HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බෘහස්පතී (ජුපිටර්) ග‍්‍රහයාගේ නවතම සොයා ගැනීම්!

ගුරු හෙවත් බෘහස්පතී අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් මෙන් ම වයසින් වැඩි ම ග‍්‍රහයා බව සොයා ගනියි.

අප මෙතෙක් දැන සිටියේ ගුරු හෙවත් බෘහස්පතී එහෙමත් නැත්නම් ජුපිටර් විශාලත්වය අනුව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ‘ලොකු අයියා’ වශයෙන් වුවද අලූත් අධ්‍යයනයකට අනුව එය වයසින් ද වැඩි ම ග‍්‍රගයා බව ද හෙළි වී තියෙනවා.

ඉතිහාසයේ පළමු වන වතාවට කරන ලද මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති පරිදි එහි වයස අවුරුදු බිලියන හතරහමාරක් එනම් වසර මිලියන 4500ක් යැයි ගණන් බලා තියෙනවා.



මෙය කර ඇත්තේ යකඩවලින් සමන්විත උල්කාශ්ම පිරික්සීමෙන් පසුවයි. විද්‍යාඥයන් නිගමනය කර තිබෙන්නේ බෘහස්පතී ග‍්‍රහයාගේ මධ්‍ය හරය නැත්නම් ඝන මැද කොටස සෑදෙන්නට ඇත්තේ මීට වසර මිලියන 4.6කට පමණ පෙර සෞරග‍්‍රහ මණ්ඩලය සෑදීමෙන් අනතුරුව එළඹි වසර මිලියනයකට පසුව බවයි.

මින් ලද අත්දැකීම් අනුව පර්යේෂකයන් සිතන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වත්මන් සංයුතිය පරිණාමය වූ අන්දම නුදුරේදී ම අනාවරණය කර ගත හැකි වන බවයි.

වීඩියෝව පහතින් බලන්න


යකඩ උල්කාශ්මවල සංයුතිය විමසීමේ දී පර්යේෂකයන්ට පෙනී ගියා සෞරග‍්‍රහ මණ්ඩලය සෑදීමෙන් අනතුරුව එළඹි වසර මිලියනකට පසුව බෘහස්පතීගේ මධ්‍ය හරය නිමවෙන්නට ඇති බව. මෙය විත‍්‍රශිල්පියකු ඒ අදහස දුටු හැටියි.

උල්කාශ්ම පිරික්සීමේ දී විද්‍යාඥයන්ට පෙනී ගියා එය තැනී ඇත්තේ එකිනෙකට වෙනස් සංයුතීන් දෙකකින් බව. ඒ වායු (ගෑස්) හා දූවිලි යන දෙවර්ගයයි. ඒවා සෞරග‍්‍රහ මණ්ඩලය සෑදෙන්නට පෙර වසර මිලියනයත් හා මිලියන හතරත් අතර කාලයක් එසේ ම පවතින්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මේ අපූරු හෙළිදරවුව කළ අධ්‍යයනයේ ප‍්‍රධානියා වූ ආචාර්ය තෝමස් කෲයියර් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”මෙය සම්පූර්ණයෙන් ම එකිනෙකට වෙනස් දෙකක් එනම් තරුවලින් ලැබුණු වායු හා දූවිලි තැටි දෙකක් යා නොවී බෘහස්පතී ග‍්‍රහයා තුළ පවතිනවා. එසේ වන්නට ඇත්තේ ඒවා දීර්ඝ කාල පරාසයක් තුළ අවස්ථා දෙකක දී නිර්මාණය වීම නිසයි. ඒ තැටි අතර ලොකු පරතරයක් පවතිනවා.

”බෘහස්පතී අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ පැරණිම ග‍්‍රහයායි. එහි ඝන මැද කොටස නිර්මාණය වී ඇත්තේ පෘථිවිය සෑදුණු සූර්ය නොබියුලාව (නීහාරිකාව) පිපිරී එහි වායුව විසුරුවන්නට බොහෝ කාලයකට පෙරයි.

වැඩිදුරටත් මේ ගැන විස්තර කරන ආචාර්ය තෝමස් කෲයියර් තියන්නේ ”අපට මේ තොරතුරු අනාවරණය කර ගන්න බෘහස්පතී ග‍්‍රහයාගේ පස් සාම්පල තිබුණේ නැහැ.”

මෙතෙක් පස් සාම්පල පරීක්ෂා කිරීමට ලැබුණේ චන්ද්‍රයාගේ අඟහරුගේ හා ග‍්‍රාහකවල පමණයි. ඔවුන්ගේ මේ අධ්‍යයනයට පාදක වූයේ බෘහස්පතීගේ පස් සාම්පල නොවෙයි පෘථිවියට අතිතයේ දී කඩා වැටුණු උල්කාශ්මයි. (මේ උල්කාශ්ම පෘථිවිය වෙත පතිත වූ පසුවයි උල්කාපාත කියා හැඳින්වෙන්නේ.) ඒවා සමස්ථානික ලක්ෂණ තමයි ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වූයේ. ඒවා පිරික්සමින් තමයි ඔවුන් බෘහස්පතීගේ වයස අනුමාන කළේ.

බෘහස්පතීගේ පැරණි බව කලින් හඳුනාගෙන තිබුණ ද ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද අලූත් ම අධ්‍යයනය මෙය ලෙස සැලකිය හැකියි. මේ සඳහා සහභාගි වූයේ කැලිෆෝනියාවේ ලෝරන්ස් ලිවර්මෝ ජාතික රසායනාගාරයේ විද්‍යාඥයන් පිරිසක්.

බෘහස්පතී මිලියනයක කාලයක් තිස්සේ ශීඝ‍්‍රයෙන් ග‍්‍රහලෝකයක් බවට පරිණාමය වී අපේ සූර්ය තැටිය හරහා ඇතුළට එන එනම් අප වෙත එන උල්කාශ්ම හා ග‍්‍රාහක වැනි ද්‍රව්‍ය නවතා ලන බාධකයක් සේ ද කි‍්‍රයා කර ඇති බවයි ඔවුන් කියන්නේ.

යකඩ උල්කාශ්මයක්. පර්යේෂකයන් කියන්නේ යකඩ උල්කාශ්ම හෙවත් උල්කාපාත සෑදී ඇත්තේ එකිනෙකට වෙනස් ගෑස් හා ධූලි දෙක එක්වීමෙනුයි.

මෙම අධ්‍යයනයෙන් මතු කර ගත් ප‍්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් නම් සෞරග‍්‍රහ මණ්ඩලය සෑදුණු මුල් වසර මිලියනය තුළ බෘහස්පතීගේ මැද කොටස පෘථිවිය මෙන් ස්කන්ධ 20ක් පමණට විශාලව වැඩුණු බවයි. ඉන්පසු ව දීර්ඝ කාලයක් තිස්සේ පෘථිවිය මෙන් ස්කන්ධ 50ක් විශාල කොටසක් බාහිරාවරණය ලෙස වැඩුණු බවයි.

ඒ සඳහා වසර මිලියන තුනක් හෝ හතරක් ගත වන්නට ඇතැයි ඹවුන් නිගමනය කර තියෙනවා.

සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවෙන්නට පෙර පැවති නීහාරිකාව හෙවත් නෙබියුලාව වායුමය තැටියක් ලෙස විසිරී යමින් අනුක‍්‍රමයෙන් සෞරග‍්‍රහ මණ්ඩලය සෑදුණු මේ කි‍්‍රයාවලියට වසර මිලියන එකත් 10ත් අතර දීර්ඝ කාලයක් ගත වන්නට ඇතැයි ඔවුන් විශ්වාසය කරනවා.

මෙයින් කියැවෙන්නේ ආරම්භයේ දී ‘තරුණ’ සූර්යයා වටා පැවති සූර්ය නෙබියුලාව එනම් තැටියක් සේ විහිදී පැවති වායුමය වලාව විසිරී යන්නට පෙර බෘහස්පතීගේ ආරම්භය සිදුවන්නට ඇති බවයි.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ අනුව අපේ සෞරග‍්‍රහ මණ්ඩලය තුළ සුපිරි පෘථිවීන් එනම් පෘථිවියට වඩා වැඩි ස්කන්ධයකින් යුත් බාහිර ග‍්‍රහයන් බිහි වී නැත්තේ ඇයි ද යන්න ඉන් පැහැදිලි වන බවයි.

ආචාර්ය කෲයියර් අවසාන වශයෙන් කියන්නේ මෙහෙම දෙයක්: ”අපේ මේ ගණනය කිරීම්වලින් පෙනී යනවා එක දෙයක්. ඒ දුරස්ථ ජානමය උරුමයන් හා උල්කාශ්ම සෑදීම අනුසාරයෙන් බෘහස්පතී ග‍්‍රහයාගේ වර්ධනය කාල නිර්ණය කළ හැකි බවයි”.


Post a Comment

2 Comments

  1. vadagath lipiyak
    https://softwaresinhalen4u.blogspot.com/

    ReplyDelete
  2. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක්

    ReplyDelete