HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව මවිත කරන නිවුන්නු! ශ්‍රී ලංකාවේ නිවුන්නු 2020 දී ලෝක වාර්තාවකට අර අඳිති!

පසුගිදා කොළඹදී පැවැත්වුණු උත්සවයක ආරම්භයේ දී ඇස් ඇදහිය නොහැකි සිදුවීමක් එය වාර්තා කරන්නට ආ මාධ්‍යවේදීනට දැක ගතහැකි වුණා. ඒ එහි ආගමික වතාවත් කරන්නට සහභාගිවූ ආ සාමනේර හිමිවරුන් දෙදෙනාගේ දර්ශනයයි. ඇරපු අතක් නෑ එක නමක් අනෙක් නමගෙන් වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි කට හඬත් එක වගෙයි. ඒත් ඒ දර්ශනය ඊට සහභාගි වූ සෙසු ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් වුණේ නෑ. ඊට හේතුව එහි සහභාගි වූ සියලුම දෙනා නිවුන්නු වීමයි. මාධ්‍යවේදීන් දුටු අපූර්වත්වය මුළු වැඩ සටහන පුරාම පැවතුණා. පිළිගැනීමේ පටන් එහි සියලුම කටයුතු, නිවේදනය, සංගීතය මෙහෙයවීම, නර්තනාංග ආදි හැම කටයුත්තක් ම කළේ නිවුන්නු. රැස්වීම් ශාලාව පිරී ඉතිරී ගොස් තිබුණේත් නිවුන්නුන්ගෙන්.

පූජ්‍ය පදියපැලැල්ලේ විපුලසාර හා සුුගතසාර හිමිවරුන්

උත්සවයට වැඩම කර සිටි පදියපැලැල්ලේ විපුලසාර හා සුුගතසාර යන තරුණ හිමිවරුන් එහිදී සඳහන් කළේ ඔවුන්ගේ මවට පවා ඔවුන්ව වෙන් කර හඳුනා ගත නොහැකි බවයි. ඔවුන් එක විට පැවිදි බිමට ඇතුළත්වී තිබෙන්නේ වයස අවුරුදු දහතුනේදියි. නිවුන් භික්ෂූන්වහන්සේලා ඉතා දුර්ලභ දැක්මක් නිසා තමන් වහන්සේලා එකම වැඩසටහනකදී දැකීමට බොහෝ දායකයන් කැමති බව එහිදී උන්වහන්සේලා මාධ්‍යවේදීන්ට පවසා තියෙනවා.

මෙම අපූරු උත්සවය සංවිධානය කර තිබුණේත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු විසින්. ඒ උපුලී ගමගේ හා චමලී ගමගේ යන දෙදෙනායි. ඔවුන් දෙදෙනාම වෘත්තීය රංගන ශිල්පිනියන්. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම් ඔස්සේ ජනප්‍රියත්වයක් ලබා ගත් අයයි.

උපුලී ගමගේ හා චමලී ගමගේ

ඔවුන් විසින් ශ්‍රී ලංකා නිවුන්නු නමින් 1993 අගෝස්තු 23 වැනිදා ආරම්භ කරන ලද මෙම සංවිධානය ජාති ආගම් බේද ආදියෙන් තොරව ශ්‍රී ලංකාවේ නිවුන් දරුවන්ගේ සුබසාධනයට කැප වූ ආයතනයක්. දැනට ශ්‍රී ලංකාවේ සෑම පළාතකින් ම ශ්‍රී ලාංකික නිවුන්නුන් 28,000ක් පමණ මෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි ඔවුන් පවසනවා.
ජයරත්න ජයන්ත හා පූරක සෙනෙවිරත්න මේජර් ජනරාල්වරුන්

මෙම උත්සවයට විවිධ පළාත්වලින් පමණක් නොව විවිධ ක්ෂේත්‍රවලින් ද නිවුන්නු පැමිණ සිටියා. මේ සඳහා රත්නපුරයේ සිට පැමිණ සිටි නිවුන් හෙදියන් දෙදෙනා වූ කසුනි රවීනා සහ හිරුනි වනීෂා ජයරත්න බීබීසියේ සිංහල සේවයට කියා ඇත්තේ අපූරු කතාවක්. ‘පාසලේදි විතරක් නෙවෙයි දැන් රෝහලේදිත් අපි දෙන්න එක වගේ නිසා පැටලිලි වෙනවා. ඒ නිසා දැන් අපි වැඩ කරන්නේ වාට්ටු දෙකක’ කියායි.

එකම දිනයේ හමුදාවට බැඳී එකම පාඨමාලාව හදාරා එකම දිනයේ මේජර් ජනරාල් නිලයෙන් පිදුම් ලත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයන්ත හා පූරක සෙනෙවිරත්න මේජර් ජනරාල්වරුන් දෙදෙනාද මෙම උත්සවය අලංකාරයක් එක්කළා.

උපුලී හා චමලී දෙදෙනා මෙම නිවුන් සමුළුව පවත්වා ඇත්තේ 2020 ජනවාරි 20 වැනි දින ඔවුන් පැවැත්වීමට අදහස් කර සිටින ශ්‍රී ලංකා නිවුන් මහ සමුළුවට අවශ්‍ය සංවිධාන කටයුතුවලට පූර්ව සූදානමක් ලෙසයි. ‘යුදගිනි නිවාලමු! ලොවට මනුෂ්‍යත්වය වපුරුවමු!’ යන තේමාව යටතේ පැවැත්වීමට සූදානම් කර ඇති මේ නිවුන් උළෙලට සිය සාමාජිකත්වය ඇතුළු ශ්‍රී ලංකාවේ නිවුන්නුන් සියලුම දෙනා එක් රැස් කොට ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගිනස් ලෝක වාර්තා කමිටු නියෝජිත පිරිසක් ද ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු යොදා තියෙනවා.

මේ විදියේ උළෙලක් 1976 සිට වසරක් පාසා අගෝස්තු මුල් සතියේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝහී නිවුන්නුන්ගේ නගරය යන අරුත් දෙන ට්වින්ස්බර්ග් නගරයේදී පැවැත්වෙනවා. ඊට ලොව පුරා නිවුන්නුන් සහභාගි වෙනවා. මෙවර එම උළෙල පැවැත්වෙන්නේ අගෝස්තු 7-9 යන තෙදින තුළයි. දැනට ලොව වැඩි ම ප්‍රමාණයක් නිවුන්නුන් සහභාගි වන උළෙල ලෙස සැලකෙන්නේ එයයි. දකුණු චීනයේ යුනාන් හී මෝජියෑන් හැනි (නිවුන් නගරය) නගරයේ වාර්ෂිකව අන්තර් ජාතික නිවුන් දරු උළෙලක් පැවැත්වෙනවා. ඒ සඳහා යොදා ගන්නේත් අගෝස්තු මාසයේ පළමු සතියේ දිනක් තමයි.

නිවුන් දරුවන් ගැන කියන කොට මතකයට එන විස්මිත නිවුන් තොරතුරු රැසක්ම තියෙනවා. අප්‍රිකාවේ බෙනින් රාජ්‍යය තමා වැඩිම නිවුන් උපත් වාර්තා කරන්නෙ. ඒ උපත් 1000කට නිවුන් දරු උපත් 27.9ක් වශයෙන්. ඊළඟට නයිජීරියාවේ ඉගෝබා ඕරා නගරයේ ලොව සෑම තැනකටම වඩා සිව්ගුණයකින් වැඩි නිවුන් දරු උපත් ගණනක් වාර්තා වෙනවා. එහි නාම පුවරුවක් පවා තියෙනවා ‘ලෑන්ඩ් ඔප් ට්වින්ස්’ කියා. ඔබ දන්නවද එහි එක නිවුන් දරු උපතක් නැති ගෙයක් නැති තරම්.

ඇමරිකාවේ උපදින දරුවන් 30කට එකක් නිවුන් දරුවන් බව සඳහන් වෙනවා. 2001දී ඇමරිකානු ජනාධිපති මැඳුරටත් නිවුන්නු දෙන්නෙක් ගියා. ඒ බාබරා හා ජෙනා බුෂ්. ඇමරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ නිවුන් දියනියන් දෙදෙනායි. ඇමරිකාවේ තවත් නිවුන් ක්‍රීඩිකාවන් දෙ‍ෙදනෙක් ඔලිම්පික් ගියා. ඒ ජොසලින් හා මොනික්, ඇමරිකන් හොකි පිල නියෝජනය කරමින්. තවත් වාර්තාවක් අභ්‍යවකාශයෙනුත් එනවා. ඒ නාසා අභ්‍යවකාශගාමීන් වූ මාක් හා ස්කොට් කෙලී දෙදෙනා ගැනයි. ඔවුන් සෝයුස් අභ්‍යවකාශ නැවතුම් පොළේ ගවේෂණ කටයුතුවලට එක් වූ ඇමරිකානු අභ්‍යවකාශගාමීන්.

මාක් හා ස්කොට් කෙලී අභ්‍යවකාශගාමීන්

නිවුන්නුන් ගැන කතාව ඈත ඉතිහාසයට දිව යනවා. බයිබලයේ එන නිවුන් දෙදෙනා තමා ඊසෝ හා ජේකොබ්. ග්‍රීක දේව කතාවල එන ආදරයේ දෙවඟන වූ ඇප්‍රොඩයිට්ගේ නිවුන් දරුවන් දෙදෙනා පෝබෝස් හා ඩීමොස් අපට අමතක කරන්න බැහැ.

රෝම නගරය පිහිටවූ රොමියුලස් හා රීමස් දෙදෙනාත්, ඒ වගේම ග්‍රීක ප්‍රවාදවල එන කැස්ටර් හා පොලැක්ස් නිවුන්නු දෙන්නාත් මතකයට එනවා. මිථුන රාශියට නැත්නම් ජෙමිනි තරු පන්තියට ඒ නම ලැබුණේ ඔවුන් නිසයි. විලියම් ෂේක්ස්පියර්ගේ ‘ට්වෙල්ත් නයිට්’ නාට්‍යයේ එන වියෝලා හා සෙබස්තියන් යන සාහිත්‍යයේ එන ප්‍රකට නිවුන් චරිත දෙකත් අමතක කරන්න බැහැ.

ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ හා මාක්

ක්‍රිකට් ක්‍රීඩාවේත් සුප්‍රකට නිවුන්නු ඉන්නවා. ඕස්ට්‍ර්ලියාවේ ස්ටීව් වෝ හා මාක් වෝ මුලින්ම මතකයට එනවා. ඊට කලින් එංගලන්තයේ එරික් හා ඇලන් බෙඩ්සර් දෙදෙනා, නවසීලන්තයේ හැමීෂ් හා ජේම්ස් මාෂල් දෙදෙනා, අතීතයේ කාන්තාවන් අතරින් ඕස්ට්‍රේලියාවේ පර්නි හා රෙනේ ෂෙවිල් දෙන්නා, මෑත යුගයේ ඇලෙක්ස් හා කේට් බ්ලැක්වෙල් යුුගලය, නවසීලන්තයේ කාන්තා ටෙස්ට් යුගලය වූ එලිසැබත් හා රොස් සිග්නල් වගේම, බටහිර කොදෙව් කාන්තා පිලේ කිෂෝනා හා කිසියා දෙන්නාත් අමතක කරන්න බැහැ. මේ සටහන අවසාන කරන්නට මා යොදා ගන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හැලම් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන සිවු නිවුන් දරුවන්ගේ පුවතක්. ඒ කෙවින් ලෝචන, ඩිලාන් මධූෂ, රයන් නිෂේධ හා බ්‍රයන් අභීත යන රණවීර ක්‍රිකට් සොයුරන්. 2006 දී ශ්‍රී ලාංකික යුවළකට සිවු නිවුන් දරු උපතක් ලද බව කියැවුණු පුවතකට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. එවැනිම ප්‍රචාරයක් ලැබේවි ඔවුන්ගේ එකම පැතුම හරිගියොත් අනාගතයේදි. ඔවුන්ගේ එකම පැතුම, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කරන්න වරම් ලබා ගැනීමයි.

කෙවින් ලෝචන, ඩිලාන් මධූෂ, රයන් නිෂේධ හා බ්‍රයන් අභීත යන රණවීර


Post a Comment

0 Comments