ඇගේ එම කෘතීන් කියවන ඔිනෑම කෙනකුට ඒවායේ අපූර්වත්වය පහසුවෙන්ම වටහා ගත හැකියි. ඒවා ඇත්තෙන් ම නැවුම් අදහස්වලින් යුක්තයි. ළමයා තුළ ඇති නිර්මාණශීලිත්වය හා රසාස්වාදන ශක්තිය වැඩි කරලන්නට ඒ කෘති සමත් වෙනවා. ඇගේ මුල්ම රාජ්‍ය සම්මානයෙන් දිරිමත්වූ ඇය අතින් පිට පිට ම වසරක් පාසා දිනන්නට සුදුසු කෘති ඉදිරිපත් වීම අපේ අරමුණු මල්ඵල ගැන්වීමක්. ඒ ගැන ඇයට අපේ ප්‍රශංසාව හිමි වෙනවා. ඇය පිළිබඳ බීබීසී විශේෂාංගයේ දී ඇය මෙහෙම අදහස් කීපයක් පළ කර තිබුණා. 'මා තුළ ළමයෙක් ඉන්නවා. ඒ ළමයා පොත් කියවන්න ආසයි. කාගෙ හරි හොඳ ළමා පොතක් ගැන දැන ගන්න ලැබුණොත් අනිවාර්යයෙන් ම ඒක හොයා ගෙන කියවනවා. ඒ තුළින් තමයි මගේ නිර්මාණ ඉස්සරහට යන්නේ' 'මගේ මහ පොත විදියට සලකන්නේ මගේ තාත්තාව. තාත්තා හොඳ කවියෙක්. තාත්තා කියාපු කවි රිද්මය තවම හොඳට මගේ ඇඟේ තියෙනවා. අම්මා නළවපු තාලය තවම තියෙනවා. සීයාගේ තොවිල් කවි තවම ඇහෙනවා. කරත්ත මාමාගෙ ගවමඩුව මට මැවිලා පේනවා. හරකබාන, කුඹුර ඒ ලස්සන පරිසරයේ සුන්දරත්වය අපි වින්දා'
'දැන් මට මාව අභියෝගයක් වෙලා. දැන් තවත් හැදෑරීම් කරලා ඉදිරියට තවත් සාහිත්‍ය නිර්මාණ කරනවා'
ඇය ළමයින්ට ලියන්න උපන් කෙනෙක් බව මේ අදහස්වලින් පෙනෙනවා. අද ලියැවෙන බොහෝ ළමා කතා ළමයින්ට, ළමා මනසට නොගැළපෙන ඒවා. කොහොම හරි පොතක් පළ කරවා ගැනීම හා ඊට කෙටි පාරක් ලෙස මේ මාර්ගය තෝරා ගත් අය ලියන ඒවා. තනුජා වගේ ළමයින් වෙනුවෙන් සිතා මතා ලියනවා නම් ළමා සාහිත්‍යයේ විශාල දියුණුවක් ඇති වෙන එක සිකුරුයි.
ඇය පිළිබඳ විස්තර රැසක් ඒ බීබිසී සිංහල බ්ලොග් අඩවියේ පළවූ ඒ විශේෂාංගයට ඇතුළත් වුණා. ඇය දැන් ළමා කෘති විස්සක් ලියා ඇති බවත් එහි සඳහන් වුණා.
අවසාන වශයෙන් කිවයුතු දෙයක් තියෙනවා. මා මේ ලේඛිකාව ඇගේ නිර්මාණ තුළින් මිස කිසිදාක මට ඇය හමුවී නැහැ. ළමා පොත් සමීක්ෂණයේ දී අපට වැදගත් වන්නේ නිර්මාණයයි. නිර්මාණ ශිල්පියා ගැන අප සොයා බලන්නේ නිර්මාණය සම්මානය සඳහා තෝරා ගත්තොත් විතරයි.
අප මේ සටහන තබන්නේ අගෙන් ළමා සාහිත්‍යයට මෙතෙක් වූ සේවයට උපහාරයක් වශයෙනුයි. ඇගෙන් තවදුරටත් විශාල සේවයක් ලැබෙන බව අපට විශ්වාස කළ හැකියි. ඇගේ ඉදිරි ගමනට සුබ පැතීම මේ සටහනෙහි ප්‍රධාන අරමුණයි.
මගේ දෙවැනි අරමුණ රාජ්‍ය සාහිත්‍ය උපදේශ මණ්ඩලයේ සහෘදයන් කෙතරම් අවංකව, කැපවීමෙන් හා සද්භාවයෙන් යුතුව ඒ කාර්යයේ යෙදෙන බව පෙන්වා දීමටයි. එවැනි සහෘදයන් පිරිසක් හා එක්ව වැඩ කරන්නට ලැබීම මා ලද භාග්‍යයක්. ඔවුන්ට මගේ ගෞරව ප්‍රණාමය දක්වන්නට මෙය මා අවස්ථාවක් කර ගන්නවා.
- පර්සි ජයමාන්න
0 Comments