HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිංහල චිත‍්‍රකතා වංශ කතාවේ අමරණීය සලකුණ - දයා රාජපක්‍ෂ

දයා රාජපක්‍ෂයන්ගේ අභාවය ජූලි 26 වැනි කන වැකීමත් සමග මට දැනුනේ චිත‍්‍ර කතා කලාවේ එක් දීප්තිමත් යුගයක් අවසාන වූ බවයි. චිත‍්‍රකතාව පුවත්පත් විශේෂාංගයක් බවට පත් වූයේ 19 වැනි සියවසේ මුල් භාගයේ දී වුවත් එය පුවත්පත්වලට නැතුව බැරි අංගයක් වූයේ දයා රාජපක්‍ෂගේ පිවිසීමත් සමගය. මුල දී චිත‍්‍රකතා තීරු හාස්‍යය දැන වූ විකට ඒවා වුවත් දයා ඒවා ගැඹුරු සමාජ විග‍්‍රහයන් කරන, තමන් ජීවත්වන සමාජය තේරුම් ගැනීමට පාඨකයා පොලඹවන, උසස් මට්ටමකට පත් කළේය. චිත‍්‍රකතා කියවීම බොළඳ කටයුත්තක් ලෙසත් ළමයින්ට හා යොවුන් පරපුරට සීමා වූවක් ලෙසත් සැලකූ යුගයට තිත තබමින් චිත‍්‍රකතාවට ගෞරවනීය තත්වයක් ලබා දීමට දයා සමත් වූයේය.


දයාගේ චිත‍්‍රකතා ගැන මෙතෙක් කර ඇති හොඳම විග‍්‍රහය ලෙස මා දකින්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය ‘චිත‍්‍රකතාවේ වංශ කතාව’ නම් කෘතියේ එන මේ සඳහනයි:

‘දයාගේ ස්වතන්ත‍්‍ර චිත‍්‍රකතාවලිය බොහෝ දුරට යථාර්ථවාදීය; නාට්‍යමය; ගතික ය; පැතලි චරිත හා අභව්‍ය සිද්ධීන්ගෙන් හීනය. ඔහුගේ බොහෝ කතා හටගෙන ඇත්තේ අපේ පොළොවෙහි පස පසාරු කර ගෙනය. ඒ කතා හැමවිට ම වාගේ සෝකාන්තය. වරෙක නගරය හා නගරයෙහි උපසංස්කෘතිය සජීවී ලෙස විග‍්‍රහ කරන දයා තවත් වරෙක ගම හා ගමෙහි උපසංස්කෘතිය සියුම් ව දැක ගන්නේය. සිව්මංසල, නිසංසලා, ගල්පල්ලිය, වැනි කතාවල දැකිය හැක්කේ නාගරික සංස්කෘතියයි. සක්විති සුවයෙහි ඇත්තේ කොළඹ පැල්පත් වාසීන්ගේ උපසංස්කෘතියයි. එහි ජීවත්වන බකට් හැරීලාගේ ජීවිතයයි. නිවන් දක්නා ජාති දක්වා, වෙද හාමුදුරුවෝ, අහිමි දඩමං, ආදියෙන් නිරූපණය වන්නේ ගැමි දිවියයි. හුලවාලී, බාඳුරා මල්, තවලම, පොඩි මාමා, වැනි චිත‍්‍රකතාවලට පසුබිම් වන්නේ ගැමි උපසංස්කෘතීන්ය. ‘නිළියකට පෙම් කෙළෙමි’ චිත‍්‍රකතාව ගොඩ නැගෙන්නේ නූර්ති නාට්‍යකරුවන්ගේ සමාජය තුළයි.’

දයා එතෙක් චිත‍්‍රකතාකරුවන් අත නොගැසූ පැතිවලට සිය තෙලිතුඩ ගෙන ගියේය. ඒවායේ දේශපාලනය තිබුණේය. සමාජ විග‍්‍රහයන් තිබුණේය. තමන් ජීවත්වන සමාජය ගැන සානුකම්පිතව බලන්නට පාඨකයා පෙලඹෙව්වේය.

ඔහුගේ ‘ගිනිබත් කිරීටය’ චිත‍්‍රකතාවට පදනම් වූයේ 1952 මැතිවරණයෙහි සිට 1983 කළු ජූලිය දක්වා කාල පරාසය තුළ සිදුවූ සිදුවීම් සමුදායකි. ඒ සිදුවීම් ඔස්සේ අපට හමුවූ චරිත අතර, රජවත්තේ හාමුදුරුවෝ, මස්කෙළිය තේ වත්තේ දෙමළ දොස්තර, ඔහුගේ දූ සරෝජා, වත්තේ ටීමේකරගේ පුතා නිශ්ශංක, අන්තවාදීන්ගේ නියෝජිතයා පාක්‍යම්, සිංහලයන් වෙනුවෙන් කතා කරන දෙමළු, දෙමළුන් වෙනුවෙන් කතා කරන සිංහලයන් අපට දැක ගත හැකිය. වසර ගණනාවක් තිස්සේ අපට වද දෙන ප‍්‍රශ්නය ඔහු එහි දී නොබියව සාකච්ඡුා කරයි.

පුවත්පත්වලින් අප දැක ගත් ‘දයා රාජපක්‍ෂ ලකුණ’ අපේ පරපුරේ හදවත් තුළ ගැඹුරින් සටහන් වී ඇතුවාට සැකයක් නැත. ඔහු අපේ චිත‍්‍රකතා වංශ කතාවේ අමරණීය සලකුණ ලෙස සැලකිය හැකිය.


චිත‍්‍රකතා ලෝකයට දයා රාජපක්‍ෂගේ ආගමනය ද චිත‍්‍රකතාවක් සේ ම රසවත්ය. සිළුමිණ කර්තෘ මීමන පේ‍්‍රමතිලක මහතාගේ අභාවයෙන් පසු සිළුමිණට පත්ව ආ නව කතුවරයා වූ ඇස්. සුබසිංහ මහතා මගින් සිළුමිණ පුවත්පතට නව මුහුණුවරක් දීමට පාලක පක්‍ෂයට අවශ්‍ය විය. ඒ අනුව විවිධ අංශවලින් නව නිර්මාණ එවන්නැයි තරුණ පරපුරට සිළුමිණ පුවත්පත මගින් ඉල්ලීමක් කෙරිණ. ඒ සමගම නව පරපුරේ චිත‍්‍රකතාකරුවන්ට ද විශේෂ ඉල්ලීමක් කරනු ලැබීය. ඊට ප‍්‍රතිචාර වශයෙන් ලිපි ලැබුණේ ගෝනි ගණනිනි. ඒ ලිපි කියවීම අපේ කර්තෘ මණ්ඩලයේ සිටි පස් දෙනාට ලොකු අභියෝගයක් විය. එවකට සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටියේ බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්‍ෂමන් ජයවර්ධන, පී බී ඉලංගසිංහ හා මාත් පමණය. මෙයට අමතරව පී. ජයසිංහ අපට විවිධ අයුරින් සහය විය. එසේ එවූ විත‍්‍රකතා සිය ගණනක් අතරින් සුදුසු ඒවා තෝරා ගැනීම පී. බී. ඉලංගසිංහටත්, පී. ජයසිංහටත්, මටත් පැවරුණි. ඒ ලියුම් අතර තිබී පී. බී. එක්සයිස් පොතක් සොයා ගත්තේය. කොටුරූල් පොතක් වූ එහි වූයේ නිල් තීන්තෙන් හා කටු පෑනෙන් ඇඳි චිත‍්‍රකතාවකි. ‘නලා හඬ - උග්ගල්බොඩ දයා රාජපක්‍ෂ විසිනි’ කියා එහි ලියා තිබුණි. ලිපිනයකට තිබුණේ ‘නෝට්න්බි‍්‍රජ්‘ යන්න පමණකි.

ඒ චිත‍්‍රකතාව දුටුවන ම එවකට සිළුමිණ ප‍්‍රධාන කතුවරයා වූ ඇස්. සුබසිංහ මහතා කෙසේ හෝ ඔහු සොයා ගන්නට තීරණය කළේය. ඒ අනුව කටයුත්ත මධ්‍ය කඳුකරයේ අලෙවි කටයුතු භාරව සිටි ටී. පී. සේනානායක මහතාට පැවරිණ. නිශ්චිත ලිපිනයක් නැතිව කෙනකු සෙවීමේ අවිනිශ්චිත බව මට පහදා දුන් ඔහු ඊළඟ සතියේ කරන සංචාරයේ දී ඒ ගැන සොයා බලන බවට පොරොන්දු විය.

ගමන් වාර කීපයක් ගියත් ඔහුට අපේ ඉලක්කය හමු වුණේ නැත. එහෙත් හදිසියේ ම ඔහුගේ උත්සාහය මල්පල ගැන්වුණේය. ඒ ගිනිගත්හේන පිරවුම් හලේ දීය.

‘මල්ලි මේ පැත්තේ ඉන්නවද දයා රාජපක්‍ෂ කියල චිත‍්‍ර අඳින කෙනෙක්?’ ඔහු සුපුරුදු ප‍්‍රශ්නය ඒ පොම්පකරුටත් එල්ල කළේය.

‘චිත‍්‍ර අඳිනවද නම් දන්නෙ නෑ. අර කාමරේ ඉන්න අපේ මැනේජර් මහත්තය නම් දයා රාජපක්‍ෂ’ ඒ පිළිතුරෙන් අපේ මිතුරා පී‍්‍රතියෙන් ඉපිලී ගියේය. ඔහුට අප සොයමින් සිටි දයා හමුවිය. ඔහුගේ ලිපිනයත් ලබා ගෙන සේනානායක එවේලේ ම කොළඹ ආවේය. ඔහුට මුවනොසෑහෙන සේ ස්තුති කළ සුබසිංහ මහතා ඒ මොහොතේම සිය අත් අකුරින්ම ලිපියක් ලියා ඔහුට කොළඹ එන ලෙස දන්වා යැවීය. දයා රාජපක්‍ෂ චිත‍්‍රකතා ලෝකයේ සැරිසරන්නන්ට නැතිවම බැරි ගමන් සගයෙකු වූයේ ඉන් පසුවය. එදා 1966 දී සිළුමිණට මුලින්ම ගොඩ වූ දා පටන් සුබසිංහ මහතාත් ඔහුත් අතර ඇති වූ මිතුදම අවසන් වූයේ මින් සත් වසරකට පෙර සුබසිංහ මහතාගේ අභාවයත් සමගය

එදා සිට විජය ප‍්‍රකාශන ආරම්භ කරන්නට 1979 අවසානයේ දී සුබසිංහ මහතාත් මාත් ලේක්හවුසියට සමුදෙන තෙක් දයා නොකඩවා සිළුමිණට චිත‍්‍රකතා ඇන්දේය. අපේ ඉවත් වීමත් සමග දයා ලෙක්හවුසියට සමු දෙමින් සිය කැමැත්තෙන් ම විජය ප‍්‍රකාශන සමග එක් විය.

ලේක්හවුසිය සතුට පත‍්‍රය ආරම්භ කරද්දී එයින් නවක ශිල්පීන්ට ඉඩ දෙන්නට යැයි කියමින් ඔහු එවකට කළ බලවත් ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය. එහෙත් පසුව විජය ප‍්‍රකාශනයක් ලෙස සතුට පළ වෙද්දී එහි ආරම්භයේ සිටම ඊට දායකත්වය සැපයුවේය. ආරම්භක කලාපයේ කවරය නිර්මාණය කළේත් ඔහුමය. දයා මියයන මොහොත තෙක්ම ඉරිදා ලංකාදීපයටත් දිනපතා ලංකාදීපයටත් විජය පුවත්පත් ආයතනයේ විජය, සිරිකත, තරුණයා වැනි ප‍්‍රකාශනවලටත් සිය නිර්මාණ එක් කළේය.

දයා රාජපක්‍ෂ තුළ නිර්මාණකරුවන් කීප දෙනකුගේ දස්කම් එකවර දක්නට ලැබුණේය. ඔහු හොඳ උපහාස රචකයෙක් විය. කවියෙක් විය. ඔහු ලංකාදීපයට ඉදිරි ‘සමාජ සමයං’ ‘මඩිස්සලේ’ වැනි නිර්මාණ කරන්නට ඉදිරියේ යමකු සොයා ගන්නට හැකි වුවත් දයාගේ අමුතු නිර්මාණවලින් සුවහසක් පේ‍්‍රක්‍ෂකයන්ට දුන් නැවුම් රසය ලබා දෙන්නට එවන් කෙනකු බිහිවෙතැයි සිතිය නොහැකිය.

අපේ චිත‍්‍රකතා ශිල්පීන් අතරින් සිනමාකරුවන්ගේ වැඩිම අවධානය යොමු වූයේ දයාගේ නිර්මාණ කෙරෙහිය. දයාගේ චිත‍්‍රකතා අතරින් බොහොමයක් සිනමා නිර්මාණ චිත‍්‍රපට බවට පත් විය. සිංහල චිත‍්‍රපටයක් වූ ප‍්‍රථම චිත‍්‍රකතාව දයාගේ ‘වානරයෝ’ විය. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ අනූපමාත් දයාගේ ඒ නමින් යුත් චිත‍්‍රකතාව විය. සක්චිති සුවය, හුලවාලි, බාඳුරාමල්, නිළියකට පෙම් කෙළෙමි, සුබෝධා, රක්තා, තවලම, නිවන් දක්නා ජාති දක්වා ඉන් කීපයකි.

 

පුංචි තිරයට ද දයාගේ නිර්මාණ නැතුවම බැරි විය. මාලිනී පොන්සේකා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසියේ ද දයාගේ චිත‍්‍රකතාවකිනි. ඒ නිරූපමාලා ය. දුලාරි, සකිසඳ එලියස්, පස්, හතේ වසම, කම්මිත්ත, මතක මංපෙත ආදිය ඉන් කීපයකි.

සිනමා හා ටෙලිනාට්‍යකරුවන් දයාගේ චිත‍්‍රකතා කෙරෙහි ඇදී යන්නට ප‍්‍රධාන හේතුව වශයෙන් මා දකින්නේ ඒවා සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට පහසුවෙන් සමීප කළ හැකි තාත්වික ගුණයෙන් අනූන වීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ දයාගේ චිත‍්‍රකතා කෙරෙහි සිනමා හා ටෙලිනාට්‍යකරුවන් ඇදී යන්නට ප‍්‍රධාන හේතුව ඒවායේ ඇති සිනමානු රූපී බවයි. අනිකුත් හේතු වශයෙන් ඔහු දක්වන්නේ චරිතවලට නළු නිළියන් තෝරා ගැනීමේ සිට ඇඳුම් පැලඳුම් සැකසීම, වෙස් ගැන්වීම, රූප ගැන්වීම ආදී හැම කටයුත්තක දීම දයාගේ චිත‍්‍රකතාව පුර්වාදර්ශ සපයා තිබීමයි. ඔහු අවධාරණය කරන්නේ ඒ ඒ චිත‍්‍රපට හා චිත‍්‍රකතා සසඳා බැලීමෙන් ඒ බව පසක් කර ගත හැකි බවයි.

දයාගේ වියෝව අපට පිරිමැසිය නොහැකි පාඩුවකි. දුකකි! දයාගේ වියෝවෙන් තැවෙන දයාබර බිරිඳ ඛේමා ප‍්‍රමුඛ දූදරු මුණුබුරන්ටත් අපගේ හෘදයාංගම ශෝකය මෙසේ පිරිනමමු. දයා ඔහුගේ ‘නිවන් දක්නා ජාති දක්වා’ චිත‍්‍ර කතාවේ කියන්නාක් මෙන් නිවන් දක්නා ජාති දක්වා ඔහු අප අතර යළි ඉපදේවා!

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. මම උඹේ බ්ලොග් එකෙන් හැමදාම මොනව හරි ඉගෙන ගන්නව . සදා ජය

    ReplyDelete