සිතේ බලෙන් දුර සිටින අයකු හා අදහස් හුවමාරු කර ගත හැකිද? ලොව අලූත් ම විද්‍යාත්මක පර්යේෂණය මෙන්න!

ඔහුගේ දෑස් පිටතින් ආලෝකයක් හෝ නොපෙනෙන සේ බැඳ තිබුණා. පිටතින් කිසිදු හඬක් නොඇසෙන සේ දෙකන්වලට ඇබ ගසා තිබුණා. අති නවීන පර්යේෂණාගාරයක් ඇතුළේ මේ විධියට ඇස් බැඳ, කන් වසා තිබුණේ ආචාර්ය මයිකල් බර්ග් (Dr Michel Berg) නම් විද්‍යාඥයාගෙයි. ඊසානදිග ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ තමයි, මේ විස්මිත පර්යේෂණය සිදු වුණු පර්යේෂණාගාරය තිබුණේ.

මේ අපූරු පර්යේෂණය හා සම්බන්ධ වූ අනෙක් පර්යේෂණාගාරය පිහිටියේ සැතැපුම් 5000ක් පමණ දුරින් ඉන්දියාවේ කේරලයේයි. එහි මේ ආකාරයන් ම ඇස් බැඳ කන්වල ඇබ ගසා සිටියේ ස්පාඤ්ඤ ජාතික තරුණ විද්‍යාඥයෙකි. ඔහු ආචාර්ය ඇලියන්ද්‍රෝ රියිරා (Dr Alejandro Riera) යි.

මේ විස්මිත පර්යේෂණය සිදු කෙරුණේ පසුගිය මාර්තු 28 වැනිදායි. ඉතා රහසිගතව සිදු කෙරුණු මෙම අපූරු පර්යේෂණයෙන් ඔප්පු වූ කරුණු හෙළිදරවු වූයේ පසුගිය දා මේ පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව ‘ප්ලොස් වන්’ (telepathy) නම් අන්තර් ජාල ජර්නලයෙන් ප‍්‍රසිද්ධවීමත් සමගයි.

2014 මාර්තු 28 වැනිදා, හරියටම සැතැපුම් 4600ක් ඈතින් පිහිටි නවීන තාක්ෂණික පහසුකම් ඇති විද්‍යා පර්යේෂණාගාර දෙකක එක ම වේලාවක වාඩි වී හිඳ ගෙන, කිසිම සන්නිවේදන උපකරණයක් භාවිත නොකර මේ විද්‍යාඥයන් දෙදෙනා සිතෙන් පණිවිඩ දෙකක් හුවමාරු කර ගත්තා.

 
සිතේ බලෙන් දුරස්ථව සිටින දෙදෙනකුට අදහස් හුවමාරු කර ගත හැකියි, යන්න විද්‍යාත්මකව ඔප්පු කරන්න ගත් උත්සාහයක් ගැන පසුගිය දා ප‍්‍රංශයෙන් වාර්තා වුණා. මේ පර්යේෂණය අනාගත මානවයා විශාල පෙරළියකට භාවිතා කරනු සිකුරුයි.

මේවා කලින් අප අත්දැක තිබුණේ විද්‍යා ප‍්‍රබන්ධවලයි. එහෙම නැත්නම් භාරතයේ ඍෂිවරුන් හෝ යෝගීන් වැනි මනස දියුණු කළ අයට කළ හැකි දේවල් ලෙස පමණයි. සිතකින් සිතකට පණිවිඩ යැවීම නවීන විද්‍යාවෙන් මෙතෙක් ඔප්පු කර තිබුණේ නැහැ. මේ එවැන්නක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ආකාරයට සිදු කළ පළමු වැනි පර්යේෂණය විය හැකියි.

මේ විද්‍යාඥ දෙපළගේ අරමුණ වුණේ, මිනිස් පසිඳුරන් කිසිවක් භාවිත නොකොට, ඔවුන් විසින් කලින් සැලසුම් නොකළ සරල පණිවිඩ දෙකක් ඒ මොහොතේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඇත්තෙන්ම මේ ක‍්‍රමය සතුන් නම් ඔවුනොවුන් අතර පණිවිඩ හුවමාරු කිරීමට සහස් වස් කාලයක් තිස්සේ භාවිත කළ එකක්.

ඔවුන් අපේක්ෂා කළේ ‘කෙළින් ම සිතකින් සිතකට තාක්ෂණික සන්නිවේදනයක් කරනවා වාගේ පණිවිඩයක් යැවීමටයි. මෙය අප හඳුන්වන්නේ ‘පරචිත්තවිජානනය’ (telepathy) යන වදනෙන්.

සිතිවිල්ලක් සැතැපුම් දහස් ගණනක් ඈත ඉන්නා කෙනකු සමග විද්‍යාත්මකව හුවමාරු කර ගන්නා මේ අපූරු පර්යේෂණ අවස්ථාව ඒ පර්යේෂණයට එක් වූ විද්‍යාඥයන් දෙදෙනා ඇතුළු නිරීක්ෂකයන් කීපදෙනා අතර රහසක් වශයෙන් තබා ගැනීමට ඔවුන් ආරම්භයේදීම කතා කර ගෙන තිබුණා. පසුගිය දා මෙහි විද්‍යාත්මක වාර්තාව, අනෙකුත් විද්‍යාඥයන් විසින් ද පරීක්ෂා කර බලා, අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරනතුරු ඒ රහස ඔවුන් විසින් රැුක ගනු ලැබුවා.

මේ වාර්තාව ඉතා දිගු එකක්. එහි ඇති විස්තර අසන්නන්ට පහසුවෙන් තේරුම් ගන්නට අපහසු විදුහුරු බසකින් තමයි ලියලා තියෙන්නේ. ඒත් එහි හරය වන්නේ ආචාර්ය බර්ග් හා ආචාර්ය රියිරා යන විද්‍යාඥයන් දෙදෙනා අතර ‘මොළයෙන් මොළයට යැවෙන විධිමත් සන්නිවේදනයක්’ සාර්ථකව ඉටු කර ගත් බවයි.

 
ආචාර්ය බර්ග් විශ්වාස කරන විධියට මේ පර්යේෂණයෙන් පසු ඔවුන් ඉදිරියට කරන පර්යේෂණ අනුව අංශබාග රෝගීනට හා අතපය අහිමි වන අයට ඔවුන්ගේ කෘති‍්‍රම අත්පාවලට ඔවුන්ගේ ම සිතිවිලිවලින් පණිවිඩ යැවිය හැකි ආකාරය සොයා ගන්නට බර්ග් ඇතුළු පිරිසට හැකි වේවි. 

මේ දෙදෙනා හුවමාරු කර ගත්තේ පුංචි වචන දෙකක්. ඒ වුණාට එය සනිටහන් කළේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ තමා විද්‍යාත්මක ලේඛන ගත කළ ලොව ප‍්‍රථම චිත්තබලයෙන් කළ සංවාදය හැටියට වාර්තාවන්නේ.

ඔවුන් හුවමාරු කර ගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ ඕලා’ (hola) යන වදනත්, ඉතාලි භාෂාවෙන් ‘ච්යා ඕ’ (ciao) යන වදනත්. ඒවා භාෂාවලින් සුබපැතීමට යොදා ගන්නා වදන්. හරියට ඉංගිරිසියේ ‘හලෝ’ කියනවා වාගේ.

”අපි මේ පරීක්ෂණයෙන් ඔප්පු කළා රූප, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ යන පංචේන්ද්‍රියන්ගෙන් තොරව දුර සිටින දෙදෙනකු අතර මානසිකව පණිවිඩයක් හුවමාරු කර ගත හැකි බව.” ආචාර්ය බර්ග් මේ තොරතුරු හෙළි කළ දා ප‍්‍රකාශ කළා.

”මෙය ඇත්තෙන්ම ආරම්භක පරීක්ෂණයක් විතරයි. මෙය සාර්ථක වීම නිසා මේ ඔස්සේ විශාල පෙරළියක් අනාගතයේ දී අපේ ශිෂ්ටාචාරය තුළ සිදු වේවි. ඇත්තෙන්ම, විද්‍යාත්මකව චිත්තබලයෙන් කළ හැකි දේ අසීමිතයි.”

 
අනාගතයේ දී මෙවැනි අධෝකායභංගීනට (paraplegics) තමන් පලඳින කෘති‍්‍රම පාදවලට පණිවිඩ යවන්න මේ ක‍්‍රමය උපයෝගී කර ගත හැකි වේවි.

ආචාර්ය බර්ග් කියන්නේ අනාගතයේ දී මෙම චිත්ත පණිවිඩ යවන ක‍්‍රමය විද්‍යාත්මකව යැවීම ආරම්භ කළ විට, අංශභාගයට ලක් වූ අයට, සිරුරේ අත් පා කොටස් අධෝකායභංගීනට (paraplegics), ස්නායු පද්ධතියේ අකි‍්‍රයතා ඇති අයට, තමන් පලඳින කෘති‍්‍රම පාදවලට පණිවිඩ යවන්න මේ ක‍්‍රමය උපයෝගී කර ගත හැකි බවයි. ඒ වගේ ම කතා කළ නොහැකි අයට මේ ක‍්‍රමයෙන් වෙනත් අයට සිතෙන් පණිවිඩ යැවිය හැකි වේවි.

”නිදසුනක් වශයෙන් කෝමාවකට පත් අයකුට, අනෙක් අයට තමන්ට අවශ්‍ය දේ දැන්වීමට දැනට කිසිදු ක‍්‍රමයක් ඇත්තේ නැහැ. ඒත් මේ නව සොයා ගැනීමෙන් ඔවුන්ටත් සන්නිවේදන හැකියාව ලබා දිය හැකි වෙනවා.” ආචාර්ය බර්ග් කියනවා.

ඒ විතරක් නොවෙයි, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයෙන් පිට එනම්, යුදබිමේදී ඝෝෂාකාරී ශබ්ද මැද තම සගයන් සමග සිතෙන් අදහස් හුවමාරු කර ගන්නට යම්දිනක හැකි වේවි. චන්ද්‍රිකා තාක්ෂණ හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු බිඳ වැටුණු විට පවා සම්බන්ධතා නොබිඳී පවත්වා ගෙන යා හැකි වේවි. දුරකතන නොමැතිව පවුලේ උදවියට දුර සිටින එකිනෙකා හා කතාබස් කළ හැකි වේවි.

අනාගතයේ දී පොලිසියට හා උසාවියට සැකකරුවන්ගේ සිත් කියවීමට මේ ක‍්‍රමය ප‍්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි, මෙහි තවත් පැත්තක් මේ පර්යේෂණය ව්‍යාපෘතියට එක් වූ විශේෂඥයකු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් ග්‍රෝ (Dr Carles Grau) පෙන්වා දෙනවා.

”මෙය මොළ දෙකක් අතර කෙරෙන පණිවුඩ හුවමාරු කි‍්‍රයාවලියකට මග පාදන්නක් නිසා ඒ සඳහා අවසර ලැබෙන පරිදි පුද්ගල ආරක්ෂාව පිළිබඳ නව නීති සකස් කරන්නත් සිදු වේවි.” මහාචාර්ය ග්‍රෝ කියනවා.

පරචිත්තවිජානනය බෞද්ධ අපට නුහුරු වදනක් නොවෙයි. බුදුන්ට හා රහතුන්ට අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අධිමානසික බලය ලද කෙනකුට අනිත් අයගේ සිත් කියවිය හැකි බව අපි අහල තියෙනවා.

ජංගම දුරකථන හෝ කථා කරන්නාගේ අනන්‍යතාව දැක්වීමේ ක‍්‍රමය එන්නට බොහෝ කලකට පෙර සමහර අයට හැකියාව තිබුණා, ටෙලිෆෝනය නාද වන විට ඒ කථා කරන්නේ කවුරුන්දැයි කල් තියා කියන්නට. මටත් ඒ හැකියාව තියෙනවා, මගේ එක් මිතුරකු වෙනුවෙන්. ඔහු දුරකථනයෙන් මා අමතන හැමවිටම මට ඒ බව දුරකථනය නාද වෙන කොටම කියන්න පුළුවන්.

එක හා සමාන නිවුන්නුන්ට ඔවුන් කෙතරම් දුරින් සිටියත් එකිනෙකාගේ හැඟීම් හා අදහස් කියවිය හැකි බවට මතයක් සමාජයේ තියෙනවා. එවන් ප‍්‍රකට නිවුන් දෙදෙනකු ලෙස ජේම්ස් ලෙවිස් හා ජේම්ස් ස්පි‍්‍රන්ජර් දක්වන්න පුළුවන්.

1940 ගණන්වල ඇමරිකාවේ ඔහියෝවල උපන් මේ දෙදෙනා ඉතා දුර ප‍්‍රදේශ දෙකක වෙන්වෙන්ව පවුල් දෙකක හදා වඩා ගනු ලැබුවා. තමන් නිවුන්නු බව නොදැන, කිසිම සම්බන්ධයක් නැතිව, සිටි මේ දෙදෙනා වසර 39 කට පසුවයි පළමු වතාවට මුණ ගැහුණේ. ඒ වන විට ඔවුන් දෙදෙනාම ලින්ඩා යන එකම නම ඇති කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගෙන සිට පසුව ඔවුන්ගෙන් දික්කසාද වී විවාහ වී ඇත්තේ බෙටී නම ඇති කතුන් දෙදෙනකු සමගයි. එපමණක් නොව ඔවුන් එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් ලබා එක සමාන රැුකියාවල නිතරව සිටියා. ඔවුන්ගේ සුරතල් සුනඛයා ඇමතුවේද ‘ටෝයි’ කියන එකම නමකින්.

මේ සියල්ල සමාන වූයේ ඔවුන් නොදැනුවත්වම එකිනෙකා සමග සිතිවිලි හුවමාරු කර ගත් නිසා බව පැහැදිලි කරුණක්.

ආචාර්ය බර්ග්ගේ පර්යේෂණයේ දී ඔවුන්ට සහය වුණේ ස්ට‍්‍රාස්බර්ග් පර්යේෂණායතනය, පමණක් නොවෙයි. ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයත්, ස්පාඤ්ඤයේ ස්ටාලැබ් පර්යේෂණාගාරයත් සමග ඇක්සිලම් නම් රොබටික නිර්මාණ කරන සමාගමකුත් ඊට එක් වුණා. ඒ පරීක්ෂණයෙන් මිනිස් මොළය තුළ චිත්ත බලය ඇති හෝ නැති බව ඔප්පු කරන්නට ඔවුන් වෙහෙසුණේ නැහැ. ඔවුන් කළේ මොළයකින් මොළයකට සන්නිවේදනය කළ හැකි බව පෙන්වා දීම පමණයි.

මේ සංකීර්ණ පර්යේෂණය සඳහා ඔවුන් විසින් ප‍්‍රබල පරිගණක ගණනාවක්, රොබෝ යන්ත‍්‍ර පමණක් නොව මොළයෙන් නිකුත් වෙන විද්යුත් ධාරාවන් මනින්නට හැකි විද්‍යුත් නිකර්පරේඛන යන්ත‍්‍ර සහ ඒවා සම්බන්ධ වීමට අවශ්‍ය සුවිශේෂ සිරස් කැප් දෙකක් ද යොදා ගත්තා.

පරීක්ෂණය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ආචාර්ය රියිරා මේ එක් සිරස් කැප් එකක් පැලඳ සිටියා. ඔහු හිසෙන් තිරස් හෝ සිරස් චලනයන් කීපයක් කරමින් ‘ච්යා ඕ’ (ciao) යන වචනය සිතෙන් නිකුත් කරන්න තැත් කළා. ඒ අනුව ‘ඊඊජී’ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් නිකර්පරේඛන (electro-encephalograph) යන්ත‍්‍ර ඔස්සේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ විද්‍යුත් ස්පන්දක හසු කර ගෙන ඒවා යාන්ති‍්‍රකව ඩිජිටල් ක‍්‍රමයට 1, 0 යනුවෙන් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා.

මේ සන්නිවේදනයේ දී ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන් යාන්ති‍්‍රකව පරිවර්තනය කරවීමේ අති සියුම් කාර්යයට පැය භාගයක් පමණ ගත වුණා. ඉන්පසු ව එය ඔහුගේ ලැප්ටොප් එක හරහා ප‍්‍රංශයට යවනු ලැබුවා.

මේ අතර ස්ට්‍රෝස්බර්ග් පර්යේෂණායනයේ ආචාර්ය බර්ග් හා අනෙක් ග‍්‍රාහකයන් දෙදෙනා ඇස් බැඳ යන්ත‍්‍රයකට සම්බන්ධ කර තිබුණා. ඒ යන්ත‍්‍රය මගින් ද්විමය පණිවිඩය විද්‍යුත් ස්පන්දක බවට හරවනු ලැබූ අතර ඒවා ඔවුන්ගේ මොළයේ පෙනීම පාලනය කරන අපරකපාල ඛණ්ඩිකාවට යවනු ලැබුවා.

ඒ විද්‍යුත් ස්පන්දක යැවූ මොහොතේ ඔවුන්ට දැනුණා, ෆොස්ෆීන ආලෝකයක් ක්ෂණිකව ඇති වී නැති වී යන බව. එය දිස් වූයේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙයි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන් ම අඳුරු කාමරයකයි. ඒ ෆොස්ෆීන, ග‍්‍රාහක යන්ත‍්‍රයක් මගින් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. ඊළඟට ඒවා ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන්වලට යාන්ති‍්‍රක පෙරළා ගැනීමේ කි‍්‍රයාවලියට තවත් පැය භාගයක් ගත වුණා.

සිතෙන් එසැණ හුවමාරු කර ගත් පණිවිඩය විද්‍යාත්මකව සනාථ කිරීම සඳහා යන්ත‍්‍රසූත‍්‍ර යොදාගෙන කළ කි‍්‍රයාවලිය සිදු වූයේ ඒ ආකාරයටයි.

”මේ කාර්යය නිවැරදිව සිදුවෙයි කියලා අපට ඒ අවස්ථාවේ දී සිතා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි කටයුතු කළේ සම්පූර්ණයෙන් ම අඳුරු කුටියක සිටයි. අපි දැඩි ලෙස සිත ඒකාග‍්‍ර කර මේ කටයුත්තේ යෙදුණා. කාර්යය අවසන් වූ පසුවයි, අපට දැන ගත හැකි වූයේ පණිවිඩය සියයට 90ත් 95ත් අතර නිරවද්‍යතාවකින් සන්නිවේදනව තිබූ බව.” ආචාර්ය බර්ග් පවසනවා.

මේ විද්‍යාත්මක කටයුත්තේ දී පැයක කාලයක් තුළ අකුරු හතරේ වචන දෙකක් හුවමාරු කර ගැනීමත් සංකීර්ණ සංවාදයක් පවත්වාගෙන යාමත් අතර අති විශාල වෙනසක් තියෙනවා. ඒත් මේ ඔස්සේ කරන පර්යේෂණ මගින් ඉදිරි දශක දෙක ඇතුළත ප‍්‍රයෝජනවත් වන ආකාරයට මේ තාක්ෂණය භාවිත කළ හැකි වනු ඇතැයි ආචාර්ය බර්ග් විශ්වාසය පළ කරනවා, සමහරු මීටත් වැඩි කාලයක් ගත වේවි යැයි සැක පහළ කරනවා. ආචාර්ය බර්ග් ඇතුලූ කණ්ඩායම සිය පර්යේෂණයට පමණ ඉක්මවා වැඩි වැදගත්කමක් දෙන්න හදනවා කියලා චෝදනා කර අයත් ඉන්නවා.

ඒත් ගත වූ වසර කීපය තුළ ලොව පුරා ස්නායු විද්‍යාඥයන් මොළයකින් මොළයකට පණිවිඩ යැවීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් රාශියක් කර තියෙනවා.

ගිය වසරේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මීයකුගේ මොළය විද්‍යුත් ක‍්‍රමයට මිනිසකුගේ මොළයට සම්බන්ධ කර අනතුරුව මීයාගේ වලිගය ඇඹරූ විට මිනිසාට වලිගය ඇඹරීම යන අදහස ඔහුගේ සිතේ පහළ වූ බව වාර්තා කළා.

කොහොම වුනත් මිනිසකුගේ මොළයෙන් තවත් මිනිසකුගේ මොළයට වදන් හුවමාරු කර ගැනීම ගැන කළ පළමු පර්යේෂණය අනුව අපට එකක් පැහැදිලි වෙනවා. තවදුරටත් අපට අපේ රහස් අපේ සිත් තුළ රඳවා තබා ගැනීම අනාගතයේ දී කළ නොහැක්කක් විය හැනි බවයි.






Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. අපි දන්නෙ නැති තව කොච්චරක් දේවල් මේ ලෝකෙ ඇතිද?

    ReplyDelete