HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපට හොරා සිගරැට් දුම අපට වින කටින හැටි! නවතම පරීක්ෂණවලින්!

දුම්පානය නිසා ඇති වන හානියේ බරපතලකම මෙතෙක් නොසිතූ අයුරින් වැඩි බව දැන් ලොව පුරා සිදු කෙරෙන පරීක්ෂණවලින් පෙනෙනවා. දැන් පෙනෙන හැටියට දුම්බීම සදහටම තහනම් නොකොට මේ දුමෙන් බේරෙන්න අප කාටවත් බැරි හැඩැයි.

දුම්බීමෙන් වන හානිය වළක්වන්න ලොව පුරා රජයන් විවිධ නීති ගේනවා. ඒ අතින් වැඩිම පියවර ගණනක් අරන් තියෙන්නේ කැනඩා රජයයි. අපේ රටේත් පසුගිය කාලෙ නීති ගණනාවක් ගෙනවා. දුම් වැටි දැන්වීම් තහනම් කළා. ප‍්‍රසිද්ධ ස්ථානවල මහජනතාව දුම්බීම තහනම් කළා. අවුරුදු 21ට අඩු අයට දුම්වැටි අලෙවිය තහනම් කළා. ඊට වැඩි වයස් අයට දුම්වැටි වික්කත් ගින්දර දෙන එක මුදලාලිට තහනම් කළා.

<

මෙතෙක් කලක් දුම්වැටියේ පැකට්ටුවේ දුම්බීමෙන් පිළිකා ඇති විය හැකියි යන දැන්වීම වෙනුවට මුළු පැකට්ටුවෙන් සියයට 80ක් පුරා දුම්බීමේ ආදීනව දැක්වෙන සෞඛ්‍ය පණිවිඩයක් පළ කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුණා. ඒත් ඒක උපරිම අයුරින් කි‍්‍රයාත්මක කිරීමට දුම්වැටි වෙළෙන්දන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් නඩු මගට බැස්සා. උසාවිය ඒ දැන්වීමේ ප‍්‍රමාණය සියයට 20කින් අඩු කර පළ කරන්නට දුම්කොළ සමාගමට අවසර දුන්නා.

එයින් දුම්බීම වැළැක්වීමට මරු පහරක් වැදුනේ යැයි සමහර වෛද්‍යවරුන් කෑගහනවා. ඒත් ඒ අය දන්නේ නෑ අපේ රටේ වැඩියෙන් දුම්බොන අය කඩවලින් සිල්ලරට ඒවා මිලදී ගන්නා බව දන්නේ නෑ. මුදලාලිත් සිගරැුට්ටුව දී ගින්දර දෙන්නේ නෑ. ඒ වෙනුවට ඇඟිල්ලෙන් හරි ඇහෙන් හරි ඈත තබා ඇති ලයිටරය පෙන්වනවා විතරයි.

මේ හැමතැනකදිම කෙරෙන්නේ අප එකිනෙකා රවටා ගැනීමයි. නමුත් අපට දුංකොළ දුමෙන් වන හානිය සුළුවෙන්වත් අඩු කර ගන්න අපට පුළුවන්කමක් නැහැ.

දැන් නවතම පර්යේෂණයකින් කියැවෙන්නේ ‘තෙ වන පාර්ශ්වීය දුම’ (third hand smoke) නිහඬව වඩා විශාල හානියක් කරන බවයි. මොකක්ද මේ ‘තෙ වන පාර්ශ්වීය දුම’ කියා කියන්නේ ?

‘තෙ වන පාර්ශ්වීය දුම’ කියන්නේ සිගරැට්ටුවක් නිවා දැමූ පසු එයින් නිකුත් වූ දුම නිසා පරිසරයෙහි ඇති වන දීර්ඝකාලීන විෂ වායු දුෂණයයි. මෙය මෑතදී ලෝකයට හඳුන්වා දෙන ලද අලූත් වදනක්. එය දුම්පානය නිසා ඇති වන, දීර්ඝකාලයක් තිස්සේ පවතින, අනතුරුදායක තත්වයක් පෙන්වා දීම සඳහා භාවිත කරන්නකි.

‘තෙ වන පාර්ශ්වීය දුම’ යන මේ නව වදන ඇමරිකාවේ ජාතික පිළිකා ආයතනයට අනුබද්ධ ඩානා ෆාබර්/හාර්වඞ් පිළිකා ආයතනයේ (Dana-Faber-Harward Cancer Center) පර්යේෂකයන් විසින් හඳුන්වා දෙන ලද්දක්.

‘තෙ වන පාර්ශ්වීය දුම’ යනු දෙ වන පාර්ශ්වීය (second–hand smoke) දුමෙන් පසු අවට විවිධ මතුපිටවල තැන්පත් වන දුමෙහි අඩංගු විෂ ද්‍රව්‍ය නිසා උද්ගත වන විෂ සහිත පරිසරයක් ඇති වීමේ තත්වයයි. ‘පළමු වන පාර්ශ්වීය දුම’ (first–hand smoke) යනු දුම්පානය කරන්නා විසින් තමාගේ ම පෙනහලූ තුළට ඇදගන්නා දුමයි. ‘දෙ වන පාර්ශ්වීය දුම’ යනු දුම් පානය කරන්නකු විසින් එසේ උරා ගත් පසු ප‍්‍රශ්වාස කරන දුමත්, දැල්වෙන සිගරැුට්ටුවේ තුඩින් නිකුත් වන දුමත්, එක්ව පරිසරයට මුදා හැරෙන විෂ ද්‍රව්‍ය ඇතුළත් වායු මිශ‍්‍රණයයි. එය වෙනත් අය විසින් ආශ්වාස කරනු ලබනවා. ‘තෙ වන පාර්ශ්වීය දුම’ යනු ‘දෙ වන පාර්ශ්වීය දුම’ අවසන් වූ පසු ඉන් පරිසරයට එක් කෙරෙන විෂ ද්‍රව්‍යයන් අවට ඇති වස්තූන්වල මතුපිට තැන්පත් වී දීර්ඝකාලීනව හානි පැමිණ විය හැකි විෂ සහිත තත්වයක් නිර්මාණය වීමයි.


දෙ වන පාර්ශ්වීය දුම, කාමරයක හෝ වාහනයක හෝ කිසියම් ආවරණය වූ ස්ථානයක හෝ ඉතා ඉක්මනින් විසිරී නොපෙනී යනවා. ඒත් නිකොටින් හා දුමෙහි අඩංගු වෙනත් ද්‍රව්‍ය ඒ අවට මතුපිටවල රැඳී විෂ ද්‍රව්‍ය නිකුත් කිරීමට පටන් ගන්නවා. දුම්පානය කරන්නකු විසින් සිගරැට්ටුවක් බීමේ දී ඉන් නිකුත් වන දුමෙහි ඇති නිකොටින් වාහනය ඇතුලේ හෝ කාමරය තුළ හෝ වාතයේ ඇති නයිට‍්‍රස් අම්ලය (Nitrous Acid) සමග ප‍්‍රතිකි‍්‍රයා කරනවා. මෙසේ වාහනය තුළ ඇති මතුපිටවල රැඳුණු දුම්කොළ නිකොටින් සහ අනෙකුත් ශේෂ කොටස් සමග නයිට‍්‍රස් අම්ලය ප‍්‍රතික‍්‍රියා කර නයිට්‍රෝසැමයින් (Nitrosamine) හා පිළිකා කාරක කාසිනෝජන් (Carcinogens) නිපදවනවා. මේ බව මෙය ඇමරිකානු ජාතික ඇකඩමියේ විද්‍යා සඟරාවෙහි පළ වූ අධ්‍යයන වාර්තාවක දැක්වෙනවා.

තෙ වන පාර්ශ්වීය දුමට ලක් වූ ඇවුරූ කාමරයකට වාතාශ‍්‍රය ලබා දුන්නද එහි තැන්පත් වී ඇති විෂ ද්‍රව්‍ය ඉවත් නොවන බව මේ අධ්‍යයන වාර්තාව සකස් කළ පර්යේෂකයන් පවසනවා. එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළිදරවු කර ඇති කරුණු අනුව විකිරණශීලි ද්‍රව්‍යයක් වන පොලෝනියම් 210 ඇතුළුව පිළිකා කාරක ද්‍රව්‍ය එකොළහක් තෙ වන පාර්ශ්වීය දුම තුළ අඩංගු වෙනවා. ළදරුවන්ට හා කුඩා ළමයින්ට මෙම තෙ වන පාර්ශ්වීය දුම ඉතා තදින් බලපනවා. ඔවුන් බිම බඩගා ඇවිදින විට අතට අසුවන ඕනෑම දෙයක් අත් නොසෝදා කටේ දමා ගන්නා නිසයි. එමගින් ඔවුන්ගේ ආහාර මාර්ගට හා ශ්වසන මාර්ගයට විෂ ද්‍රව්‍ය ඇතුලූ විය හැකියි. මෙමගින් ඇති විය හැකි සැබෑ හානිය පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකෙරෙනවා.

තෙ වන පාර්ශ්වීය දුම සාපේක්ෂ වශයෙන් ඉතා මෑතදී සොයාගත් සංකල්පයක්. එහෙයින් ඒ පිළිබඳ දැනුම දෙ වන පාර්ශ්වීය දුම පිළිබඳව පවතින දැනුමට වඩා අඩුයි. එහෙත් මෙය මහජනතාවගේ දැඩි අවධානයට ලක් විය යුත්තක්. අපට නොපෙනී දරුණු හානියක් කරන තත්වයක්. මේ පිළිබඳව දැනුවත් වීමෙන් අනාගතයේ සිදු වන බරපතල අනතුරක් වළක්වා ගත හැකියි. දුම්බොන්නන් විසින් තමා කරන කි‍්‍රයාවෙහි බරපලකම නොදැන තමා සමග වෙසෙන අයට අනියම් ලෙසින් කරන හානිය තේරුම් ගැනීමෙන් හෝ ඔවුනට තේරුම් කර දීමෙන් හෝ පමණයි, මේ දුමෙන් වන අනතුරුදායක තත්වයෙන් මිදිය හැක්කේ.


Post a Comment

1 Comments

  1. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete