HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්!

හොලෝග්රැෆික රූපයක් මගින්, එනම් ආලෝක කිරණ භාවිතයෙන් මවන ති‍්‍රමාන රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට දැන් අවස්ථාව පෑදී තියෙනවා.

වෛද්‍යවරුන්ට හා ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ට අවශ්‍ය ආකාරයට දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද දැක බලා ගැනීමට හැකි වන පරිදි මෙය වැඩි දියුණු කිරීමටත් ඉදිරියේ දී අපේක්‍ෂා කරනවා.

මේ නව ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ රියල් වීව් නම් ඊශ‍්‍රායල් සමාගමක් හා හවුල් ව තාක්‍ෂණික ලෝකයේ දැවැන්තයකු ලෙස සැලකෙන පිලිප්ස් සමාගමයි.

මෙය ප‍්‍රථමවරට ඔවුන් විසින් මෑතදී හදවත් සැත්කමක දී ප‍්‍රායෝගිකව අත්හදා බැලීමක් සාර්ථකව කර තිබෙනවා.
 
හොලෝග්රැෆික රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට මෙම නව පරිලෝකන ක‍්‍රමයෙන් දැන් අවස්ථාව පෑදී තියෙනවා.

නියාමක ව්‍යාපෘතිය සඳහා ඊශ‍්‍රයලයේ ‘පෙටාක් ටික්වා’ (Petach Tikva) හී ‘ෂ්නීඩර්' (Schneider) ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගීන් අට දෙනකු යොදා ගනු ලැබුවා.

මෙහි දී පිලිප්ස් ආයතනයේ ඒ සඳහා විශේෂිත වූ උපකරණ යොදා ගෙන අභ්‍යන්තර එක්ස් කිරණ හා හෘද කන්තුක අතිධ්වනි පද්ධති භාවිතයෙන් තමයි මේ පර්යේෂණය කරනු ලැබුවේ.

මෙතෙක් ද්විමාන තිරයක දැක ගත් රෝගියාගේ හදවත සවිස්තරව ති‍්‍රමාන හොලෝග්රැෆික පිළිබිඹුවක් ලෙස දැක ගන්නට වෛද්‍යවරුන්ට හැකි වුණා. තමන් ඉදිරියේ ප‍්‍රමාණයෙන් විශාල කළ ඒ ති‍්‍රමාන පිළිබිඹුව පැහැදිලිව දැක ගැනීමටත් හෘදයේ හැම පැත්තක් ම පිරික්සීමටත්. විශේෂ දෘෂ්ටි උපකරණ නොමැතිව වෛද්‍යවරුනට හැකි වුණා

අනාගතයේ දී කෙරෙන හදවත් සැත්කම්වල දී මෙම තාක්ෂණය කෙතරම් ප‍්‍රයෝජනවත් වේවිද කියා මේ පිළිබඳව කළ අධ්‍යයනයෙන් පැහැදිලි වුණා.

මේ සංදර්ශන පද්ධතිය නිපදවූ ආයතනය කියන්නේ මෙය අනාගතයේ දී නිසැකව ම සුබලව භාවිතයට ගනු ඇති බවයි.

‘නුදුරු අනාගතයේ දී ම ති‍්‍රමාන හොලෝග්රැම අධ්‍යයනය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රමුඛ තැනක් ගන්නවා නිසැකයි‘ කියා රියල්වීව් ඉමේජින් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ඇවියාද් කෝෆ්මන් පවසනවා.

 
වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවා තමා ඉදිරියේ මැවෙන මේ ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹුව ස්පර්ශයෙන් වෙනස් කිරීමෙන් තමන්ගේ අවශ්‍යතාව අනුව ඒවා පරීක්‍ෂාවට ලක් කිරීමට.

 
චෛද්‍යවරුනට තමන් ඉදිරියේ අහසේ පෙනෙන ති‍්‍රමාන රූපය ස්පර්ශය මගින් වෙනස් තම අවශ්‍යතාවනට අනුව වෙනස් කර පරීක්‍ෂාවට ලක් කළ හැකියි.

‘මෙම ති‍්‍රමාන රූප පිළිබිඹු ක‍්‍රමයේ දියුණුවත් සමග විවිධ ආකාරයෙන් මතු කර ගත හැකි වෛද්‍ය තොරතුරු නිසා නුදුරු අනාගතයේ දී ම මේ ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹු ක‍්‍රමය බහුලව භාවිතයට ගැනීමෙන් වෛද්‍ය ප‍්‍රතිකාරවල විප්ලවීය වෙනසක් සිදු වේවි’ යයි තෝෆ්මන් වැඩිදුරටත් කියනවා.

‘ති‍්‍රමානික හොලෝග්රැෆික පිළිබිඹු ප‍්‍රක්‍ෂේපණ ක‍්‍රමය මට උපකාර වුණා මගේ අත්දැකීම් අනුව රෝගියාගේ හෘදයේ ති‍්‍රමාන රූපයේ ව්‍යුහය තේරුම් ගන්නට මට හැකියාව ලැබුණා. ඒ වගේ ම සැත්කම් කි‍්‍රයාවලියේ දී මෙවලම් හැසිරවීම ද ඉතා හොඳින් කළ හැකි වුණා.’ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඊනැට් බර්ක් පවසනවා. ඔහු ‘ෂ්නීඩර් ළමා වෛද්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධව ඇති ළමා හෘද කන්තුකවේදී ආයතනයේ අධ්‍යක්‍ෂවරයායි.

 
මෙම පද්ධතියේ පැරණි මූලාකෘතියක් පර්යේෂකයන් විසින් භාවිත කළ අවස්ථාවක්.

 
වෘක්කීය ධමනිවල ති‍්‍රමාන හොලෝග්රැෆික පිළිබිඹුවක්.

ඊශ‍්‍රායලයේ ෂ්නීඩර් ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ කන්තුක කැතීටර සැත්කම් අංශයේ අධ්‍යක්‍ෂ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය එල්කානන් බ‍්‍රකීමර් (Elchanan Bruckheimer) පවසන්නේ මෙසේ ති‍්‍රමාන පිළිබිඹුවක් ලබා ගැනීමටත් එහි ව්‍යුහයේ මෘදු පටක මත සලකුණු යෙදා ගෙන සැත්කම වඩාත් හොඳින් කිරීමට ඉඩ සැලසෙන බවයි.

‘අපේ අවසාන ඉලක්කය වන්නේ මෙවැනි නවොත්පාදන මගින් අනාගත සෞඛ්‍ය සත්කාරය වඩාත් ශක්තිමත් විශ්වාසදායක එකක් කිරීමයි.’ යනුවෙන් අදහස් දක්වන පිලිප්ස් සෞඛ්‍ය සත්කාර ආයතනය මගින් දියත් කළ ශායනික කටයුතුවලට පරිගණකය පදනම් කර ගත් නව නිපැයුම් ප‍්‍රවර්ධනය කිරීමේ අංශයේ සාමාන්‍යාධිකාරී බර්ට් වැන් මියෝස් සඳහන් කරයි.

‘දැනට මේ ලොව ප‍්‍රථම හොලෝග්රැෆික පිළිබිඹු තාක්‍ෂණය සම්බන්ධයෙන් කළ කටයුතුවලින් අප ඉතාමත් තෘප්තිමත් වෙලා තියෙනවා. මේ තාක්ෂණය නිසා අනාගතයේ හදවත් සැත්කම්වල විශාල පෙරළියක් සිදුවෙනවා පමණක් නොව එහි ඇති අවදානමද විශාල වශයෙන් අඩු වෙනවා.’ ඔහු වැඩිදුරටත් පවසනවා.

 
නිර්මාණකරුවන් කියන විදියට මෙම නව තාක්ෂණය සිව් වැදෑරුම් ආකාරයෙන් ශල්‍යාගාරයේ දී භාවිත කළ හැකියි. එහි දී ශල්‍ය වෛද්‍යවරයාට තමන්ට දැක ගැනීමට අවශ්‍ය තැන් අහසේ දී ම තෝරා පෑනෙන් සලකුණු කළ හැකියි. සැත්කම අතරතුර හොලෝග්රැෆික රූපයේ පිළිබිඹුවෙන් මැන ගැනීම් ද කළ හැකියි. හෘදයට බද්ධ කළ යුතු හෝ හෘදයේ තැන්පත් කළයුතු දෙය අහසේ දකින රූපයේ නියමිත ස්ථානයේ තබා සසඳා බැලිය හැකියි. අවශ්‍ය විට ති‍්‍රමාන රූපය තමන් ශල්‍යාගාරයේ භාවිත කරන තිරයේ දැක්වෙන ආකාරයට සමානව ද්විමාන රූපයක් ලෙස දැකිය හැකියි.

මේ හොලෝග්රැෆික පිළිබිඹුව ඉතාමත් පැහැදිලි පූර්ණ වර්ණයෙන් ගෙන එන්නක්. මෙය භාවිත කරන ශල්‍යවෛද්‍යවරයාට තමාගේ පහසුව සඳහා එසැණ ස්පර්ශයෙන් යම් යම් වෙනස් කිරීම් කරමින් අවයව ඇතුළත නිරීක්‍ෂණය කරමින් අහසේ දී ම අවශ්‍ය සලකුණු කිරීම් පවා කළ හැකියි.

ති‍්‍රමාන අධිධ්වනික හො වෙනත් නව තාක්ෂණයකින් ලබා ගන්නා තොරතුරුවලින් ඒ මොහොතේම සැබෑ හොලෝග්රැෆික පිළිබිඹුවක් වෛද්‍යවරයා ඉදිරියේ ප‍්‍රක්ෂේපණය කළ හැකි නවෝත්පාදනයක් ලොවට හඳුන්වා දීමට ඊශ‍්‍රායලයේ රියල්වීව් ඉමේජින් සමාගම සමත්වී තියෙනවා.

Post a Comment

0 Comments