සිංහල අවුරුද්ද පිළිබඳව රචනා කෙරුණු මෙම පැදි පෙළ සේකර කවියා රචනා කර ඇත්තේ සම්මත සිව්පද කාව්‍ය ආකෘතියෙනි. අවුරුදු අසිරිය අපූරුවට වර්ණනා කිරීමට සේකර කවියා සමත් වන්නේ ඔහුට ආවේණික සරල බස් වහර ද තත් විෂය වර්ණනා කිරීමට උචිත හතර පද කවි සාම්ප‍්‍රදාය භාවිත කිරීම නිසාය. අවුරුද්ද ඇරෙඹන දා සිරිය කවියා විසින් පළමුව වර්ණනය කරනු ලබයි. බක් මාසය අසිරිමත්ය. සිසිල් සුළං හමා යයි. නෙක් දෙසින් ඇසෙන්නේ කොවුලන්ගේ කූජනයයි. සිංහලේ මඟුල් දා අවුරුදු දා ලෙසයි, ඔහු දකින්නේ.
බක් මහේ සිහිල් සුළං ඇදෙයි
රන් වෑ කෑල මල් පිපී වැනෙයි
නෙක් දෙසින් කොවුල් කිලූම් ඇසෙයි
සිංහලේ මඟුල් දිනේ අදයි
සමස්ත පද්‍ය පන්තිය පුරා ම කවියා අවුරුදු දිනයක ගමක දකින්නට, අසන්නට ලැබෙන සිදුවීම්, සිරිත් විරිත් පිළිබඳ අපූරු චිත‍්‍රයක් මවයි. ගමෙන් බැහැරව නොයෙක් රැකියාවල නිරත වූවෝ ගම එති. තෑගි බෝග රැගෙනය, ඔවුන් එන්නේ.
බෑර දෙස්හී ගොස් තමන් අයත්
නන් කමේ නියුත් දනෝ දෙ අත්
තෑගි බෝගයෙන් පුරා මහත්
වූ තොසින් නිවෙස් බලා ඇදෙත්
කිරිපැණි, මුං කැවුම්, කොකිස් අවුරුදු සමයේ නොවරදවාම නෙත ගැටෙන ආහාර පාන වේ. දූපුතුන් මාපියන් සිත් නිවන්නේ අහරින් හා වස්ත‍්‍රයෙන් පුදමිනි. බතින්, වතින් පුදා දූපුතුන්, මවුපියන් සිත් නිවනවා යයි කවියා කියයි.
අවුරුදු සමයක ගමක දකින්නට ලැබෙන අප‍්‍රසන්න එහෙත් සාමාන්‍ය සිදුවීමක් පවා කවියාගේ නෙතට හසුවේ.
බී සුරා ඇතැම් කෙනෙක් එයින්
මත්වැ දී රැඟුම් අතින් පයින්
වාසි බස් දොඩා මහත් වෙසින්
එති දෙනෙත් බමා යකුන් සෙයින්
මත් වූ පසු අතින් පයින් රැඟුම් පාන්නන් යකුන් ලෙස කවියා දකියි. සිංහල අවුරුදු දා පන්සලේ පුද පූජාවලට එක්ව බුදුන් පුදන සැදැහැවතුන් ද කවියාට අමතක නොවේ.
පුල් මලින් දෙඅත් - අලූත් වතින්
ගත් සරා ලියෝ පහත් වතින්
යුත් වැ විත් ගමේ සියල් අතින්
පන්සලේ බුදුන් පුදත් බැතින්
අවුරුදු අසිරියෙන් ගම්මානය ඇළලී යයි. ගී ගැයුම් රබන් වැයුම් රතිඤ්ඤා හඬින් තොර අලූත් අවුරුද්දක් ගමෙහි වෙද?
ගී ගැයුම් රබන් වැයුම් ඇසෙයි
කන් පෙළා රතිඤ්ඤ වැල් දැවෙයි
සොම්නසින් සියල් දිසා පිරෙයි
සිංහලේ මඟුල් දිනේ අදයි
සටහන - බුද්ධදාස ගලප්පත්ති
1 Comments
අගෙයි
ReplyDelete