HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 20කට පෙර බිල්ගේට්ස් පළ කළ අනාවැකි!

ලෝකයේ පරිගණක දැවැන්තයකු වූ මයික්‍රොසොෆ්ට් සමාරම්භකයා වූ බීල් ගේට්ස් 1999 දී පොතක් ලිව්වා, Business @ the Speed of Thought යන නමින්. මීට වසර 20කට පමණ පෙර ඒ පොත ලියමින් ඔහු විස්මිත අනාවැකි ගණනාවක් ම පළ කර තියෙනවා. මාකූස් කිර්යෝනන් (Markus Kirjonan) නම් බ්ලොග් රචකයකු මේ ගැන ඔහුගේ බ්ලොග් තීරුවේ සටහනක් තබා තිබුණා. අපේ මේ සටහන සැකසෙන්නේ එහි දක්වා තිබූ කරුණු ඇසුරු කර ගෙනයි.


අංක 1. මිල සසඳන වෙබ් අඩවි
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ඉන්ටර්නෙට් හරහා, විවිධ වෙබ් අඩවි ඔස්සේ සිසාරා, ලොව පුරා සියලූම කර්මාන්තවලට අදාළ නිෂ්පාදනවලට මිල ගණන් සසඳා, තමන්ට සුදුසු හා අවශ්‍ය දෑ එසැණින් තෝරා ගැනීමට හැකි ස්වයංකී‍්‍රය මිල සන්සන්දන සේවාවන් බිහි වේවි.

අද අප දකින දේ: දැන් ඔබට පහසුවෙන් ම පුළුවන් ගූගල් හෝ ඇමසන් වැනි සෙවුම් යන්ත‍්‍ර ඔස්සේ ඔබට අවශ්‍ය දේ අඩු ම මිලට, විශේෂයෙන් ම එක ම නිෂ්පාදනයේ ඇති අඩු ම මිල ඇති තැන් සොයා ගන්න. ඒ වගේ ම NexTag හා PriceGrabber වැනි අඩවි බිහිවී තියෙන්නේ මිල ගණන් සැසඳීම සඳහාමයි.

අනාවැකි අංක 2. ඔබේ සහයට ජංගම මෙවලම්
බිල් ගේට්ස්: තමා කොහේ හිටියත් අවශ්‍ය කටයුතු ඉටු කර ගත හැකි වන සේ, ඊට අනුරූප වන කුඩා ජංගම මෙවලම්, ජනතාව අත ගැවසෙනු ඇති. ඒවා යොදා ගෙන අන්තර්ජාලය හරහා ව්‍යාපාරික හා බැංකු කටයුතු ඇතුළු සියලූ වානිජ කටයුතු කළ හැකි වේවි. ඒ වගේ ම ඔවුන්ට ඒ ජංගම මෙවලම් මගින් ලොව පුරා එසැණ ප‍්‍රවෘත්ති දැන ගන්නටත්, තමන්ගේ ගුවන් ගමන් තොරතුරු බලා ගන්නත්, වෙළෙඳ පොළ තතු විමසන්නටත්, පමණක් නොව වෙනත් ඕනෑම දෙයක් ඒ හොහොතේ ම තර ගත හැකි වේවි.


අද අප දකින දේ: දැනටමත් ඔබ මේ සියල්ල ම ස්මාට් ෆෝන්වලින් මෙන් ම ස්මාට් ඔරලෝසුවලින් ද මේවා අත් විඳිනවා නොඅනුමානයි.

අනාවැකි අංක 3. ඔන්ලයින් ගනුදෙනු හා වෙබ් අඩවි මගින් සෞඛ්‍ය සත්කාරය
බිල් ගේට්ස්: අනාගතයේ දී ජනතාව ඉන්ටර්නෙට් හරහා එසැණ බිල්පත් ගෙවීම්, තමන්ගේ මුල්‍ය ආයෝජන අධීක්ෂණය කිරීම්, වෛද්‍යවරුන් සමග සාකච්ඡුා කිරීම්, වෛද්‍ය වාර්තා ලබා ගැනීම් ආදිය ඔන්ලයින් හරහා පහසුවෙන් කර ගනු ඇති.

අද අප දකින දේ: ප‍්‍රවාහන කටයුතුවල ඌබර් (Uber) වැනි සේවාවන් නිසා සිදුවූ තරම් ශීඝ‍්‍ර පෙරළියක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තවමත් සිදු වී නැතත් තමාට අවශ්‍ය හොඳම වෛද්‍යවරයා සොයා ගැනීම, හමුවීමට වෛද්‍යවරුන්ගේ චැනල් සේවා පහසුකම් ලබා ගැනීම ZocDoc වැනි සේවාවලින් පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම One Medical and Forward වැනි අලූත් සේවා නිසා වෛද්‍ය සේවය පහසු කර තියෙනවා. ඔන්ලයින් ක‍්‍රමයට මාසික සාමාජිකත්වයක් ලබා ගෙන දත්ත හුවමාරු කර ගනිමින් සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙන යාමට වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ම ඔන්ලයින් හරහා Lending Club වැනි සේවාවලින් ණය ලබා ගැනීමටත් ඒ ණය පියවීම PayPal හා Venmo වැනි සේවා හරහා කිරීමටත් දැන් පුළුවන්.

අනාවැකි අංක 4. පුද්ගලික සහකරුවන් හා ඉන්ටර්නෙට් බැඳි මෙවලම්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: නව ‘පුද්ගලික සහකරුවන්’ පිරිසක් බිහි වේ. ඉන්ටර්නෙට් හරහා බිහි වෙන මේ පුද්ගලික සහකරුවන් ඔබේ කටයුතු පහසු කරවන සේ සියලූ මෙවලම් හා සම්බන්ධතා ඇති කර දෙමින් ‘ස්මාට්’ ක‍්‍රමයට සේවා ලබා ගැනීමට ඔබට සහය වනු ඇති. ඔබ ගෙදර හිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් කොතැනක සිටියත්, වෙනසක් නැතිව දත්ත හුවමාරු කර දෙමින් මේ පහසුකම් ඔබට සපයා දෙනු ඇති. ඒවා, ඔබේ ඊමේල් හෝ වෙනත් ඔබට ලැබෙන දැනුම්දීම් කියවා බලා ඔබ කලින් දුන් උපදෙස් අනුව කි‍්‍රයා තරකු ඇති. අවශ්‍ය විට ඔබව දැනුවත් කරනු ඇති. ඔබ සාප්පු යන විට ඔබේ අවශ්‍යතා කී විගස, මිලදී ගත යුතු බඩු ලැයිස්තුව එසැණ සකසා දෙනු ඇති. ඒ සමග ම ඔබේ අවශ්‍යතා හා ඔබ මිල දී ගත් ද්‍රව්‍ය ගැන ඔබ පරිහරණය කරන සියලූ මෙවලම්වලට අදාළ පරිදි දැනුම් දෙන අතර ඒ උපකරණ ස්වයංකී‍්‍රයවම ඔබේ අවශ්‍යතා ඉටු කරලීමට පෙර සූදානම් කරවීම ද මේ ‘පුද්ගලික සහකරුවන්’ අතින් ඉටුවනු ඇති.

අද අප දකින දේ: ගූගල් විසින් ජංගම මෙවලම් සමග කි‍්‍රයා කළ හැකි ‘ස්මාට් සහකරුවන්’ පිරිසක් දැනටමත් හඳුන්වා දී තියෙනවා. ඒ ඉන්ටර්නෙට් මෘදුකාංග යෙදවුම් විශේෂයක්. ඒවා ‘පුද්ගලික සහකරුවන්’ ලෙස ඔබට වැඩට යොදා ගත හැකියි. දැනටමත් Nest නම් ‘ස්මාට්’ යෙදවුමට ඔබේ එදිනෙදා කටයුතු පිළිබඳ දත්ත රැස්කොට තබා ගෙන, ඔබේ ගෙදර උෂ්ණත්වය ඔබේ පහසුව සඳහා පාලනය කිරීමට හැකියාව තියෙනවා.
ඒ විතරක් නොවෙයි ඔබට අවශ්‍ය නම් ඔබේ ඊමේල් ඔබට ඇසෙන සේ හඬගා කියවන්නට මේ සහකරුවන්ට පුළුවන්. ඒ වගේ ම ඔබ වෙළෙඳ පොළෙන් ගෙනා බඩුවලින් කෑමක් හදනවා නම් ඒ ගැන ඔබට උපදෙස් දෙන්නත් මේ යෙදවුම්වලට පුළුවන්.

අනාවැකි අංක 5. ඔන්ලයින් ඔස්සේ ගෙදරදොර ගැන සොයා බලන්නත් පුළුවන්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: අනාගතයේ ඔබේ නිවසේ සිදුවන දැ, ඔබට ලොව කොතැනක ගියත්, ඒ ඕනෑම තැනක සිට, ඕනෑම වෙලාවක නැරඹීමට ඔබට අවස්ථාව සැලසේවි. ඔබ බැහැර ගිය විටෙක ඔබේ නිවසට එන අමුත්තන් ඔබට දැක ගත හැකියි.

අද අප දකින දේ: ගූගල් විසින් දැනටමත් ඩ්‍රොප්කැම් (Dropcam) නමින් වූ නිවෙස්වලට ආරක්ෂණ පද්ධති සවිකරන සමාගමක් මිලදී ගෙන තියෙනවා. ඒ සඳහා ඔවුන් 2014 දී ඩොලර් මිලියන 555ක් වැය කළා. ඒ ආරම්භයක් විතරයි. රින් කියන ආයතනය දොර සීනුවකට සම්බන්ධ කැමරාවක් නිපදවා තියෙනවා ඒ වාගේ ම පෙට්කියුබ් (Petcube) කියන කැමරාව නිපදවූ සමාගම කියන්නේ ඔවුන්ගේ කැමරාවට සම්බන්ධ ලෙසර් දහරක් මගින් ඔබට ඕනෑම දුරක සිට ඔබේ ගෙදර ඉන්නා සුරතලූන් සමග වුව සෙල්ලම් කළ හැකි බවයි.

අනාවැකි අංක 6. සමාජ වෙබ් අඩවි
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ඔබේ මිතුරන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ පුද්ගල වෙබ් අඩවි බිහිවීම සාමාන්‍ය දෙයක් වේවි. ඒවාට පිවිස ඔවුන්ගේ තොරතුරු විමසා බැලීම, කතාබහේ යෙදීම, ඉදිරි කටයුතු සැලසුම් කිරීම ආදිය සුලබ වේවි.


අද අප දකින දේ: මේ වන විට ලොව පුරා මිලියන දෙකකට අධික පිරිසක් මුහුණු පොත් (Facebook) ගිණුම් පවත්වා ගෙන යනවා. ඔවුනොවුන් හා කතා බහේ යෙදෙනවා. අදහස් හුවමාරු කර ගන්නවා. වැඩ කටයුතු සැලසුම් කරනවා. ඒ වගේ ම Snapchat, Instagram, WhatsApp, and Messenger වැනි යෙදවුම් වගේ ම කුඩා සමාජ ජාල තියෙනවා අපට ඕනෑම වෙලාවක එකිනෙකා හා කතාබහ කර ගත හැකි.

අනාවැකි අංක 7. ස්වයංකී‍්‍රය ප‍්‍රවර්ධන ප‍්‍රදානයන්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: අන්තර්ජාලය හරහා කෙරෙන ඔබේ කි‍්‍රයාකාරම් හඳුනාගෙන ඒවාට ගැළපෙන යම් යම් දේ යෝජනා කළ හැකි මෘදුකාංග පහළ වෙනවා. නිදසුනක් වශයෙන් සංචාරයක් යන්නට සැලසුම් කළොත්, ඒ හා බැඳුණු ඒ අවට ඔබට හමුවන කි‍්‍රයාකාරකම්, ඒ ප‍්‍රවර්ධන ප‍්‍රදානයන් මගින් ඔබට හඳුනාගත හැකි වේවි. අඩු මිලට ඔබ සොය සොයා සිටි දේ මිල දී ගන්නත්, ඒ සංචාරයේ දී ඔබේ රුචියට ගැළපෙන දේ කරන්නත්, ඔබේ රුචි අරුචිකම් වටහා ගන්නා ඒ මෘදුකාංගවලට හැකි වේවි.

අද අප දකින දේ: මේ වන විට බිහි වී ඇති Expedia හා Kayak සංචාරක වෙබ් අඩවිවලට දැන් පුලූවන්කම තියෙනවා, ඔබේ අතීත තෝරා ගැනීම් අනුව සොයා බලා, ඔබට එවැනි දෙයට උපකාර කරන්න. ඒ වගේ ම ෆේස් බුක් ගූගල් වැනි ඒවාට දැන් හැකියාව තියෙනවා, ඔබේ රුචි අරුචිකම් අනුව ඔබට ගැළපෙන දැන්වීම් විතරක් පළ කරන්නට. Airbnb යෙදවුමට පුලූවන් ඔබට උපකාර කරන්න, හෝටලයක නවතිනු වෙනුවට ඔබේ මනාපයට ගැළපෙන ගෙදරක නැවතී ඒ පළාතේ අයකු ලෙස සුහද ව ඒ අත්දැකීම ලබන්න.

අනාවැකි අංක 8. සජීවී කී‍්‍රඩා සාකච්ඡුාවලට වරම්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ටෙලිවිශනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවී කී‍්‍රඩා තරඟයක් නරඹමින් ඉන්නා අතර ඒ අඩවියෙහි ම පහසුකම් ඇති වේවි ඔබට එය නරඹන වෙනත් අය සමග ඔබේ අදහස් එවේලේ ම හුවමාරු කර ගන්න. ඒ වගේ ම ඔබට තරගය අතරතුර දිනන අය නම් කර තෑගි දිනා ගැනීමටත් අවස්ථාව උදා වේවි.

අද අප දකින දේ: මේ වන විට සමාජ අඩවි ගණනාවක් ම ඒ කටයුතු ඉටු කරන බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. Twitter (ට්විටර්) ඒ අතර ඉදිරියෙන් ම ඉන්නවා. කී‍්‍රඩා ගැන විතරක් නොවෙයි, නායකයන් ගන්නා පියවර ගැන එවේලේ ම ඔබේ ප‍්‍රතිචාරය දැක්වීමටත්, ඒ ඔස්සේ පුලූවන්. ESPN වගේ අඩවිවලට පිවිසෙන ඔබට කී‍්‍රඩාවක් නරඹන අතරතුර ඔබේ අදහස් එවේලේ ම ලොව පුරා සිටින නරඹන්නන් සමග හුවමාරු කර ගන්නත් පුලූවන්.

අනාවැකි අංක 9. ස්මාට් දැන්වීම්කරණය
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ස්මාට් ඇඞ්වර්ටයිසන් කළ හැකි යෙදවුම් බිහි වේවි. ඔබේ මිල දී ගැනීමේ රුචි අරුචිකම් හඳුනාගෙන ඊට ගැළපෙන ලෙස වෙනස් කළ දැන්වීම් ඔබ වෙත එල්ල කිරීමට ඒවාට හැකි වේවි.

අද අප දකින දේ: දැන් ඔබ දකින දැන්වීම් වැඩි හරියක් එවැනි ඒවා බව ඔබට ෆේස් බුක් හෝ ගූගල් හෝ මගින් පෙනේවි. ඔබ නිතර ම බලන ඒවා මොනවාද ඔබ අන්තර්ජාලය හරහා මිල දී ගන්නේ මොනවාදැයි විමසිල්ලෙන් සිටින ඒ සමාජ ජාලවලට ඔබේ මනාපයට ගැළපෙන දේ පමණක් ඔබ වෙත යොමු කිරීම කිසිම අපහසුවක් නැතිව කළ හැකියි.

අනාවැකි අංක 10. රූපවාහිනී නරඹන අතර ඊට ප‍්‍රතිචාර දැක්වීම
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ටෙලිවිශන විකාශනයක් අතරතුර ඔවුනට ප‍්‍රතිචාරය දැක්විය හැකි ඈඳීන් තිරයේ සටහන් කරාවි. ඒ අනුව ඔබට වැඩ සටහන නරඹන අතර ම ඔබේ අදහස් එවේලේ ම දැක්විය හැකියි.

අද අප දකින දේ: දැන් හැම වෙළඳ දැන්වීමකම පාහේ ඔවුන්ගේ වෙබ් අඩවිවල ඇඞ්රස් දමනවා. ඉක්මනින් ම ඔවුන් ඇමතිය හැකි මාර්ග සඳහන් කරනවා. ට්විටර් මගින් හෝ වෙනත් ක‍්‍රමවලින් කතාබහේ යෙදෙන්න පුලූවන්.

අනාවැකි අංක 11. අන්තර්ජාලය හරහා සාකච්ඡුා හා සමුළු පැවැත්විය හැකි වේවි
බිල් ගේට්ස්ගේ අනාවැකිය: රටක හෝ නගරයක පුරවැසියන්ට එත තැනකට එක් රැස් නොවී තමන්ට අදාළ පොදු ප‍්‍රශ්න ගැන අන්තර්ජාලය හරහා තමන් කරමින් ඉන්නා වැඩ අතරතුර සාකච්ඡුා කළ හැකියි. දේශපාලනය හා ආරක්ෂාව ගැන අත්‍යවශ්‍ය දේ අප‍්‍රමාදව කතාබහ කොට තීරණ ගත හැකි වේවි.

අද අප දකින දේ: දැන් හැම සමාගමකම වගේ ම, දෙපාර්තමේන්තුවකම අන්තර්ජාල වෙබ් අඩවි තියෙනවා. ඒවායේ පහසුකම් සලසා තියෙනවා, ඔබට අදහස් එසැණ දැක්වීමට. ඒ වගේ ම ඒවායින් ප‍්‍රශ්න කරන්නත් ඔබට පුලූවන්. ට්විටර් හා ෆේස්බුක් වැනි ඒවා මගින් එක හා සමාන අදහස් ඇති අය කොයිතරම් ළං කළා ද කීවොත් ලිබියාවේ ඊජිප්තුවේ වගේ ම ටියුනිසියාවේ ජනතාව වීදි බස්සවා ආණ්ඩු පෙරළි පවා සිදු කළ බව ඔබ දැනටමත් දන්නවා.

අනාවැකි අංක 12. ඔබේ රුචිය අනුව සැකසුණු වෙබ් අඩවි
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ඔබ ඉන්නා තැන කොතැන වුනත් ප‍්‍රශ්නයක් නැහැ. අනාගතයේ දී ඔබේ රුචි අරුචිකම් අනුවයි,
ප‍්‍රජාවන් ඇති වන්නේ. අන්තර්ජාලය තුළ විවිධ ආකාරයේ ප‍්‍රජාවන් සංවිධාන වේවි. සමහර විට ඔබේ ප‍්‍රජාවට අයත් අනෙක් සගයා දුර රටක ඉන්නා අයෙක් විය හැකියි. කෙතරම් දුරස්ථව සිටියත් ඔබට එක් ව වැඩ කළ හැකි වේවි.

අද අප දකින දේ: දැන් බිහි වී තියෙනවා ඔන්ලයින් ප‍්‍රජාවන් රාශියක් ලෝකය පුරා ම. එක එක විෂයයන්ට වෙන්වුණු. දැනුම අනුව වැඩ අනුව අදහස් අනුව විවිධ වෙබ් අඩවි තියෙනව. ඒවා සම්බන්ධ වෙලා තමන්ගෙ අදහස් බෙදා හදා ගෙන වැඩ කරන්නට හැකියාව තියෙනවා. බොහෝ පුවත් අඩවි අතු බෙදී ගොස් විශේෂිත අංශවල වෙන් වූ පුවත් සපයන මාධ්‍ය බවට දැනටමත් පත්වෙලා තියෙනවා. එක් විෂයක් හෝ එක් මාතෘකාවක් මත සවිස්තරාත්මක තොරතුරු ඒවායින් සැපයෙනවා. එක් උදාහරණයක් තමා Reddit යන අඩවිය. එය උප අඩවි ඇති කර ගනිමින් සිය සේවාවන් සපයනවා, ඔබ ඉන්නා තැනවත්, ඔබ කවුරුන්ද කියාවත් සොයන්නේ නැතිව. අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිය ද සිදුවන්නේ ද ඒ අනුව සැකසුණු වෙබ් අඩවි හා මෘදුකාංග මගින්.

අනාවැකි අංක 13. ව්‍යාපෘති කළමනාකාරණය මෘදුකාංග මගින්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: ව්‍යාපෘති කළමනාකරුවන්ට ඔන්ලයින් හරහා තම ව්‍යාපෘතිවල වැඩ කරන්නට සුදුසු අය තෝරා ගෙන ඒ අය හා සාකච්ඡුා කර තම කාර්යය ඉටු කර ගත හැකි වේවි. ඒ වගේ ම තමන්ගේ ව්‍යාපෘති විස්තර කොට උපදෙස් ලබා ගන්නත් හැකි වේවි.

අද අප දකින දේ: දැන් මෙය අන්තර්ජාලය හරහා ඕනෑ තරම් සිදු වෙනවා. එක රටක වාසය කරමින් තවත් රටක ව්‍යාපෘතිවල සේවය කරන අය ඉන්නවා.

අනාවැකි අංක 14. ඔන්ලයින් හරහා බඳවා ගැනීම්
බිල් ගේට්ස්ගේ අනාවැකිය: තමන්ගේ හැකියාවන් දක්ෂතා හා සුදුසුකම් දක්වා ඔන්ලයින් හරහා රැකියා අවස්ථා උදා කර ගන්නත් අනාගතයේ දී පුලූවන් වේවි.

අද අප දකින දේ: දැන් ඒ සඳහා විශේෂයෙන් වෙන් වූ වෙබ් සේවා තියෙනවා. LinkedIn ඉන් එකක්. ඒ සඳහා ඔබට ඔබේ ජීව දත්ත යවන්න පුලූවන්. බඳවා ගන්නා අයට මේ අඩවියට පිවිස තමන්ට වඩාත් සුදුසු අය තෝරා ගන්න ඉතා පහසුයි.

අනාවැකි අංක 15. ව්‍යාපාරික ප‍්‍රජාව සඳහා මෘදුකාංග
බිල් ගේට්ස්ගේ අනාවැකිය: සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන සිදුවන තැන්වල සේවය සඳහා ඔන්ලයින් හරහා සේවකයන් ඉල්ලූම් කළ හැකි වේවි. නිදසුනක් වශයෙන් චිත‍්‍රපටයක් තනන ප‍්‍රදේශයකදී හෝ දැන්වීම් ප‍්‍රචාරණ කාර්යයක් සිදු කෙරෙන කලාපයක දී ඒ කාර්යයට අවශ්‍ය සේවකයන් කෙළින් ම අන්තර්ජාලය එගින් ගෙන්වා ගත හැකි වේවි. තම කටයුතු පිටස්තර ආයතනවලට පැවරීමේදී හා බාහිර සම්පත් ලබා ගැනීමේදී විශාල සමාගම්වලට මෙය ඉතාමත් කාර්යක්ෂම දෙයක් වේවි. ව්‍යාපාර වලට නව සේවාදායකයන් හෝ අනුග‍්‍රාහකයන් සෙවීමේදී ඒ ආයතනවලට ඒ සඳහා විශේෂිත සැපයුම්කරුවන් සොයා යාමට අවශ්‍ය නොවනු ඇති. අන්තර්ජාලයේ සහය ඔවුන්ට ඍජුවම ලබා ගත හැකි වේවි.

අද අප දකින දේ: දැන් මේ හා සම්බන්ධ ව්‍යවසායකයන්ට අදාළ මෘදුකාංග යෙදවුම් රාශියක් ම අන්තර්ජාලයේ භාවිත වනු දැකිය හැකිය. Upwork ඊට එක් නිදසුනකි. ව්‍යාපාරිකයන්ට ඒවා හරහා සාකච්ඡුා කොට වඩාත් අලූත් විශාල ව්‍යාපාර ඇති කර ගන්නත් හැකි වේවි. ඒ වගේ එතෙක් තමන් නොදැන සිටි නිදහස් සැලසුම්කරුවන් ලේඛකයන් හා ඉංජිනේරුවන් හඳුනාගෙන ඔවුන්ගේ සේවය ඒ ආයතනවලට දුරස්ථව සිට ම ලබා ගත හැකි වී තිබේ.




Post a Comment

0 Comments