HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපූරු අනාගත දැක්මක්! වසර 60කට පෙර අනාගතය දුටු කලාකරුවෙක් හා නිර්මාණ ශිල්පියෙක්!

විසිවන සියවසේ මැද හරියේ විද්‍යා ප‍්‍රබන්ධවලින් අනාවැකි පළවුණා අනාගතයේ දී ජීවිතය කොයි වගේ වෙයිද කියා. ඒ කාලයේ දී සිතුවේ මේ කාලය වන විට අපට ‘ජෙට් ක‍්‍රමයට’ අහසින් වැඩ යන්නට හැකි වෙයි, ඒ වගේ ම ගෙදර දොර වැඩ යන්ත‍්‍රසූත‍්‍රවලින් කර ගන්නට පුළුවන් වෙයි කියලයි.

ඒත් ඒ කාලයේ හිටියා එක නව නිපැයුම්කරුවෙක් විකාරරූපී යන්ත‍්‍රසූත‍්‍ර යොදා ගෙන අනාගතය ගැන අනාවැකි කියපු. පැරණි මාදිලියේ යන්ත‍්‍රසූත‍්‍ර ඇසුරෙන් යම් යම් නව නිර්මාණ පරිකල්පනය කරන්න ඔහු සමත් වුණා, 21 වැනි සියවස වෙනුවෙන්.

ඔහුගේ නිර්මාණ අපූරු සිතිවිලිවලින් ජනිත වූ ඒවායි. පරිසර මිතුරු මෝටර් රථවල පටන් අත්‍යාලංකාර පියසැරි යතුරු වගේම අපූරු ගෙදරදොර උපකරණ රැුසක් ඔහුගේ සංකල්පනා අතර තිබුණා. ඔහුගේ නම රෝලන්ඞ් එමිට් (Rowland Emett). ඔහු සුප‍්‍රකට නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම කාටූන් ශිල්පියෙක්. චිත‍්‍රපටවලට නව සංකල්පනා එක් කළ අයෙක්.

මීට වසර 60කට පෙර ඔහු කාටූන් චිත‍්‍ර හා මූර්තිවලින් පමණක් නොව ඔහුගේ නව නිපැයුම් ආදර්ශන මගින් අද ලෝකය ගැන අනාවැකි පළ කළා. පසුගියදා එංගලන්තයේ බර්මින්හැම්හී කෞතුකාගාරයේ හා කලාගාරයේ පැවත්වුණු අමුතු ප‍්‍රදර්ශනයකින් මීට අවුරුදු 60කට පෙර ඔහුගේ සිතිවිලි කෙතරම් අපූරුද කියා වත්මන් පරපුරට අවබෝධ කර ගත හැකි වුණා.

බර්මින්හැම් කෞතුකාගාරයේ හා කලාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති එක් අපූරු නිර්මාණයක් වන්නේ ‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ (Chitty Chitty Bang Bang) නම් පැරණි ඉංගී‍්‍රසි චිත‍්‍රපටයට යොදා ගත් පියසැරි රථයයි. එමිට්ගේ නිර්මාණ සැලසුමක් වූ එය එකල ඉතා ජනපි‍්‍රය පියාසර කළ හැකි යන්ත‍්‍රයක් වුණා.

මේ ප‍්‍රදර්ශනයට 1960 හා 1970 දශකවල නිර්මාණය කළ අපූරු අනාගත වාහන 12ක් ඇතුළත් වෙනවා. ඒවා සියල්ලම කි‍්‍රයාකාරී තත්වයෙන් තියෙනවා. මේ වාහනවල ප‍්‍රයෝජනවත් බව අවබෝධ කර ගත් ඇතැමුන් තම රැුකියා අහිමි වෙතැයි බියෙන් ඒවාට එරෙහිව ඒ කාලේ සටන් කළා.

මේ යන්ත‍්‍ර අතරින් ‘ෆෙදර්ස්ටෝන්-කයිට් ඕපන්වර්ක් බාස්කට්වීව් මාක් ටූ ජෙන්ට්ල්මන්ස් ෆ්ලයින් මැෂින්’ ගැන සඳහන් කරමින් ප‍්‍රදර්ශනයේ විස්තර කථකයන් කීවේ, ‘සතකු වාගේ වැකියුම් ක්ලීනරයක්, වගේ ම ශබ්දය රහිත ග්රැුමෆෝනයක්’ කියායි. ඒ කාලයේ දී මේ යන්ත‍්‍රය හැඳින්වූයේ ‘කිසිවකුටත් හානියක් නැති ඒවගේම ප‍්‍රයෝජනයක් නැති දෙයක් ලෙසයි.

මේ යන්ත‍්‍ර බොහොමයක් තනා තියෙන්නේ, ගෙදරදොර එදිනෙදා ඉවතලන සුන්බුන්වලින් තමයි,

බි‍්‍රටිෂ් එයාවේස් ගුවන්සේවා සමාගම සඳහා කළ ප‍්‍රචාරක වැඩසටහනකට එක් කළ චිත‍්‍රයකින් ඔහුගේ ‘අනාගත අහස්යානය’ හඳුන්වා දී තිබුණා. එය උපහාසයෙන් පිරී තිබුණු චිත‍්‍රයක්. සුළංමානයක්, දුරදක්නයක්, එහි මග පෙන්වන උපකරණ වුණා. සුක්කානමට යොදා තිබුණේ අශ්ව ලාඩමක්.

උණ බම්බුවලින් තැනූ ගගන යානයකට ස්වයංකී‍්‍රය නියමු පද්ධතිය වෙනුවට යොදා තිබුණේ චීස් සූරණයක්. රාති‍්‍ර පෙනීම සඳහා බළලෙකු යොදා තිබුණා. එය ඔසවා ගෙන යාමට සමනලූන් රංචුවක් ඇඳ තිබුණා.

මේ සියලූම යන්ත‍්‍ර මුලින් කාටූන් හැටියටයි ආවේ. ඒවා එමිට් සිත්තරා විසින් 1940 ගණන්වල හා 1950 ගණන්වල පන්ච් සඟරාවට ඇන්ද ඒවායි.

ඔහු විසින් අඳින ලද ‘බෝග් වෝනර්ගේ අනාගත කාරය’ සමකාලීන මෝටර් රථයට විකල්පයක් හැටියට ගෙනා එකක්. ඒ හැම එකක් තුළ ම ඔහුගේ හාස්‍යයක් රැුඳී තිබුණා.

 
මේ පින්තූරයේ දැක්වෙන්නේ බර්මින්හැම් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති එක් පියාඹන යන්ත‍්‍රයක්. මෙය හඳුන්වා ඇත්තේ ‘ෆෙදර්ස්ටෝන්-කයිට් ඕපන්වර්ක් බාස්කට්වීව් මාක් ටූ ජෙන්ට්ල්මන්ස් ෆ්ලයින් මැෂින්’ කියායි. ගෙදරදොර එදිනෙදා ඉවත ලන සුන්බුන්වලින් තමයි, මෙය තනා තියෙන්නේ.

මේ ප‍්‍රදර්ශනය සංවිධානය කළ බර්මින්හැම් කෞතුකාගාර භාරයේ ප‍්‍රදර්ශන කළමනාකාර ඇන්ඩි හෝන් කියන්නේ, ”මේ විස්මකුරු දසුන් බලන්නට මෙහි වැසියන් ඉතාමත් කැමති වේවි. වසර 30ක් බර්මින්හැම නගරයේ වැඩ කරමින් ජීවත් වූ රෝලන්ඞ් එමිට් නම් අසහාය කාටූන් ශිල්පියාගේ නිර්මාණ දකින්නට මෙහි වැසියන් ඉමහත් ආශාවක් දක්වාවි.” කියායි.

මේ කාර්යයට දායකත්වය දුන් රෝලන්ඞ් එමිට් පදනමේ නිර්මාතෘ ටිම් ග‍්‍රිෆිත් කියන්නේ, ”මේ ප‍්‍රදර්ශනයෙන් වර්තමාන තරුණ පරම්පරාවට රෝලන්ඞ් එමිට් කවුදැයි හඳුනාගන්නට අවස්ථාවක් ලැබෙනවා. අපේ ළමයින් වැඩි දෙනෙක් මේ අසහාය චිත‍්‍රශිල්පියාගේ නිර්මාණ දැක නැහැ. මේවා දැකීමෙන් රෝලන්ඞ් එමිට් වැනි අය අනාගතයේ අපේ දරු පරපුර අතරින් මතුවේවි.” කියායි.

රෝලන්ඞ් එමිට්ගේ තවත් අපූරු නිර්මාණයක් වූ නොටින්හැම් නගරයේ වික්ටෝරියා ෂොපිං සෙන්ටර්හී ස්ථාපිත කර ඇති යෝධ ඔරලෝසුවත් බර්මින්හැම්වලට ගෙන ගියා, මේ ප‍්‍රදර්ශනය අලංකාර කරන්නට.

 
රෝලන්ඞ් එමිට් අමුතු කාටූන් චිත‍්‍රශිල්පියෙක්. මේ ඔහු විසින් අඳින ලද ‘බෝග් වෝනර්ගේ අනාගත කාරය’යි (Borg Warner Car of the Future) බලන්න එය නිර්මාණය කර ඇති හැටි. මේ යන්ත‍්‍රයෙහි අලංකාර පහන් වැටවල් බඳු සිරස් පහන් තියෙනවා. රඹ පැහැති දීප්තියක් නිකුත් කරන ඩිකැන්ටරයක් ද ගුවන් විදුලියක් වෙනුවට හාප් එකක් ද පුංචි කුරුල්ලන්, සමනලයන්, මල් ආදියෙන් ද විසිතුරු කර ඇඳලා තියෙනවා.

රෝලන්ඞ් එමිට් කියන්නේ කවුද?

  • රෝලන්ඞ් එමිට් උපන්නේ 1906 වසරෙදියි. මියගියේ 1990 දියි.
  • ඔහුගේ මරණයෙන් පසු බර්මින්හැම්හී පැවැත්වෙන ඔහුගේ නිර්මාණ ඇතුළත් විශාලතම ප‍්‍රදර්ශනය මෙයයි.
  • ලෝපතල පන්ච් (Punch) නම් ඉංගී‍්‍රසි සඟරාවට කාටුන් ඇන්ද ලෝක ප‍්‍රකට චිත‍්‍රශිල්පියෙක්. පසුව අමුතු මූර්ති හා කි‍්‍රයාත්මක කළ හැකි යන්ත‍්‍රවල නව සංකල්ප ඉදිරිපත් කළා.
  • ඔහුගේ අපූර්වතම නිර්මාණය වූ ලෝක ප‍්‍රකට දුම්රිය නෙලී මුලින් ඇන්දේ කාටූන් එකක් ලෙසයි. පසුව එය සැබෑ එකක් ලෙස නිර්මාණය කර 1951 දී බි‍්‍රතාන්‍ය මහා ප‍්‍රදර්ශනයට තබනු ලැබුවා. එයට අමතරව, තවත් යානා දෙකක් වූ ‘ද ෆා ටොටරින්’ හා ‘ඔයිස්ටර් ක්රීක් බ‍්‍රාන්ච් රේල්වේ ආදියත් ඊට එක් කර තිබුණා.
  • ඔහු ජීවතුන් අතර සිටියදීත් සමහර කාටූන් සැබෑ යන්ත‍්‍ර ලෙස නිපදවා ඔහුගේ උපහාසයට පණ දෙන්නට උත්සාහ කළ අවස්ථා තිබුණා. ඒවාට ඔහු යෙදුවේත් විකාර නම්. එයින් එකක් තමා ‘ෆෙදර්ස්ටෝන්-කයිට් ඕපන්වර්ක් බාස්කට්වීව් මාක් ටූ ජෙන්ට්ල්මන්ස් ෆ්ලයින් මැෂින්’ යන වාහනය.
  • 1968 දී තමයි, ඔහුට ‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ චිත‍්‍රපටයේ කැරැුක්ටකස් පොට්ස් නම් අපූරු නිර්මාණ කරුවා වෙනුවෙන් හාස්‍යෝත්පාදක නව නිපැයුම් ගණනාවක් ඒ චිත‍්‍රපටය සඳහා නිර්මාණය කළේ. චිත‍්‍රපටයේ පොට්ස්ගේ චරිතය රඟපෑවේ ඩික් වැන් ඩයික් නම් එකල ජනපි‍්‍රයව සිටි නළුවායි.

 
ඉංගී‍්‍රසි කාටූන් ශිල්පියාගේ චිත‍්‍ර හා යාන්ති‍්‍රක නිර්මාණ දැක්මෙහි ‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ චිත‍්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ පියාඹන මෝටර් කාරයයි, මේ. මෙය හඳුන්වා ඇත්තේ ‘ලිට්ල් ඩ‍්‍රැගන් කාපට් ස්වීපර්’ කියායි. නම වගේම වීකාර දේවල් ගොඩක් මෙයට එක් කර තියෙනවා.

 
එමිට්ගේ අනාගත කාරයට සම්බන්ධ කර ඇඳ තිබූ පරිසර දූෂණය කපා හරින උකරණයයි, මේ. මෙය සැබෑ එකක් ලෙස කිසිදාක නිර්මාණය නොකළ ද ඔහු ඒ මගින් අනාගතයේ පරිසර දූෂණයෙන් තොර වාහනවල අවශ්‍යතාව අවධාරණය කළා. පරිසරයට එක් වන අපවිත‍්‍ර දෑ වනසන මකරකු වැනි සතෙකු හා අනවශ්‍ය දූලි අංශු පෙරණයක් හා පරිසරයට සුවඳ ඉහින මල් ද එහි ඇඳ තිබුණා.

රෝලන්ඞ් එමිට් නිර්මාණ ශිල්පියා ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුගේ කාටූන් ඇසුරෙන් කළ විස්මිත යන්ත‍්‍ර නරඹමින්.

 
ග‍්‍රහ ලෝක අල්ලන්න කරන තරගයත්, ග‍්‍රහලෝකවලට මිනිසුන් යවන්නත් ඇති වූ තරගයත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූවක්. 1960 ගණන්වල ඇඳි මේ කාටූන් චිත‍්‍රයෙන් දැක්වෙන්නේ මිනිසා පොළොවෙන් ගෙන ගිය පාරුවක් අල්ලා ගත් අඟහරුවෙකු එය තමන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගන්නා අයුරු.

 
මේ අපූරු දුම්රිය හැඳින්වූයේ නෙලී කියායි. ඔහුගේ කාටූන් චිත‍්‍රයක් ඇසුරෙන් යන්ත‍්‍රයක් ලෙස සකස් කළේ 1951 දී බි‍්‍රතාන්‍යයේ පැවති මහා වෙළඳ ප‍්‍රදර්ශනයකටයි. තවත් කාටූන් චිත‍්‍ර යානා දෙකක් ද මේ සමග එක්ක කර තිබුණා. මෙය ඒ ප‍්‍රදර්ශනයේ වඩාත් ආකර්ෂණීය අංගය වුණා.

 
උණ බම්බුවලින් තැනූ ගගන යානයකට ස්වයංකී‍්‍රය නියමු පද්ධතිය වෙනුවට යොදා තිබුණේ චීස් සූරණයක්. රාති‍්‍ර පෙනීම සඳහා බළලෙකු යොදා තිබුණා. එය ඔසවා ගෙන යාමට තඹ සමනලූන් රංචුවක් ඇඳ තිබුණා.

 
මෙහි ටීවී එකට වැඩි දෙයක් තියෙනවා. ‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ චිත‍්‍රපටයේ ඇතුළත් කෙරුණු ‘විසිවිෂන්’ යන්ත‍්‍රය. ඔහු ඇඳි කාටූනට පණ දෙද්දී ඒ සඳහා පරණ ග‍්‍රැමෆෝන යන්ත‍්‍රයක් හා පැරණි මහන මැෂිමක් යොදා ගනු ලැබුවා.

 
ඔහුගේ හඳ ගමනට යානය සැලසුම් කරද්දී, සොසේජස් බැද ගන්නට අවශ්‍ය යන්ත‍්‍රයක් ද ඊට එක් කරන්නට අමතක කළේ නැහැ. ඒ යානයේ එක් කෙළවරක මේ චිත‍්‍රයත් දකින්න පුළුවන්. මේ හැම තැනකදීම චිත‍්‍රය තුළින් උපහාසය හා හාස්‍යය මතු කළා.

 
මේ අපූරු ප‍්‍රදර්ශනයට 1960, 1970 ගණන්වල ඔහු උපහාසය ගෙනා කාටූන් චිත‍්‍රවල ආ යන්ත‍්‍ර සූත‍්‍ර 12ක් කි‍්‍රයාත්මක කළ හැකි ආකාරයේ නිර්මාණය ලෙස මේ ප‍්‍රදර්ශනයට එක් කර තියෙනවා. හාස්‍යයට මේ තරම් අපූරුවට පණ දීපු අවස්ථාවක් තවත් නැතුව ඇති. මෙහි දැක්වෙන්නේ ඒ ප‍්‍රදර්ශනය සඳහා චිත‍්‍රයට පණ දෙන්නට එහි සේවකයකු කි‍්‍රයා කළ අයුරුයි.

 
‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ චිත‍්‍රපටයේ ආ නව නිපැයුම්කරුවකු වූ ‘කැරැුක්ටකස් පොට්ස්’ චරිතය රඟපෑවේ ඩික් වැන් ඩයික් (Dick Van Dyke) නම් මේ ලෝක ප‍්‍රකට නළුවායි. මේ ඔහු එහි රඟපෑ අවස්ථාවක්. උදේ කෑම තනන යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන අයුරු. මෙහි පසෙක අතේ ගෙන යා හැකි ස්වයංකී‍්‍රය බාබර් සාප්පුවක් ද පෙනෙනවා.

 
‘කුකූ වලාකුළු නිම්නයේ එක් නිසසල සැන්දෑවක්’ (A Quiet Afternoon in the Cloud Cuckoo Valley) යනුවෙන් නම් කළ මේ චිත‍්‍රය තමා 1990 දී රෝලන්ඞ් එමිට් මිය යන්නට කලින් කළ අවසන් හා ඔහුගේ විශාලතම නිර්මාණය වන්නේ. කෞතුකාගාර සේවකයකු දුම්රිය පණ ගන් වන්නට කි‍්‍රයා කර ආකාරය මෙහි දැක්වෙනවා.

 
රෝලන්ඞ් එමිට්ගේ රසකැවිලි මැසිම. 1968 දී ඔහු මේ නිර්මාණය කළේ ‘චිට්ටි චිට්ටි බෑන් බෑන්’ චිත‍්‍රපටයේ ආ නව නිපැයුම්කරුවා වූ ‘කැරැුක්ටකස් පොට්ස්’ චරිතය වෙනුවෙන්. ඒ චිත‍්‍රපටයේ ‘ටූට් ස්වීට් ෆැක්ටරිය’ ලෙස හැඳින්වූයේ මෙයයි.

Video:


Post a Comment

2 Comments