HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉබේ දුවන වාහනයට රිය පැදවීමේ බලපත‍්‍ර දෙන්න කැලිෆෝනියාව සූදානම්!

සමහර අය දැනටමත් කලබල වෙලා, මේ මහමගට එන රියැදුරන් නැති කාර් ගැන. ඔබට මතක ඇති ‘මල් කැකුළු’ තුළින් ගූගල් කාරය ඇතුළු රියැදුරන් නැතිව පදවන වාහන කීපයක් ම පෙන්නුවා.

ඒවාට ‘ලයිසන්’ දෙන්නෙ කොහොමද? පැදවීමේ බලපත‍්‍රයක් ඇති කෙනෙක් මහ මග යද්දී ඒ තුළ සිටිය යුතුද? මහමග රිය පැදවීමේ වගකීම ගන්නේ කවුරුන්ද? ආදී වශයෙන් ප‍්‍රශ්නවැලක් ඒ දුටු අපේ දරුවන් අපෙන් ඇසුවා.

එවේලේ උත්තරයක් අපේ අතේ තිබුණේ නැහැ. ඒත් දැන් ඒකට පිළිතුරක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව දීලා තියෙනවා.

කැලිෆෝනියාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉබේ පැදයන වාහනවලට ලබන සැප්කැම්බරයේ සිට පැදවීමේ බලපත‍්‍ර දෙන්න ලෑස්තියි. හැබැයි හැම එකකටම නෙවෙයි. ඒ අය කියන ප‍්‍රමිතියට නිපදවපු මෝටර් රථවලට විතරයි.

 
ඇමරිකාවේ කැලිෆෝනියාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව රියැදුරු රහිත වාහනවලට මහමග රියපැදවීමේ බලපත‍්‍ර දෙන්න සූදානම්, ලබන සැප්තැම්බරයේ සිට. හැබැයි වාහනයට බලපත‍්‍රය දෙන්නේ සම රියැදුරකු සමගයි. ඔහු අසුනේ වාඩි වී සිටිය යුතුයි. හදිසියකදී පැදවීම මිනිස් රියැදුරාට පවරා ගත හැකි විධියට වාහනය තනා තියෙන්න  ඕනෑ. ඉහළ ඇත්තේ ගුගල් ලෙක්සස් නම් රියැදුරු රහිත රථයක්.

ඉබේ දුවන කාර්වල තරගයෙන් යුරෝපය දිනයිද?

දැන් පවතින තත්වය අනුව මේ තරගයෙන් යුරෝපය දිනන හැඩයි. ඇමරිකාව ඉබේ දුවන කාර්වලට බලපත‍්‍ර කලින් දුන්නාට මේ කාර්වලින් යුරෝපයේ වීදි හිතුවාට වඩා ඉක්මනින් පිරේවි.

මෙයට හේතුව යුරෝපයේ ඇති හවුල් ගිවිසුමයි. මේ ගිවිසුම නිසා යුරෝපයේ කටයුතු ඉක්මන් වෙනවා. කෙටිකාලීන දැනුම් දීමකින් පසු, ගිය මාසේ මාර්ග නීති පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ සුළු වෙනසක් ඇති කර ඉබේ දුවන කාර්වලින් රියැදුරන්ගේ දෑත් ඉවතට ගන්න අවසර දෙන තීරණය ඔවුන් අර ගත්තා.

ජර්මනිය, ප‍්‍රංශය හා ඉතාලිය තමයි මෙහිදී මූලිකත්වය ගත්තේ. ඒ රටවල් තමා ඉබේ දුවන කාර් නිෂ්පාදනය සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කරන්නෙ. මේ කාර් පිළිබඳව ඇමරිකාවේ ඉන්නා තාක්ෂණික පුරෝගාමීන් පරදවා ඉබේ දුවන කාර් යුරෝපයේ වෙළඳපොළට ගේන්න ඔවුන් සූදානම්.

අත්හදා බැලීම්වලින් පස්සෙ මේ ඉබේ දුවන කාර් වෙළඳපොළේ අලවියට දමන්න මෙතෙක් බාධාවක්ව තිබුණේ 1968 එක්සත් ජාතීන්ගේ මාර්ග නීති පිළිබඳ ප‍්‍රඥප්තියේ 8 වන වගන්තිය නිසයි. එහි සඳහන් වෙනවා, ”සෑම රියැදුරකුටම සෑම අවස්ථාවකදීම තමා පදවන වාහනය හෝ සතුන් හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.”

පසුගිය මාසයේ එක්සත් ජාතීන්ගේ මාර්ග ආරක්ෂාව පිළිබඳ නීති සම්පාදකයන් එකඟ වුණා, කාරයකට තමන්ම පදවා ගෙන මහ මග යන්න ඉඩ ලැබෙන විධියට නීති සංශෝධනය කරන්න. ඒ සඳහා ඔවුන් ඒ වගන්තියට ‘ ඕනෑම අවස්ථාවක රියැදුරාට වාහනයේ පාලනය සියතට තැනීමට හෝ නවතා දැමීමට හැකියාව තිබිය යුතුයි.’ යනුවෙන් සංශෝධනයක් ගෙනවා.

ඒ අනුව වාහනය ඉබේ දිව්වත් රියැදුරා අසුනේ ඉන්න  ඕනෑ,  ඕනෑම මොහොතක සුක්කානම අතට ගන්නට.

මේ වෙනස් කිරීම නිසා රටවල් 72කට මේ පිළිබඳව තිබූ බාධා සියල්ල ඉවත් වෙනවා. ඒ ප‍්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවලට දැන් පුළුවන් තමන්ගේ රටේ නීති රීතිවලට ඒක ඇතුළත් කර ගන්න.

මේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට වැඩිපුරම අයත් වන්නේ සියලූම යුරෝපයට අයත් රටවල්. ඒ ඇරුනාම මෙක්සිකෝව, චිලි, බ‍්‍රසීලය හා රුසියාව ආදී රටවලූත් අයත් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය වගේ රටවල් අයත් වන්නේ නැහැ.

ඒ අතර ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදය මුලින්ම ඉබේ පැදවෙන වාහනවලට රියැදුරු බලපත‍්‍ර දෙන්න ක‍්‍රමවේදයක් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව මුලින් ම ඔවුන් රියැදුරු බලපත‍්‍ර ලබා දෙන්නේ මෝටර් රථ නිශ්පාදන ආයතනවලට විතරයි. නිදසුනක් වශයෙන් ගූගල් ආයතනය වැනි ඒවාටයි. කොන්දේසියක් හැටියට එක කාරයකට ඩොලර් 5,000,000ක රක්ෂණ ආවරණයක් ගැනීම අනිවාර්ය කරලා තියෙනවා, පුද්ගල අනතුරු, මරණ හා දේපළ හානි ඇතුළත් වන විධියට.

වාහනයට අමතරව සම රියැදුරු බලපත‍්‍රයක් පුද්ගලයකුට නිකුත් කරනවා, ඔහු රියැදුරු අසුනේ යාම අනිවාර්යයි. ඒ හදිසි අවස්ථාවකදී වාහනයේ පාලනය අතට ගන්න. ඔහුට අවම වශයෙන් වසර 3ක අනතුරු වාර්තා නැති සාමාන්‍ය රියැදුරු බලපත‍්‍රයක් තියෙන්න  ඕනෑ.

ඊට අමතරව මේ රියැදුරන් විශේෂ පුහුණුවක් ලබන්නත්  ඕනෑ.  ඕවා තමා දැනට දමා ඇති කොන්දේසි.

දැනටමත් කැලිෆෝනියාව, නෙවාඩාව, ෆ්ලොරිඩාව හා මිචිගන් යන ජනපදවල ගූගල් ස්වයංකී‍්‍රය මෝටර් රථවලට ඒවායේ මහා මාර්ගවල අත්හදා බැලීම් කරන්න අවසර දීලා තියෙනවා.

මේ නව බලපත‍්‍ර සඳහා ඇයදුම්පත් බාර ගැනීම ජූලි මාසයෙදී ආරම්භ කිරිමටත් සැප්තැම්බර්වල දී බලපත‍්‍ර නිකුත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

හැබැයි සාමාන්‍ය ජනතාවට මේ බලපත‍්‍රය සඳහා තවත් ටික කාලයක් බලා ඉන්න සිදු වෙනවා.

දැනට මහා මාර්ග සඳහා භාවිත කිරීමට අවශ්‍ය මේ සම්බන්ධ මාර්ග නීති මෝටර් රථවාහන දෙපාර්තමේන්තු විසින් දැන් සකස් කර ගෙන යනවා. ඒවා සම්මත කර ගෙන කි‍්‍රයාත්මක කිරීමට යන්නේ 2015 ජනවාරි 1 වැනිදා සිටයි.

 
මේ වාගේ අත ඇරලා ගියෑකි. ඒත් රියැදුරු අසුනේ ඉන්නා අයත් වාහනයත් වෙන වෙන ම පැදවීමට බලපත‍්‍ර ගන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි, ඩොලර් ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් ගන්න  ඕනෑ. දැනට බලපත‍්‍ර නිකුත් කරන්නේ වාහන නිෂ්පාදන ආයතනවලට විතරයි. හදිසි අවස්ථාවකදී මිනිස් රියැදුරාට වාහනයේ පාලනය ගන්න පුළුවන් වෙන විධියට වාහනය තනා තියෙන්න  ඕනෑ.

Post a Comment

2 Comments

  1. කෝච්චි ආපු මුල් කාලේ ඉස්සරහින් එක්කෙනෙක් ගියාලු රතු කොඩියක් අරගෙන.. මේ කාරුත් තනියමම දුවන දවසක් එයි.. හදිසියකට කාර් එක කඩේ යවන්න පුළුවන් වෙයි එතකොට...

    KIT යථාර්තයක් වෙන්න කල් ගිය වැඩියි මගේ හිතේ...

    ReplyDelete
  2. මේවා අත්හදා බලන සමාගම් වලට හොද දෙයක් කරලා තියෙන්නේ .. 100 % සාර්තක කාර් නිපදෙව්වම අනිත් කොන්දේසිත් ලිහල් කරලා මහජනතාවට ඒ පහසු කම දේවි .. කොහෙන් කොහෙම හරි රියදුරු රැකියාවත් ලෝකයෙන් නැතිවෙලා යාවි ...

    ReplyDelete