ජපානයේ ඉසමු අකසාකි හා හිරෝෂි අමානෝ යන විද්‍යාඥයන් දෙදෙනාටත්, දැනට ඇමෙරිකාවේ වෙසෙන ජපන් ජාතික-ඇමරිකානු විද්‍යාඥ ශුජී නකමුරාටත් තමයි, 2014 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ. 1990 දශකයේ ඔවුන් ලොවට ඉදිරිපත් කළ නව නිපැයුමටයි, මේ සම්මානය පිරිනමා ඇත්තේ. අද එය ලොව පුරා භාවිත වෙනවා, පරිසර හිතකාමී විදුලි ප‍්‍රභවයක් ලෙස.
මේ තාක්ෂණය මුලින් ම නව නිපැයුමක් හැටියට ආවේ නකමුරා වෙතින්. ඒ 1993 දි. ඔහු සේවය කළ සමාගම මේ නව තාක්ෂණික සොයා ගැනීම වෙනුවෙන් එදා 1993 දී ඔහුට ඩොලර් 200ක මුදල් ත්‍යාගයක් දුන්නා. ඇස්තමේන්තු කර තියෙන විධියට මේ නව සංකල්පය ඒ සමාගමට 2020 වන විට ඩොලර් බිලියන 80ක් ඉක්මවන ප‍්‍රතිලාභ ලබා දෙන්නට නියමිතයි.
ශුජී නකමුරා (වමේ), ඉසමු අකසාකි (මැද) හා හිරෝෂි අමානෝ (දකුණේ) යන මේ විද්‍යාඥයන් තිදෙනාටයි, 2014 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත්තේ. ඔවුන්ගේ මේ නව නිපැයුම අප දැන් දන්නා හඳුනන ‘බ්ලූ එල්ඊඞී’ (blue LED) තාක්ෂණයෙන් නිපදවන ආලෝකයයි. ඒවා නිවෙස් ආලෝකමත් කරනවා පමණක් නොව කුඩා සිදුරක් ඔස්සේ කරන ශල්‍ය වෛද්‍ය ක‍්‍රමයේ දියුණුවට එය ඉවහල් වුණා.
ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය කියන විධියට මේ නව නිපැයුම ලොවට ඇවිත් තාමත් වසර 20ක් විතරයි ගතවෙලා තියෙන්නේ. ඒත් අපට අද ඉන් ලැබෙන ප‍්‍රයෝජන මෙතෙකැයි කියන්න බැහැ. මේ ශුජී නකමුරා සිය නව නිපැයුම ගැන ඇමෙරිකාවේ සැන්ටා බාබරාවල දී පැහැදිලි කිරීමක් කළ අවස්ථාවක්, මේ.
ශුජී නකමුරා මේ නිල් එළිය විහිදුවන එල්ඊඞී (LED) ආලෝකය නිපදවන මේ ක‍්‍රමය සඳහා පර්යේෂණ කර සොයා ගත්තේ 1993දියි. ඔහුගේ ඒ පර්යේෂණ ව්‍යාපෘතියට සහය වෙන්න ජපානයේ තොකුෂිමාහී නිචියා කෝපරේෂන් ආයතනය කැමති වුණා. ඒත් පසුව ඒ සඳහා වැඩි කාලයක් හා විශාල මුදල් කන්දරාවක් වැය වන නිසා එය අතර මග නවතා දමන්නට යැයි නිචියා කෝපරේෂන් ආයතනය ඔහුට කීවා. ඉන්පසු නකමුරා ස්වාධීනව ම ඒ කටයුත්ත කරගෙන ගිහින් 1993 දී ජය ගත්තා.
ලොව පුරා විද්‍යාඥයන් ගණනාවක් ම මේ හීනය හැබෑ කර ගන්න උත්සාහ කළත් නකමුරාට විතරයි, හැකි වුණේ එල්ඊඞී (LED) ආලෝක ප‍්‍රභවය මහා පරිමාණයෙන් නිපදවිය හැකි මෙවලමක් ලෙස නිර්මාණය කළ හැකි වුණේ.
මේ නව තාක්ෂණය නිවෙස් හා කාර්යාල ආලෝකමත් කරනවා පමණක් නොව අද මගතොට ඇති දැවැන්ත දැන්වීම් පුවරු පවා ආලෝකමත් කරනවා. සිරුරේ කුඩා සිදුරක් තුළින් කරන සැත්කම් සඳහා ආලෝකය සපයන්නත් මේ ක‍්‍රමය යොදා ගන්නවා. මීට වසර 20කට ඉස්සර මේ විධියේ ආලෝකය නිපදවන ක‍්‍රමයක් ගැන ලෝකය අහලවත් තිබුණේ නැහැ.
මේ නව අදහස මුලින් ම ඉදිරිපත් කරපු අවස්ථාවේ දී ඒ ගැන පැහැදුණු නිචියා කෝපරේෂන් සමාගම ඔහුට ජපන් යෙන් 20,000ක (ඇමෙරිකන් ඩොලර් 200ක) තෑගි මුදලක් විතරයි දුන්නෙ. මේ නව නිපැයුමේ ගෞරවය නිසි පරිදි ඔහුට ලබා දුන්නේ නැහැ. ඒ කටයුත්ත රැුකියාවේ කොටසක් හැටියටයි, ඔවුන් සැලකුවේ.
1994 දී නකමුරාට ජපානයේ තොකුෂිමා විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු ආචාර්ය උපාධිය හිමි වුණා. 1999 දී නකමුරා නිචියා ආයතනය අත හැර ඇමෙරිකාවේ සැන්ටා බාබරාහී පිහිටි කැෆෝනියා ව්ශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා මහාචාර්යවරයා ලෙස වැඩ බාර ගත්තා.
2001 දී ඔහු සිය අයිතිවාසිකම් ඉල්ලා නිචියා සමාගමට එරෙහිව වන්දි නඩුවක් ගොනු කළා. ඒ අතර ඒ සමාගම ඔවුන්ගේ වෙළඳ රහස් හෙළිදරවු කළේ යැයි ඔහුට එරෙහිව නඩු පවරන්නට අසාර්ථක උත්සාහයක් ගත්තා. හරි ගියේ නෑ. නකමුරා දැමූ වන්දි නඩුවෙන් ජපන් යෙන් බිලියන 20ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 180ක්) ගෙවන්න නියම වුණා. අන්තිමේ දී කෙසේ හෝ ඒ වෙනුවට නකමුරාට ඩොලර් 81 ලක්ෂයක් ගෙවන්න ඒ සමාගම එකඟ වුණා. එය නඩුවෙන් තීන්දු වූ ගණනින් බාගයකටත් අඩු වුනත් නව නිපැයුමක් වෙනුවෙන් ජපානයේ සමාගමක් මෙතෙක් ඉතිහාසයේ සේවකයකු වෙනුවෙන් ගෙවූ ලොකුම ත්‍යාග මුදල එයයි.
නකමුරා කොළ එල්ඊඞී ගැනත් සාර්ථකව පර්යේෂණ කරලා තියෙනවා. ඒ වගේ ම බ්ලූ රේ තැටිවලට හා එච්ඞී ඞීවීඞීවලට යොදන සුදු එල්ඊඞී නව නිපැයුමේ වගකීමත් ඔහුටයි, වැටෙන්නෙ. දැන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු විද්‍යා මහාචාර්යවරයා වන අතර ඔහුගේ නමට මේ වනවිට නව නිපැයුම් සඳහා වන පේටන්ට් බලපත‍්‍ර 100ක් පමණ තියෙනවා. නොබෙල් ත්‍යාගය හිමිකර ගත් නිර්මාණයත් ඒ අතර වෙනවා.
‘මේ නව ක‍්‍රමයෙන් අප හැම දෙනාටම ප‍්‍රයෝජනවත් වන ආකාරයට සුදු ආලෝකයක් නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා, අලූත් ම තාක්ෂණයක් භාවිත කරමින්. මේ ක‍්‍රමය ලොවට ඇවිත් තවමත් අවුරුදු 20ක කාලයක් විතරයි, ගත වෙලා තියෙන්නේ.’ කියා ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය කියනවා.
මේ එල්ඊඞී තාක්ෂණයේ පුරෝගාමී වූ විද්‍යාඥ, 85 හැවිරිදි ඉසමු අකසාකි මහාචාර්යවරයා, ජපානයේ මෙයිජෝ විශ්ව විද්‍යාලයෙත්, ඒ වගේ ම නගෝයා විශ්ව විද්‍යාලයෙත්, සේවය කරනවා.ිමවසි 1989 දී ඔහු කළ සොයා ගැනීම ‘ගැලියම් නයිට්රයිඞ් පී-එන් ජන්ක්ෂන් බ්ලූ එල්ඊඞී (Gallium nitride p-n junction blue LED) ආලෝක ප‍්‍රභවයයි. ඒ සමගම එහි අධි දීප්ත තාක්ෂණයක්ද ඔහු ලොවට හඳුන්වා දුන්නා. මේ සඳහා ඔහුට ජපානයේ කියෝතෝ සම්මානයත් පිරිනැමුණා, 2009දි. ඒ වගේ ම ඔහු 2011දී අයිඊඊඊ එඩිසන් සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ඉසමු අකසාකි සමග පර්යේෂණ කටයුතුවල යෙදුණු 54 හැවිරිදි හිරෝශි අමානෝත් මහාචාර්ය වරයෙක්, නගෝයා විශ්ව විද්‍යාලයේ. 1989 දී ඔහු ලෝකයේ පළමු වතාවට පාරජම්බුල කිරණ හා නිල් ආලෝක විමෝචන දීයෝඩයක් නිපදෙව්වා. මේ ක්ෂේත‍්‍රයේ ඔවුන් කළ මෙහෙය වෙනුවෙන් ඔවුන් තිදෙනාටම මේ වසරේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් සම්මානය හිමිවෙනවා.
‘දශක ගණනාවක් තිස්සේ ලොවපුරා විද්‍යාඥයන් දැඩි වෙහෙසක් ගත්තා, අර්ධ සන්නායකවලින් දීප්තිමත් නිල් ආලෝකයක් නිපදවන්නට හැකි තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙන්නට. ඒත් ඒ කිසිවකුටත් මෙතෙක් එය කළ නොහැකි වුණා.’ නොබෙල් සම්මාන කමිටුව කියනවා.
නිල් ආලෝකය හා එල්ඊඞී ලාම්පු යොදා ගෙන සුදු ආලෝකයක් විමෝචනය කිරීමට හැකි වීම මේ අතින් ලත් සුවිශේෂ ජයග‍්‍රහණයක් හැටියටයි ඔවුන් දකින්නෙ.
‘ලෝකයේ විදුලි පරිභෝජනයෙන් හතරෙන් එකක් වැය වන්නේ ලෝකය ආලෝකමත් කිරීමේ කටයුතුවලටයි. එහෙයින් මේ එල්ඊඞී නිසා පෘථිවියේ අනෙක් සම්පත් විශාල වශයෙන් ඉතිරි වෙනවා.’ නොබෙල් කමිටුව කියනවා.
මෙහි දැක්වෙන එල්ඊඞී බල්බවලට එක දිගට පැය ලක්ෂයක ආයු කාලයක් තියෙනවා. ඒ සමග සසඳන කොට ප‍්‍රතිදීප්ත විදුලි පහනක ආයු කාලය පැය 10,000ක් විතරයි. ටන්ග්ස්ටන් සූති‍්‍රකාව යොදන සාමාන්‍ය විදුලි බුබුළක ආයු කාලය වන්නේ පැය 1,000ක් විතරයි. ඒ විතරක් නොවෙයි, තාප දීප්ත විදුලි බුබුළුවලට වැය වන බල ශක්තියෙන් සියයට 90ක් අඩුවෙනුයි, ඒවාට වැය වන්නේ.
මේ නව සොයා ගැනීම නිවෙස් ආලෝකකරණයට එහා දේවලටත් යොදා ගන්නවා. එය යොදා ගත හැකි නව මං ගැන තවමත් හෙළිවෙමින් පවතිනවා.
දැන් පර්යේෂකයන් ජීව වෛද්‍ය විද්‍යාවට මෙය යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලා තියෙනවා. එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් ඉතා කුඩා එල්ඊඞී මෙවලමක් තනා තියෙනවා, කුඩා සිදුරු සැත්කමක් මගින් සිරුරේ තැන්පත් කළ හැකි. ඒ මගින් විකිරණ චිකිත්සක ක‍්‍රමය භාවිත කරද්දී රෝගියාගේ සිරුරට අවම හානියක් හෝ නොවන සේ එය කළ හැකි වෙනවා.
නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ එහි නිර්මාතෘ ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ අන්තිම කැමත්තට අනුවයි. ඔහු මිය ගියේ 1896 දෙසැම්බර් 10 වැනිදා. සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා මේ සම්මානය පිරිනැමෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙනි. නොබෙල් ත්‍යාගයට රන්පදක්කමක්, විශාල මුදල් ත්‍යාගයක් හා සහතික පත‍්‍රයක් හිමි වෙනවා.
0 Comments