HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආසියානු සිනමාවේ අවසන් යුග පුරුෂයා නික්ම යයි!

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 2018 අපේ‍්‍රල් 29 දා අවුරුදු 99කුත් දවස් 24ක් ආයු වළඳා අප අතරින් වියෝ විය. 1956 ‘රේඛාවෙ’න් පටන් ගෙන ‘වෑකන්ද වලව්ව’ දක්වා විත‍්‍රපට 20ක් සිංහල සිනමාවට එක් කළේය. ලෙස්ටර් අයත් වූයේ ද ආසියානු සිනමාව ලෝකයට විවර කළ යුග පුරුෂයන් තිදෙනා අතරටය. ජපානයේ අකිරා කුරෝසව හා ඉන්දියාවේ සත්‍යජිත් රායි අනෙක් දෙදෙනාය. ඔවුන් දෙදෙනා ලෝකයෙන් සමුගෙන බොහෝ කල් ය. ආසියාවේ අවසාන යුග පුරුෂයා ලෙස පමණක් නොව ඔහු ලෝකයේ වයෝවෘද්ධතම සිනමාවේදියා ලෙස ඔහු කිත්ගොස් පතුරමින් අප අතර පසුගිය 29 වැනිදා වනතෙක් ජීවත් විය. වසර 12කට පෙර ලියූ මේ සටහන යළි පළ කරන්නේ ‘රේඛාව’ තනමින් ඔහු එදා තැබූ අභීත පියවර හා ඉන් ඇරඹුණු සිංහල සිනමා විප්ලවය සිහිපත් කරන්නටය.
මේ සමග ශෝචනීය සටහනක් තබන්නට ද අපට සිදුවී තිබේ. ඒ ලෙස්ටර්ගේ අභාවය ගැන නොවේ. එකුන් සියයක් ආයු ලැබ (උපරිම ආයුෂ ලැබ) අප අතරින් වියෝ වූ ඔහු ගැන අපට දුකක් නැත. අපට දුක අපේ සමාජය ගැනය. එදා ලෙස්ටර් නවදිල්ලියේ පැවති අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙස ‘රණ මයුර’ සම්මානය රැුගෙන ගුවන්තොටුපොළින් මෙරටට එනු දැක ගැනීමට එකල රූපවාහිනී නොතිබුණු නිසා අපට ඒ වාසනාව හිමි නොවීය. තරුණ පුවත්පත් කලාවේදියකු ලෙස මා එදා රාති‍්‍රයේ ඇන්ටන් වික‍්‍රමසිංහ මහතාගේ නිවසට ගියේ සාදයට සහභාගි වීමටත් වඩා ‘රණමයුර’ සම්මානය සියැසින් දැක ගැනීමේ ආශාවෙනි. ගිය විගස ඒ ගැන විපරම් කළ විට දැන ගන්නට ලැබුණේ ලෙස්ටර් එන විට අරන් එන බවය. එහෙත් ලෙස්ටර් ආ පසු එය ඔහු අතේ ද නොවී ය. ලෙස්ටර් සිතා සිට ඇත්තේ එය ඇන්ටන් වික‍්‍රමසිංහ ගුවන්තොටුපළේ ඡුායාරූප ගනිද්දී අතට ගත් නිසා ඔහු ගෙන එන්නට ඇති බවය. එය ගුවන්තොටුපොළේ දී කවුරුන් හේා සොරකම් කර ඇති බව අපට පසක් වූයේ ඒ මොහොතෙහිය. අන්තිමේදී අපට ඉතිරි වූයේ එදා ගුවන්තොටුපොළේ දී ගත් ඡුායාරූප පමණය.

ඒ තත්වය යළිත් වරක් සිදුවී තිබේ. ඒ එදා ලෙස්ටර් අවසන් ගමන් ගියදා නිවසේ අවසන් මිනිත්තු කීපය තුළය. ලෙස්ටර් යළිත් වරක් නවදිල්ලියේ පැවති අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී ලෝක සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් ‘යාවජීව රණමයුර සම්මානය’ හිමි කර ගත්තේ ය. එය ලෙස්ටර්ගේ දේහය අසල ඉහ ඉද්දරින් තබා තිබෙනු අපි දුටුවෙමු. එහෙත් ලෙස්ටර්ගේ දේහය ඔසවාගෙන පිරිස එළියට එන අතර කවුරුන්දෝ උස්සා ඇති බව ඊළඟ මොහොතේ දැන ගන්නට ලැබිණ. දෙවැනි වරටත් ඒ අවමානය සිදු කර ඇත. කවුරුන් හෝ එසේ අවමන් කළේ ලෙස්ටර්ට නොවේ; අපේ මුළු මහත් ජාතියට ම ය.

රේඛාව සහ සිංහල සිනමාවට ලෙස්ටර්ගේ දායකත්වය

මනරම් උදෑසනකි. සොබා සොඳුරු අසිරියෙන් අනූන කඳුකර ප‍්‍රදේශයක දුර රූපයකින් චිත‍්‍රපටය ඇරඹේ. පසුබිමින් නාමාවලිය දැක්වේ.

බොරුකකුල්කරුවකුගේ පිටුපසින් යන කොලූ කෙලි බුරුත්තකි. ඔහුගේ උරහිසෙහි රිලා පැටියෙකි. විරිදුවක් කියමින් ඔහු ගමන් ගනී. සමූහ ගායනයෙන් ළමෝ එක් වෙති.

අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්දණීය
කුලූනු පිළිම බිතු සිතුවම් නන් සිතිවිලි රන්ජනීය

පස් පියුමින් පිරුණු පොකුණු රේණු හැළී රන්පාටය
ඉන් නැහැවී නිල් ගැන්වෙන ගොයම් තලා පින්පාටය

වසන්තයේ හිමි මල් වන බිඟු ගී මිහිරෙන් පිරෙන්නෙ
මහියංගන කැළේ සැදෙන මී වදවල පැණි පිරෙන්නෙ

මින්නේරිය අබය වාපි තෝපා ගිරිතලේ සිරිය
විසිතුරු ඇති ගී ගයන්න සරසවි දේවිටත් බැරිය

නංගා නිල්වලා මාල හංගා රතු කැට දිය යට
ගංගා ලිය ගලා බසියි ගිරි පෙළ කරවා පිය ගැට

පනාමුරේ කුංචනාදෙ රැව් පිළිරැව් දෙයි දෙවේලෙ
තාලෙට ගොවි බිමට බසියි කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ

පෝය හඳෙහි පිල් විහිදා මොනර පිලත් නටන තාලෙ
මල් දේදුනු රටක් කරයි ?සි හඬන රුහුණු යාලෙ

සිහින් සඳේ ඉඟලා ගත් පළිඟු කුමාරියක රුවට
දියලූම දිය ඇලි දේවිය සිහින ලොවක් කරයි අවට

වෙසක් මහේ කැකුළු බුරුතු හිනැහී ඇස් නටවන විට
ගසක් නෑර හැම ලැහැබම පෙරළෙයි මනමාලියකට

මාල ගිරා රංචු සැදී ජයමංගල ගී ගයන්නෙ
කජු නාඹර නරඹන විට ඒ ගැයීම නතර වන්නෙ

සීගිරි ගිර සරසන කැටපත් පවුරට එබී බලන
දෙනෙතට හමු වන්නෙ ලොවකි සිඟිති කලා පිළිබිඹු වන

පේන මාන නිල් හැඩවන් ඌව තලා සුන්දරීය
මිණි මුතු මතැ වැඩෙන කුමරි ලක් මව හරි පින්බරීය

විරුදු ගීතය අවසන් වෙනවාත් සමඟම විඩාවට පත් බොරුකකුල්කාරයා ගල්තලාවක් මත හිඳගෙන විඩා නිවයි. ළමයි ඔහුට සමීපව වට වෙමින් රිළවාගේ නැටුම් බැලීමේ ආසාවෙන් ඇවිටිලි කරති.

බොරුකකුල්කාරයා: කොහේද මේ ගොල්ලොත් එක්ක ගිහිල්ලා ගමනක් යන්නයි. මොන සෙල්ලංද ළමයිනෙ, මටත් මේ මහන්සියෙ බැරුව ඉඳ ගත්තෙ.

ළමයින් අතර සිටි සේන හා අනුලා ඔහුට බැගෑපත් වෙති.

බොරුකකුල්කාරයා: ඔන්න ආයෙත් කරදර කරන්න හිටියා.

ළමයි තව තවත් ඇවිටිලි කරති.

බොරුකකුල්කාරයා: කිරෝ උඹටත් මහන්සි නේද බොල?

රිළවාද ස්වාමියාගෙ මහන්සිය දැක ඊට ප‍්‍රතිචාර දක්වයි.

බොරුකකුල්කාරයා: ඒක නෙවෙයි, සෙල්ලං පෙන්නන්න ඉස්සෙල්ලා උඹලා ගාව තියෙන සල්ලි පෙන්නපල්ලා කෝ ... ආ.....

ඔහු සමච්චල් සිනාවක් පායි.

අනුලා: මෙන්න මා ළඟ තියෙනවා...

අනුලා අත දිගු කර කාසියක් පෙන්වයි.

බොරුකකුල්කාරයා: කෝ බලන්න. අපෝ සතයක්නෙ.

ඔහු මුහුණ හකුලා ගෙන හිස කසයි.

බොරුකකුල්කාරයා: මොනව කරන්නද? ඉතිං එහෙනං ඔය ඉස්සරහිං ඉන්න ළමයි ඉඳ ගනිල්ලා.

ඔහු කෝටුවක් අතට ගෙන රිළවාට අණක් දෙයි.

බොරුකකුල්කාරයා: ආ... කිරෝ ගහපං පිනුමක්... අන්න හරි. තව එකක්.

ළමෝ අප්පුඩි ගසමින් පී‍්‍රතියෙන් බලා සිටිති.

‘රේඛාව’ චිත‍්‍රපටය ඇරඹෙන්නේ එසේ ය. ලෙස්ටර් ‘රේඛාව’ චිත‍්‍රපටයට ලියූ තිර නාටකයත් ඇරඹෙන්නේ එසේය. ඒ ගීතය එතෙක් අපේ චිත‍්‍රපටවල ආ ගීතවලට වෙනස් ය. වදන් නැවුම් ය; සරල ය; සුගම ය. රචකයා ගරු මර්සලීන් ජයකොඩි පියතුමා ය. එය එකල සම්ප‍්‍රදායව පැවති හින්දි හෝ දෙමළ හෝ ගී අනුකරණයෙන් තැනූවක් නොවීය. තනුව සුනිල් ශාන්තයන්ගේ ය. එය කැමරාවට නැඟූ පරිසරය අපේ ම රටේ ම සුන්දරත්වය කියාපාන්නකි.

ඒ ජවනිකාව අවසානයේ ඒ ළමයින් පී‍්‍රති ප‍්‍රමෝදයට පත් වූවා සේ ම, ඒ වයසේ ම කුඩා ළමයකු වූ මමත් ‘රේඛාව’ නරඹා ඉමහත් ප‍්‍රමෝදයට පත්වීමි. මම එදා, 1956 දෙසැම්බර් 28 වැනිදා රීගල් සිනමාහලෙන් එළියට ආවේ එතෙක් කල් නොදුටු අත්දැකීමක් විඳ ගත්තා යැයි යන හැඟීමෙන් යුතුවය. එදා ඉන්දියානු චිත‍්‍රපටවලින් සිනමාව හඳුනාගත් අපට, අපේ මුල් ම සිංහල චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’, හා ඒ සමගම ආ ‘අශෝකමාලා’ චිත‍්‍රපටයත් පෙනුනේ තවත් ඉන්දියානු සිනමාවේ ම කොටසක් ලෙසයි. චිත‍්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩ ‘කඩවුණු පොරොන්දුවේ’ ආගමනය දුටුවේ ‘ඉන්දියානු සිනමාවට තවත් බසක් එකතු වෙයි!’ යනුවෙනි. ඒ කියමනට එදා අපට ද එකඟ වීමට සිදු විය. ඒ තත්වය මුළුමනින් ම වෙනස් වූයේ ලෙස්ටර්ගේ ‘රේඛාව’ චිත‍්‍රපටයෙනි.

ඊට පෙර අපේ ම අය ඉන්දියාවට ගොස් එහි දකුණේ චිත‍්‍රාගාරවල ඉන්දියානු ශිල්පීන්ගේ සහය ලබා ගෙන තැනූ සිංහල චිත‍්‍රපටවලට ඉන්දියානු ආභාසය උරුම වීම නොවැළක්විය හැකි විය. එසේ ම ඒ නිසා ම ඉන්දියානු චිත‍්‍රාගාර නොමැතිව සිංහල චිත‍්‍රපටයක් තැනිය නොහැකියැයි මතයක් පවා පැතිර යන්නට එය හේතුවක් විය. ඒ කාලයේ බොහෝ විට මුලූ චිත‍්‍රපටය ම නිපදවනු ලැබුවේ ඉන්දියාවේ චිත‍්‍රාගාරයක් තුළ ය. ඉඳහිට කැමරාවක් හා ඉන්දියානු ශිල්පීන් කීපදෙනෙකු ගෙනවුත් ජවනිකාවක් දෙකක්, විශේෂයෙන් ම ගීත සඳහා පසුබිම් රූප කීපයක් ගනු ලැබීය. අපේ පරිසරය චිත‍්‍රපටයට රිංගවනු ලැබූයේ එසේ ය. ඒ සඳහා පූර්ණ දැනුමක් ඇති ශිල්පීන් අප අතර නොවූ නිසා එවන් අවස්ථාවල කටයුතු කිරීමට පිරිස් දකුණු ඉන්දියාවෙන් ගෙන එනු ලැබීය.

කඩවුණු පොරොන්දුව තනනු පිණිස ඉන්දියාවට ගොස් ලැබූ අත්දැකීම් මා සමග පවසමින් එඞී ජයමාන්න කී කතාවක් මෙහිදී මට සිහිපත් වෙයි. ”අපි අපේ මිනර්වා නාට්‍ය කණ්ඩායමත් අරන් මදුරාසියට ගියා. එහි චිත‍්‍රාගාරයේ වේදිකාවකදි අපි ගෙන ගිය පසුතල එහෙම දාලා අපේ නාට්‍යය පෙන්නුවා. ඒ අය කැමරා එහෙම හයි කරලා ඒවා අස්සෙනුත් බැලූව හින්දා අපි හිතුව නාට්‍යය චිත‍්‍රපටයට ගන්නඩ ඇති කියලා. අපි පහුවදා බඩුමුට්ටු අස් කර ගෙන එන ලෑස්ති වුණේ. එතකොටයි ඒ අය කීවේ ‘අපි ඔයාලගෙ නාට්‍යය බැලූව විතරයි, දැන් ඕක චිත‍්‍රපට ගත කරන්න ඕනැ කොටසින් කොටස. ඔය ගොල්ලන්ට මාස කීපයක් මෙහෙ නවතින්න වෙනවා.’ කියලා. එතකොටයි අපට ඒකේ බැ?රුම්කම තේරුම් ගියේ.” චිත‍්‍රපට තනන්න මුලින් ම ඉන්දියාවට ගිය කාලේ අපේ අයගේ සිනමා දැනුම පිළිබඳ අවබෝධ කර ගැනීමට ඒ ප‍්‍රකාශය ම ප‍්‍රමාණවත් ය.

සිංහල චිත‍්‍රපටයක් තනන්නට ආරම්භ වූ දා පටන් ම ඊට එල්ල වූ බාධා රැුසකි. මුල් ම සිංහල චිත‍්‍රපටය ලෙස ඉතිහාසකරුවන් සලකන ‘රාජකීය වික‍්‍රමය’ ඉන්දියාවේ ප‍්‍රදර්ශන කීපයක් පැවැත්වුවත් මෙහි ප‍්‍රදර්ශනයට ගෙන ඒමට කලින් කිසියම් පිරිසක් විසින් පුළුස්සා දමනු ලැබීය. ඒ නිසා කිසිදාක එය මෙරට ප‍්‍රදර්ශනය නොකෙරිණ. තවත් ප‍්‍රයත්නයන් කීපයක් ම අතර මග ඇණ හිටියේ ය.

චිත‍්‍රපට මෙහි ම තනන්නට උත්සුක වූ පිරිස අතර කැපී පෙනුනේ සිරිසේන විමලවීර ය. නව ජීවන නමින් චිත‍්‍රාගාරයක් ආරම්භ කොට ඉන්දියානු ශිල්පීන් මෙහි ගෙන්වා ගෙන අපේ අය පුහුණු කර සියයට සීයක් දේශීය චිත‍්‍රපටයක් නිපදවන්නට ඔහු අපේක්ෂා කළේය. එහෙත් ඒ අරමුණ ඉටු කර ගන්නට ඔහු නොහැකි වූයේ අරමුදල් නැතිකම නිසාය. එය සිදු වූයේ චිත‍්‍රපට ප‍්‍රදර්ශක සමාගම්වල බලපෑම් නිසාය. නිදසුනක් වශයෙන් වික්ටර් හියුගෝගේ ‘ල මිසරබ්ල’ නවකතාව ඇසුරෙන් විමලවීර ‘සිරකරුවා’ නමින් චිත‍්‍රපටයක් තනන බව ආරංචි වූ සැණෙන් මෙරට එක් ප‍්‍රදර්ශක සමාගමක් නළුනිළියන් හා නිෂ්පාදක කණ්ඩායමක් වහා ඉන්දියාවට යවා ඒ නවකතාව පදනම් කර ගෙන තැනූ ජනපි‍්‍රය දෙමළ චිත‍්‍රපටයක සිංහල අනුකරණයක් ‘දුප්පතාගේ දුක’ නමින් කරවා ගෙන්වා ගෙන විමලවීරගේ ‘සිරකරුවා’ චිත‍්‍රපටයට කලින් සිය ප‍්‍රදර්ශන ජාලය ඔස්සේ තිරගත කර වීය. එයින් විමලවීරට සිය චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට දැමීම පමා කිරීමට සිදු වූවා පමණක් නොව තිරයට ආපසුවත් එය දින කීපයක් තුළ ම සිනමාහල්වලින් ගැලවී ගියේය.

ඒ කාලේ මෙරට ප‍්‍රදර්ශනය සඳහා දකුණු ඉන්දියානු චිත‍්‍රපටවලට විශාල ඉල්ලූමක් පැවතුණේ ය. චිත‍්‍රපට ප‍්‍රදර්ශන ජාලයන් පවා බිහි වී තිබුණේ ඒ අනුව ය. සිංහල චිත‍්‍රපටයක් සඳහා ඉඩ හසරක් පාදා ගැනීමට සිදු වූයේ ඒ චිත‍්‍රපට ශාලාවල ය. එය ද සිංහල සිනමාවේ වර්ධනයට ලොකු බාධාවක් විය. ‘රේඛාව’ තිරයට ආ අවස්ථාවේදී ඊට සමාන්තරව අනෙක් සිනමාහල්වල දකුණු ඉන්දියානු සිනමාවේ පතාක යෝධයා වූ එම්. ජී. රාමචන්ද්‍රන් රඟපෑ අලූත් ම චිත‍්‍රපට දෙකක් ම එකවිට ප‍්‍රදර්ශනය සඳහා මුදා හැරියේ ද ‘රේඛාව’ට අභියෝගයක් වශයෙනි. එය ‘රේඛාව’ට පේ‍්‍රක්ෂකයන් අද්දවා ගැනීමට පැවති ලොකු ම බාධාවක් විය. ‘රේඛාව’ ප‍්‍රදර්ශනය කළ ප‍්‍රධාන සිනමා හල වූ රීගල් සිනමා හල වෙන්වී තිබුණේ ඉංගිරිසි චිත‍්‍රපට සඳහා ය. සාමාන්‍යයෙන් එහි එන්නට පුරුදු ව සිටි පේ‍්‍රක්ෂක පිරිසට ‘රේඛාව’ නුහුරු අත්දැකීමක් විය. සමහර විට ලෙස්ටර් ‘රේඛාවේ’ අවසාන කොටස තනන්නට සිලෝන් තියටර්ස් සමාගමෙන් ණයක් ලබා ගෙන නොතිබුණා නම් එය පෙන්වන්නට රීගල් සිනමා හල නොලැබෙන්නටත් ඉඩ තිබුණි.

මේ කාලයේ සිංහල චිත‍්‍රපට නිෂ්පාදනයට වැඩියෙන් අත ගසා සිටියේ ද දකුණු ඉන්දියානු චිත‍්‍රපට මෙහි ප‍්‍රදර්ශනය කළ සමාගම් ය. අනෙක් අතට ඔවුන්ගේ සහය නොලබා කරන නිෂ්පාදනවලට ප‍්‍රදර්ශන ඉඩකඩ ලබා ගැනීම ද ප‍්‍රශ්නයක් විය. ‘රේඛාව’ තිරයට එන විට වසර නවයක කාලයක් තුළ ප‍්‍රදර්ශනය කර තිබුණේ සිංහල චිත‍්‍රපට 38ක් පමණ ය. එයින් සිංහල අධ්‍යක්ෂවරුන් සිටියේ චිත‍්‍රපට 18කට පමණ ය. (සංඛ්‍යාත්මකව ගත් කල සිංහල ජාතික අධ්‍යක්වරුන් සිටියේ පස් දෙනෙකි.) ඔවුන් ද ඒවා අධ්‍යක්ෂණය කළේ ඉන්දියානු ආරටය. ඒ හැරුනු විට අනෙක් සිංහල චිත‍්‍රපට සියල්ලෙහි ම අධ්‍යක්ෂවරුන් වූයේ විජාතිකයන් ය. ඔවුන්ට සිංහලකම, සංස්කෘතිය, දේශීයත්වය ගැන අවබෝධයක් නොවීය. චිත‍්‍රපට මාධ්‍යය ගැන ද ඔවුන් තුළ හරි අවබෝධයක් තිබුණේ ද නැත.

සිංහල අධ්‍යක්ෂවරයකු මෙහෙයවූ 19 වැනි චිත‍්‍රපටය ලෙස ‘රේඛාව’ රැගෙන ‘ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආගමනය සිදු වූයේ මෙවන් අභියෝගාත්මක තත්වයන් යටතේය. ඔහුගේ මේ අවතීර්ණ වීම සුවිශේෂත්වයක් වූයේ සිනමා භාෂාව අවියක් කර ගනිමින් සිංහල සිනමාවට පිවිසි ප‍්‍රථමයා වීම නිසා ය. ‘රේඛාවෙ’න් ඔහු සිංහල සිනමාව වෙනස්කම් රැසකට යොමු කළේය. පළමු කොට චිත‍්‍රාගාරයෙන් එළිමහනට පිවිසියේය. සිංහලකම හා දේශීයත්වය රැක ගැනීම පිණිස එය හඳුනන පිරිස් එක් රැස්කර ගත්තේය. එතෙක් සිනමා තිරයෙහි දක්නට ලැබුණු ගොරහැඩි ‘මේකප් ක‍්‍රමය’ (අංග රචනය) හෙවත් වෙස් ගැන්වීම් වෙනස් කළේය. ඇඳුම් පැලඳුම් වෙනස් කළේය. රූප රාමු හා කැමරා කෝණ භාවිතය අදහස් ප‍්‍රකාශයට උචිත ලෙස හැසිරවීය එසේ ම සංස්කරණය අර්ථවත් එකක් කළේය. රංගනයෙහි හා දෙබස් උච්චාරණයෙහි ලා එතෙක් පැවති වේදිකා ස්වරූපය ඉවත් කොට බටහිර සිනමාවේ එන රංගන රීතියට නැඹුරු කළේය.

මේ ලිපිය ආරම්භයේ දී ‘රේඛාව’ චිත‍්‍රපටයේ තිර රචනය මවිසින් දීර්ඝ වශයෙන් උපුටා දක්වන්නට යෙදුණු ‘රේඛාව’ තිර රචනය (එය ඒ. ඞී. රන්ජිත් කුමාරගේ ‘අඩ සියවසක රිදී රේඛාව’ නම් ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබේ.) විමසා බලන අයකුට එය කෙතරම් විධිමත් කර ඇද්දැයි වටහා ගත හැකිය. රූපමය භාෂාවකින් ලියූ ඒ තිර රචනය ඊට පෙර සිංහල සිනමාවේ නොවීවිරූ දෙයකි. ආරම්භයේ සිට ම සිංහල චිත‍්‍රපට සඳහා තිබූයේ ජවනිකා වෙන් කොට දෙබස් ඇතුළත් වේදිකා නාට්‍යයකට සමාන පිටපතකි. මුහුණක බැල්මෙහි ස්වරූපය, ඇස්වලින් කෙරෙන ප‍්‍රකාශනය, රූපයෙහි ස්වරූපය ආදිය එහි තිර රචනයට ඇතුළත් වී තිබුණි. ඒ අයුරින් චිත‍්‍රපටයක් තැනීමට පළමු ඒ සඳහා තිර නාටකයක් ලිවීමේ අවශ්‍යතාව මුල්වරට සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ ලෙස්ටර්ය. සිංහල බැරි නිසා ඔහු ඒ තිර නාටකය ලීවේ ඉංගිරිසියෙනි. සිංහල දෙබස් ලියන්නට ඔහු එවකට ගුවන්විදුලියේ පිටපත් රචකයකු වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සම්බන්ධ කර ගත්තේය. (ඔහු ද පසුව ජනපි‍්‍රය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු විය.)

ලෙස්ටර්, විලී බ්ලේක්, ටයිටස් යන මිතුරන් තිදෙනා රජයේ චිත‍්‍රපට අංශයෙන් එළියට බැස්සේ ලෙස්ටර් එක් අරමුණක් වෙනුවෙනි. ඒ අරමුණ ලෙස්ටර් පහදන්නේ මෙසේය: ”ඇත්ත වශයෙන් ම ‘රේඛාව’ චිත‍්‍රපටය නිර්මාණය සඳහා අත ගැසූ අප තිදෙනා (විලී බ්ලේක්, ටයිටස් හා මම) ගේ එක ම බලාපොරොත්තු වුණේ හොඳ චිත‍්‍රපටයක් තැනීමයි. අපට මේ චිත‍්‍රපටය ලංකාවෙන් බැහැර විදේශයකට යවන්න කිිසිදු අදහසක් උවමනාවක් තිබුණේ නැහැ. සම්මාන දිනා ගැනීම වගේ අදහසක් වූයේ ද නැහැ. අපට උවමනා වූයේ සිංහල චිත‍්‍රපටයක් යැයි කටපුරා කිව හැකි, චිත‍්‍රපට මාධ්‍යය භාවිතයෙන්, හොඳ චිත‍්‍රපටයක් තනන්නයි.” ‘රේඛාව’ තැනීමෙන් ඔහු ඒ අරමුණ මුදුන් පත් කර ගත්තේය. එහෙත් ඒ සඳහා ඒ කාලේ පේ‍්‍රක්ෂකයන් වශයෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම හරිහැටි ඉටු වූයේ නැත යනු මගේ අදහස ය. එහෙත් අද අපි ඔහුට සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය යුග පුරුෂයා ලෙස ගෞරව කරමු. ලෝකයාගෙන් ඔහු ලබන ගෞරව භූක්ති විඳිමු. ඒ තත්වය ඔහු ලබා ගත්තේ, අප රටට ලබා දුන්නේ අපේ ම බාධා කිරීම් මධ්‍යයේ ය. ඒ අප‍්‍රමාණ කැප කිරීම් හා වෙහෙස කර තත්වයන් පසුකරමිනි. එදා ඔහු ජයගත් අභියෝග අද නව පරපුරට දැනුම වෙයි.

ඔහුගේ ඒ කැප කිරීම් ආරම්භ වූයේ එරිෆ්ලෙක්ස් කැමරාවත් අනිකුත් ආම්පන්නත් ෆියට් ස්ටේෂන් වැගනයක පටවා ගෙන, කට්ට අව්වේ වේළෙමින් දර්ශන බැලීමට යාමෙනි. මේ තරුණ මිතුරන් තිදෙනා කරන්නේ ‘මේ ලෝකයේ සිහි බුද්ධිය ඇති කෙනකු නොකරන කි‍්‍රයාවක්’ ලෙස චිත‍්‍රපට කර්මාන්ත සම්බන්ධ ඇතැම්හු එදා අවඥාවෙන් සිනාසුණහ.

”මොකට ද ඔච්චර නැහීගෙන අව්වේ පිච්චෙන්නෙ. එළිමහන් දර්ශන ටික මගේ නවජීවන චිත‍්‍රාගාරයේ මවලා දෙන්නම්කෝ, කලා අධ්‍යක්ෂට කියලා.” චිත‍්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර පවා දිනක් ලෙස්ටර් හමු වූ විටෙක කීවේය.

”නෑ මාස්ටර්, අපි චිත‍්‍රාගාරයෙන් සම්පූර්ණ ම ඈත්වෙලයි මේ චිත‍්‍රපටය කරන්නෙ.” ලෙස්ටර් පිළිතුරු දුන්නේ ය.

”හොඳයි, හොඳයි, කරල බලනවකෝ. මම තමුසෙලාට එක පොරොන්දුවක් දෙන්නම්. මගේ චිත‍්‍රාගාරයෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම උදව්වක් උපකාරයක් දෙන්නම්. මමත් කලාත්මක වැඩවලට කැමතියි.” විමලවීර මාස්ටර් ලෙස්ටර්ට දිරි දෙමින් කීවේය.

සැබෑ කුඹුරක වී කරල්වලට වඩා චිත‍්‍රාගාරයක පසුතලයක චිත‍්‍ර ශිල්පියකු විසින් අඳින ලද කුඹුරක වී කරල් වඩා ප‍්‍රබලව කැමරා ගත කළ හැකි බවයි, එදා සිරිසේන විමලවීරගේ ඒ කියමනින් සනාථ වූයේ. එසේ ම ඒවා සැබෑ වී කරල් සේ පිළිගැනීමටත් එකල සිංහල චිත‍්‍රපට පේ‍්‍රක්ෂකයා සැදී පැහැදී සිටි බවත් ඉන් ගම්‍ය වෙයි.

අනෙක් සියල්ල මෙහි ඇති පහසුකම්වලින් කර ගත හැකි වුවත් පටිගත කිරීම කළ හැකි නොවීය. ඒ නිසා ටේප් රැකෝඩරය සමඟ ඉන්දියාවෙන් පටිගත කිරීමේ ප‍්‍රවීණයකු වූ එන්. පී. ඇස්. මානි හා මයික්‍රෝෆෝනය ඇල්ලීමට තවත් කාර්මික ශිල්පියකු ද ගෙන්වා ගැනමට ඔවුනට සිදු විය. රේඛාවේ සියලූ ම දර්ශන කැමරා ගත කළේ එළිමහනේය. ඒ නිසා කැමරාවෙන් රූප ගත කරන විට ම ටේප් රැකෝඩරයත් එකවර කි‍්‍රයාත්මක වීමෙන් ඒ ඒ ශබ්ද එවේලේ ම පටිගත කිරීමට උත්සාහ කර ඇත. එහෙත් වෙනත් බාහිර ශබ්ද නිසා එය කෙසේවත් පටිගත කර ගැනීමට නොහැකි විය. අනික් ශබ්ද කෙසේ වෙතත් කාක්කන්ගේ හඬ ඔවුනට ඉමහත් කරදරයක් විය. මේ නිසා සෑම දර්ශනයක් ම රූගත කරන විට කපුටන් එලවීමට රතිඤ්ඤා පිපිරවීමට ඔවුනට සිදු විය. රතිඤ්ඤාවලට දැරීමට සිදු වූ රුපියල් 400ක් පමණ වූ මුදල නිෂ්පාදන සමාගමේ විගණකවරයා විසින් නිෂ්පාදන කළමනාකරුගෙන් විමසීමක් පවා කර ඇත.

එතෙක් සිනමාවේ නොකළ අමුතු අමුතු දැ කරන්නට ඔවුනට සිදු විය. රේඛාවේ එන කුමතේරිස් මුදලාලිගේ පුතාගේ අවමඟුල කැමරා ගත කර ඇත්තේ ඒ සඳහා විශේෂයෙන් තැනූ අට්ටාලයක සිටය. අලූත් ක‍්‍රම අත්හදා බැලීම තුළින් විලී බ්ලේක් හා ටයිටස් තොවත්ත කළ හාස්කම් සුළු පටු නොවන ලෙස්ටර් පවසයි.

රේඛාවේ සියයට අනූවක් වැඩ අවසන් ව තිබිය දී වැසි කාලය එනතුරු ඔවුනට අතර මග වැඩ නතර කරන්නට සිදු විය. බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට අධ්‍යක්ෂ ඬේවිඞ් ලීන් ‘බි‍්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ චිත‍්‍රපටය තනනු සඳහා ලංකාවට පැමිණියේ ඒ කාලයේ ය. ලීන්ට ඔහුගේ චිත‍්‍රපටයේ වැඩට අවශ්‍ය උපකාර ලබා දුන්නේ එවකට පැවති රජයේ මුදල් උප ඇමතිවරයා වූ සරත් විජේසිංහ මහතාය. ඔහු ‘රේඛාව’ චිත‍්‍රපටය තනන්නට ප‍්‍රතිපාදන ලබා දුන් චිත‍්‍ර ලංකා සමාගමේ ආරම්භක සභාපති වරයා ද විය. මේ නිසා ඔහු තම චිත‍්‍රපටය නිපදවන කණ්ඩායම හඳුන්වා දීමේ අරමුණු ඇති ව ඬේවිඞ් ලීන්ට තම නිවසේ සාදයක් පැවත් වීය. එය ඓතිහාසික අවස්ථාවක් විය.

එදා ඬේවිඞ් ලීන් ලෙස්ටර්ගෙන් ‘රේඛාව’ වැඩ කටයුතු කෙසේ දැයි විමසීය.

”අපේ වැඩ සේරම ඉවරයි. ඒත් අන්තිමට ම තියෙන වැස්සේ දර්ශනය ගන්න අපි වැස්ස එනතුරු බලා ඉන්නවා” ලෙස්ටර් කීවේ ය.

”චිත‍්‍රපටයක දර්ශනයකට වැස්ස එනතුරු බලා හිටියොත් මාස ගණනක් බලා ඉන්න වේවි නෙ.” ලීන් කීය.

”ඉතින් කොහොමද ඒකට විසඳුමක් හොයා ගන්නෙ.”

”මම මෙහාට එන්න ඉස්සර වෙලා කැරොල් රීඞ්ව හමු වුණා. ඔහු වසර කීපයකට පෙර ලංකාවට ආවා ඔහුගේ අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඞ්ස් චිත‍්‍රපටයේ රූ ගත කිරීම් කරන්න. එයාගේ චිත‍්‍රපටයෙ තිබුණා මහා ධාරාණිපාත වැස්සක්. ඒ දර්ශනය රූ ගත කෙළේ සීගිරියෙ. එතැනදි වැස්ස කෘති‍්‍රමව මැව්වෙ ලංකාවෙ ගිනි නිවන හමුදාව. ඒ අය හැබෑම දක්ෂයො කියල රීඞ් මට ලොකු රෙකමදාරුවක් දුන්නා. ඔබේ රටේ ගිනි නවන හමුදාවෙ අඩි 60ක් උසට වතුර ඉසින පොම්පයක් තියෙනවලූ. ඒකට කියන්නෙ ‘ලන්ඩන් ලසල්’ කියලා. ඔබ නො පමා ව ගිනි නිවන හමුදාවෙ සහය ලබා ගන්න.” ඬේවිඞ් ලීන්ගේ ඒ උපදේශය ලෙස්ටර් පිළිගත්තේය.

සියල්ල ඒ අයුරින් ම ඉටු විය. වෑවල ගමේ දර්ශනය කැලණියට මාරු කෙරිණ. කලා අධ්‍යක්ෂ ටයිටස් තොටවත්ත (එවකට ටයිටස් ද සිල්වා) කැළණියේ මනෙල් වත්තේ වෑවල ගමක් මැව්වේය. ගිනි නිවන හමුදාවේ උපකාරයෙන් කැලණි ගෙඟ් ජලයෙන් කෘති‍්‍රම වැස්සක් මැවුණේය. දර්ශන ඉතා සාර්ථක ලෙස රූ ගත කෙරිණ. රේඛාවේ රූගත කිරීම අවසන් වූයේ ඒ සමගය. ඒවා සියල්ල දැන් දැනුම පොතට එක් වී තිබේ.

මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන වරක් පෙන්වා දුන් පරිදි ‘රේඛාව’ කරුණු තුනක් නිසා අපට වැදගත් වෙයි. මුලින් ම ජාත්‍යන්තර මට්ටමේ චිත‍්‍රපටයක් ලංකාවේ කරන්නට හැකි බව පෙන්වා දීම ද, දෙවනුව, සිංහල චිත‍්‍රපට කිරීමට දකුණු ඉන්දියානු චිත‍්‍රාගාරවලට යාම අවශ්‍ය නොවන බව පෙන්වා දීම ද, තුන්වනුව, සිංහල චිත‍්‍රපට ජාත්‍යන්තරව ලබන කීර්තිය විචාරක ප‍්‍රශංසාව නිසා ඒ චිත‍්‍රපට වානිජමය අතින් සාර්ථක විය හැකි බව පෙන්වා දීම මෙහිදී ඔහු දකින ප‍්‍රධාන කරුණු තුන වේ.

‘රේඛාව’ ඒ කාලයේ ආ අනෙක් චිත‍්‍රපටවලට වඩා හුඟාක් හොඳ තත්වයේ පැවති චිත‍්‍රපටයක් වුවත් මුල් ප‍්‍රදර්ශනයේ දී ආදායම් අතින් දිරි ගන්වනසුලූ තත්වයක් උදා නොකළේය. මේ වනවිට ජාත්‍යන්තර ප‍්‍රදර්ශනවලින් ලත් ආදායම ඉතා විශාල වුවත් එදා තත්වය ඉතා අසතුටුදායක විය. එදා විචාරකයන් කෙතරම් පැසසුම් කළත් පේ‍්‍රක්ෂකයන් ඒ කරා ඇදී ආවේ නැත. එසේ විධිමත් විචාරක ක‍්‍රමයක් තිබුණේ ද නැත. එපමණක් නොව එවන් චිත‍්‍රපටයක් නරඹා රසවිඳින්නට හැකි රසඥතාවක් ඇති දේශමාමක පේ‍්‍රක්ෂක ජනතාවක් බිහි වී තිබුණේ නැත. අප වැනි අතළොස්සක් හැර සංවිධානය වූ සිංහල චිත‍්‍රපට රසික පිරිසක් නොවූ නිසා ‘රේඛාව’ වැනි චිත‍්‍රපට නොකළයුතුයැයි කියන තැනට නිෂ්පාදකයන් පත් විය. ඒ නිසා ම ලෙස්ටර්ට තවත් චිත‍්‍රපටයක් කරන්නට අවුරුදු හතරක් බලා සිටීමට සිදුවිය. ඒ අවස්ථාවත් ලෙස්ටර්ට උදා වූයේ ඉන්දියාවේ සිටි අග‍්‍රගන්‍ය නළුවකු වූ රාජ් කපූර් නිසා ය. ‘රේඛාව’ දුටු රාජ් කපූර් ලෙස්ටර්ගේ දක්ෂකම් පසසා ඔහුට කෙසේ චිත‍්‍රපටයක් හදන්න අවස්ථාවක් දෙන්නැයි සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ට කීම නිසා ලෙස්ටර්ට ‘සංදේශය’ තනන්නට මග පෑදුණේය. ගුණරත්නම් ඒ චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු බලා කියා ගන්නට ඔහුගේ අතීසාර හිතවතා වූ එඞී ජයමාන්නට පැවරුවේ ය. ලෙස්ටර් චිත‍්‍රපට තනන්නට නැවතත් දිරිමත් වූයේ ‘සංදේශයෙ’න් පසුව ය.

‘රේඛාවෙ’න් පසු ලෙස්ටර් ‘සංදේශය’ත් ඉන්පසු තවත් වෘත්තාන්ත චිත‍්‍රපට ගණනාවක් ද කළ අතර ඒ අතරින් ‘ගම්පෙරළිය’ට (1965) නවදිල්ලියේ පැවති අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙස රණ මයුර සම්මානය හිමි විය. ලෙස්ටර්ගේ නිර්මාණ අතරින් වැඩි විචාරක ගෞරවයට පාත‍්‍ර වූයේ ‘නිධානය’ (1970) චිත‍්‍රපටයයි.

ලෙස්ටර්ට ජීවිත කාලයක් තුළ කළ මෙහෙය වෙනුවෙන් 2000 දී ඉන්දියානු අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී විශේෂ සම්මානය ද 2001 ආසියානු සිනමාවට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ප‍්‍රංශයේ ගෝල්ඩන් ලෝටස් සම්මානය හිමි විය. එසේ ම 1999 දී ඔහුගේ ‘නිධානය’ චිත‍්‍රපටයට පුසන් චිත‍්‍රපට උළෙලේ දී 20 වැනි සියවසේ සම්භාව්‍ය සිනමා කෘතියක් ලෙස තෝරා ගැනීම වෙනුවෙන් ද සම්මානයක් ද පිරිනැමිණ.

ලෙස්ටර් සිනමාවට පිවිසි යුගයේ ආසියානු සිනමාවට විශාල කීර්තියක් අත්කර දුන් තවත් යුග පුරුෂයෝ දෙදෙනෙක් වෙති. ඒ ජපානයේ අකිර කුරෝසව හා ඉන්දියාවේ සත්‍යජිත් රායි යන මහා සිනමාකරුවන් දෙදෙනාය. කුරෝසවත් සත්‍යජිත් රායිත් යන දෙදෙනා ම සිනමාවට පිවිසි චිත‍්‍රශිල්පීන් දෙදෙනෙකි. ලෙස්ටර් සිනමාවට පිවිසුණේ ලේඛකයකු (පත‍්‍රකලාවේදියකු) වශයෙනි. කුරෝසවටත් සත්‍යජිත් රායිටත් ඔවුන්ගේ මුල් නිර්මාණයේ සිට ම පේ‍්‍රක්ෂකයන්ගේ අනුග‍්‍රහය නොඅඩුව ලැබුණු නිසා ඔවුන්ට ජීවිත කාලය තුළ වසරකට එකක් බැගින් වැඩි නිර්මාණ ගණනක් කළ හැකි විය. ඒ අතින් ලෙස්ටර්ගේ නිර්මාණ සංඛ්‍යාව සාපේක්ෂකව ඔවුනට වඩා අඩුය. එහෙත් ඔහුට තිබූ අභියෝගාත්මක තත්වයන් යටතේ මෙම ප‍්‍රමාණය වුවද ඔහුගේ විස්මිත කැපවීම පෙන්නුම් කරයි. ආසියාවේ මහා සිනමාකරුවන් වූ යුග පුරුෂයන් තිදෙනා අතරින් ලෙස්ටර් තවමත් අතර වැජඹීම අපේ වාසනාවකි. ඔහුට චිරාත්කාලයක් අප සමඟ වීසීමට වාසනාව ලැබේවා! (‘මල් කැකුළු’ 2012 පළ වූ ලිපියකි.)

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. මැරෙන්න කලින් මේ සටහන ලියලා තිබුන එක වටිනවා.. සමහර විට එයා කියවන්නත් ඇති

    ReplyDelete
  2. Thankyou for your comment. Dr. Lester said to me he has impressed very much by my article, when I met him at his residence on his request. PercyJ

    ReplyDelete