HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සක්වළ ජීවීන්ගෙන් පණිවිඩයක් ඉදිරි අවුරුදු 20 ඇතුළත!

”සක්වළ ජීවීන් ඇත්තෙන් ම ඉන්නවා. ඒත් ඔවුන් චිත‍්‍රපටවල පෙන්වන විධියට පොළොවට එන කොළ පැහැති පුංචි මිනිස්සු ජාතියක් නෙවෙයි. අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ නම් ක්ෂුද්‍ර ජීවියෙක්. (microbial life) එතැනින් එහා සක්වළෙන් නම් බුද්ධිමත් ජීවියෙක් (intelligent life) සිටිය හැකියි.”

මෙහෙම කියන්නේ සෙටී (Seti) හෙවත් පාරභෞමික බුද්ධිමත් ජීවින් සෙවීම සඳහා පත්කළ කමිටුවට අයත් ප‍්‍රධාන පර්යේෂකයන් දෙපොළක්. ඔවුන් මේ අදහස් පළ කළේ ඇමරිකාවේ වොෂිංටන් ඞී.සී. විද්‍යාව, අභ්‍යවකාශය හා තාක්ෂණ විද්‍යාවන් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමිනුයි.

‘තාරකා ජීව විද්‍යාව සහ විශ්වයේ ජීවය ඇද්දැයි සෙවීම’ යන මැයෙන් කරුණු ඉදිරිපත් කරද්දී ඒ විද්‍යාඥයන් කීවේ විශ්වයේ අප සිටින්නේ තනිවම නොවේය යන්නට හේතු සාධක හා සාක්ෂි දැනටමත් ලැබී ඇති බවයි.

 
මේ සෙටී ආයතනයේ විද්‍යාඥයන් වන ආචාර්ය සෙත් ෂෝස්ටැක් (ඡායාරූපයේ ඉන්නා) හා ආචාර්ය ඩෑන් වර්ට්තීමර් යන දෙදෙනා මෙතෙක් සක්වළ ජීවීන් සෙවීම සඳහා කළ දේ ගැන කොංග‍්‍රස් මන්තී‍්‍ර කමිටුවට කරුණු දැක්වුවා. ඉදිරියටත් ප‍්‍රමාණවත් අයෝජන ලැබුණොත් ඉදිරි වසර 20 ඇතුළත සක්වළ ජීවීන් සොයා ගත හැකි වන බවයි.

මේ කරුණු දැක්වීමට අමතරව සක්වළ ජීවීන් සෙවීම අතින් මෙතෙක් ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

කැලිෆෝනියාවේ සෙටී ආයතනයේ ප‍්‍රධාන තාරකා විද්‍යාඥ ආචාර්ය සෙත් ෂෝස්ටැක් හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ක්ලිහී සෙටී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වර්ට්තීමර් යන දෙදෙනා තමයි මුදල් අනුමත කරවා ගැනීම සඳහා කමිටුව ඉදිරියේ මෙසේ කරුණු දැක්වූයේ.

”පසුගිය දශක දෙක තුළ තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවියට සමානකම් ඇතැයි සැලකෙන බහිර්ග‍්‍රහයන් (exoplanet) එක දිගට සොයා ගනිමින් තියෙනවා.” ආචාර්ය සෙත් ෂෝස්ටැක් සිය ලිඛිත කරුණු දැක්වීමේ දී සඳහන් කරලා තියෙනවා.

”දැනට සොයා ගෙන ඇති එවැනි ග‍්‍රහයන්ගේ සංඛ්‍යාව දෙදහසකට ආසන්නයි. මේවා සොයා ගැනීමට හැකි වූයේ නාසා ආයතනයේ අතිශය සාර්ථක කේප්ලර් දුරේක්ෂය ලබා දෙන දත්ත ලොවපුරා තාරකා විද්‍යාඥයන් විසින් නොකඩවා විශ්ලේෂණය කරමින් යන නිසයි.

”ඇස්තමේන්තුවලට අනුව සියලූම තරු අතරින් සියයට 70කට ආසන්න ප‍්‍රමාණයක් ග‍්‍රහයන් පිරිවරා ගෙනයි ඉන්නේ. ඒවා බොහොමයකට ම ග‍්‍රහයන් ඇත්තේ අපේ සූර්යයාට වගේ ග‍්‍රහ මණ්ඩල හැටියටයි. අප අයත් වන මන්දාකිණිය වන මේ ක්ෂීරපථයේ පමණක් ග‍්‍රහයන් ති‍්‍රලියනයක් පමණ ඇතැයි සැලකෙනවා.

 
තාරකා විද්‍යාඥයන් දෙපොළ කියන්නේ නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය ඔවුන්ගේ පර්යේෂණවලට ඉමහත් සෙතක් සැලසූ බවයි. මේ වන විට එමගින් ලැබුණු දත්ත අනුව ග‍්‍රහයන් දහස් ගණනක් ද එයින් වාසයට සුදුසු ග‍්‍රහලෝක කීපයක් ද සොයා ගෙන තියෙනවා. මේ පින්තූරයෙන් එවැනි එක් ග‍්‍රහයකු වූ කෙප්ලර් 186එෆ් දැක්වෙනවා. ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව අපේ ක්ෂීරපථයේ පමණක් පොළොවට සමාන ග‍්‍රහලෝක බිලියන 10ත් 80ත් අතර ගණනක් තියෙනවා.

”මෙහි දී සිහි තබා ගත යුත්තක් වන්නේ අපේ දුරේක්ෂවලට හසුවන මානයේ පමණක් අපේ ක්ෂීරපථය වැනි මන්දාකිණි බිලියන 150ක් පමණ ඇති බවයි. ඒ හැම එකකට ම තරු හා ග‍්‍රහලෝක තියෙනවා.” යයි කී ආචාර්ය ෂෝස්ටැක්, කෙප්ලර් දුරේක්ෂයේ මූලික අරමුණ වන්නේ මේ සියලූම ග‍්‍රහලෝක අතර අපේ ග‍්‍රහලෝකය බඳු වාසයට සුදුසු ග‍්‍රහලෝක තිබේදැයි යන්න සෙවීම බව අවධාරණය කළා.

”ග‍්‍රහලෝකයක් වාසයට සුදුසු දැයි විමසීමට ඇති ප‍්‍රධාන මිම්ම වන්නේ එහි මතුපිට දියර ජලය තිබේදැයි සොයා බැලීමයි. බොහොමයක් ග‍්‍රහලෝක එක්කෝ සීතල වැඩියි, නැත්නම් උෂ්ණත්වයෙන් වැඩියි, එහෙමත් නැත්නම් බෘහස්පතී වගේ ඝන මතුපිටක් නැති වාසයට නුසුදුසු වායුගෝලයක් සහිත ඒවායි.

”ඒත් මේ මැතදී කෙප්ලර් දුරේක්ෂයෙන් ලද දත්තවලින් පෙනී ගියා, සෑම තරු පහකින් එකකම පෘථිවි ප‍්‍රමාණයේ ග‍්‍රහයකු ඒ වටා භ‍්‍රමණය වන බව.

”මේ සංඛ්‍යාව ඉතා විශාලයි. ඒ අනුව ක්ෂීරපථයේ පමණක් පෘථිවියට සමානකම් ඇති ග‍්‍රහයන් බිලියන 10ත් 80ත් අතර ගණනක් සිටිනවා.

”තවත් විධියකින් කීවොත් සක්වළ ජීවීන් පමණක් නොව බුද්ධිමත් ජීවීන් ද සිටිය හැකි තැන් විශාල ප‍්‍රමාණයක් තියෙනවා.” ඔහු පවසනවා.

 
සෙටී තාරකා විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා, මෙහි දැක්වෙන ඇලන් දුරේක්ෂ පද්ධතිය වැනි සම්පත් භාවිත කරමින් සක්වළෙහි වෙසෙන බුද්ධිමත් ජීවින් එවන කුමන හෝ සංඥාවක් නුදුරු අනාගතයේ දීම හසු කර ගන්නට හැකිවේය කියා.

ආචාර්ය ඩෑන් වෙතිමර් දරන්නෙත් ආචාර්ය සෙත් ෂෝස්ටැක් දරණ අදහස්වලට සමාන අදහස්මයි.

”ස්ථිරවම සක්වළ ජීවීන් කොහේ හෝ ඉන්නවා. තවමත් අපට ඔවුන්ගෙන් අසන්නට නොලැබුණු එක එක්තරා විධියකට පුදුමයක්.” ඔහු පවසනවා.

තවමත් සක්වළ ජීවීන් මේ වන තෙක් මෙහි ඇවිත් නැතැයි යන්නට ඔවුන් දෙදෙනාම එකඟ වෙනවා. ”ඔවුන් මෙහි ඇත්තට ම ආවා නම් ඒ බව කිසි ම රටකට සඟවාගෙන ඉන්න බැහැ.” ආචාර්ය ෂෝස්ටැක් කියනවා.

එහෙත් කොංග‍්‍රස් මන්තී‍්‍ර කමිටුව රැුස් වූ දිනවලම නාසා ආයතනයෙන් නිකුත් වූ අලූත්ම පොතේ සඳහන් වෙන්නේ නම් සක්වළ ජීවීන් කලකට පෙර මෙහි එන්නට ඇති බවයි.

ඒ පොත නම් කර ඇත්තේ ‘පුරා විද්‍යාව, මානව විද්‍යාව හා අන්තරීක්ෂ සන්නිවේදනය’ (Archaeology, Anthropology and Interstellar Communication) කියායි. එය සංස්කරණය කර ඇත්තේ සෙටී ආයතනයේ අන්තරීක්ෂ පණිවිඩ සංයුතිය (Interstellar Message Composition) පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩග්ලස් වාකොච් විසිනුයි.

තවත් විශේෂඥයන් ගණනාවකගේ සහය ඇතිව ඔහු ඒ පොතට විවිධ මාතෘකා යටතේ, වෙනත් ග‍්‍රහලෝකවල ජීවීන් පැවතීමට ඇති ඉඩකඩ, අප විසින් ඔවුන්ට පණිවිඩ යැවිය යුතු හා ඔවුන්ගෙන් ලැබෙන පණිවිඩ හඳුනාගත හැකි ක‍්‍රමවේදයන් මොනවාද ආදී වශයෙන් ලිපි රැුසක් එක්කර තියෙනවා.

ඒ සඳහා සිය අදහස් පළ කරන එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය විලියම් එඞ්මන්ඞ්සන් පෘථිවියේ ඇති ගලෙන් නෙළුෑ චිත‍්‍ර රටා ගෙන හැර පාමින් ඒවා සක්වළ ජීවීන් හා සම්බන්ධ යැයි මතයක් පළ කර තියෙනවා.

”අපට ඒවා ගැන වැඩි යමක් කියන්න බැහැ. ඒ ගලේ කෙටූ සලකුණුවලින් කියැවෙන්නේ කුමක්ද? ඒවා ගලේ නෙළා ඇත්තේ මක් නිසාද? ඒවා නිර්මාණය කළේ කවුරුන්ද?” ඔහු ඒ ලිපියෙන් ප‍්‍රශ්න කරනවා.

”ඒවායේ අරමුණු හා ප‍්‍රකාශිත සංකේත ගැන විමසන විට ඒවා සක්වළින් ආ යම් පිරිසක් විසින් කරන්නට ඇතැයි අපට සිතන්නට සිදු වෙනවා.” යැයි ඔහු තවදුරටත් එහි සඳහන් කරනවා.

සක්වළ ජීවීන් සොයන ‘සෙටී’ගේ කෙටි ඉතිහාසය

  • 1959 දී කෝනෙල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයන් වන ගියුසෙපි කොකෝනි හා ෆිලිප් මොරිසන් යන දෙදෙනා විසින් විද්‍යා ලියැවිල්ලක් පළ කරනු ලැබුවා, තරකා අතර සන්නිවේදනයට මයික්‍රොවේව් ගුවන්විදුලි තරංග යොදා ගැනීමට ඇති හැකියාව ගැන.
  • එයින් වසරකට පසු 1960 අග භාගයේ දී ෆ්?න්ක් ඞ්රේක් මීටර 25ක ඇන්ටෙනාවක් යොදා ගෙන බටහිර වර්ජිනියාවේ සිට සක්වළ ජීවීන් සිටීදැයි සොයන්න ගත් උත්සාහය දෙමාසයකට පසු අසාර්ථක වුණා.
  • 1960 ගණන්වල දී සෝවියට් දේශය සක්වළ ජීවීන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළා. පලක් වුණේ නැහැ.
  • 1970 ගණන්වල දී නාසා ආයතනය ‘සෙටී’ ගැන උනන්දුවක් දක්වන්න පටන් ගත්තා, තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමගම.
  • 1984 දී සක්වළ ජීවීන් සොයන්නට ස්වාධීන ආයතනයක් ලෙස සෙටී ස්ථාපිත කරනු ලැබුවා.
  • 1988 දී නාසා ආයතනය සක්වළින් එන සංඥා සොයා රාති‍්‍ර අහස පීරා බලන වැඩසටහනක් ආරම්භ කළා. ඊට වසර කීපයකට පසු කොංග‍්‍රස් මන්තී‍්‍ර මණ්ඩලය ඒ සඳහා මුදල් දීම නවතා දැමුවා.
  • 1992 දී සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ප‍්‍රථම ග‍්‍රහලෝකය සොයා ගත්තා. පුල්සර් තරුවක් වටා භ‍්‍රමණය වුණු එය සම්පූර්ණයෙන්ම ජීවීන්ගෙන් තොර ලොවක් බව සොයා ගනු ලැබුවා.

2009 දී නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය උඩුගුවනට යවනු ලැබුවා. ඊළඟ වසර කීපය තුළ ග‍්‍රහ ලෝක සිය ගණනක් සොයා ගනු ලැබුවා.

මේ පසුගිය මාසයේ කෙප්ලර් දුරේක්ෂය පෘථිවිය ප‍්‍රමාණයේම ග‍්‍රහ ලෝකයක් තියෙන බව සොයා ගත්තා. එය හරියටම ඊට අයත් තරුවේ සිට පෘථිවිය පිහිටි දුරින්ම පිහිටියක්. ඒ නිසා එහි ජලය ඇති බවට විශ්වාස කරනවා. එය නම් කර ඇත්තේ කෙප්ලර් 186-එෆ් කියායි.

ඒ ග‍්‍රහ ලෝකයෙහි ජීවය ඇතැයි සිතන්න හොඳටම ඉඩ තියෙනවා.




Post a Comment

3 Comments

  1. මේ ඔක්කොටම කලින් අර අතුරුදහන් වෙච්චි ප්ලේන් එක හොයන්න ඕනා..

    ReplyDelete
  2. කාලයක් තිස්සේ මිනිස්සු අහස දිහා බලාගෙන බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙන්න යනවා වගේ...

    ReplyDelete
  3. පිටසක්වල ජීවයක් තිබිය යුතුමයි.. මේ මුලු විශ්වයේම අපි විතරක් තනියෙන් ඉන්නව කියන එක පිලිගන්න බෑ
    කෙප්ලර් දු‍රේකෂයටත් වඩා වැඩි දියුණු තාකෂනය එනකොට හොයාගන්න පුලුවන් වෙයි
    මේ වගේ ලිපි දිගටම ලියන්න නියමයි !

    ReplyDelete