HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා විසින් කළ හදිසි ඇණවුමක් මත මේ මුද්දරය මුද්‍රණය කර සපයන ලද්දේ රාජකීය ගැසට් පත‍්‍රය මුද්‍රණය කරන මුද්‍රණාලය මගින්.

 
මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් වූ බි‍්‍රතාන්‍ය ගයනාව විසින් ශත එකක වටිනාකමක් ඇති දම් පැහැයෙන් යුත් මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. මෙය සොයා ගන්නා ලද්දේ 1873 දී බි‍්‍රතාන්‍ය ගයානාවේ පාසල් සිසුවකු විසින්.

මේ මුද්දරය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘ශත එකේ රතු මුද්දරය (One-Cent Magenta) කියායි. මෙය අයත් වන්නේ එවකට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති බි‍්‍රතාන්‍ය ගයානාවටයි. එරටට සිරිත් පරිදි එංගලන්තයෙන් ලැබෙන මුද්දර තොගය ප‍්‍රමාද වීම නිසා එය ලැබෙන තෙක් භාවිත කරන්නට එරට ප‍්‍රධාන තැපැල් මහතා විසින් මෙය හදිසියේ කරන ලද ඇණවුමක් අනුව නිකුත් කළ එකකි. මේ මුද්දර තොගයට ශත හතරේ මැජෙන්ටා පැහැති මුද්දරයක් හා ශත හතරේ නිල් පැහැති මුද්දරයක් ද අයත් වුණා.

මේ ශත එකේ මැජෙන්ටා (රතු) මුද්දරය මැජෙන්ටා පැහැති කඩදාසියක කළු පැහැයෙන් මුද්‍රණය කළ එකක්. එහි මුහුදේ යාත‍්‍ර කරන නැවක චිත‍්‍රයක් දැක්වෙනවා. එහි ඒ යටත්විජිතයට අයත් ආදර්ශ පාඨය වූ ‘ඩැමුස් පෙටිමුස් කුවේ විසිසිසම්’ (Damus Petimus Que Vicissim) යනුවෙන් ලතින් බසින් සඳහන් වෙනවා. එහි අරුත ‘අපි දෙන්නෙමු එසේම ආපසු බලාපොරොත්තු වෙන්නෙමු’ යන්නයි.

මුද්දරය නිකුත් කළ රට ලෙස දක්වා ඇත්තේ බි‍්‍රතාන්‍ය ගයානාවයි. එහි මිල කළු පැහැයෙන් දාරයේ මුද්‍රණය කර තියෙනවා.

වර්තමාන ලෝකයේ වඩාත් වටිනාම මුද්දරයේ ඉතිහාසය

බි‍්‍රතාන්‍ය ගයානාවේ ශත එකේ මැජෙන්ටා මුද්දරය 1856 දී රාජකීය ගැසට් පත‍්‍ර මුද්‍රණාලයේ දී මුද්‍රණය කරනු ලැබුවා.

එය පසුව 1873 දී ඩෙමෙරාරා ප‍්‍රදේශයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවකු විසින් සොයා ගෙන තියෙනවා. ඒ ප‍්‍රදේශය එහි තැපැල් මුද්‍රාවෙන් තහවුරු වෙනවා.

පසුව එය ප‍්‍රාදේශීය මුද්දර එකතු කරන්නකු විසින් එම සිසුවාගෙන් සිලිං හයකට මිල දී ගෙන තියෙනවා. 1878 දී ඔහු එය ඩොලර් 200කට එංගලන්තයේ ලිවර්පූල්වල තෝමස් රිඞ්පාත් (Thomas Ridpath) නම් මුද්දර අලෙවි කරන්නාට අලෙවි කළා.

ඒ වසරේදීම රිඞ්පාත් එය පිලිප් වොන් පෙරාරි (Philip von Ferrary) නම් මුද්දර එකතු කරන්නාට ඩොලර් 250කට විකුණුවා.

1922 දී එය ආතර් හින්ඞ් (Arthur Hind) විසින් ඩොලර් 36,000කට මිල දී ගත්තා. ඊළඟට එය ඩොලර් 40,000කට ෆ්‍රෙඞ් ස්මෝල් (Fred Small) විසින් පුද්ගලිකව මිලට ගෙන තියෙනවා.

1970 දී ස්මෝල් මේ මුද්දරය එයාගේ මුළු මුද්දර එකතුවත් සමග වෙන්දේසියේ දැම්මා. එහි දී මේ මුද්දරය පමණක් අර්වින් වීන්බර්ග් (Irwin Weinberg) විසින් ඩොලර් 2,80,000කට මිල දී ගනු ලැබුවා.

එයින් දශකයකට පසු ජෝන් ඊ. ඩු පොන්ට් (John E. du Pont) ඒ මුද්දරය ඩොලර් 9,35,000කට මිලට ගෙන එයාගෙ පුද්ගලික මුද්දර එකතුවට එක් කළා. එය ඔහු 2010 දී මිය යනතුරුම තිබුණේ ඒ මුද්දර එකතුවෙයි.

දැන් ඒ මුද්දරය ඩු පොන්ට්ගේ අභාවයෙන් පසු ඔහුගේ දේපළත් සමග වෙන්දේසියට දමන්නට තීරණය කර තියෙනවා. ඒ අනුව ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දී මේ මුද්දරය වෙන්දේසි කිරීමට නියමිතයි. ඔවුන් මේ මුද්දරය සඳහා ඩොලර් 20,00,000ක මුදලක් අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාර්තුවේදී ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමයේ (Royal Philatelic Society) විශේෂඥයන් පිරිසක් මෙම මුද්දරය පිළිබඳ පුර්ව අලෙවි තක්සේරුවක් කළා. ඒ අනුව මේ මුද්දරයේ වටිනාකම ඩොලර් මිලියන 10ත් 20ත් අතර විය යුතු යැයි ඔවුන් විසින් නිගමනය කර තියෙනවා.

විශේෂඥයන් හය දෙනකු ඉතා සූක්ෂමව අධ්‍යයනය කර වර්ණාවලීමානයකින් (spectrometer) පවා විමර්ශනය කොට මෙය සැබෑ එකක් බව තහවුරු කර තියෙනවා.

මේ ලෝක ප‍්‍රකට මුද්දරය සැබෑ එකක් බව මීට කලින් තහවුරු කරනු ලැබුවේ 1935දියි. එදා සිට මේ දක්වා එය තිබුණේ පුද්ගලික මුද්දර එකතුවකයි.

 
පසුගිය මාර්තුවේදී ලන්ඩනයේ රාජකීය මුද්දර සංගමයේ (Royal Philatelic Society) විශේෂඥයන් පිරිසක් මෙම මුද්දරය පිළිබඳ පුර්ව අලෙවි තක්සේරුවක් කර මෙහි වටිනාකම ඩොලර් මිලියන 10ත් 20ත් අතර යැයි නිගමනය කර තියෙනවා. ඉහත දැක්වෙන්නේ 1935 දී ඒ සඳහා දුන් සහතිකයයි.

ලෝක ප‍්‍රකට සූත්බිස් පොත් ආයතනයේ (Sotheby's Books Department) සභාපති හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඬේවිඞ් රෙඞ්න් (David Redden) මේ මුද්දරය වෙන්දේසි කරන අවස්ථාව ගැන සඳහන් කරමින් මෙසේ අදහස් දක්වනවා: ”මාත් පාසල් ශිෂ්‍යයකු ලෙස මුද්දර එකතු කළා. මේ මුද්දරය ගැන අපි අසා තිබුණා. අප එය විස්මය දනවන එකක් ලෙසයි සැලකුවේ. කීයටවත් මිලදී ගත නොහැකි දුර්ලභ එකක් ලෙසයි එදා අප දැන සිටියේ. මෙය දුර්ලභ මුද්දරයකට හොඳම උදාහරණය ලෙසයි අප දුටුවේ.”

එදා ඒ මුද්දරය සොයා ගත් දරුවා අද නැතත් ඔහුගේ නෑයකු හරි ඉන්නවා නම් මේ දුර්ලභ වටිනා ලෝක වස්තුව එදා කෙටි කලෙකට හෝ තමගේ නෑයා ළඟ තිබුණාය කියා අසා ආඩම්බර වෙනවා නිසැකයි.

 
1856 දී බි‍්‍රතාන්‍ය ගයනාවේ දී නිකුත් කළ දුර්ලභ ශත එකේ මුද්දරය සමග තවත් මුද්දර වර්ග දෙකක් මුද්‍රණය කර තියෙනවා. ඉහතින් දැක්වෙන්නේ ඒ සමග ඇණවුම් කළ ශත 4 මැජෙන්ටා පැහැති මුද්දරයයි.


Post a Comment

2 Comments

  1. වටිනා ලිපියක්. පරණ වෙන කොට කොයි දේත් අගේ වැඩි වෙනවා. විශේෂයෙන්ම දුර්ලබ එකක් නම් ඒක තවත් අගේ වැඩි වෙනවා. ( මල් කැකුලු වෙබ් අඩවියත් අන්න ඒ වගෙයි කියලා මට හිතෙනවා)

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  2. නෙතින් එහා, කමෙන්ටුවට ඔබට බොහොම ස්තූතියි. නෙතින් එහා වෙබ් අඩවිය බලන්නම්. ඔබට සුබ අනාගතයක්!

    ReplyDelete