HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගඟ අද්දරින් ‘රන් ටිකිරි සිනා’ ගෙනා නිමල් සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කරයි!

ඔබට අමතක කළ නොහැකි ගී රැසක් නිර්මාණයට දායක වූ අපේ ප‍්‍රවීණ සංගීතවේදියෙක් පසුගියදා අප අතරින් සමුගත්තා. අපේ හදවත්වලට හුඟක් සමීප ගී රැසක තනු නිර්මාණය කළ ඔහු පසුගිය 18 වැනිදා මෙලොවින් සමුගන්නා විට වයස අවුරුදු 81ක් සපුරා තිබුණා. ඔහු නමින් නිමල් මෙන්ඩිස් ඔහුගේ නමට වඩා ගී තනු ප‍්‍රසිද්ධයි. මෙන්න ඉන් කීපයක්.


‘රන්ටිකිරි සිනා’ ‘නිම්හිම් සෙව්වා මා සසරේ’ ‘ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී’ උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා’ ‘දවසක්දා අපි වසන්ත සැණකෙළියේ’ ‘මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ’ ආදී ඒ ගී රැස එකකට එකක් නො දෙවැනි අයුරින් ජන හදවත් තුළ තැන්පත් වී තියෙනවා.

‘ගඟ අද්දර’ චිත‍්‍රපටයට නිමල් තනු නිර්මාණය කළ ‘ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී’ ගීය නිසා එය ගයමින් රඟපෑ ජනපි‍්‍රය නළු විජය කුමාරතුංගට ගායකයකු ලෙස නව මානයකට යන්නට මග හෙළි කළා.

බටහිර සංගීතයේ නිපුණයකු වූ ඔහු පියානෝ වාදකයකු ලෙස සංගීත ක්‍ෂේත‍්‍රයට පිවිස ලංකාවේ බටහිර සංගීත අසන්නන් අතර ජනපි‍්‍රයත්වයට පත් වුනත් මුළු ලංකාවම ඔහු නතු කර ගත්තේ සිංහල චිත‍්‍රපට ගීතවලින්. නිමල් ලොව පුරා ඉංගී‍්‍රසී ගී අසන්නන් අතරත් ප‍්‍රසිද්ධයි. බීබීසී සේවයට ඔහු ගීත 22ක් නිර්මාණය කළා. ඒවා තවමත් ජනපි‍්‍රයව පවතිනවා.

ඔහු සංගීත අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපට අතර ‘ගඟ අද්දර’ ‘අහසින් පොළොවට’ ‘බැද්දේගම’ ‘සුසීමා’ ‘කළු දිය දහර’ ‘ගැහැනු ළමයි’ ‘කොළඹ සන්නිය’ ‘ගෝඞ් කිං’ ‘දුවට මවක මිස’ යන ඒවා කැපී පෙනෙනවා. කළු දියදහර චිත‍්‍රපටයට ඔහු නිර්මාණය කළ ‘මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ’ ඔහුගේ ජනපි‍්‍රයම නිර්මාණය ලෙස හඳුන්වන්න පුළුවන්.

‘ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී’ යන ගීය ගඟ අද්දර චිත‍්‍රපටයට ඉංගී‍්‍රසියෙන් ලියා තනුව නිර්මාණය කළේ නිමල් මෙන්ඩිස් වීම ඔහුගේ වූ සුවිශේෂී හැකියාව පෙන්වන්නක්. ඒත් ඒ ගීය අපට ඇත්තටම ඇහෙන්නේ සිංහලෙන්. ඒකත් අපේ තවත් සහෘදයකුගේ හපන්කමක්. ඔහු ඔගස්ටස් විනයාගරත්නම්. ඒ ගීතවල නිමල්ගේ ඉංගී‍්‍රසි වචනවලට සිංහල නිර්මාණය කළේ ඔහුයි. ඒත් මොහොතකටවත් ඒවා පරිවර්තන ලෙස හැෙඟන්නේ නැහැ. සිංහලෙන්ම ලියා තනු යෙදූ ඒවා ලෙසයි දැනෙන්නේ. අද ඒ තුන් දෙනාම ජීවතුන් අතර නැතත් මේ ‘ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී’ ගීතය තුළ ඔවුන්ගේ මතක සුවඳ රැඳී තියෙනවා.

ගඟ අද්දර චිත‍්‍රපටයට නිමල් මෙන්ඩිස් නිර්මාණය කළ අනෙක් වඩාත් ජනපි‍්‍රය ගීතය ‘රන් ටිකිරි සිනා’ සිංහල නිර්මාණයත් ඔගස්ටස් විනයාගරත්නම්ගෙයි. සිංහලෙන් කෙටිකතා කවි ගී ඇතුළු නිර්මාණ ඔහුට දෙමළ සම්භවයක් ඇතත් දෙමළ වචනයක්වත් බැහැ. ඒත් සිංහල නම් හොඳට ම පුළුවන්. ඔහුගේ ඒ කුසලතාවට මේ ගීත දෙකමත් ඇති.

මේ නිසා ගඟ අද්දර චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම සංගීතයට හිමි සරසවි සම්මානය 1980 දී නිමල්ට හිමි වුණා. 1979 දී ‘අහසින් පොළොවට’ චිත‍්‍රපටය සඳහා නිමල්ට ඕසීඅයිසී සම්මානයත් හිමිවුණා.

රන් ටිකිරි සිනා ගීය මුලින් ම සුමිත‍්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ චිත‍්‍රපටයට ගැයුවේ බොරැුල්ලේ සංඝමිත්තා බාලිකාවේ සිසුවියක වූ නිරාෂා පෙරේරා හා වික්ටර් සිල්වා වුවත් ඒවා වඩාත් ජනපි‍්‍රය වූයේ ටී. එම්. ජයරත්න හා නීලා වික‍්‍රමසිංහගේ හඬින් ඒ ගීය තැටියට නැගූ පසුවයි. ඒ අද යූටියුබ් හරහා මෙහි එක් එක් අය ගයන ගී රාශියක් නිකුත් වී තියෙනවා. ඒ අතරින් ඔබට වඩා හොඳ ඒවා තෝරා රස විඳින්න පුළුවන්.

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. වටිනා සම්පතක් අහිමිවුනේ

    ReplyDelete