HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සුරුට්ටුවක හැඩයකින් ආවේ ‘පිටසක්වළ මුල් ම පණිවුඩකරුවා’ ද?

අමුතු විදියේ අවකාශ වස්තුවක් පසුගියදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළා. එය කෙළින් ම ධූම කේතුවක් කියාවත් ග‍්‍රහකයක් කියාවත් කිව නොහැකි ‘සුරුට්ටුවක හැඩයක් ඇති මෙම අමුතු අවකාශ වස්තුව සක්වළ කිසියම් ශිෂ්ටාචාරයකින් පැමිණි යානයක් යැයි විශ්වාස කෙරෙනවා. ඒ අනුව ලෝක ප‍්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් ප‍්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් අධි තාක්ෂණික ස්කෑනර යොදා ගෙන මේ යෝධ සුරුට්ටුවක හැඩැති මේ ආකාශ වස්තුව ගැන දැන් පරීක්ෂණ පවත්වා ගෙන යනවා.

‘ඔමුවාමුවා’ යනුවෙන් නම් කර ඇති මේ අමුතු හැඩයේ ‘ග‍්‍රහකය’ ඇත්ත වශයෙන් ම යන්ත‍්‍ර අබලන් වීම නිසා මග වැරදී අපේ සෞරග‍්‍රහමණ්ඩලයට පා වී ආ සක්වළ යානයක් යැයි තාරකා විද්‍යාඥයකු මතයක් පළ කර තියෙනවා.

ඔහු ආචාර්ය ජේසන් රයිට්. ඇමෙරිකාවේ හවායිහි පෙන් ස්ටේට් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව හා තාරකීය භෞතික විද්‍යාව පිළිබඳ සම මහාචාර්ය වරයායි.
ආචාර්ය ජේසන් රයිට් පවසන්නේ මේ ආකාශ වස්තුව මෙහි පැමිණියේ අන්තරීක්ෂ අවකාශයේ සැරිසරන ධූම කේතුවක් එන ආකාරයට සමාන ආකාරයෙන් බවයි. ‘සක්වළ යානයක් වුනත් එංජීන් අකි‍්‍රය වුණොත් ඒ විදියට තමයි පැමිණෙන්නේ.’ ඔහු කියනවා.

මෑතදී සෞරග‍්‍රහ මණ්ඩලයට පාවී ආ සුරුට්ටුවක හැඩයෙන් යුත් ගුප්ත වස්තුව.

මෙවැනි අද්භූත අන්තරීක්ෂ වස්තුවක් පොළොව ආසන්නයෙන් යාම පළමුවන වතාවටයි මෙසේ සිදුවුණේ.

‘ඔමුවාමුවා’ (Oumuamua) යනුවෙන් නම් කර ඇති මේ අමුතු හැඩයේ ‘ග‍්‍රහකය’ සැතැපුම් කාලක් දිග අඩි 260ක් පළල එකක්. එය පා වී ගියේ පැයට හැතැප්ම 196,000ක වේගයෙන්.

හවායි බසෙහි එන ‘ඔමුවාමුවා’හි අරුත ‘ඈත එපිටින් ආ මුල් ම පණිවුඩකාරයා’ යන්නයි. ආචාර්ය රයිට් ඔහුගේ බ්ලොගයට ලියමින් කියන්නේ ”අත් හැර දැමූ එවැනි යානයක් ඉතා ලොකු වේගයකින් නොගියොත් ගැලැක්සියෙන් ගැලවෙනවා. ඉන්පසු තරුවලින් තාප ශක්තිය ලබා ගෙන අවසානයේ දී ඒවා අනිත් ඕනෑම අන්තරීක්ෂ ධූමකේතුවක් හෝ ග‍්‍රාහකයක් මෙන් ඒ අවට පාවෙමින් පැවතිය හැකියි.”

”තවදුරටත් එය පාලනයකින් තොර වීම නිසා කැරකෙන්න පටන් ගන්නවා. ඒවා ඝන වස්තූන් නම් කැරකිල්ල සිදුවන්නේ සාමාන්‍ය ග‍්‍රාහකයක වගෙයි. මෙයත් ඒ වගේ කි‍්‍රයා විරහිත වුණු සක්වළ යානයක් නම් සමහර විට මෙහි එංජීන් කැඩුණාට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර නොකැඞී තියෙන්න පුළුවන්.” ඔහු තවදුරටත් ලියනවා.

ආචාර්ය රයිට් කියන්නේ මෙය බොහෝ විට තරු පද්ධති හරහා යන එවැනි පාලනයෙන් තොර යානයක් විය හැකි බවයි.

ඔහු මෙය මුලින් ම හවායි දුරේක්ෂයකින් දැක ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් 18 වැනිදායි. ඒ සතිය තුළ 34 වතාවක් වරින් වර එසේ දැක තියෙනවා.

ඒ අවස්ථාවේදී තත්පරයකට කිලෝමීටර 44ක (පැ.සැ. 27ක) වේගයෙන් යමින් තිබුණේ. පෘථිවියටත් සූර්යයා දෙසටත් ඇදී ආ එය අනතුරුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට පාවී ගියා.

මෙය ප‍්‍රමාණයෙන් මීටර 400ක් දිගින් යුත් ළා රතු හෝ රෝස පැහැයෙන් දිස් වූ එකක්. ග‍්‍රාහකයක හෝ ධූම කේතුවක මෙන් එහි වටා ඇති වන ධූලි අංශු නිසා ඇති වන අපැහැදිලි බවක් මේ වස්තුවෙන් දක්නට ලැබුණේ නැහැ. එය දීප්තිමත් ව ඉතා පැහැදිලිව පෙනුණා.

”සෞරග‍්‍රහ මණ්ඩලයට පිවිසෙන බොහෝ ආකාශ වස්තූන් කෙළින් ම සූර්යයා වෙත ඇදී යනවා. ඒවා දැක ගන්නත් අසීරුයි. ඒ නිසා අධ්‍යයනය කිරීමත් අපහසුයි. එහෙත් මෙය සූර්යයාගෙන් පිටතට යන නිසා අධ්‍යයන කිරීමට ඇති අවකාශය වැඩියි. මේ සොයා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ආචාර්ය රයිට් මීට කලින් කේඅයිසී 8462852 නමින් හැඳින්වුණු මිලාන වෙමින් යන ගුප්ත තරුවක් ගැනත් නව අදහසක් පළ කළා. ඔහු කීවේ එය එවැනි තරුවක් නොව ඩයිසන් ගෝලය (Dyson Sphere) යනුවෙන් හැඳින්වෙන සක්වළ යම් ශිෂ්ටාචාරයක් විසින් තනන ලද දැවැන්ත ව්‍යුහයක් විය හැකි බවයි. එය අනුමානයක් විතරයි. 1960දී භෞතික විද්‍යාඥ ෆී‍්‍රමන් ඩයිසන් තමයි මෙවැනි අදහසක් ඉදිරිපත් කළේ. ඔහු කීවේ තරුවලින් එන කිරණවලින් බලශක්තිය ලබා ගැනීමට ‘අන්තරීක්ෂ අවකාශය තුළ විහිදුවාලූ කෘති‍්‍රම චන්ද්‍රිකා පෙළක් වැනි ව්‍යුහයක්’ විය හැකි බවයි.

පසුගිය දා මෙහි පා වී ආ සුරුට්ටුවක හැඩයෙන් යුත් ඒ ගුප්ත වස්තුව සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ගිය ආකාරය. (ඉහළ) ඒ ගුප්ත වස්තුවේ ස්වරූපය.

‘බ්රේක්ත්රූ ලිස්න්’ (Breakthrough Listen) නමින් හඳුන්වනු ලබන විද්‍යාඥයන් කණ්ඩායමක් ඇමෙරිකාවේ බටහිර වර්ජීනියාවේ ගී‍්‍රන් බෑන්ක්හි පිහිටුවා ඇති, ඕනෑම දිසාවකට පහසුවෙන් හැරවිය හැකි, ලොව විශාලතම දුරේක්ෂකයක් යොදා ගෙන සක්වළින් එන සියුම් විද්යුත් සංඥාවලට සවන් දෙමින් සිටිනවා.

ඒ පිළිබඳ වාර්තාවකින් කියැවෙන්නේ ‘මෙවැනි හැඩයක් ග‍්‍රහකයකට හෝ ධූමකේතුවකට තියෙන්න පුළුවන්කමක් නැහැ. මෙය හැඩයෙන් බොහෝ විට අන්තරීක්ෂ අභ්‍යවකාශ යානයක් යැයි සිතිය හැකියි. මෙවැනි හැඩයක් ඇති කර ගන්නේ අන්තරීක්ෂ වායු හා ධූලිි වැදීමෙන් ඇකි වන ඝර්ෂණය වැළැක්වීමට විය හැකියි.

ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇවි ලොයිබ් (Avi Loeb) කියන්නේ ”අපි යවන සංඥාවලට පිළිතුරු සංඥාවක් ලැබුණොත් ඒ පිළිබඳ ව විමසීම ඉතා පරිස්සමෙන් කළයුතු දෙයක්” බවයි.

ඒ ගැන සඳහන් කරමින් ඔහු කීවේ ”අපි ඉස්සෙල්ලා අපි ඒවාට හොඳින් සවන්දී ඒවා තේරුම් ගන්න උත්සාහ කළයුතුයි. ඒවා හොඳ හැටි පැහැදිලි කරගත් පසුවයි අපි ඊට ප‍්‍රතිචාර දක්වන්න තීරණය කළ යුත්තේ” කියායි.

”මං මේ දෙස සුබවාදීවයි බලන්නේ. ඉතා දියුණු ශිෂ්ටාචාරයක් නම් මං විශ්වාස කරනවා ඔවුන් සාමකාමී විය යුතුයි. අපට ඔවුන්ගෙන් අවුරුදු මිලියන හෝ බිලියන ගණනකින් ලබන දැනුම පහසුවෙන් ම ලද හැකි වේවි.”

”ඒ වගේ ම ඔවුන් අපිට සතුරන් ලෙස සලකන්නත් ඉඩ තියෙනවා. එහෙම වුනොත් ඔවුන් අපට වඩා දියුණු විය හැකි නිසා පඅව විනාශ කර දමන්නට පෙලඹෙන්නත් ඉඩ තියෙනවා. එහිදී අපි වඩාත් පරිස්සම් විය යුතුයි” ඔහු වැඩිදුරටත් කියනවා.

බොහෝ ධූමකේතු සූර්යයා වටා යන්නේ ඉලිප්සාකාර ගමන් මගකයි. එහෙත් මෙය පාවී ආවේ වෙනත් කෝණයතින්. ඒ වගේ ම මෙය සූර්යයා වටා යන එකක් නොවෙයි. මෙහි කක්ෂගත මග හෙළි කරන්නේ අපූරු කතාවක්. ඒ අනුව මෙය මෙහි පා වී එන්නට ඇත්තේ ලයිරා (Lyra) තරු පංතිය දෙසින් යැයි තාරකා විද්‍යාඥයන් අනුමාන කරනවා. එය සූර්යයා වටා නොගියාට එහි ආකර්ෂණය යොදා ගෙන සෞරග‍්‍රහ මණ්ඩලය හරහා යන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. ධූම කේතු මෙන් හිරු වටා නොයන නිසා එය යළිත් අපට දිස්වෙන්නේ නැහැ. එය පෘථිවිය අසලින් යන්නට බෘහස්පතී හෝ වෙනත් ග‍්‍රහයකුගේ ආකර්ෂණය උපයෝගී කර ගන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

ලෝක ප‍්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් ප‍්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් අධි තාක්ෂණික ස්කෑනර යොදා ගෙන මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තියෙනවා.



Post a Comment

0 Comments