HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව අංක එකේ පිතිකරු කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තා!

මහේල ගැන කතා කරන කොට අමතක නොවන නමක් තමයි, ඔහුගේ පිටියේ සුවිශේෂ මිතුරා, සංගක්කාර. මහේල සංගා එක්වී තැබූ ලෝක වාර්තා එදා මහේල ගැන කියන විට අප සිහිපත් කළා, ඔබට මතක ඇති. මහේලට පිටියේ දීත් පිටියෙන් පිටතදීත් හැමවිටම සහයට සිටින අඹයාළුවා ඔහුයි. ඒ නිසා මේ අවස්ථාව අපි ‘මහේලගේ ආදරණීය සංගාගේ’ දස්කම් ගැන යමක් කියන්න යොදා ගන්නවා.


මෑතදී අවසන් වූ පාකිස්තාන් - ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් පසු අපේ අග‍්‍රගන්‍ය පිතිකරු කුමාර් චොක්ෂානන්ද සංගක්කාර මේ වසරේත් ලෝකයේ අග‍්‍ර ගන්‍ය ටෙස්ට් පිතිකරුවා බවට පත් වී තියෙනවා. එහිදී ඔහු ලෝකයේ වැඩිම ද්විත්ව ශතක ලාභියා වීමට යන ගමනේ තවත් එක් කඩඉමක් පසු කළා. ඒ ඔහුගේ 10 වැනි ද්විත්ව ශතකය ලබා ගනිමින්. පසුගිය දා පකිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ කළ සංචාරයේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ 4 වන දිනයේ දී තමයි, සංගක්කාර මේ කඩඉම පසු කළේ.

ඒ අනුව දැනට ලෝකයේ ජීවත්වන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතුරින් වැඩිම ද්විත්ව ශතක ප‍්‍රමාණයක් ලබාගෙන ඇති එකම කී‍්‍රඩකයා කුමාර් සංගක්කාරයි. දැන් ඔහු දෙවැනි වන්නේ දිවංගත සුපිරි ක‍්‍රීඩක ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ලබා ගෙන ඇති ද්විත්ව ශතක 12 ට පමණයි. ද්විත්ව ශතකලාභීන් අතර තෙවැන්නා කොදෙවු සුපිරි කී‍්‍රඩක බ‍්‍රයන් ලාරායි. ඔහු ලබා ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 9 ක්. ලොව සුපිරි ක‍්‍රීඩකයෙක් වූ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පවා ලබාගෙන ඇත්තේ ද්විත්ව ශතක 6 ක් පමණයි. ඔවුන් දෙදෙනාම ටෙස්ට් කි‍්‍රකට්වලට සමුදී අවසන්. කුමාර් සංගක්කාර තවමත් ටෙස්ට් තරගවලට සහභාගි වෙනවා.


මෙවර ලැබූ ද්විත්ව ශතකයත් සමග ටෙස්ට් තරගවලදී ලොව ක‍්‍රීඩකයෙකු එකම රටකට එරෙහිව ලකුණු 150 ක් හෝ ට ඊට වැඩියෙන් ලබා ගැනීමේ වාර්තාවෙන්ද සංගක්කාර ලොව දෙවැන්නා වී තිබේ. එනම් ඔහු මෙලෙස පාකිස්ථානයට එරෙහිව 6 වතාවක් ලකුණු 150 හෝ ඊට වැඩියෙන් ලබාගෙන තියෙනවා. එම වාර්තාවෙහි පළමුවැන්නා වන්නේ ද ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්. ඔහු එංගලන්තයට එරෙහිව 11 වතාවක් ලකුණු 150 ක් හෝ ට ඊට වැඩියෙන් ලබා ගෙන තමයි, ඒ වාර්තාව තබා තියෙන්නේ.

ඒ ටෙස්ට් තරගයේ දී සංගක්කාර පිහිට වූ වාර්තා අතර ශ‍්‍රී ලංකාවේ ඕනෑම ක‍්‍රීඩකයෙකු ඕනෑම වසරක් තුළ දී ලබා ගත් වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොතට එක් වෙනවා. ඒ ටෙස්ට් තරගයේ දී සංගක්කාර ලබා ගත් ද්විත්ව ශතකයත් සමග 2014 වසරේදී ලකුණු 1329 ක් ලබා ගෙන තියෙනවා. මීට පෙර 1997 දී මෙම වාර්තාව හිමිකම් කීවේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි. ඔහු ලබාගෙන තිබුණේ 1271ක්. සනත් එම ලකුණු ලබා ගැනීමට තරග 11ක ඉනිම 19 කට මුහුණ දුන් නමුත් සංගක්කාර මුහුණ දී ඇත්තේ තරග 9 ක ඉනිම 16 කට විතරයි.


ඒ ටෙස්ට් තරගය සංගක්කාරට ඉතා සුවිශේෂ එකක් වූයේ ඕනෑම රටක පිතිකරුවෙකු පාකිස්ථානයට එරෙහිව ලබා ගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වූ 2707 ලබා ගැනීමට සමත් වීම නිසයි. එරටට එරෙහිව සංගක්කාරගේ ටෙස්ට් ලකුණු ගැනීමේ සාමාන්‍යය සියයට 84.59 ක්.

සංගක්කාර පසුගිය ටෙස්ට් තරග 19කදී ශතක 9 ක් වාර්තා කර තියෙනවා. පාකිස්තාන් - ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පිහිටුවන ලද තවත් වාර්තාවක් වූයේ සංගක්කාර සහ මහේල එක්ව තැබූ ලකුණු 100 යේ සම්බන්ධතාවයි. මෙතෙක් ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 100 සම්බන්ධතා 18 ක් පවත්වා තියෙනවා. ලොව එකම ක‍්‍රීඩක යුගලයක් එක්ව ලකුණු 100 සම්බන්ධතා සංගා සහ මහේල ජෝඩුවට වඩා වැඩියෙන් පවත්වා ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනා විතරයි. ඒ ගණන 20ක්.


මින් ඉදිරියට මහේලත් සංගක්කාරත් එකට කී‍්‍රඩා කරනු අපට දැක ගත හැක්කේ සීමිත ඕවර තරගවලදී පමණයි. ඒත් සංගක්කාර තවදුරටත් ටෙස්ට් කි‍්‍රකට්වලට සහභාගි වන නිසා තවත් ද්විත්ව ශතක දෙකක් ලබා ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ වාර්තාව සම කරන්නට ලැබේවායි යන්න අපේ පැතුමයි.



- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments