HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැඩුම් බිඳුම්වලදී යොදන ප්ලාස්ටර කාස්ටය දැන් ති‍්‍රමාන ක‍්‍රමයට! නව නිපැයුමක්!

ප්ලාස්ටර බදාම යොදන ක‍්‍රමය පසුගිය වසර 300ක කාලයක් තිස්සේ වෙනස් වී ඇත්තේ ඉතාමත් සුළු වශයෙන්. ඒත් ප‍්‍රතිකාර ක‍්‍රමය නම් නව මුහුණුවරක් ගෙන 21 වැනි සියවසට සරිලන ආකාරයට වෙනස් වී තියෙනවා.

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් මගින් නව ආකාරයක ප්ලාස්ටර කාස්ටයක් තනා ගැනීමේ නව ක‍්‍රමයක් සොයා ගෙන මේ නව නිපැයුම වෙනුවෙන් තුර්කි ජාතික සිසුවෙක් සම්මානයක් දිනා ගෙන තියෙනවා. ඔහු තුර්කියේ ඉස්මීර්හි වෛද්‍ය ශිෂ්‍යයෙක්. නම ඩෙනිස් කැරසාහින් (Deniz Karasahin)

 
මේ සම්මානලාභී අස්ථ්‍යාභ වෛද්‍ය කාස්ටරය හෙවත් ‘ඔස්ටියොඞ් මෙඩිකල් කාස්ට්’ නම් නව ප්ලාස්ටරය නිසා කැඩුම් බිඳුම්වල විශාල පෙරළියක් වේවි. මෙමගින් අතිධ්වනි තරංග යොදා ගෙන සුව වීම ඉක්මන් කරවන්නටත් පුළුවන්.

මාස හතරක් තිස්සේ වෙහෙස වී පර්යේෂණය කර ඔහු කළ මේ නව නිර්මාණය කැඩුම් බිඳුම් ප‍්‍රතිකාර අලූත් මඟකට යොමු කරාවි. මෙය හැඳින්වෙන්නේ අස්ථ්‍යාභ වෛද්‍ය කාස්ටරය හෙවත් ‘ඔස්ටියොඞ් මෙඩිකල් කාස්ට්’ (Osteoid Medical Cast) කියායි.

මේ කාස්ටරය මගින් අතිධ්වනි තරංග යොදා ගෙන සුව වීම ඉක්මන් කරවන්නටත් පුළුවන්.

”මෙතෙක් පැවති ක‍්‍රමයට සාම්ප‍්‍රදායික ප්ලාස්ටරයක් යෙදුවාම බිඳුණු අස්ථිය ඇති කොටසට හුළං වදින්නෙත් නැහැ.” යයි ඩෙනිස් කැරසාහින් ඔහුගේ සැලසුම් ඉදිරිපත් කළ නිබන්ධනයෙහි සඳහන් කර තියෙනවා.

”එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අදාළ ප‍්‍රදේශයේ කැසීමක් ඇති විය හැනියි. ප්ලාස්ටරය තැනීමට ගන්නා ද්‍රව්‍ය නිසා දුගඳක් හමන්න පුළුවන්. ඒ වගේ ම පැරණි ප්ලාස්ටරය ඉතා බර දෙයක්. ඒ වගේ රෝගීයට ජලයෙන් පිරිසිදු වීමටත් එය බාධාවක්.” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කරනවා.

 
තුර්කි ජාතික සිසු ඩෙනිස් කැරසාහින් ඔහුට 2014 ගේල්ඩන් ඒඩිසයින් එවෝඞ් සම්මානය හිමි කර දුන් නව ක‍්‍රමයේ ප්ලාස්ටර කාස්ටය සමග.

ඩෙනිස් කැරසාහින් කියන්නේ අස්ථ්‍යාභ වෛද්‍ය කාස්ටරය ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයට ඒ ඒ පුද්ගලයාගේ අතේ හැඩයටම සැකසිය හැකි බවයි. අතට සුළං වැදීම සඳහා මේ කාස්ටරයට යොදා ඇති සිදුරු පවා සකසා ඇත්තේ ඇල්ගොරිතම අංක ක‍්‍රමයකටයි.

රෝගීයාගේ අතට හොඳින් සවි වන සේ කාස්ටරය තැනීමට අතේ බිඳුණු කොටස ති‍්‍රමාන සිරුරු ස්කෑනරයක් මගින් ස්කෑන් කර ගන්නවා. ඒ පරිගණකය ඔස්සේ දත්ත අනුරූ සකස් කරන මෘදුකාංගයකට යොමු කරනවා. එහිදී තමයි, ප‍්‍රමාණය, හැඩය හා සුළං වැදීමට සිදුරු යෙදීමට අවශ්‍ය තැන් තීරණය කර කාස්ටරයේ අවසන් නිමාව සිදු කෙරෙන්නේ.

කැරසාහින් කියන විධියට මෙයට අස්ථි උත්තේජකයක් සවි කරන්න පුළුවන්, ඉක්මනින් සුව වීම සඳහා. ඒ උත්තේජකය හැඳින්වෙන්නේ ‘ලිපුස්’ (Lipus) යන කෙටි නාමයෙන්. එය අඩු තීව‍්‍රතාවක් ඇති අධි ධවනි ස්පන්දකයක් හෙවත් ‘ලෝ ඉන්ටෙන්සිටි ප්ල්ස්ඞ් අල්ට‍්‍රාසවුන්ඞ්’ (low intensity pulsed ultrasound) යන වදනෙහි මුල් අකුරු එක්කොට තනා ගත් වදනක්. මේ උපකරණය කෙළින්ම කාස්ටරයට සවි කළ හැකියි.

වෛද්‍ය කාස්ටරය හා ලිපුස් උත්තේජක පද්ධතිය එක් වීමෙන් සුව වීමේ කි‍්‍රයාවලිය ඉක්මන් වෙනවා. මේ නිෂ්පාදනය වෙළඳ පොළට ඉදිරිපත් කරන සමාගම කියන විධියට මේ පද්ධතිය දවසකට මිනිත්තු 20ක් විදුලි බලයට සම්බන්ධ කර තැබුවාම හොඳටම ප‍්‍රමාණවත් බවයි. සාම්ප‍්‍රදායික කාස්ටරයකින් සුව වීමට යාන කාලයට වඩා මේ ක‍්‍රමයෙන් සුව වීම සියයට 80කින් ඉක්මන් වන බවයි.

 
මේ කාස්ටරයේ අතට සුළං වැදීමට යොදා ඇති සිදුරු පවා සකසා ඇත්තේ ඇල්ගොරිතම අංක ක‍්‍රමයකටයි. මේ නිසා අතට වෙනත් හානියක් නොවී මේ පද්ධතියෙන් ඉක්මනින් ම රෝගියා සුවපත් වෙනවා.

 
මේ කාස්ටරයට තැනීමට එක් වූ සමාගම කියන්නේ දිනකට මිනිත්තු 20ක් විදුලි බලය හා සම්බන්ධ කළාම බිඳුණු අස්ථි වෙනදා සවි වෙනවාට වඩා සියයට 80ක් වේගයෙන් සවි වී රෝගියා සුවපත් වෙන බවයි.

ලිපුස් මෙවලම කෙළින්ම අස්ථි බිඳුණු තැනට ඉහළින් සිටින සේ සවි කිරීමට මේ කාස්ටරයේ ඇති සිදුරු නිසා හැකියාව ලැබෙනවා.

ලිපුස් මෙවලමෙහි දාරයට සවි කළ තුනී රබර් ස්තරයක් තියෙනවා. එය උපකාර කර ගෙනයි, වෛද්‍ය කාස්ටරයේ සුළං වදින්නට තනන සිදුරුවලට මෙවලම සවි කරන්නේ.

”මෙහි අසීරුම කාර්යය වුණේ බිඳුණු අතේ ආරක්ෂාව සැලසිය හැකි, අස්ථි නිසි තැන එක්කොට, හොඳින් සවි කළ හැකි සවිමත් යාන්ත‍්‍රික අගුල් ක‍්‍රමයක් එයට එක් කිරීමයි. අපට ඒ කටයුත්ත සාර්ථකව කළ හැකි වුණා.” කැරසාහින් කියනවා.

තවමත් මෙය වෙළඳ පොළට එන දිනයක් ඔවුන් කියන්නේ නැහැ. ඒත් මෙය වෙළෙඳ පොළට ආවාම කැඩුම් බිඳුම් වෙදකමෙහි විශාල පෙරළියක් වෙනවා සිකුරුයි.

බිඳුණු අස්ථි වෙදකමට තවත් අලූත් නිපැයුමක් නවසීලන්තයෙන්.

මේ විධියේ ම තවත් කාස්ටරයක සැලසුමක් පසුගිය වසරේ ‘කෝටෙක්ස්’ නමින් එළි දුටුවා. ඒ අලූත් පරම්පරාවේ කාස්ටරයක්. ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් එය නිර්මාණය කළ හැකියි.

ලන්ඩනයේ ඬේලිමේල් පුවත්පතෙහි අන්තර්ජාල මුද්‍රණයෙහි පළ වූ ඒ වාර්තාවට අනුව එය සැලසුම් කළේ නවසීලන්තයේ වෙලින්ටන්හී වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ විකලාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කටයුතුවල යෙදුණු උපාධිධාරී ශිෂ්‍යයෙක්. ඔහුගේ නම ජේක් එවිල් (Jake Evill).

 
බිඳුණු අස්ථියට නව මාදිලියේ ආරක්ෂණ ආවරණයක්, කෝටෙක්ස්. මෙය කමිස අතට යටින් නොපෙනෙන ලෙස පලඳින්න පුළුවන්.

ඒ මෙවලම නම් කර තිබුණේ ‘කෝටෙක්ස්’ (Cortex) කියායි. එය තනන්නේ ති‍්‍රමාන ක‍්‍රමයේ ස්කෑනරයක් යොදා ගෙන බිඳුණු අතෙහි ගන්නා එක්ස්රේ ක‍්‍රමයේ පිළිබිඹුවක් මගින්. කාස්ටරය සැලසුම් කර නිර්මාණය කරන්න ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් අවශ්‍ය වෙනවා.

මෙය සැහැල්ලූයි. අතට සුළං වදියි. සෝදා පාවිච්චි කළ හැකියි. කමිස අතට යටින් පහසුවෙන් පැලඳිය හැකියි.

එයට ඉක්මන් සුව වීමේ ක‍්‍රමයක් ගළපා නැහැ. ඒත් සාම්ප‍්‍රදායික ප්ලාස්ටර කාස්ටරය වෙනුවට මෙය පහසුවෙන් පැලඳිය හැකියි. මෙය දළදඬු ගොරෝසු ප්ලාස්ටර කාස්ටරයක් වගේ වදයක් වෙන්නේ නැහැ.


Post a Comment

1 Comments

  1. බොහොම වැදගත් ලිපියක්...

    ReplyDelete