ඈත විශ්වයේ අපට සමාන ග‍්‍රහ මණ්ඩලයක් සොයා ගනියි! ‘බැබිලන් 5’ ටෙලිකතා මාලාවට අයත් තාරකා පංතිය ආශ‍්‍රිත කලාපයේ!

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට බොහෝ සෙයින් සමාන සෞරග‍්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමත් වී තියෙනවා.

මේ නව සෞරග‍්‍රහ මණ්ඩලය හමු වී ඇත්තේ ආලෝක වර්ෂ 10.5ක පමණ ඈතින් දකුණු අර්ධ ගෝලයේ පිහිටි එරිඩානුස් තාරකා පංතියට අයත් එප්සිලන් තරුව ආශ‍්‍රිත කලාපයේයි.

එය අපේ සෞරග‍්‍රහ මණ්ඩලය ආරම්භක යුගයේ පැවති ආකාරයට බොහෝ සේ සමාන බැව් විද්‍යාඥයන්ගේ මතයයි. අපේ හිරු වැනි තරුවක් වටා ග‍්‍රහලෝක බිහිවෙන අයුරු අපට එයින් දැක ගන්න පුළුවන්.

මේ දිනවල ලොව පුරා ටෙලිවිශන් රසිකයන් අතරේ ජනපි‍්‍රය ටෙලිකතා මාලාවක් තියෙනවා. ඒ තමා ‘බැබිලන් 5’ කියා හැඳින්වෙන ඒ විද්‍යා ප‍්‍රබන්ධ කතාව. ඈත එපිට සක්වළෙහි සැරිසරන අභ්‍යවකාශ නැවතුම් පොළක් සම්බන්ධ කර ගත් එය විකාශය වන්නේත් මේ එරිඩානුස් තාරකා පංතිය පසුබිම් කර ගෙන වීම විස්මයට කරුණක්.

එප්සිලන් එරිඩානි (Epsilon Eridani) ග‍්‍රහ මණ්ඩලය චිත‍්‍රශිල්පියකු දුටු හැටි. අලූත් හිරු සමග අපේ බ‍්‍රහස්පතී ග‍්‍රහයාට සමාන ග‍්‍රහයකු මෙන් ම ධූම කේතු දෙකක් ද ග‍්‍රහක වළල්ලේ ඇතුළතින් තිබෙනු දැකිය හැකියි. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ කයිපර් (Kuiper Belt) නම් ග‍්‍රහක වළල්ලත් ඒ ආකාරයෙන් ම මේ නව හිරු සමග තියෙනවා.

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් ග‍්‍රහක කැබලි ධූලි අංශු ඇතුළත් කයිපර් ග‍්‍රහක වළල්ල බඳු එකක් එහි ඇති බව පසුගිය දා සොයා ගත්තේ ඇමරිකාවේ නාසා ආයතනයේ ‘සොෆියා’ (SOFIA) නම් ගුවනේ පාවෙන විශේෂ තාරකා නිරීක්ෂණ යානය මගිනුයි. අධෝරක්තකිරණ මගින් අපරවර්තීගෝලයේ නිරීක්ෂණ කටයුතු කළ හැකි මේ විශේෂ තාරකා නිරීක්ෂණ යානය බොයිං 747 ජෙට්යානයක් වෙනස් කර අඟල් 100ක දුරේක්ෂයක් සවි කර ආකාශ වස්තු නිරීක්ෂණාගාරයක් බවට පත් කර ගත් ගත් එකක්.

මේ යානයෙන් ලබා ගන්නා ලද තොරතුරුවලින් ඔවුන් විසින් හඳුනා ගෙන තියෙනවා අපේ හිරුගේ බ‍්‍රහස්පතී ග‍්‍රහයාට සමාන ප‍්‍රමාණයෙන් ඒ හා සමාන දුරින් පිහිටා ඇති බව.

ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මැසිමෝ මැරෙනගෝ කියන විදියට එප්සිලන් එරිඩානි ග‍්‍රහ මණ්ඩලය ගැන සොයා ගැනීම අපේ සෞරග‍්‍රහ මණ්ඩලය හැදුණු හා පරිණාමය වූ අන්දම ගැන වටහා ගන්න අපට හොඳ මගක් වේවි කියලයි.

‘මේ තරුව ආශ‍්‍රිතව සිදුවන දෑ අපේ ග‍්‍රහ මණ්ඩලය ආරම්භයේ දී සිදුවූ දෙයට සමානයි. හඳේ ආවාට ඇති වූ හැටි මෙන් ම පෘථිවියට ජලය ලැබුණු හැටි අපට ඒ අනුව දැන ගත හැකි වේවි.’ කියා මේ සම්බන්ධ ව්‍යාපෘතියට සාරාංශයක් ලියමින් ඔහු සඳහන් කරනවා.

එප්සිලන් එරිඩානි ග‍්‍රහ මණ්ඩලය (පහළ) හා අපේ සෞරග‍්‍රහ මණ්ඩලය (ඉහළ) සසඳා සකස් කර ඇති මේ රූප සටහනෙන් එහි ග‍්‍රහයන් හා ග‍්‍රහක වළලූ පිහිටා ඇති අයුරු හා ඒවායේ ඇති සමානකම් ඔබට තේරුම් ගත හැකි වනු ඇති. මෙහි දැක්වෙන්නේ නාසා ආයතනය විසින් 2002 දී අභ්‍යවකාශයට යවන ලද ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගත දත්ත මත සකස් වූ රූප සටහනකි.

‘මෙහි ඇතැයි සැලකෙන ග‍්‍රහයන් අපට තවම දැක ගන්න ලැබුණේ නැහැ. ඒත් 2018 ඔක්තෝබරයේ දී නාසා ආයතනය අභ්‍යවකාශයට යවන්නට අපේක්ෂා කරන නවීන උපකරණ සහිත මීටර් 6.5ක් විශාල ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඒ ගැන දැන ගත හැකි වේවි. මා පුදුම වෙන්නේ එවැනි ග‍්‍රහයන් නොතිබුණොත් තමයි.’ ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙසේ උඩුගුවනට යැවෙන යානාවලින් ලැබෙන දත්ත ඔස්සේ විමර්ශනය කරන කණ්ඩායම් කීපයක් ම තියෙනවා. ඉහත දැක් වූ රූප සටහන සකසා ඇත්තේ ද එවැනි කණ්ඩායමක් විසින් ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් දත්තවලින්

දැනට ඔවුන් අතින් නිරීක්ෂණය කෙරෙන්නේ අධෝරක්තකිරණ මගින් අපරවර්තීගෝලයේ නිරීක්ෂණ කටයුතු කළ හැකි ‘සොෆියා නම් වූ විශේෂ තාරකා නිරීක්ෂණ යානයෙන් ලැබෙන දත්තයි.

‘සොෆියා දුරේක්ෂයට විශේෂ හැකියාවක් තියෙනවා වියළි අපරවර්තීගෝලයේ නිරීක්ෂණ කටයුතු අධෝරක්තකිරණ භාවිතයෙන් කරන්න. කාල යන්ත‍්‍රයක් බඳු ඒ ක‍්‍රමයෙන් අපට හැකියාව තියෙනවා දැන් පවතින තත්වය ඔස්සේ අතීතයට යන්න.’ කියා ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ කේට් සූ විශ්වාසය පළ කරනවා. ඇගේ කණ්ඩායම විසින් ඒ සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය ගැන ඉදිරියේ දී දැන ගත මැකි වේවි.

ලොව පුරා ටෙලිවිශන් රසිකයන් අතරේ ජනපි‍්‍රය ටෙලිකතා මාලාවට ඇතුළත්‘බැබිලන් 5’ කියා හැඳින්වෙන ඈත එපිට සක්වළෙහි සැරිසරන අභ්‍යවකාශ නැවතුම් පොළ.

‘සොෆියා’ (SOFIA) අධෝරක්තකිරණ මගින් අපරවර්තීගෝලයේ නිරීක්ෂණ කටයුතු කළ හැකි විශේෂ තාරකා නිරීක්ෂණ යානය නවසීලන්තයේ ක‍්‍රයිස්ට් චර්ච් ගුවන්තොටුපොළින් මෙහෙයුමක් සඳහා රාති‍්‍රයේ පිටත්ව යාමට මොහොතකට පෙර ගන්නා ලද ඡුායාරූපයක්. මෙය අඟල් 100ක (මීටර් 2.5) විශ්කම්භයක විශේෂ දුරේක්ෂකයක් සවි කළ ඒ සඳහා විශේෂයෙන් සැකසූ බොයිං 747 ජෙට් යානයකි.

සොෆියා දුරේක්ෂය විශේෂයෙන් අධෝරක්ත කිරණ භාවිත කරන නිසා ඒ තරුව ආශි‍්‍රතව නිකුත් කෙරෙන තාප කිරණ ඇසුරෙන් ලබා දෙන දත්ත මිහිමත සවිකර ඇති දුරේක්ෂවලින් ලබා ගන්නට බැහැ. ඈත විශ්වයේ යාන්තමට දැක ගත දේ පිළිබඳ මෙතෙක් නුදුටු දේ මේ අනුව අපට අනාගතයේ දී දැක ගත හැකි වේවි.

මේ පිළිබඳ අධ්‍යයන වාර්තාවක් 2017 අපේ‍්‍රල් 25 දා තාරකා විද්‍යා සංග‍්‍රහයේ (Astronomical Journal) පළ කර තියෙනවා.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments