HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රාමාගේ පාලමේ අබිරහස කුමක් ද!

වසර මිලියන 1.7 ක් පැරැණි යැයි විශ්වාස කරනු ලබන රාම් සේතු එසේ නැතිනම් ‘රාමාගේ පාලම’ සැබැවින්ම, මිථ්‍යාවත් යථාර්ථයත් අතර දෝලනය වන අබිරහසක්. ඉන්දියාවේ පම්බාන් දූපතේ ධනුෂ්කොඩි තුඩුවෙන් ආරම්භ වී අපේ ශී‍්‍ර ලංකාවේ මන්නාරම් දූවෙන් අවසන් වෙනවා යැයි පැවසෙන මෙම පාලම කිලෝ මීටර් 30 ක් දිගින් යුක්ත වූ බවත් පළල කිලෝ මීටර් 3 ක් වූ බවත් විශ්වාස කෙරෙනවා. ‘රාමාගේ පාලමෙ’හි නටබුන් ලෙස අද අපට දකින්න ලැබෙන්නේ මුහුදේ පාවෙන දිගු ගල් පේළියක් පමණයි. එය අභ්‍යවකාශයටත් පෙනෙනවා. එහි ලොකු අබිරහසක් සැඟවී තියෙන බවයි, පැවසෙන්නේ. මේ ගල් පේළියට යටින් ඇත්තේ කොරල් පර යි. මේවා බොහෝ කාලයකට පෙර මිනිසා විසින් ඉදිකළ එකක් බව දැන් පිළිගෙන තියෙනවා. මෙය පාලමක් බවට සක්ෂි වාල්මිකීගේ රාමායනයේත් තියෙනවා.

ඉපැරණි සංස්කෘත මහා කාව්‍යයක් ලෙස සැලකෙන ‘රාමායනය’ වාල්මිකී ඍෂිවරයාගේ කෘතියක්. කාණ්ඩ හතකින් හා සර්ග 500කින් යුත් එහි සංස්කෘත ශ්ලෝක 24000ක් ඇතුළත්. එය ගී‍්‍රක මහාකවි හෝමර්ගේ ‘ඉලියඞ්’ මහා කාව්‍යය මෙන් සිව් ගුණයක් විශාලයි. රාමායනට ඇතුළත් වන්නේ කි‍්‍ර. පූ. 500ත් කි‍්‍ර. පූ. 100ත් අතර කාලයේ සිදුවූ ඓතිහාසික පුවතක්. ඒ කාලයේ කෝසල රාජධානියේ රජකම් කළ දසරථ රජතුමා සිය පළමු බිසවගේ පුත් කුමරා වූ රාමා වනයට පිටුවහල් කරන්නේ තෙවන බිසවගේ කුමන්ත‍්‍රණයක් නිසයි. අයෝධ්‍යා අගනුවරින් පිටත් ව වසර 14ක් මහ වනය තුළ ගත කරන ඔහුට එහි දී අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදු වෙනවා. ඔහුට එහිදී වාල්මිකි ඍෂිවරයාත් හමුවෙනවා.

රාමායනයට අනුව, ‘රාමසේතු’ පාලම ඉදි කරන ලද්දේ රාමකුමරු සහ ලක්ෂ්මණගේ සහායට ආ හනුමාන් සහ වානර සේනාව විසිනුයි.

වාල්මිකී රාමයනයේ සඳහන් කරන අන්දමට රාමා යනු විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතුරින් සත්වැනි අවතාරයයි. රාමකුමරු කෝසල රාජධානියේ රාජ්‍යත්වය හිමි තැනැත්තායි. ලක්ෂ්මණ ඔහුගේ සොයුරායි. රජ මාලිගයෙන් පිටුවහල් කිරීමෙන් පසු, රාමා, ඔහුගේ සුරූපී බිරිඳ සීතා සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මණ සමඟ වනගත වෙනවා.

වනයේ ඇති වූ සිද්ධියක් නිසා කෝපයට පත් ලංකා දේශයේ රජකළ රාවණා රජු පළිගැනීමේ අරමුණින් සීතා පැහැර ගැනීමෙන් පසු, සීතා බේරා ගැනීමේ අදහසින් රාමා සහ ලක්ෂ්මණ වානර සේනාවක් පිරිවරා ගෙන ලංකාව බලා පැමිණෙනවා. ඔවුන්ගේ සහායට හනුමන් එක් වන්නේ එම අවස්ථාවේදීයි. ලංකාවට යෑමට ඔවුන්ට ඇති බාධකය මහා සාගරයයි. මුහුදෙන් එතෙර වෙන්න ඉඩ දෙන්නැයි රාමා මුහුදු පාලක දෙවිඳුන් වන වරුණගෙන් ඉල්ලීමක් කරනවා. කෙසේ නමුත් වරුණ රාමාගේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ. රාමාගේ ඇමතුමට ඔහු ඉදිරියේ පෙනී සිටියේත් නැහැ. එවිට රාමා ඔහුගේ මහා බලගතු ඊතල විඳිමින්, මුහුද කළඹන්න පටන් ගන්නවා. වරුණ දෙවියන් රාමා ඉදිරියේ පහළ වන්නේ එවිටයි. එසේ පහළ වී වරුණ දෙවියා කියා ඇත්තේ මෙවැනි දෙයක්. ”විශ්වකර්මගේ දරුවකු වානර සේනාවේ වානරයන් අතරේ සිටිනවා. එම වානරයාගේ උදවුවෙන් පාලමක් ඉදිකර ලංකාවට යා හැකියි.”

ඒ අනුව පාලම ඉදිකරන වානරයා නාලායි. ඒ කාරියේ දී නීල් නමැති සෙන්පති වානරයාගේ සහාය ද නාලාට හිමිවෙනවා. ‘රාමා සේතු’ පාලම නාලාගේ පාලම හෙවත් ‘නාලා සේතු’ යන නමින් ද හැඳින්වෙන්නේ ඒ නිසයි. කෝටියක වානර පිරිසක් මේ ඉදිකිරීමේ කටයුත්තට දායක වෙනවා. පාලම ඉදි කෙරෙන්නේ දින පහක් තරම් කෙටි කාලයකිනුයි. රාමායනයට අනුව, වානර සේනාව, ඇතුළු වන සතුන් පමණක් නොව, සාගර ජීවීන් ද පාලම නිර්මාණය සඳහා එක් වී තියෙනවා. තල් ගස් පොල් ගස්වල කඳන් පමණක් නොව හුණු ගල් ද පාලම නිර්මාණයට යොදා ගැනෙනවා. පාලමට යොදා ගත් එම ගල් ජලයේ නොගිලී පා වෙන තත්වයට පත් කළේ නාලා සිය දැනුම සහ හැකියාව යොදා ගනිමින් යැයි ද රාමායනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.


රාමා සේතු පාලමට අයත් යැයි විශ්වාස කෙරෙන මුහුදේ එක තැන පාවෙන ගල් කුට්ටි සහ ගල් පතුරු අද විද්‍යාඥයන්ට අබිරහසක් වී ඇත්තේ ඒවා මෙසේ පා වෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුයි. එම ගල් සැබැවින්ම රාම සේතු පාලමට අයත් ඒවා ද? නොඑසේ නම්, රාමායණය සැබෑවක් ද? බොහෝදෙනාගේ මවිතයට හේතු වී ඇත්තේ එයයි.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් මෙම අබිරහස දෙස විදු ඇසින් බලනවා. පෘථිවි කක්ෂයේ රඳවා ඇති අති ප‍්‍රබල චන්ද්‍රිකා දුරේක්ෂ ආධාරයෙන් රාමා සේතු පාලමේ ශේෂයන් අධීක්ෂණය කරන නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දකින්නට ලැබෙන ගල්, ශේෂ වූ පාලමකට අයත් ඒවා නොව, කොරල් පර පිහිටීමක් කියායි. කොරල් තැනී ඇත්තේ කැල්සියම් කාබනේට්වලිනුයි. භූ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට නම්, කොරල් ජලයේ පා වෙන්නේ නැහැ. ඊට හේතුව ඒවා ජලයට වඩා ඝනත්වයෙන් වැඩිවීමයි. එමෙන්ම, වසර ගණනාවක් තිස්සේ කොරල් පර නිර්මාණය වන්නේ, මුහුදු පතුලේ සිට තට්ටු කිහිපයක් ලෙසිනුයි. කොරල් බිහි වන්නේ ඝන පෘෂ්ඨයක් මතුපිට පමණයි. එහෙයින්, රාම් සේතු පාලමේ ශේෂයන් යැයි විශ්වාස කෙරෙන ගල්, කොරල් යැයි කිව නොහැකි බව භූ විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර දෙනවා.

රාමායනය ගැන විශ්වාසය පළ කරන බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ රාමා සේතු පාලම සැබෑවක් මෙන් ම සැබැවින් ම එය ඉන්ජිනේරු විස්කමක් ලෙසයි. වර්තමානයේ රාමේෂ්වරම්හි දකින්න ලැබෙන පාවෙන ගල්, ජලයේ පාවීමට නම් ඒවා ජලයට වඩා ඝනත්වයෙන් අඩුවිය යුතුයි. පුදුමයට කරුණක් නම්, එම ගල් ජලයට වඩා ඝනත්වයෙන් වැඩි වීමයි. එසේ නම්, ඒවා පාවෙන්නේ කෙසේද? භූ විද්‍යාඥයන් ඒ ගැන පැහැදිලි කිරීම් කරන්නේ, එම ගල් තුළ වායු කුහර ඇති බවයි. එසේ වායු කුහර ඇත්නම් ඒවායේ පා වීමක් සිදුවිය හැකි යැයි භූ විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. විද්‍යාඥයන් බොහෝ දෙනකු මේ පැහැදිලි කිරීම පිළිගන්නවා. ඒ කුරුල්ලන් පියාඹන රහස අනුව යමිනුයි. කුරුල්ලන්ගේ සිරුරු බර වුවත්, උන් පහසුවෙන් පියාසර කරන්නේ, සිරුරේ අස්ථිවල ඇති වායු කුහර නිසයි. එම වායු කුහර නිසා කුරුල්ලන්ගේ සිරුරේ බර සැහැල්ලූ වෙනවා. ඒ දැනුම නාලා මේ පාලම ඉදිකිරීමේදී භාවිත කළා ද!



Post a Comment

1 Comments

  1. ඉතාමත්ම වටිනා ලිපියක් !
    මෙම වීඩියෝව මීට පෙර දිනෙක මා නරඹා තිබුණා. එහෙත් ඒ ඇසුරෙන් ලියැවුණු සිංහල ලිපියක් දුටුවේ අදයි.

    පුරාවෘත්ත අනුව වසර 5000-8000 අතර පැරණියි , රාම-රාවණා කතා පුවත. මෙම ගල් වල කාලනිර්ණය ද එම කාලය හා සමපාත වීම කිසිසේත්ම නොසලකහැරිය නොහැකියි.

    එහෙත් ශ්‍රී ලාංකික බහුතරය, එම පුරාවෘත්ත, අතට ගත් සැනින්, මිත්‍යා ලෙස ක්ෂණිකව බැහැර කරනවා විනා, විද්‍යාත්මකව විමසීමක් හෝ සොයාබැලීමක් කරන්නේ නෑ. එය නම් අතිශයින්ම කනගාටුවට කරුණක්!

    ReplyDelete