවක් එල්ල වුණා. සමාගමේ බලවත් අපේක්ෂාවක් වූ එන් 360 රථය පැදවූ රියදුරකු අතින් දරුණු අනතුරක් සිදුවුණා. අයෙක් මරණයට පත්වුණා. මරණකරුගේ පවුලේ උදවිය දෝෂ සහිත මෝටර් රථයක් ලබාදීම ගැන සභාපතිවරයාට ප‍්‍රසිද්ධියේ අපරාධ චෝදනා එල්ල කළා.

ඔහුට නඩු වැටුණේ නැහැ. ඒත් හොන්ඩා ප‍්‍රතිරූපයට දරුණු ලෙස හානි සිදුවුණා. ජනතාව අතර කථාවක් ගියා, බයිසිකල් හදන අය කාර් නොහැදිය යුතුයි කියා. ඒ නිසා කාර් අලෙවිය බිඳ වැටුණා.

ඒ වනතෙක් එන් 360 රථය වැඩි ම අලෙවියක් වාර්තා කළා. ඒත් 1970 දී අලෙවිය සියයට 20 ක් 30ක් අතර ගණනකින් පහත වැටුණා. හොන්ඩා මෝටර් රථ ව්‍යාපාරයේ අවසානය ආරම්භ වූවායයි සිතා ඔවුන් වද වුණා.
හොන්ඩා මහතා හැර අනිකුත් විධායක අධ්‍යක්ෂවරුන් 4 දෙනා සෑමදාම රාති‍්‍රයේ  සාකච්ඡා පැවැත්තුවා.

මේ අර්බුදය අතරතුර ඇමෙරිකාවෙන් තවත් අසුබ ආරංචියක් ලැබුණා. ඒ ඇමරිකානු කොන්ග‍්‍රසය විසින් පිටාර වායු විමෝචනය පිළිබඳ රෙගුලාසි ඇතුළත් පනත සම්මත කළ බවයි.  එය ඉදිරිපත් කළේ ඩෙමොක‍්‍රටික පක්ෂයේ සෙනෙට් මන්ත‍්‍රි එඞ්මන්ඞ් මුස්කියි. මුස්කිගේ පනතට අනුව පිටාර වායුවේ දූෂණ මට්ටම වත්මන් තත්වයෙන් දහයෙන් එකක් දක්වා ඉදිරි වසර 5 තුළ අඩු කළ යුතුවිය. එහෙම නූනොත් මෝටර්රථ අලෙවිය තහනම් කෙරෙනු ඇත. මෙය මෙතෙක් නොවී විරූ දැඩි නීතියක් විය. ඇමරිකාවේ ප‍්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනම ඊට දැඩි සේ විරුද්ධ විය.

 "මං කැමැත්තෙන් නෙමෙයි අනු කමිටුවට කීවේ, අපට හැකියාවක් නෑ ඒක කරන්න. එත් ඒක ඇත්ත. මේක පිරිසිදු වාතය පනතට ගැනෙන්නකුත් නෙමෙයි. මේ අතින් පසුගිය වසර දෙක හමාර තිස්සේ විශාල ප‍්‍රගතියක් සිදුවී තියෙනවා. එත් ඇතැම් අය කියන්නේ 1970 සංශෝධන අසාර්ථක වී ඇති බවයි" ඇමරිකන් නිලධරයෙක් කීවා.

පිටපිට රැස්වීම් ගණනාවක් පැවැත් වූ තාක්ෂණික විධායක අධ්‍යක්ෂ කවශිමා කීවේ, "දැනට අප හදන්න යනවා පරිසර දූෂණය අවම කරන වාහනයක්" ඔවුන් එකම බලාපොරොත්තුව වුණේ ඒකයි. "අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ. තාම ස්ථිර නැතත් අප දන්නවා අපට එය කළ හැකියි. තවමත් අපට හැකියාව තියෙනවා මේ වෙනස කරන්න. ඒක තමා අප හතර දෙනා එක්ව ගත් තීරණය වුණේ."

ඊළඟ වසරේ පෙබරවාරිවල සොයිචිරෝ හොන්ඩා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප‍්‍රකාශයක් කළා. "හොන්ඩා මෝටර් සමාගම අලුතින් අඩු දූෂණ මට්ටමක එංජිමක් සංවර්ධනය කර ඇති බවත් ඒ තාක්ෂණය මගින් මුස්කි පනතට අභියෝග කරන බවත් කීවා."

කෙසේ වුවත් යාගී සහ පිරිස ඒ වන විට එහි මුලික සැලසුමවත් සම්පුර්ණ කර තිබුණේ නැහැ. ඒ පුවත්පත් සාකච්ඡාවට පෙර සොයිචිරෝ හොන්ඩා යාගිට දැනුම්දී තිබුණා, "දැන් සමාගමේ සාර්ථකත්වය ඇත්තේ ඒ ඇන්ජිම මතයි. ඒ නිසා මං ඒ ගැන පත්තරවලට කියනවා"

"මං ඇහුවා ඔහුගෙන් ‘ඇත්තටම ඒ ගැන කියනවාද’ කියලා. ඔහු කීවේ, ’ඔබ හා කියනකම් හිටියොත් මට වෙන්නේ හැමදාම බලා ඉන්නයි. මං ඒක කියනවා. ඒකට සුදුසු ම වෙලාව මේකයි’ " කියලයි.

"ඔහු අපව සුපුරුදු විදියට රවට්ටලා වහලට නග්ගලා ඉණි මග අහකට ගත්තා. එයාගෙ හැටි එහෙම තමයි." යාගි කියනවා.

එතෙක් වේගයට මුල් තැන දුන් හොන්ඩා හදිසියේ ම තමන් යන අත වෙනස් කළා. තමන්ගේ සියලුම සම්පත් මේ අඩු වායු දූෂණ එන්ජිම වෙනුවෙන් යෙදෙව්වා. කළමනාකරණ අංශය තරුණ ඉංජිනේරුවකුට පවරා මේ කටයුත්තේ නායකත්වය ඔහුට දුන්නා. ඔහුගේ නම තදාෂි කුමේ. ඔහු 39 හැවිරිදියි.

කුමේ නිදහස්ව හිතපු කෙනෙක්. එයා  බිය වුණේ නැහැ හොන්ඩාට. ඔහු ඉඳහිට ඔහුට අභියෝග කළා. ඔහු සමඟ වාද විවාද කළා.  වතාවක් ඔහු සමාගමෙන් ඉවත්වීමට පවා තීරණය කරලා තිබුණා.

කුමේ සිතුවා, "අලුත් අඩු වායු දූෂණය සහිත ඇංජිමක් තනන්න නම් ‘පොප්’ සිතනවාට වඩා වෙනස් විදියකට හිතන්න වෙනවා. ඒ නිසා ඔහු තීරණය කළා, ව්‍යාපෘතියට සම්පූර්ණයෙන් ම තරුණ අය ම විතරක් ම යොදා ගන්න."

"එක විශේෂඥයකු සිටියොත් හැමෝ ම කරන්නේ ඔහු කියන දේ. අනිත් අයගෙ අදහස් ඒකට දෙන්නෙ නැහැ. එවිට කිසිවක් සිදුවන්නේ නැහැ." ඔහු කීවා.

"එහෙනම් මොකක්ද අපි කරන්න  ඕනෑ" අනිත් අය ඇහුවා.

 "ඒකට එකම උත්තරයයි තියෙන්නෙ. ඒ අය සාමාන්‍ය අය වුනත් දිගු කලක් එකම දෙයක් කෙරෙහි කැපවීමකින් කටයුතු කර ඇත්නම් ඔවුන් ඒක නිර්මාණය කරන්න යොදා ගැනීමයි කරන්න තියෙන්නේ" කුමේ අදහස වුණා.

1972 මාර්තුවෙදි කුමේ රැස් කළා තරුණ නායකයන් හතර දෙනෙක්, ඈත පිහිටි නගරයක් වූ හමමට්සුවල හෝටලේකට, හොන්ඩාට හොරෙන්. අරමුණ වුණේ නව ඇංජිම ඇමරිකාවට ගෙනිහින් මුස්කී පනත අනුව අනුමැතිය ලබා ගන්න එකයි. සති දෙකක් නිදිමරාගෙන ඔවුන් එහි හැම පැත්තක් ගැනම මොළය වෙහෙසා සිතා බැලූවා.

කුමේ කීවේ ව්‍යාපෘතියට එක් වන හැම දෙනාම එහිදී මතුවන ගැටලු ගැන සාකච්ඡා කර එකවරම විසඳා ගත යුතු බවයි. ඒ ව්‍යාපෘතියට ඔවුන් නම තැබුවේ ‘ඔපරේෂන් ඉයෝජිමා ලෑන්ඩින්’ කියලයි.

මේ කණ්ඩායමේ සියල්ල හොඳින් සැලසුම් කළා. මෙහෙයුම කුමේ බාර ගත්තා. යාගීට දුන්නේ වායු සැකසීම හා හිමිකම් බලපත‍්‍ර ලබා ගැනීමයි. අකිරා ඉෂිසුයාට බාර වුණේ කණ්ඩායමේ සංචාර සංවිධානය හා කාරයේ වැඩ නිම වූ පසු එය ඇමරිකාවට ගෙන යාම ආදියයි. ඔහු යටතේ අංශ පහකට බෙදුනු පිරිස් වැඩ කළා.

සමාගම අර්බූදයෙන් ගලවා ගන්න එතරම් කාලයක් තිබුණේ නැහැ. කුමේ ඒ හැමදෙනා ම අමතා කීවේ මුස්කි පනතේ අනුමැතිය ලබන ලෝකයේ මුල් ම පිරිස තමන් විය යුතු බවයි. ඒ සඳහා කාලය තිබුණේ මාස 9ක් විතරයි.

එහිදී ඔවුන් මුලින් ම තැනූ වායු දූෂණය අවම කළ ඇංජිමේ රහස තිබුණේ කුඩාම කුඩා කුටීරයකයි. ඒක කොයිතරම් කුඩාද කීවොත් විස්මයජනක ලෙස කුඩායි.

එදා ඒ 'ඔපරේෂන් ඉයෝජිමා ලෑන්ඩින්' කටයුත්තට දායක වෙච්ච ඉංජිනේරු මිනෝරු ඇට්සුමි ඒ ගැන කීවේ මෙහෙමයි. "මාස 9යි හරියටම අපට තිබුණේ. ඒ වගේ අසාධාරණ නියෝග තමයි අපට කලිනුත් ලැබුණේ. ඒ ව්‍යාපෘතිය මාස නමයෙන් නිම කරන්න කීවාම මට ඒක අදහන්නත් බැරි තරම් දෙයක් වුණා. ඒක ඇත්තක් කියා මට හිතුනෙම නැහැ."

සභාපති තුමා මග හැරලා තනියම වැඩ කරන්න ගිය එක ගැන ඔබට හිතුනෙ කොහොමද? කියල ඇහුවම ඔහු දුන්නේ මෙහෙම උත්තරයක්. "එහෙම කරන්න වුණා. ඒ තරම් ඈත හමමට්සුවල හෝටලේකට ගියේ ඒක සමාගම ඇතුළෙ කරන්න ගියා නම්, එයා ඒකට කඩා පැනලා වැඬේ අවුල් කරනවා. ඒකයි අපි හැංගිලා ගියේ"

"පොප්ට හුඟක් අදහස් තිබුණා. සමහර විට ඒවා හොඳයි. ඒත් බොහෝ විට නොගැලපෙන අවස්ථා තිබුණා. පර්යේෂණ හා සංවර්ධන අංශයේ වැඩ අවුල් වුණේ ඒ නිසයි. අපට තිබුණෙ මාස 9ක් විතරයි, ව්‍යාපෘතිය අවසන් කරන්නට. ඒ නිසා පැටලිලි ඇති කර ගත්තොත් අපි අමාරුවේ වැටෙනවා. නියමිත වෙලාවට වැඬේ නිම කර ගන්න එක ප‍්‍රශ්නයක් වෙනවා." ඔහු වැඩි දුරටත් කීවා.

ඊළඟට මේ අලුත් වායු දූෂණය අවම කරන කුඩා කුටීරය සහිත ඇංජිමට නමක් දැමීමට ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් ඒකට සීවීසීසී  එනම් ”කොම්පවුන්ඞ් වොටෙක්ස් කොන්ට්‍රෝල් කම්බස්ෂන්” කියා නම් තැබුවා. 1972 මැයි මාසයේ දී ප‍්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉංජිනේරුවන් 400ක් මේ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත්තා. නිෂ්පාදන කටයුතුවලට තිබුණේ සීමාසහිත කාලයක්. ඒ ඉංජිනේරුවන් 400ක් දෙනාට බාර වුණා, ඇංජිම හා සම්බන්ධ වෙන වෙන ම මතු වූ ගැටලු 1000ක් නිරාකරණය කිරීමට

සැලසුම සම්පූර්ණ කළාට පස්සෙ ඉංජිනේරුවන් එදා දවස ඇතුළත ම එහි ආකෘතියත් සාදා නිම කළා. අත්හදා බැලීම් ගණනාවකින් පස්සෙ සැලසුම යළිත් වෙනස් කරනු ලැබුවා. ඒ විදියට ආකෘති ඇංජින් 100ක් තනනු ලැබුවා.

ගැටලුවක් මතු වුණාම ඒක එදා ම විසඳා මිස ඒ එක්කෙනෙක් වත් ගෙදර ගියේ නැහැ. රැස්වීම් ශාලාව තුළට ඇඳන් පවා ගෙනාවා, වැඩ කළ අයට වැඩ අතර විවේක ගන්න.

ඒ ව්‍යාපෘතියේ උද්යෝග පාඨය වූයේ ‘අපේ දරුවන් වෙනුවෙන් නිල් අහස ඉතුරු කරමු’ යන්නයි. අවසන් දිනය ළංවීමේ පීඩනය අඩු කර ගෙන වැඩ කිරීමට ජවය ඔවුන් ලබා ගත්තේ ඒ උද්යෝග පාඨයෙන්.

මිනෝරු ඇට්සුමි තමයි, ඇංජිම පරීක්ෂණවලට යොමු කිරීම බාරව හිටියේ. මහ රෑ ඔහුට ඔහුගේ දරුදෙදෙනා ඔහු දෙස බලා සිටිනු මැවී පෙනුනා. "මං දවල් රෑ දෙකේ ම වැඩ කළා. මට මගේ දරුවන් දෙදෙනා බලන්න යන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒත් මං කල්පනා කළේ ඔවුන්ට පිරිසිදු වාතය ඇති පරිසරයක් ලබා දෙන එක මං හිතුවා තාත්තා කෙනෙක් විසින් කළයුතු දෙයක්ය කියලා. මොන ප‍්‍රශ්න ආවත් ඒවාට මුහුණ දෙමින් කෙතරම් අසීරු වුනත් මේ කාර්යය සාර්ථක කර ගන්න අපි දිවා රෑ දෙකේ ම එක වගේ මහන්සිවෙලා වැඩ කළා." ඇට්සුමි කියනවා.

අනික් අතට සොයිචිරෝ හොන්ඩා ඔහුගේ සේවකයන්ට කෑගහන්න පටන් ගත්තා මහා සමාගම් මට්ටමට ළංවීමට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජනයට ගන්න වැඩ කරන්න කියා. ටිකෙන් ටික තරුණ පිරිස හොන්ඩාගේ මේ කි‍්‍රයා කලාපය ගැන ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා.

"එයා සාමාන්‍යයෙන් අපට කීවේ ‘හොන්ඩා සමාගමට නෙමෙයි ඔබ වැඩ කරන්නෙ, ඔබටමයි ඔබ වැඩ කර ගන්නෙ’ එහෙම නැත්නම් ‘පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි ඔබ වැඩ කරන්නෙ’ එක්කෝ ‘සමාජය වෙනුවෙන් වැඩ කරන්නේ’ ආදී වශයෙන්. ඒත් දැන් ඔහු කියන්නේ ‘මේක හොන්ඩා සමාගමට ලැබුණු හොඳ අවස්ථාවක්. ඒක කලින් කී දේවලට හාත්පසින් ම වෙනස් දෙයක්. මං මේ ගැන එවකට අපේ විධායක අධ්‍යක්ෂ කවශිමා සමගත් කතා කළා,  ඒ ගැන. ‘පොප් ඒ වගේ කතා කියන එක වැරදියි’ කියලා." එක සේවකයෙක් කීවා.

එයින් ටික වෙලාවකට පස්සේ කවශිමා මහත්තයා දිව ගිහින් හොන්ඩා යන ලිෆ්ට් එකට නැග ගත්තා. එහිදී ඔහු අවංකවම තරුණ සේවකයන්ගේ හැඟීම් ගැන කතා කළා.

හොන්ඩාට ප‍්‍රශ්නය වැටුහුණා. එදායින් පස්සෙ නිෂ්පාදන සංවර්ධන ව්‍යාපෘතිය පැත්තෙ පළාතෙ ගියේ නෑ.

1972 දි  එක කාර් එකයි සුසුකි රේස්පථයේ ධාවනය කළේ. ඒ කාරය සීවීසීසී ඇන්ජිම සහිත අලුත්ම එකක්.  එහි පිටාර විමෝචන මට්ටම දහයෙන් එකේ පැවතුනේ. ඊළඟට ඔවුන්ට තිබුනේ රථය ඇමෙරිකාවට ගෙනියන්න විතරයි.

ඇමෙරිකාවට යන්නට දවස් දෙකකට ඉස්සෙල්ල එක ඉංජිනේරු මිෂෝගුචි අමුතු හීනයක් දැක්කා.
"එදා ? මම අමුතු හීනයක් දැක්කා. කාබියුරේටරයේ ඉහල කොටස. එතන තමයි වැදගත්ම දේ සිදුවුනේ. වාතය සහ ඉන්ධන මිශ‍්‍ර කරන කොටස. මගේ හීනයේ දී ඒක හරියට වැඩ කරන්නෙ නෑ වගේ පෙනුනා. ඒක වැදගත් පරීක්ෂණයක් අතපසුවීම නිසා මගේ අතින් වැරැද්දක් වගෙයි හිතුනෙ."  මිෂෝගුචි දුක්මුසුව ඔහුගේ හීනය පිළිබඳව ඔහුගේ ලොක්කට කිව්වා.  ඔහු මිෂෝගුෂිගේ හීනය අනුව තවත් කාබියුලේටර අමතර කොටස් ගමනට ඇතුළත් කළා.

1972 දෙසැම්බර් 5 වෙනිදා ව්‍යාපෘතියේ සාමාජිකයන් පැසිපික් සාගරය හරහා ඇමෙරිකාවට ගියා. ඒ වනවිට ලෝකයේ මෝටර් රථ නිශ්පාදකයන් කිසිවෙක් පනතට අනුව පරීක්ෂණය සමත් වී තිබුනේ නෑ.

තදාෂි කුමේ ව්‍යාපෘති නායකයා ජපානයේ මිචිගන් ගුවන් තොටුපළින් ගොඩ බැස්සා. ඔහු බියෙන් තැතිගෙන හිටියා.

දෙසැම්බර් 7 වෙනිදා පරීක්ෂණ වාහනය පරිසර දූෂණ විමර්ශන අධිකාරියේ රසායනාගාරය වෙත ගෙනාවා. දවල් 1 ට  පිටාර විමෝචන පරීක්ෂණය ඇරඹුණා.  ඇන්ජිම පණගැන්වීමත් සමගම අමුතු සද්දයක් රසායානාගාරය තුළ පැවතුණා.

ඒ ව්‍යාපෘතියේ සාමාජිකයකු වන යොෂිකට්ෂු නකානෝ එදා වුන දේ ගැන කීවේ මෙහෙමයි. "ඒ අමුතු ශබ්දය දිගටම ඇහුනෙ ඇන්ජින් එකෙන්. ඒ හඬ කීවේ යාන්ත‍්‍රික දෝෂයක් ඇති බවයි." 'බ්ල්බ් බ්ල්බ්' යනුවෙන් ඒ  හඬ දිගටම ඇහෙන්න පටන් ගත්තා.

පිටාරක ව්මෝචන දත්ත ඉතා ඉහළ මට්ටමකින් තමයි පෙන්නුම් කළේ. ප‍්‍රධාන පරීක්ෂක හිස සලා වැඬේ අසතුටුදායක බව කීවා.

කුමේ සහ අනිත් අය අවසර ඉල්ලුවා කාරය පරීක්ෂා කරන්න. ඔවුන් බොනට් එක ඇරියා ඇරියාම ඔවුන්ට පෙනුනා කාබියුරේටරයේ දෝෂයක් ඇති බව. මිෂෝගුචි එයාගෙ හීනෙන් කල්තියා දැකපු දේමයි සිද්ධ වෙලා තිබුණේ.

කුමේ සහ ඔහුගේ කණ්ඩායම පැහැදිලි කළා, ඒ දුර්වල දත්ත ඇතිවුනේ වාහනය ගෙන එද්දී සිදු වූ හානියක් නිසා බව. ඔවුන් අතිරේක කාබියුරේටරයක් ගෙන ගියා. ඔවුන් ඉල්ලීමක් කළා, පරීක්ෂකගෙන්. ඒ කොටස අලුත් වැඩියා  කර නැවත පරීක්ෂණයක් සඳහා අවස්ථාවක් දෙන ලෙසට. කිසිකෙනෙක් අධෛර්ය වුනේ නෑ. කැඩිව්ච ඉංග‍්‍රීසියෙන් කොහොමහරි තමන්ට වූ අකරතැබ්බය කියා ප‍්‍රධාන පරීක්ෂකයා අවසානයේ එකඟ කරවා ගත්තා.

පරීක්ෂණය පසුදාට කල් තැබුවා. කුමේ එදා රෑ ගත කළේ සම්පූර්ණයෙන්ම නිදි නැතිවයි,  ඈන් ආබෝ හෝටල කාමරයේ. "මේ පරීක්ෂණය අප අසමත් වුවහොත් කුමක් ද වෙන්නෙ?  මං ඒ ගැන කල්පනා කරල මට එදා රෑ නින්ද ගියේ නෑ. ඒ නිසා මං බොන්න කල්පනා කළා. ඒත් බීලත් බැරි නිසා රෑ එළිවෙනකම්ම ඇහැරල හිටියා" ඔහු පසුව කීවා.

පහුවදා, දෙසැම්බර් 8 වෙනිදා, උදේ දහයට ඊළඟ විමෝචන පරීක්ෂණය පටන් ගත්තා. ඒ පරීක්ෂණය ඔවුන් අසමත් වුවොත් සියල්ල ඔවුන්ට අහිමිි වෙනවා. කුමේ සහ පිරිස ගල් ගැසී බලා සිටියා. වැඬේ සාර්ථක වුනා. ඒ මොහොත කිසිදාක අමතක නොවන්නක්. ලොව පළමු වතාවට  මුස්කි පනතේ රෙගුලාසිවලට අනුව කළ පරීක්ෂණය සාර්ථක වුණා.

මේ ප‍්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා.  කුමේට ඇරයුම් ලැබුණා, ඇමෙරිකාවේ ප‍්‍රසිද්ධ සභාවක සීවීසීසී එන්ජිම ගැන කරුණු පැහැදිලි කරන්න.

එරික් ස්ටෝක් තමයි, ඉන්ධන විමෝචන රෙගුලාසි ඇමෙරිකානු රජය වෙනුවෙන් කි‍්‍රයාත්මක කළේ. ඒ දවස ඔහුට අද වගේ මතකයි. "අපි සතුටට පත්වුනා හොන්ඩා කණ්ඩායමේ මේ දක්ෂකම ගැන 1975 මුස්කි ප‍්‍රමිතියට අනුව වාහනයක් තැනීම ගැන. කවුරුහරි කරන්න  ඕනේ ඇමෙරිකානු මෝටර් රථ සමාගම්වලට බැහැයි කියපු දේ" ඔහු කීවා.

පෝර්ඞ් හා ක්‍රයිස්ලර් කියන ඇමෙරිකාවේ විශාල මෝටර් රථ නිෂ්පාදන සමාගම් හොන්ඩා සමාගමෙන් ඉල්ලීමක් කළා ඒ තාක්ෂණය ඔවුන්ටත් ලබා දෙන ලෙස. ඒකෙන් හොන්ඩා සමාගමේ ආදායම තවත් වැඩිවෙන්න පටන් ගත්තා.

'පොප්' ගේ ඇනුම් බැණුම් නිසා ඔහුට 'දරුවන් 400 ක්' ලැබුණා.  ඔහු නැතිව 'දරුවන්'  නිර්මාණය කළ  ප‍්‍රථම ඇන්ජිම ඔහු හා ඔහුගේ සමාගම බේරා ගැනීමට සමත් වුණා.

"මුස්කි රෙගුලාසි අනුව සමත් වූ ලොව ප‍්‍රථම රථය තැනුවේ ඔබයි.  මොකක්ද ඔබට ඒ මොහොතේ ඇති වූ හැඟීම?" කියා මිනෝරු ඇට්සුමිගෙන් ඇසූ විට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. "මම ඒ වෙලාවෙ ඒ පරිසර දූෂණ විමර්ශන අධිකාරියේ හිටියා. මට ලොකු සතුටක් ඇති වුණා, අපට එය කළ හැකි වීම ගැන. මට ඒ අවස්ථාවේ මේ කාර්යයට දාඩිය මුගුරු හෙළාපුු ජපානයේ සිටි අපේ සාමාජිකයන්ගේ මුහුණු එකින් එක මැවී පෙනුනා."

1973 පෙබරවාරියෙ කුමේ ගියා සොයිෂිරෝ බලන්න, ඇමෙරිකාවේ සිට ජපානයට  ආ ගමන්ම.  කොහොමද පොප් ඔහුගේ උපදේශකත්වයෙන් තොරව තැනූ ඇන්ජිම ගැන හිතන්නෙ කියලා සොයලා බලන්න. ඔහු සභාපතිවරයාගේ කාමරයේ දොරට තට්ටු කළා.

හොන්ඩා  කට පුරා හිනාවෙලා ඔහුව පිළිගත්තා. ඊළඟට ඔහු පින්සලක් අරගෙන කොළයක යමක් ඇන්දා.
ඔහු ඇන්දේ ශීතකාලයට පිපෙන රතුපාට ලස්සන කැමීලියා මලක්. සුළඟත් හිමත් අතරේ පිපෙන මලක්. ඔහු ගෝලයව පිළි ගත්තේ එහෙමයි.

එයින් අට මාසෙකට පස්සෙ සොයිචිරෝ හොන්ඩා හදිසියේම සභාපති පදවියෙන් ඉල්ලා අස්වුණා. ඔහු පැහැදිලි කලා ඔහුගේ විශ‍්‍රාම ගැනීමට හේතුව.

ඔහු කීවේ සීවීසීසී එන්ජිම තැනීම හොන්ඩා සමාගම ලැබූ  විශාල ජයග‍්‍රහණයක් බවයි. මහා සමාගම් තුනක් ආකර්ෂණය කරන්න සමත්වුණ තරුණ පිිරිස ඊට විරුද්ධ වුණා. ඔවුන් කීවේ අපි මේක කළේ සමාගමට නෙවෙයි. අපි මේක කළේ සමාජයටයි.

වසර 30කට පස්සෙ අඩු විමෝචන සහිත ඇන්ජිම නිපදවා එදායින් පස්සෙ පිටාර විමෝචන මට්ටම කලින් තිබුන මට්ටමට වඩා සියයට1 ක් දක්වා අඩු කරනු ලැබුවා. මේ නිෂ්පාදන බිමේම තාත්තත් දරුවනුත් ලොකු සටනක් ගෙන ගියා, ඒ සඳහා  ඒ කාලෙ වගේම තරුණ මිකැනික්ලා තෙල් ගාගෙන අදත් නව මෝටර් රථ නිපදවීමට වෙහෙසෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments