ඔබේ මොළය ස්මාට් ‍පෝනයට යා කරන නව විද්‍යාත්මක මෙහෙයුමක්!

ලෝකප්‍රකට බිලියනපතියකු හා නව නිපැයුම්කරුවකු වන ඊලෝන් මස්ක් (Elon Musk) තවත් අලුත් තාක්ෂණික  පෙරළියකට අත ගහන්නට යනවා. ඒ ඔබේ මොළය ස්මාට් ‍පෝනය සමඟ සම්බන්ධ කරන්නයි. මේ බව ඔහු පසුගියදා ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝහිදී එළිදරවු කළා.

මස්ක්‍ගේ නව සොයා ගැනීම් ගැන, අඟහරු වෙත යන ස්පේස්එක්ස් සැලසුම, රියැදුරකු නැතිව යන ටෙස්ලා මොටෝරිය, හිරු සවියෙන් වැඩ කරන ‍ගෙවල් ආදිය ගැන අප කලින් මල්කැකුළු තුළින් කීවා ඔබට මතක ඇති.

ඒ මෙහිදී ඔහු කරන්න බලාපොරොත්තු වන්නේ අමුතුම දෙයක් ඒ මිනිසා හා යන්ත්‍ර අතර බද්ධ කිරීමක් කරන්නයි. ඒ අනුව ඔබට ඔබේ සිතිවිලිවලින් ස්මාට් ‍පෝනය හෝ පරිගණකය පාලනය කළ හැකියි. හිස්කබල විද තැන්පත් කෙරෙන ඉසියුම් කෙන්දකින් ඔබේ සිතුවිලි හඳුනාගෙන ස්මාට් පෝනයට හෝ පරිගණකයට යොමු කිරීමයි සිදු වන්නේ.



ඔහු විසින් වසර දෙකකට කලින් පිහිටුවා ඇති තාක්ෂණික ආයතනයක් වූ නියුරාලින්ක් තමයි මේ සම්බන්ධව අත්හදා බැලීම් කර ඇත්තේ. ඔවුන් දැනටමත් ස්නායුශල්‍යවෛද්‍ය රොබෝවෙක් නිපදවා  තියෙනවා, මිනිස් කෙස්ගහකටත් වඩා කුඩා කෙන්දකින් මැසිය හැකි. මොළයේ සැත්කම්වලට එය නිවැරදිව යොදා ගත හැකියි. 

දැනට මේවා සතුන් සමඟ සාර්ථකව අත්හදා බැලීම් කරලා තියෙනවා. මස්ක් බලාපොරොත්තු වෙනවා, ලබන වසරේ දී මිනිසුන් සමග අත්හදා බැලීම් කරන්න. ඒත් ඒ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අවසරය අවශ්‍ය වෙනවා. ඒක ඒ තරම් ලේසිපහසු කටයුත්තක් නෙමෙයි. ඒ ආයතනය එවැනි අත්හදා බැලීමකට අවසර දෙන්නේ ඒ අය රෝග වශයෙන් පිළි අරන් තියෙන දැනට ඒ රෝග සුවකිරීමට වෙනත් විකල්පයක් නැති අසරණ රෝගීන්ට පිහිට විය හැකි තත්වයන් යටතේදි විතරයි. ඒ නිසා මේ වගේ දෙයකට අවසර ලැබෙන්නේ පක්ෂඝාත රෝගීනට සහනයක් ලැබෙනව කියලා තහවුරු කර ගත්තොත් විතරයි. ඒ කියන්නේ සුව කළ නොහැකි පක්ෂඝාත රෝගියකුට මේ ක්‍රමයට ඉසියුම් කෙඳි  මොළයේ තැන්පත් කිරීමෙන් මෙතෙක් ඔහුට  කියා ගත නොහැකිව තිබූ සිතිවිලි භාවිත කරමින්, ස්මාට් පෝනයක් ඇඟිලි තුඩුවලින් හැසිරවීමටත් නොහැකි රෝගියකුට එවැන්නකින් පහසුවක් ඇති වේය කියා ඔවුනට ඒත්තු ගැන්නුවොත් විතරයි. නැතිනම් හිස් කබල විදින්න කීයටවත් ඔවුන් අවසර දෙන එකක් නැහැ.

මේ නියුරාලින්ක්වල අත්හදා බැලීම්වලදී මීයන් හා වඳුරන් ඒ සඳහා යොදා ගත් බව සඳහන් කෙරුණා. ප්‍රශ්න අසද්දී මස්ක් අතින් කියවුණා, මේ ක්‍රමයට පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට වඳුරකුට හැකි වූ බව. ‘ඒත් ඒ අතින් අපට තවමත් පරීක්ෂණ කළ යුතුව තිබෙනවා.” ඔහු කීවා.


ඊට ප්‍රතිචාර දක්වමින් නියුරාලින්ක් සභාපති මැක්ස් හෝඩැක් කීවේ, ‘අප සුදානම් නැහැ ඒ විස්තර අද ඉදිරිපත් කරන්න. එහෙම දෙයක් තමා සිදුවී තියෙන්නෙ.’ කියායි.

මේ තාක්ෂණය රෝගීන් උදෙසා යොදා ගත හැකිවුනත් අප ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ සාමාන්‍ය මිනිසුන්ට මෙය යොදා ගැනීම කළ හැකිද යන්න ගැන. මක්නිසාද යත් මො‍ළය සංකීර්ණ දෙයක් නිසා. ඒකට තවම කල් වැඩියි. යම්කිසි විදියකින් මෙය සාර්ථක වුවහොත් ඇමරිකාවේ විතරක් ඉන්නා පක්ෂඝාත රෝගීන් ලක්ෂ පනස් හතරකට ඉන් සහනයක් ලැබෙනවා.

නියුරාලින්ක්වල වෛද්‍ය අරමුණු වඩාත් තහවුරු කරනු පිණිස එහි ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වූ මැතිව් මැක්ඩොනල්ඩ් කරුණු පැහැදිලි කළේ ශල්‍යාගාර ඇඳුමෙන් පෙනීසිටිමින්. ඔහු අවධාරණය කළේ රෝගීන්ගේ ආරක්ෂාවට මුල් තැනදී කටයුතු කරන බවයි. මෙය ලැසික් අක්ෂි ප්‍රතිකාර ක්‍රමය මෙන් රෝගීනට පහසුවන අයුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. “අපි මේ ක්‍රමය යොදා ගන්නට අපේක්ෂා කරන්නේ දැනට ප්‍රතිකාර කළ නොහැකි රෝගීන්ටයි. විශේෂයෙන්ම කශේරුකාව බිඳීයාම නිසා මුළුමනින් ම අක්‍රිය වූ රෝගීන්ටයි.” ඔහු කීවා.    

ඒත් මස්ක්ගේ අවසාන ඉලක්කය එය නොවේ. අනාගතවාදියකු වූ ඔහුට ඊට එහා ගිය අරමුණු තියෙනවා. ඔහුගේ බලාපොරොත්තුව මිනිසාත් කෘත්‍රිම බුද්ධියත් අතර සහජීවනයක් ඇති කිරීමයි. ශීඝ්‍රයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධිය මිනිසා අබිබවා ඉදිරියට යාම වෙනුවට මිනිසාත් කෘත්‍රිම බුද්ධිය සමග ගැටගසා ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා කරලීමටයි ඔහු වෙහෙසෙන්නේ. ඒ වගේ දෙයකට අත්හදා බැලීම් කරන්න රජයේ අවසරය ලැබෙන්නේ නැහැ. නමුත් පක්ෂගාත රෝගීන්ට ආධාර කරන විලාසයෙන් මේ අත්හදා බැලීම් කරගෙන යන්නේ ඒ නිසයි.

මස්ක්ගේ මේ වැඩ සටහනට ප්‍රචාරය දීමෙන් මස්ක් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නියුරාලින්ක් ආයතනයේ තවමත් නොපිරවූ තනතුරුවලට උනන්දු පිරිස් අතරින් සුදුසු අය බඳවා ගැනීමටයි. දැනටමත් එහි 90 දෙනෙක් සේවයේ යෙදෙනවා. ඒ ආයතනය වෙනුවෙන් දැනට ආයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 158ක්. එයින් ඩොලර් මිලියන 100ක් ම යොදවා ඇත්තේ මස්ක් විසින්මයි.

මිනිස් මොළයට යන්ත්‍ර බද්ධ කිරීම අත්හදා බලන ප්‍රථම ආයතනය නියුරාලින්ක් නෙවෙයි. කර්නෙල් හා පැරාඩ්‍රොමික්ස් වැනි සමාගම් මෙන්ම ඇමරිකානු යුද හමුදාවත් මේ සම්බන්ධව කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් සමහර විද්‍යාඥයන්ද පක්ෂඝාත රෝගය නිසා කතා කිරීමට අපහසු රෝගීන්ට කතා කිරීමට පහසුවන මෙවලම් මොළයට බද්ධ කිරීම ගැන දැනටමත් කටයුතු කරමින් සිටිනවා.

ව’ජ් (Verg) තමයි මේ ක්ෂේත්‍රයේ මුලින්ම ජයක් ලැබුවේ. ඒ කථනයෙන් නෙවෙයි චලනයෙන්. 2006 දී තරම. කශේරුකාවේ ආබාධයක් නිසා ආඝාතයට ලක් වූ මැතිව් නේගල් තමයි ප්‍රථම පුද්ගලයා මොළයට උපකරණයක් සම්බන්ධ කිරීමෙන් ඒ මගින් පරිගණකයක ක’සරයක් මෙහෙවීමේ වාසනාව ලැබුවේ. ඔහුට එය හැසිරවීම සඳහා හුරුවීමට දින හතරක් ගත වුණා. ඒ බව නිව්යෝක් ටයිම්ස් පත්‍රයට කියා තිබුණා. 2006දී ඔහු පොන් නම් වීඩියෝ ක්‍රීඩාවෙහි යෙදුණු බව සඳහන්. එදා සිට මේ වන තෙක් පක්ෂඝාතය වැළඳුණු පුද්ගලයන් ගණනාවක් පරීක්ෂණාගාරවල විද්‍යාත්මක අත්හදා සඳහා සහභාගි වී තියෙනවා. ඒ සියලු දෙනා සඳහා යොදා ගත්තේ බ්රේන්ගේට් නම් ක්‍රමයක්. එය මුලින් සොයා ගනු ලැබුවේ බ්‍රවුන් විශ්වවිද්‍යාලය මගින්.

බ්රේන්ගේට්වලදී යොදා ගත්තේ ඌටා ඇරේ යනුවෙන් නම් කළ ඉලෙක්ට්‍රෝඩ චැනල 128ක් සඳහා වූ ඉඳිකටු තුඩු පෙළක් සහිත උපකරණයක්. එහි ඇති චැනල ගණන නියුරාලින්ක්වලට වඩා අඩුයි. ඒ නිසා මොළයෙන් ලබා ගන්නා දත්ත ප්‍රමාණයත් අඩුයි. එත් එහි ඉඳිකටු නියුරාලින්ක් කෙඳිවලට වඩා දැඩියි. ඒ නිසයි එය දිගු කලක් සක්‍රිය පවත්වාගෙන යා නොහැක්කේ. හිස් කබල තුළ මොළය යම් යම් වෙනස් කිරීම් සිදුකරන නිසාත් ඉඳිකටු පෙළ වෙනස් නොවන නිසාත් උපකරණය කලකදී  අක්‍රිය වෙනවා. නියුරාලින්ක් පාවිච්චි කරන ඉසියුම් පොලිමර් කෙඳි ඒ ගැටලුවට විසඳුමක් සපයනවා.

තව විදියකින් කියනවා නම් නියුරාලින්ක් කියන දේ ඇත්ත වශයෙන් ම ඉටු වී ඇත්නම් අනාගත‍යේ උපදින අයට ලොකු බලාපොරොත්තුවක් තබා ගත හැකි සොයා ගැනීමක් ඔවුන් කර තිබෙනවා.

මෙය ඉක්මනින් ප්‍රායෝගික වෙතැයි අපේක්ෂා කරන්න එපා! මේ ක්‍රමය මිනිස් මොළයට යොදා ගත හැකි බව ඔවුන් විසින් තහවුරු කළ යුතුව තියෙනවා. ඒ පොලිමර් කෙඳි මොළයට බද්ධ කළ පසු ඒවාට වසර ගණනාවක් අපේ මොළය තුළ නොනැසී පැවතිය හැකි විය යුතුයි. ඒවා නිසා අපේ මොළය ඉක්මනින් විනාශයට පත් නොවිය යුතුයි.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments