චිරංජයතු! එඞ්වින් ආරියදාස පත‍්‍රකලාවේදී ප‍්‍රාඥයාට 98යි

පසුගියදා අපේ පත‍්‍රකලා මහ ඇදුරු එඞ්වින් ආරියදාස සූරීන්ට අවුරුදු අනූඅටක් සපිරුණා. එතුමාව බැහැදැක එතුමාට සුබපතන්නට ශී‍්‍ර ලංකාවේ නොසිටීම ගැන මා කනගාටු වෙනවා. මේ සටහන නවසීලන්තයේ මගේ පොඩි පුතුගෙ සෙවණේ සිට ලියන්නේ ඒ නිසයි. 



එතුමා අපේ පුවත්කලාව වෙනුවෙන් ම උපන් අයෙක්. ලංකාලෝකයෙන් ආරම්භව පැවත ආ ශී‍්‍ර ලංකාවේ පුවත්පත් සඟරා ප‍්‍රකාශනය දශක ගණනාවක් ගෙවා තිබුනත් එතුමා විසින්පුවත් කලාව ඉගෙන ගෙන කළ යුතු දෙයක් බව 60 දශකයේ අගදී ප‍්‍රකාශයට පත් කරනතුරු ඒ ගැන හැඟීමක් එවකට සිටි පුවත්පත් ප‍්‍රකාශකයන් අතරවත් ලේඛකයන් අතරවත් තිබුණේ නැහැ.
ඒ මුල් කාලයේදී ශී‍්‍ර ලංකාවේ සිංහල පුවත්පත් සඟරා පවා පළ කළේ ඉංගී‍්‍රසි ජාතිකයන්.  එහෙම නැත්නම් ඉංගී‍්‍රසි ඉගෙන ගත් සිංහලයන්. බොහෝ ලිපි හා පුවත් ඉංගී‍්‍රසියෙන් ලියා සිංහලයට පෙරළා ගෙන තමයි පළ කළේ. දිනමිණ වැනි ඒ කාලයේ පැවති ජාතික පුවත්පත් පවා මුල් යුගයේ පළ වුණේ ඉංගී‍්‍රසි පුවත්පතේ පරිවර්තනයක් විදියටයි. ආරියදාස මහතා පුවත්වලට එක්වන විට මේ තත්වය වෙනස් වෙලා, සිංහල පුවත්පත් කලාව ස්වාධීනව වැඩෙන්නට පටන් අරන් තිබුණා. ඒත් පුුුවත්පත් කලාව විෂයයක් වශයෙන් ඉගැන්වීමක් තිබුණේ නෑ. භාෂා දැනුම හා ලේඛන හැකියාව අනුව පුවත්පත්වල සේවයට බඳවාගෙන ඒ අයට සේවය කිරීමෙන් ලබන අත්දැකීම් මත පමණයි, පුවත්පත් කලාවේදියෙකු වීමට අවස්ථාව පෑදුනේ. ඉඳහිට ඒ අය අතරින් එක්කෙනකුට දෙන්නකුට එංගලන්තයට ගොස් පුවත්පත් කලාව හැදෑරීමට අවස්ථාව ලබා දුන්නා. ඒත් වැඩිදෙනකුට මේ අවස්ථාව ලැබුණේ නෑ. අනෙක් අය ඉගෙන ගත්තේ තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්. ඒ නිසා පුවත්පත්වල ගුණාත්මක භාවයේ වෙනස්කම් රාශියක් දක්නට ලැබුණා. ඇතැම් පුවත්පත් වෙළඳ පොළේ ජනපි‍්‍රය පුවත්පත් අනුකරණයෙන් තමන්ගේ පුවත්පත් හැඩ ගස්වා ගත්තා.

මේ තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ 1969 දීයි. ඒ පුවත්පත් කලාව විෂයයක් වශයෙන් ඉගැන්වීම ආරම්භ කළාට පස්සෙයි. ඒ කාර්යයට උර දුන්නෙ එඞ්වින් ආරියදාස මහතායි. එතුමා තමයි පුවත්පත් කලාව ඉගැන්වීමේ මුල්ම පාඨමාලාව සකස් කළේ. එදා එය හඳුන්වනු ලැබුවේ ජන සන්නිවේදන පාඨ මාලාව ලෙසයි. දෙහිවල කනිටු සරසවියෙන් ආරම්භ වූ ඒ අධ්‍යාපනය ඊළඟට කැලණිය සරසවියටත් විහිදුණා. අද හැම සරසවියකම වාගේ මේ අංශයෙන් අධ්‍යාපනය දෙනවා. ඒ සඳහා වෙනම අධ්‍යයන අංශ පවා ඇති කර ගෙන තියෙනවා. ඩිප්ලෝමාවෙන් පටන්ගෙන උපාධි, පශ්චාත් උපාධි දක්වා සන්නිවේදන අධ්‍යාපනය ව්‍යාප්ත වී තිබෙනවා. අද පාසල්වලත් මේ විෂයය උගන්වනවා. මෙය ඉතා ඉක්මනින් සිදු වූ පෙරළියක්.

තමන්ගේ ජීවිතකාලය තුළ ම මේ පෙරළිය දැක ගන්නට තරම් එඞ්වින් ආරියදාස මහතා වාසනාවන්ත වුණා. අදටත් එතුමා මේ කටයුතුවලට සකි‍්‍රය දායක වන අයුරු දකින අපට ඇතිවන්තේ නිම්හිම් නැති සතුටක්.
ආරියදාස මහතා එතුමාගේ සේවය පුවත්පත්වලට විතරක් සීමා කළේ නැහැ. ඉන් ඔබ්බට විද්‍යුත් මාධ්‍යවලටත් ලබා දුන්නා. ගුවන්විදුලි මාධ්‍යයේ ප‍්‍රවීණයෙක් හැටියට එතුමා ඒ සඳහා ද කැපවී කි‍්‍රයා කළා. රූපවාහිනී මාධ්‍යය මෙරටට හඳුන්වා දෙන අවස්ථාවේ සිට එතුමා ඒ සඳහාද දායකත්වය ලබා දුන්නා. එසේ ම මේ ක්ෂේත‍්‍ර තුනෙහි ම වැඩ කරන්නට එතුමා අපට සැපයූ ආදර්ශය ගැන එතුමාට අප සදා ණයගැතියි. 



60 දශකයේ දී මා නවක පුවත්පත් කලාවේදියෙකු ලෙස ලේක්හවුසියට ආ මුල් දවසේ මට මුලින් හමු වූ ලේක්හවුස් ආදිවාසියා වූ එතුමා සමග එදා ඇති කර ගත් මිතුරුකම අද දක්වා ම එසේ ම පවතිනවා.     
එඞ්වින් ආරියදාස ලෙසින් අද මුළු ලොව ම හඳුනන එතුමා උපන්නේ 1922 දෙසැම්බර් 3 වැනිදා දකුණු සිරිලක උණවටුන ග‍්‍රාමයේ දී විජයතුංග කරුණාරත්න එඞ්වින් ආරියදාස යන නමිනුයි. ඒ නමත් මට අනෙක් හැම දෙනාටම වඩා ගුරු ගෞරවය ඇති කරන්නක්. එතුමාගේ නම තුළ මට මග පෙන් වූ තවත් විශේෂ ගුරුවරුන් දෙදෙනකුගේ නම් ගැබ්ව තිබෙනවා. ඒ හරිශ්චන්ද්‍ර විජයතුංග හා කරුණාරත්න අබේසේකර යන දෙදෙනායි. 
පුවත්පත් කලාවේදීයකු වශයෙන් පුවත්පත් සඟරා තුළින් දසක හතක් ම සෑම ක්ෂේත‍්‍රයකින් ම ඉංගී‍්‍රසි හා සිංහල දෙබසින් ම ජනතාවට නොමසුරුව දැනුම බෙදා දුන් එතුමා මේ අනූඅට වසර සමරන මේ මෙහොතේදිත් මා පතන්නේ ඒ කාර්යයේ පෙර සේ ම නොපසුබට ව ඉදිරියටත් යෙදෙන්නට නිදුක්නිරෝගීව දීර්ඝායු ලැබේවා කියායි.

මීට වසර දෙකකට පෙර මල්කැකුළු ඔස්සේ එතුමා ගැන තැබූ සටහනේ අවසන් කොටසට මෙහිදී යොමු වීමට මා කැමැතියි.

''ආරියදාස මහත්තය අනුපස් විය සපිරූ වේලේ එතුමා වෙනුවෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අතින් ලියැවුණු විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ නවරත්න ගමගේ තනු නිර්මාණය කළ අභිනන්දන ගීතයේ මුල් කොටසින් මේ ලිපිය අවසන් කිරීමට මා කැමතියි.

''සකල කලා ශිල්ප නෙලා
රටට බෙදා පින් වළඳා
සියක් ආයු ලබන මැනවි
පිහිටෙන් මුණි සිරි දළදා

''ආරියදාස එඞ්වින් සිරිමතාණෝ
සකල කලා වන්දිත පින්වතාණෝ"

- පර්සි ජයමාන්න



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments