HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපට අහිමි වූ විද්‍යාවේ දීප්තිමත් ම තරුව, ස්ටීවන් විලියම් හෝකින්!

මේ සියවසේ විසූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා වූ ස්ටීවන් විලියම් හෝකින් (Stephen William Hawking) පසුගියදා අවසන් හුස්ම හෙළුවා. මේ ලෝකයේ විසූ ධෛර්යවන්තම මිනිසා ඔහුයි. විශ්වය අපට සමීප කළ මේ විශ්ව යුග පුරුෂයා ඔහුගේ අවසාන භෞතික විද්‍යා ශාස්තී‍්‍රය නිබන්ධය මියයාමට දෙසතියකට පෙර සම්පූර්ණ කළා.

ඔහු උපන්නෙ ගැලීලියෝ කියන මහා විද්‍යාඥයාගේ මරණයෙන් හරියට ම 300 වැනි වසර පිරුණු දා තමයි. මිය ගියේ අයින්ස්ටයින්ගේ උපතින් 139 වැනි සංවත්සරය දා වීම අනෙක් විශේෂත්වයයි. ඔහුගේ සිරුර මිහිදන් කර ඇත්තේ එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ අයිසැක් නිව්ටන් හා චාල්ස් ඩාවින් යන දෙදෙනා මිහිදන් කළ තැන අසලමයි.


ඔහු ලොව විසූ ධෛර්යවන්තම මිනිසා යැයි මා කීවේ ඔහු මෙලොව ජීවිතයට මුහුණ දුන් ආකාරය ගැන හිතලයි. ඔහු 1942 ජනවාරි 8 වැනිදා ඔක්ස්ෆර්ඞ්හිදී උපන්නා. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ගත්තා. ඉන්පසු වැඩි දුර අධ්‍යාපනයට කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට ගියා. එහි දී ඔහුට වයස 21දී හඳුනා ගනු ලැබුවා චාලක ශක්තිය දුර්වල වීමේ රෝගයක් වැළදී ඇති බව. ඒ අනුව වෛද්‍යවරුන් නිගමනය කළා තවත් අවුරුදු දෙකකින් ඔහු මිය යන බව. ඒත් ඔහු ඉන් අධෛර්යයට පත් වුණේ නැහැ.

න්‍යායාත්මක භෞතික විද්‍යාව පිළිබඳ ලොව විසූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා ලෙස සැලකෙන ඔහු සිය නිබන්ධයෙන් මහා පිපිරුම් න්‍යාය අනුව විශ්වය සෑදී ඇත්තේ එක් පිපිරුමකින් නොව පිපිරුම් ගණනාවකින් බවත් ඒ බහු විධ පිපිරුම්වල ශේෂයන් එපිට සක්වළට යැවෙන අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගැනීමට අවශ්‍ය මූලික ගණිත සංකල්පයන් හඳුන්වා දී ඇතැයි ඔහුගේ සහෘද භෞතික විද්‍යාඥයන් විසින් හෙළිදරවු කරල තියෙනවා.


මෙතෙක් කලක් ලැබෙතැයි බොහෝ දෙනා විශ්වාස කළ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයට හිමිකම් කියන්ට ඔහුට නොලැබුණේ ඔහු මෙසේ ඔහුගේ නවතම පරේයේෂණය එළි දැක් වූ වහාම ඔහු මෙලොව හැරගිය නිසයි. (නොබෙල් ත්‍යාගය මියගිය අයට පිරිනමන්නේ නැත.)

1964 දී චාලක ශක්තිය දුර්වල වීමේ රෝගයක් වැළදී ඇති බව දැන ගත් දා සිට ඔහුගේ දිරිය බිªණේ නැත. ඔහු තව තවත් ධෛර්යමත් වුණා. ඔශුගේ චාලක ශක්තිය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. ඔහු වැඩ කිරීමේ වේගය වැඩි කළා. හැට හයේදි ඔහු කිහිලිකරුවලට බැස්සා. වෙනදා වගේ ම වැඩ කරන්න පටන් ගත්තා.

රෝද පුටුවට වැටුණට පස්සෙ තමයි ඔහුගේ මොළයෙන් භෞතික විද්‍යාවට හා තාරකා විද්‍යාවට වැඩිම සේවයක් වුණේ. ඔහු ඉදිරිපත් කළ විද්‍යාත්මක න්‍යායන් වගේ ම දාර්ශනික මත ලෝක විද්වතුන් විසින් මහ ඉහළින් පිළිගනු ලැබුවා.

අයිසැක් නිව්ටන්, චාර්ල්ස් බැබේජ්, පෝල් ඩිරෙක්ට් වැනි ලෝකයේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් හෙබ වූ පුටුවට අන්තිමට ආවේ විලියම් ස්ටීවන් හෝකින්.

1985 දී ස්විට්ස්ර්ලන්තයේ සර්න් පර්යේෂණාගාරයට ගිය ගමනේ දී ඔහු දැඩි ලෙස රෝගී වුණා. ඔහු කෙතරම් අසාධ්‍ය තත්වයට පත් වුණාද කීවොත් ඔහුගේ බිරිඳ වූ ජේන්ගෙන් වෛද්‍යවරුන් ඇසුවා ඔහුගේ ‘ලයිෆ් සපෝට් එක’ ඉවත් කරන්නද කියා. ඇය එකට විරුද්ධ වුණා. හෝකින් ගුවන්මගින් ගෙනාවා කේම්බි‍්‍රජ්හී ඇඩන්බෲක් රෝහලට.
සැත්කමක් කළා. ඔහුගේ ජීවිතේ බේරුණා. ඒත් කටහඬ නැති වුණා. ඔහුටත් ඔහුගේ පළමු බිරිඳ ජේන්ටත් දරුවන් දරුවන් තුන් දෙනෙක් මිනිපිරියන් තුන් දෙනෙක් ඉන්නවා. 1991 දී ඒ විවාහය කැඩුණා.


1985 දී ඔහුට කතා කරන්න බැරිවුණා. පරිගණක සින්තසයිසරයක් හරහා තමයි ඔහු කතා කළේ. ඒ වගේ ම දේශන පැවැත්තුවේ. ලොව පුරා රෝද පුටුවෙන් ගිය ඔහු මෑත ලෝකයේ විසූ දීප්තිමත් ම තරුව ලෙස සලකන්න පුළුවන්.

ඔහු කීර්තිමක් විද්‍යාඥයෙක් වුණේ රෝද පුටුවට වැටුණාට පස්සෙයි. ඔහු න්‍යායත්මක භෞතික විද්‍යාඥයෙක්, විශ්ව විද්‍යාඥයෙක්, ග‍්‍රන්ථ කර්තෘවරයෙක් හැටියට මුළු ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වුණා. අමෙරිකාවේ ජනාධිපති උපදේශකයකු ලෙසත් වරක් සේවය කළා. මිය යන විට ඔහු කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයානුබද්ධ න්‍යායාත්මක විශ්ව විද්‍යා පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයාව සිටියා.

ඔහු ලියූ පොත් අතරින් වඩාත් ජනප‍්‍රිය කෘතිය ‘අ බ්රීෆ් හිස්ට්රි ඔෆ් ටයිම්’ (A Brief History of Time) පළ වුණේ 1988 දියි. නිකුත් වූ පසු එය සති 237ක් ම ලොව වැඩිම අලෙවියක් ඇති පොත් ලැස්තුවේ ඉහළළ ම හෙබෙව්වා. එය වසර 20ක් පසු කරන විට පිටපත් මිලියන 10ක් එනම් කෝටියක් විකුණුණා. එසේ ම භාෂා 40කට පරිවර්තනය වෙලා තියෙනවා.

විලියම් ස්ටීවන් හෝකින් අති දක්ෂ කථිකයෙක්; දේශකයෙක්. ඔහු ගැන තේරුම් ගන්න ඔහු කියූ මේ ලස්සන වැකිවලින් පුළුවන්.

බුද්ධිමත්කම ගැන - බුද්ධිමත්කම යනු වෙනස්වීම අනුව හැඩගැසීමට ඇති හැකියාවයි.
ජනකාන්තකම ගැන - ජන ආකර්ෂණය අතින් මා ඉන්නේ හරිම අසරණ තැනකයි. මට ලෝකයේ හඳුනා ගන්නේ නැතිව කොතැනකවත් සැඟවී යන්න බැහැ. අව් කන්නාඩි බොරු කොණ්ඩ ආදිය දමා ගත්තත් සැඟවෙන්න බැහැ. මගේ රෝද පුටුව මාව අල්ල දෙනවා.

ආබාධිතකම ගැන - මගේ ආබාධිතකම ගැන දුක්වීමෙන් හෝ කෝප වීමෙන් හෝ වෙන්නෙ කාලය නාස්ති වීමයි. නොපමාව ජීවත් විය යුතුයි ඒ අනුව මා හිතන්නේ මට නරකක් වුණේ නැහැ.

සුපිරි වීරයා ගැන - මට සුපිරි වීරයකු නම් කරන්න සිදු වුණොත් මා තෝරා ගන්නේ සුපර්මෑන්වයි. මට නැති හැම දෙයක් ම ඔහුට තියෙනවා.

මිනිස් ස්වභාව ගැන - අප හැමදෙනාම එකිනෙකාට වෙනස්. ඒත් මිනිස් ගතිය අප හැමටම පොදුයි. සමහර විට ඒ මිනිස් ස්වභාවය තමයි අප හැඩ ගස්වා ජීවත්කරවන්නේ.

කුතුහලය ගැන - මා කිසිදාක නොවැඩෙන ළමයෙක්. මා තාමත් ‘කෙසේද’ ‘ඇයිද’ කියා විමසනවා. ඉඳහිට ඒවාට පිළිතුරුත් මට ලැබෙනවා.

මරණය ගැන - මා පසුගිය වසර 49 තිස්සේ ම මරණය බලාපොරොත්තු ව සිටියා. මං මැරෙන්න බය නැහැ. මට මැරෙන්න හදිස්සියකුත් නැහැ. මට ඊට කලින් කරන්න වැඩ හුඟක් තියෙනවා.

දැනීම ගැන - දැනීමේ ලොකුම සතුරා නොදැනීම නොවෙයි. දැනීම සේ පෙනෙන මායාවයි.



Post a Comment

0 Comments