HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඈත සක්වළින් පොළොවට හදිසියේ රේඩියෝ තරංග පණිවිඩයක්?

දකුණු ඇමරිකාවේ පිහිටුවා ඇති ඇරිසිබෝ රේඩියෝ දුරේක්ෂයට මෙතෙක් නෑසූ අමුතු ‘හඬ’ක් අසන්ට ලැබිලා තියෙනවා. හදිසියේ නිකුත්වුණු රේඩියෝ තරංගවලින් ලැබුණු මේ සංඥාව ඈත පිටසක්වළින් මෙහාට එවන ලද පණිවිඩයක් ද? එය අමුතු විධියේ හඬක කෙටි සංඥාවක්. එයින් කියැවෙන්නේ කුමක් ද? අපේ ගැලැක්සියෙන් එපිට අද්භූත ග‍්‍රහලෝකයකින් ආ ඇමතුමක්ද? මේ පිළිබඳව වාර්තා වුණේ අලූත්ම අධ්‍යයනයකින්.

තත්පරයකින් අංශු මාත‍්‍රයක් වශයෙන් ඇසුණු මේ ‘ගුප්ත හඬ’ හසුකර ගැනීමට සමත්වී ඇත්තේ දකුණු ඇමරිකාවේ පුවර්ටෝ රිකෝ හී සවි කර ඇති ඇරිසිබෝ (Arecibo) රේඩියෝ දුරේක්ෂය භාවිත කරන විද්‍යාඥයන් පිරිසක්. ඒ ‘හඬ’ කොහෙන් ආ එකක්ද යන්න දැන් ලොව පුරා තාරකා විද්‍යාඥයන්ට ප‍්‍රශ්නයක් වෙලා!

 
පුවර්ටෝ රිකෝවේ ස්ථාපිත කර ඇති ඇරිසිබෝ රේඩියෝ දුරේක්ෂයට තත්පරයකින් අංශුවක ප‍්‍රමාණයේ රේඩියෝ තරංගයක් හසු කර ගැනීමට හැකි වීම ජගත් තාරකා විද්‍යාඥයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තියෙනවා.

මෙය කුමක් විය හැකිද?

මෙවැනි හදිසියේ එන රේඩියෝ තරංගයකින් කියැවෙන්නේ කුමක් ද යන්න තාරකාභෞතික විද්‍යාඥයන්ට නව ප‍්‍රහේලිකාවක්ව තිබෙනවා.

මේවා තාරකාභෞතික වස්තූන් විශාල පරාසයක සිදුවන විපර්යාස හේතුවෙන් නිකුත් වෙන ඒවා විය හැකියි. ඇතැම් විටක කළුකුහරයක් වාෂ්ප වී යාමක්, නියුට්‍රෝන තාරකාවලින් විකිරණ නිකුත් වීමක් හෝ අති ප‍්‍රබල චුම්බක ක්ෂේත‍්‍ර ඇති නියුට්‍රෝන තාරකා ලෙස සැලකෙන මැග්නටාවලින් නිකුත්වන ගිනිජාලා විහිදුවීමක් හෝ නිසා මෙවැනි හදිසි රේඩියෝ විකිරණ තරංග නිකුත් වීමක් සිදු විය හැකියි.

”ඒ වගේම යෝධ පල්සරයකින් වුවත් මෙවැනි රේඩියෝ තරංග නිකුත් කිරීමක් සිදු විය හැකියි.” කියා කෝනෙල් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් කෝඩෙස් කියනවා. ඔහු පළ කර ඇති මේ නව අධ්‍යයනයේ සම කතුවරයායි.

එපමණක් නොව අන්තර්ජාතික තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් කළ මේ නව සොයා ගැනීම් පිළිබඳ වාර්තාව ජූලි 10 වැනිදා ‘ඇස්ට්‍රොෆිසිකල් ජර්නල්’ නම් තාරකා භෞතික විද්‍යා සඟරාවේ පළ වී තියෙනවා.

එහි පළ වූ ආකාරයට අනුව ඕස්ටේ‍්‍රලියාවේ පාකස් රේඩියෝ දුරේක්ෂයෙන් බැහැරව වෙනත් උපකරණයක් භාවිතයෙන් ‘හදිසියේ නිකුත්වන රේඩියෝ තරංගයක්’ හසු කර ගත් පළමු වන වතාව එයයි.

පාකස් රේඩියෝ දුරේක්ෂය භාවිත කරන විද්‍යාඥයන් පිරිස වාර්තා ගත කර ඇත්තේ එවැනි අවස්ථා අතළොස්සක් විතරයි. වෙනත් තැන්වලින් එවැනි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නැහැ. ඒ නිසා මේ ඔස්ටේ‍්‍රලියානු උපකරණය මගින් හෝ පෘථිවිය ආසන්නයේ හෝ පෘථිවිය තුළින් ම ඇති වන සංඥා හසු කර ගන්න හැකි වෙතැයි උපකල්පනය කරන්න ඇති.

”අප ලද ප‍්‍රතිඵල වඩා වැදගත් වන්නේ මේ හදිසි රේඩියෝ තරංග සත්‍ය වශයෙන් ම අන්තරීක්ෂ අවකාශයෙන් එන ඒවා යයි යන සැකයක් ඇත් නම් ඒවා ඉවත් කර ගැනීමට මෙයින් ඉඩ ප‍්‍රස්තාව සැලසෙන නිසයි.” මොන්ටි‍්‍රයල්හී මක්ගිල් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචර්යවරිය වන වික්ටෝරියා කැස්පි කියනවා. මේ හදිසි රේඩියෝ තරංග හඳුනාගත් පල්සර් විමර්ශන ව්‍යාපෘතියේ ප‍්‍රධාන පරීක්ෂකවරිය ඇයයි.

”මේ හදිසි රේඩියෝ තරංග අපට ලැබුණේ අපේ ගැලැක්සියෙන් පිටතින් බව හොඳින්ම අපට හොඳින්ම අවබෝධ වුණා.”

අමුතු විධියේ සංඥා විශේෂයක් මුලින්ම ඇරිසිබෝ දුරේක්ෂයෙන් හසුකර ගත්තේ 2012 නොවැම්බර් 2 වැනිදායි. ඇමරිකාවේ ජාතික විද්‍යා පදනම විසින් පුවර්ටෝ රිකෝ හී පිහිටුවන ලද මේ රේඩියෝ දුරේක්ෂය මෙහි ඇති රේඩියෝ දුරේක්ෂය මේ වර්ගයේ ලොව ඇති ලොකුම එක වගේ ම සංවේදීම එක හැටියටත් සලකන්න පුළුවන්. රේඩියෝ දර්පණ තැටිය මීටර 305ක් පළලයි. මෙය අක්කර 20ක් පුරා පැතිර පවතිනවා.

මේ ආකාරයට ආ හදිසි රේඩියෝ තරංග (fast radio bursts) පැවතියේ තත්පරයකින් දහස් ගණනක පංගුවක් තරම් අංශු මාත‍්‍රයක් පමණයි. ඒවා ඉතාමත් කලාතුරකින් තමා අපට හසු වන්ානේ. ඇරිසිබෝ රේඩියෝ දුරේක්ෂය හා කටයුතු කරන විද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව දළ වශයෙන් දවසකට 10,000 වාරයක් මුළු අහස පුරාම මේ අමුතු අන්තරීක්ෂ කිරණ නිකුත් වීම් සිදු වෙනවා.

මේ සා විශාල සංඛ්‍යාවක් මේ තරංග නිකුත් වීම සිදුවෙතැයි නිගමනය කර ඇතත් මේ වන විට වාර්තා වී ඇති පරිදි හසුකර ගත හැකි වී ඇත්තේ ස්වල්පයක් විතරයි. ඒ ස්වල්පය සොයා ගැනීමටත් කෙතරම් ප‍්‍රමාණයක් කෙතරම් කාලයක් අහස නිරීක්ෂණය කරන්නට ඇද්දැයි සිතා ගත හැකියි.

”මේ සිදුවීම පැවති කාලය හා එහි ඇති දිප්තිය, මේ හදිසි අන්තරීක්ෂ කිරණ නිකුත් වීම ආදී සියල්ල ම ඔස්ටේ‍්‍රලියාවේ පාක්ස් දුරේක්ෂය මගින් කලින් නිරීක්ෂණය කළ විකිරණ තරංග නිකුත් කිරීම්වලට හැම අතින් ම සමානයි.” ලෝරා ස්පිට්ලර් පවසනවා. ඇය මේ පිළිබඳව පසුගියදා නිකුත් කළ අධ්‍යයන වාර්තාවේ සම කර්තෘවරියයි.

මේ සංඥා එන්නේ කොහෙන්ද?

මේ හදිසි විකිරණ තරංග නිකුත් වීම් එන්නේ අප අයත්වන ක්ෂීර පථය කියන ගැලැක්සියට එපිටින් බව සොයා ගෙන තියෙනවා. එසේ සොයා ගෙන ඇත්තේ ප්ලාස්මා විස්තාරණය යනුවෙන් හැඳින්වෙන භෞතික විද්‍යාත්මක සංසිද්ධියක් උපයෝගී කර ගෙනයි.

අන්තරීක්ෂ අවකාශයේ සිට එන තරංග හා මිනිසා විසින් නිකුත් කරන ඒවා වෙන්කොට හඳුනා ගත හැක්කේ අන්තරීක්ෂ ඉලෙක්ට්‍රෝනවල බලපෑම නිසා රේඩියෝ තරංග, අඩු රේඩියෝ සංඛ්‍යාතවල දී වඩාත් හෙමින් ගමන් කරන බව නිරීක්ෂණය කිරීමෙනුයි.

විද්‍යාඥයන් වාර්තා කරන්නේ ඇරිසිබෝ දුරේක්ෂයෙන් හඳුනා ගන්නා ලද හදිසි තරංග නිකුත් වීම් අපේ ගැලැක්සිය ඇතුළත මාධ්‍යයකින් නිකුත් කරන ඒවාට වඩා තුන් ගුණයකින් වැඩි විස්තාරණයකින් යුක්ත ඒවා බවයි.

 
මේ අපේ ක්ෂීරපථයයි. පර්යේෂකයන් කියන්නේ අපට මේ අභිරහස් සංඥාව ලැබී ඇත්තේ අපේ ක්ෂීරපථයෙන් එපිට තැනකින් විය හැකි බවයි.

මේ අනාවරණය කර ගැනීම සිදු වූයේ පල්සර් ඇරිසිබෝ එල්-බෑන්ඞ් ෆීඞ් ඇරේ (Pulsar Arecibo L-Band Feed Array) නමින් හැඳින්වුණු විද්‍යාත්මක ව්‍යාපෘතියක කොටසක් හැටියටයි. මේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අති විශාල පල්සර සංඛ්‍යාවක් නිරික්ෂණය කර දුර්ලභ වස්තූන් සොයා ගැනීමත් භෞතික විද්‍යාත්මක සංසිද්ධී විමර්ශනය කිරීමත්ය.

ඒ අතර රේඩියෝ දුරේක්ෂ යොදා ගෙන මේ හදිසි රේඩියෝ විකිරණ නිකුත් කිරීම් ගැන සෙවීම තවදුරටත් පුළුල් කරන්නට ලෝකයේ බලවත් රටවල් තීරණය කර තිබෙනවා.

දැන් හදිසි රේඩියෝ තරංග හඳුනාගත හැකි විශේෂ දුරේක්ෂ කීපයක් ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව හා කැනඩාව යන රටවල ඉදි කර ගෙන යනවා. ඒවාට සැපයෙන පහසුකම් අනුව තාරකා විද්‍යාඥයන් කියන්නේ අනාගතයේදී තවත් සොයා ගැනීම් කරනු නියත බවයි. විශ්වයේ අබිරහස් සංසිද්ධීන් ගැන දැනට වඩා හොඳ අවබෝධයක් එවිට ලෝකයාට ලබා ගත හැකි වේවි.


Post a Comment

0 Comments