HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වැරදි පැත්ත: සූෆි උපමා කතාවක්!

එක් සූෆිවරයෙක් දේශනයක් පවත්වමින් අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගේ හපන්කම් විදහා පාමින් ඒ පිළිබඳ අපූරු කතාන්තර ගෙන හැර දක්වමින් සිටියේය. එහි සිටි එක් සිසුවෙක් නැඟී සිට ඒ කතාවට බාධා කරමින් ප‍්‍රශ්නයක් ඇසුවේය.

”මේ අවස්ථාවේදී ප‍්‍රශ්නයක් අසා බාධා කරන්න මං කැමතියි. ඒ මට තොරතුරු දැන ගන්න අවශ්‍ය නිසයි. ඊට ඔබතුමාගේ අවසරය ලැබෙතැයි මං විශ්වාස කරනවා. මෙහෙම අතර මග දී ප‍්‍රශ්න නැඟීම මෙවැනි සභාවකදී කළයුත්තක් නො වන බව මා දන්නවා. එසේ ම එය ශ‍්‍රාවකයකුගේ චර්යාවටත් පටහැනි බවත් මා දන්නවා. ඒත් මේ ප‍්‍රශ්නය නො අසා සිටින්නට මට බැහැ”


සූෆීවරයා මෙසේ කීය.

”අපි හැමවිටම ඔබට සවන්දීමට සූදානම්. මේ ආකාරයෙන් මෙවැනි විටෙක නඟන ප‍්‍රශ්නයකින් ඔබට හෝ අපට හෝ ප‍්‍රයෝජනයක් වෙතැයි සිතීම උගහට වුවත් අපි ඔබට සවන් දීමට කැමැත්තෙමු. කෙසේ වෙතත් ඔබේ අවශ්‍යතාව අපට බාධා කිරීමයි. කාරි නෑ ඔබේ ප‍්‍රශ්නය අසන්න.”
සිසුවා සූෆිවරයාට තුති පුදමින් තවදුරටත් කතා කරන්නට විය.

”මගේ ප‍්‍රශ්නය නම් මෙයයි. අපට හැම විට ම අසන්නට ලැබෙන්නේ අතීත සූෆි ගුරුවරුන්ගේ සමර්ථකම් හා ඔවුන්ගේ සාර්ථක සාක්ෂාත්කර ගැනීම් පමණයි. සූෆිවරුන්ගේ බුද්ධිමහිමයන් හා ශ්‍රේෂ්ඨත්වයන් ගැන පමණයි. ඇයි අපට අසන්ට නො ලැබෙන්නෙ, ඔවුන්ට වැරදුණු තැන් ගැන, ඔවුනගේ අසාර්ථක වූ ප‍්‍රයත්නයන් ගැන, ඒ වගේ ම ඔවුන්ට බලාපොරොත්තු කඩ කර ගැනීමට සිදුවූ තැන් ගැන. එහෙම වුනා නම් මේ කතාවල සමබරතාවක් තියෙනවා නේද?” සිසුවා ප‍්‍රශ්න කළේය.

ඊට පිළිතුරු වශයෙන් ඒ සූෆිවරයා කීවේ මෙවන් කතාවකි:

”පලතුරු වෙළෙන්දෝ නරක් වූ ඇපල් ගබඩා කර තබා නො ගනිති. ඒවා ඉවත විසි කර දමති. වෛද්‍යවරයකුගෙන් මියගිය රෝගීන් ගැන අසන්නට යන්නේ නැහැ. ඒකට සොහොන් බිමකට යන්න ඕනෑ. මේ ලෝකයේ කුණු පරීක්ෂා කරන්න ඔබට ඕනෑ නම් ඒ සඳහා කසළ ශෝධකයකුගේ මග පෙන්වීම ලබා ගන්න ඕනෑ. අපි හැම විටම ඍජු රේඛා ගැන ඉගෙන ගන්න ඇද ඉරි දිහා බලන්නේ නැහැ ඒ ලෝකය ඇද ඉරිවලින් පිරී ඇති නිසා. ශිෂ්‍යයා හැම විට ම උත්සාහ කරන්න ඕනෑ, ඍජු රේඛාවක් අඳින්න පමණයි. ඒ එවැන්නකට තමන් තුළ ඇති හැකියාව තේරුම් ගන්නයි.

”ඔබේ ප‍්‍රශ්නය ලෝකයේ ඉතාමත් පැරණි ප‍්‍රශ්නවලින් එකක්. ඒකට පිළිතුරු දෙන්න තමයි, මෙන්න මේ සිද්ධාන්තය බිහි කරලා තියෙන්නෙ. ඇද ඉරක් දකින්න ඔබට ඕනෑ නම් රූලක් සොයන්න එපා!”

(පර්සි ජයමාන්නගේ සූෆි උපමා කතා නම් ග‍්‍රන්ථයෙනි.)


Post a Comment

2 Comments

  1. සිසුවා එක්ක මම එකඟයි. වැරදුනු තැන් හා ඔවුන් එවිට ක්‍රියා කළ ආකාරය දැන ගැනීම හරිම වැදගත්, මොකද මේ ලෝකෙ හැම දෙයක්ම චක්‍රීය නිසා, නැවත නැවත වෙනවා. එවිට අතීත අත්දැකීම් හරිම ප්‍රයෝජනවත්. ඒක කුණු සෙවීමක් නොවේ. ගුවන් යානා අනතුරක් වුනාම හොයලා බලනවා කොහෙද වැරදුනේ කියලා, හොයලා ඒකට ප්‍රතිකර්ම යොදනවා, ඒකයි තාක්ෂණය දිනෙන් දින දියුණු වෙන්නෙ. අපි මෙච්චර වාර ගානක් හොඳට කරලා තියනවා ඒක හින්දා වැරදුනු තැන් ගැන හොයන්න ඕනා නෑ කියන එක මෝඩ කමක්. මම හිතන්නෙ ලංකාවෙ අපේ ක්‍රමය ඇවිත් සුෆී ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඔබට බොහොම ස්තූතියි, කමෙන්ටුවට. ඔබ කියන දේ හරි. ඇද ඉරක් දිහා බලලා කෙළින් ඉරක් අඳින්න පුළුවන්ද කියලා බලන්න. ඔබට සුබ අනාගතයක්.

      Delete