HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එංගලන්තයේ ගුවන්යානා සන්දර්ශනයට විස්මිත ගුවන්යානා නිපැයුම් රැසක්!

එංගලන්තයේ හැම්ප්ෂයර්හිදී පසුගියදා පැවැත්වුණු ෆාන්බරෝ (Farnborough) ගුවන් යානා ප‍්‍රදර්ශනය හා සන්දර්ශනය මෙවර පැවැත්වූයේ 49 වැනි වරටයි. එහි යන අයට ගුවන්ගමන් තාක්ෂණයේ නවතම සොයා ගැනීම් හා මෙතෙක් ලබා ඇති ජයග‍්‍රහණ රැසක් දැක බලා ගත හැකි වුණා.

මේ අන්තර්ජාතික ගුවන් සන්දර්ශනය පැවැත්වන්නේ වසරක් හැර වසරක් වන අතර මේ හා සමාන වූ ලෝක ප‍්‍රකට පැරීස් ගුවන් සන්දර්ශනය මේ සන්දර්ශනය නොපැවැත්වෙන වසරක් අරෙ වසරක් පැවැත්වෙනවා. මෙම සන්දර්ශනයේ මුල් දින පහ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙනුවෙන් වෙන්වන අතර අවසාන දින දෙක මහජනයා වෙනුවෙන් වෙන්වෙනවා.

මහජනයා වෙනුවෙන් ගුවන් යානා සන්දර්ශන ද ඇතුළත් වුණා. මෙවර ප‍්‍රදර්ශනයට ඉගිල්ලෙන කාර්, සැහැල්ලූ එමෙන්ම හැකිළිය හැකි ගුවන් යානා ඉන්ධන ටැංකි, ගුවන් යානයේ දෝෂ ඇතොත් ඒ බව නියමුවාට දැනෙන පාලක යෂ්ටි ආදී අධි තාක්ෂණික මෙවලම් රැුසක් එක්කොට තිබුණා. ඊට අමතරව බෝයිං සමාගමට අයත් දැවැන්ත ඞ්රීම්ලයිනර් යානයක් ඇදහිය නොහැකි ආකාරයට ගුවනේ කරණම් ගහන හැටි දැක ගත හැකි වුණා.

 
මෙවර 49 වැනි අන්තරජාතික ෆාන්බරෝ ගුවන් සන්දර්ශනයේ දී දකින්නට ලැබෙන විශේෂ එයාබස් ප‍්‍රවාහන ගුවන් යානය. ඒ 400එම් යනුවෙන් හඳුන්වා ඇති මෙය භාණ්ඩ ප‍්‍රවාහනයට, හමුදාවන් ගෙන යාමට, වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රෝගීන් ගෙන යාමට, ගුවනේදී ගගන යානාවලට ඉන්ධන පිරවීම් ආදියට පමණක් නොව විද්යුත් විමර්ශන කටයුතුවලට යොදා ගත හැකියි.

මේ වසරේ ජූලි මාසයේ මෙහි පැවැත්වෙන මේ ගුවන් යානා සන්දර්ශනය මීළඟ වසරේ මේ කාලයේ දී පැවැත්වෙන්නේ ප‍්‍රංශයේ පැරීසියේදියි. මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට දෙලක්ෂයක් පමණ දෙනා එතැයි අපේක්ෂා කරන අතර ප‍්‍රදර්ශනයට ඉදිරිපත්ව සිටින නිෂ්පාදකයන් සංඛ්‍යාව 1600ක් පමණ වෙනවා.

එහිදී දක්නට ලැබෙන විශේෂාංග කීපයක් මෙසේයි:

බි‍්‍රතාන්‍ය ඉංජිනේරු සමාගමක් වූ පැරාජෙට් (Parajet) විසින් ඉදිරිපත් කර ඇති ස්කයිරනර් (SkyRunner) යානය පියාසර කරන කාරයක්. පෝෂේ රථයක් මෙන් වේගයෙන් ධාවනය කළ හැකියි. ඒ වගේම අවශ්‍ය ඕනෑම විටෙක අහසට නැංවිය හැකියි. එයට පැයට කිලෝමීටර් 88ක වේගයෙන් අහසේ පියාසර කළ හැකියි. මිනිත්තු තුනක් ඇතුළත මේ කාරය ගුවන් යානයක් බවට පත් කර ගත හැකියි. මෙය ගුවනේ දී පැරාග්ලයිඞ් ක‍්‍රමය යොදා ගන්නවා පියාසර කිරීමට ආධාරයක් හැටියට. පැරචූටයක් වැනි පියාපතක් මගින් අඩි 15,000ක් ඉහළ අහසේ පියාසර කරන්න මෙයට පුළුවන්. එහෙත් එහි ගුවන් ගමන් අඩි 10,000ත් අඩි 3,000ත් අතරට සීමා කරලයි තියෙන්නේ.

ලෝක ප‍්‍රකට බීඒඊ සිස්ටම්ස් (BAE Systems) ගගන ඉංජිනේරු සමාගම ඉදිරිපත් කළ නව නිපැයුම් ගණනාවක් අතරින් කැපී පෙනුනු එකක් වූයේ පියාසර කරද්දී ඉතා විශාල වපසරියක් නිරීක්ෂණය කළ හැකි අති සංකීර්ණ රේඩාර් පද්ධතියක් සවිකළ ප‍්‍රහාරක ජෙට් ගුවන්යානයක්. දැනට නිපදවා ඇති ලෙස වඩාත් සංකීර්ණ රේඩාර් පද්ධතිය ලෙස හැඳින්වෙන මෙය නම් කර තිබුණේ ‘කැප්ටර් ඊ’ (Captor-E) කියායි. එය ඒඊඑස්ඒ රේඩාර් (AESA radar) වර්ගයට අයත් එකක්. එය සවි කර තිබුණේ ‘යූරෝෆයිටර් ටයිෆුන් අයිපීඒ5’ (Eurofighter Typhoon prototype IPA5) නම් ජෙට් යානයටයි.

 
මෙවර ගුවන්යානා සන්දර්ශනයට ඉදිරිපත් කර තිබූ පියාසර කළ හැකි කාරය. පැරාජෙට් (Parajet) විසින් ඉදිරිපත් කළ මෙය හැඳින්වූයේ ස්කයිරනර් (SkyRunner) කියායි.

මේ ජෙට් යානයට සවි කළ අති සංකීර්ණ රේඩාර් පද්ධතිය නිසා ප‍්‍රහාරක නියමුවාට ඉලක්කය වෙනස් නොකර ගෙන අංශක 90ක කෝනයකට වුනත් හරවන්න පුළුවන්.

ඒ වගේ ම ඒ ආයතනය ඉදිරිපත් කළ ගුවන්යානා පාලක යෂ්ටියත් සුවිශේෂ එකක් වුණා. එතෙක් හමුදා ගුවන් යානාවලට පමණක් සීමා වී තිබුණු මේ පාලක යෂ්ටිය මගී ගුවන්යානාවල නියමු කුටිවලටත් සවි කළ හැකි ආකාරයට නවෝත්පාදනයක් ලෙස වැඩි දියුණු කර තිබුණා. යානයේ කොතැනක හෝ යම් දෝෂයක් තිබුණොත් ඒවා පවා මේ යෂ්ටියට දැනුනා. ගුවන් යානාවක් තුළ නියමු කුටියේ නියමුවන් තුළ මනා සම්බන්ධතාවක් මේ නව යෂ්ටිය මගින් ඇති කළ හැකියි.

ඒ විතරක් නොවෙයි, බීඒඊ සිස්ටම්ස් සමාගම හඳුන්වා දුන්නා, ඔවුන්ගේ තාරානිස් (Taranis) නම් නියමුවකු රහිත නවතම ප‍්‍රහාරක ජෙට් යානය. එයට සතුරු රේඩාර්වලට හසු නොවී ගුවනේ සැරිසරමින් සතුරු ඉලක්වලට ප‍්‍රහාර එල්ල කළ හැකියි.

ඒරෝ සෙකුර් (Aero Sekur) නම් සමාගම මේ සන්දර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුණේ, රබර් හා කෙව්ලර් මිශ‍්‍ර කර තැනූ නවතම ඉන්ධන ටැංකියක්. එය ගුවන් යානයක් තුළ පියාපත් අස්සේ ඇති ඕනෑම ඉඩක එහි හැඩය අනුව ගළපා තැන්පත් කර ඉන්ධන පුරවා භාවිත කළ හැකි එකක්.

 
අහසේ දී මේ කාරය පැරාග්ලයිඞ් ක‍්‍රමයේ පියාපතක් යොදා ගන්නවා. මෙයට උපරිම අඩි 15,000ක්, එනම් වලාකුළුවලට වඩා ඉහළට යන්න පුළුවන්.

 
‘කැප්ටර් ඊ’ නමින් හැඳින්වුණු වඩාත් දියුණු ඒඊඑස්ඒ රේඩාර් පද්ධතිය සවි කළ යුරෝෆයිටර් නම් ප‍්‍රහාරක ජෙට් යානය.

 
බීඒඊ සිස්ටම්ස් සමාගම ඉදිරිපත් කළ මේ නවෝත්පාදනය, ‘ඇක්ටිව් ඉන්සෙප්ටර් සිස්ටම්ස්’ පාලක යෂ්ටිය නිසා මගී ගුවන් යානාවල නියමුවන්ට යානයේ දෝෂ ඇත් නම් ඒවා කල්තියාම හඳුනා ගන්න පුළුවන්.

 

මගී ගුවන්යානාවලට හඳුන්වා දෙන මේ නව පාලක යෂ්ටිය නිසා නියමුවන් දෙදෙනා අතර වැඩි සම්බන්ධයක් ඇති වෙනවා. ඒ නිසා පැදවීම පහසු වෙනවා විතරක් නෙවෙයි, යානාවල ඇති වන දෝෂ කල්තියා හඳුනා ගැනීම පහසු වෙන නිසා මගී ගුවන්යානාවල ආරක්ෂා වැඩි දියුණුවෙනවා.

මගී ගුවන් යානාවලට සවි කෙරෙන මේ ‘ඇක්ටිව් ඉන්සෙප්ටර් සිස්ටම්ස්’’ නම් සකි‍්‍රය පාලක යෂ්ටිය නිසා යානයේ අභ්‍යන්තර කි‍්‍රයාකාරිත්වය ගැන යානයෙන් ම නියමුවාට ඉඟි සැපයෙනවා. ස්පර්ශයෙන්ම ඔහුට බොහෝ දේ දැන ගත හැකියි. මේ හැකියාව මෙතෙක් කලක් තිබුණේ ප‍්‍රහාරක ජෙට් යානාවල විතරයි. යානය හැකියාවන්ගේ සීමා ඉක්මවනවා නම් ඒ බව වහා ඉන් දැනුම් දෙනවා. ඒ වගේ මෙහෙයුම් මැදිරියේ ඉන්නා නියමුවන් අතර සහසම්බන්ධය වැඩි වෙනවා. මෙයින් යානයේ ආරක්ෂාවට ලොකු රුකුලක් ලැබේවි.

යානයේ ඉන්ධන ඉතිරි කර ගැනීමටත්, නඩත්තුව පහසු කිරීමටත්, යාන්ති‍්‍රක දෝෂ අවම කර ගැනීමටත් සේ නව යෂ්ටිය ලොකු පිටිවහලක් වේවි.

 
ඒරෝ සෙකුර් සමාගම ඉදිරිපත් කර තිබුණු රබර් හා කෙව්ලර් මිශ‍්‍ර කර තැනූ නවතම ඉන්ධන ටැංකිය. මෙහි සම්ප‍්‍රදායික ටැංකි මෙන් දෙගුණයක ධාරිතාවක් තියෙනවා.

බීඒඊ ආයතනය ඉදිරිපත් කළ අනෙක් විස්මිත ගුවන් යානය වූ තාරානිස් (Taranis) නියමුවන් රහිතව අහසේ සිට සතුරු යානාවලට හා ඉලක්කවලට පහර දිය හැකි එකක්. අත්හදා බැලීම්වල දී මේ යානය එහි හැකියාවන් සාර්ථක ලෙස ප‍්‍රදර්ශනය කළා. සතුරු රේඩාර්වලට හසු නොවී නිහඬව පහරදිය හැකි බව පෙන්නුම් කළා. තාරානිස් කියා මේ යානයට නම දී ඇත්තේ අකුණුවලට අධිපති සෙල්ටික් දෙවියන්ගේ නාමය අනුව යමිනුයි.

 
පියාජියෝ කියන ඉතාලි සමාගම මේ සන්දර්ශනයට එක් කර තිබුණේ ඔවුන්ගේ නවතම නියමුවන් රහිත ඩ්‍රෝන යානයයි. එය හැඳින්වූයේ ‘පී 1එච්එච් හැමර්හෙඞ්’ කියායි. අඩි 45,000ක් ඉහළ අහසේ සිට ඔත්තු බලමින් අවශ්‍ය තොරතුරු සපයන්නටත්, යුද මෙහෙයුම්වලට සහය වෙන්නත් එයට පුළුවන්.

 
නියමුවන් රහිතව ඉහළ අහසේ පියාසර කරමින් රේඩාර්වලට හසුනොවී සතුරු ඉලක්කවලට පහරදීමට මේ බීඒඊ සිස්ටම්ස් (BAE Systems) ගගන ඉංජිනේරු සමාගමේ තාරානිස් යානයට හැකියාව තියෙනවා.

 
තාරානිස් යානය ශබ්දයේ වේගය ඉක්මවමින් ප‍්‍රහාර ඉලක්ක කරා යන ආකාරයත්, පහර දෙක ආකාරයත් මේ ග‍්‍රැෆික් සටහනෙන් දැක්වෙනවා. ඉලක්කයට බොහෝ දුර තැනකින් ගමන අරඹන එය එහි ඇති පරිගණකය දෙන සැලසුම් අනුව ප‍්‍රහාර එල්ල කරන අතර එහි ගෙන යාහැකි මිසයිල හා වෙනත් තොරතුරු මේ චිත‍්‍රයට ඇතුළත් කර තියෙනවා.

 
ඞ්රීම්ලයිනර් නම් මේ බෝයිං යානය ගුවන්යානා සන්දර්ශනය අලංකාර කළ ගුවන් කරණම්වල යෙදුනේ මෙසේයි. මයික් බ‍්‍රයන් හා රැුන්ඩි නෙවිල් යන නියමුවන් දෙදෙනා, සාමාන්‍යයෙන් ගුවන් සන්දර්ශනවල සරඹ දක්වන ගුවන් යානා මෙන් මේ දැවැන්ත යානය විස්මිත ලෙස හැසිරවීමට සමත් වුණා.

 
අඩි 250ක් දිග මේ බෝයිං යානය සාමාන්‍යයෙන් මගීන් 280 රැුගෙන අහසින් යනවා. ඒත් මෙවර කළේ මගීන් රහිතව නියමුවන් දෙදෙනා සමග යමින් ඔවුන්ට අවනත වෙමින් අහසේ පියාසර කරමින් දස්කම් පෑමයි.

ඉතාලියේ පියාජියෝ සමාගම මේ සන්දර්ශනයට එක් කර තිබුණේ ඔවුන්ගේ නවතම නියමුවන් රහිත ඩ්‍රෝන යානයයි. එය හැඳින්වූයේ ‘පී 1එච්එච් හැමර්හෙඞ්’ කියායි. අඩි 45,000ක් ඉහළ අහසේ සිට ඔත්තු බලමින් අවශ්‍ය තොරතුරු සපයන්නටත්, යුද මෙහෙයුම්වලට සහය වෙන්නත් එයට පුළුවන්. වරක් අහසට නැංග පසු පැය 16ක් මෙහෙයුම්වල යෙදෙන්නට එයට පුළුවන්.

Video:



Post a Comment

0 Comments