HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත සිත්තරෙක්! අංශභාගයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් කළ චිත‍්‍ර තුළින් ඔහු දකින්න!

ඔහු වසර ගණනාවක් ජීවත්වූයේ ඇමරිකාවේ ඔරෙගන් ජනපදයේ රෝස්බර්ග් නගරයේ රොස් හෙවන් සාත්තු නිවාසයේයි. ඔහුගේ නම පෝල් ස්මිත් (Paul Smith).

ඔහු අසාමාන්‍ය දක්ෂතාවලින් හෙබි අයෙක්. ඔහු උපන්නෙ 1921 සැප්තැම්බර් 21 වැනිදායි. ඔහුට දරුණු මොළයේ ආබාධ තත්වයක් තිබුණා. එය දරුණු අංශභාග තත්වයක්. එයට මස්තිෂ්ක පරාශ්ලථය (cerebral palsy) කියලයි, වෛද්‍යවරුන් කීවේ. මොළයේ කි‍්‍රයාකාරිත්වයේ දෝෂයක් නිසා ඔහුගේ සිරුරේ වැඩි කොටසක් අකර්මන්‍ය වී තිබුණා.

ජීවිතය අවාසනාවන්ත කරන මේ රෝග තත්වයට අමතරව ඔහුට කතා කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. අතපය නිසි ලෙස චලනය කිරීමේ හැකියාව තිබුණෙත් නැහැ. ළමයකු හැටියට සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් ඔහුට ලැබුණෙත් නැහැ. ඒත් ඔහු අති විශිෂ්ට කලාකරුවෙක් වුණා. ඒ වගේ අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් වුණා.


ඔහු චිත‍්‍ර ඇන්දෙ ටයිප්රයිටරෙන්. ඒ කියන්නේ යතුරුලියනයෙන්. එක ඇඟිල්ලකින් විතරයි ටයිප් කළේ.

යතුරුලියනයේ යතුරු තද කිරීමට ඔහුට දකුණු අතින් තනිවම කළ නොහැකි වුණා. ඒ නිසා වම් අතත් යොදා ගත්තා දකුණු ඇඟිල්ල නොසැලී තියා ගන්න.

ඔහුට එකවර යතුරු දෙකක් ටයිප් කළ නොහැකි වුණා. ඒ නිසා ඔහු කළේ ‘ෂිෆ්ට් එක’ (Shift) යතුර අගුළුදාලා ඉලක්කම්වලට ඉහළින් ඇති සංකේතවලින් තමයි, චිත‍්‍ර ඇන්දේ. @ # $ % ^ & * ( )_

ඔහු මේ සංකේතවලින් තමයි, දශක හැත්තෑවක් තිස්සේ චිත‍්‍ර ඇන්දේ. ඔහුගේ නිර්මාණ සිය ගණනක් තිබුණා. සමහර චිත‍්‍ර ඇඳලා එක් එක්කෙනාට දුන්නා. බොහොමයක් මුල් චිත‍්‍ර ඔහු ළඟ තියා ගත්තා.

ටයිප්රයිටරෙන් චිත‍්‍ර අඳින එක ඔහු හොඳින්ම ප‍්‍රගුණ කළා. ඒ චිත‍්‍ර තුළ කළු සුදු සෙවණැලි, හැඩතල, වර්ණ, විවිධ පැහැයන් ආදිය යොදා ගන්න තරම් ඔහු අති දක්ෂ වුණා. ඒ චිත‍්‍ර දක්කාම කාටවත් කියන්න බෑ, ඒවා ටයිප්රයිටරෙන් ආබාධිත අතපයවලින් කරපු දේවල් කියලා. අති දක්ෂ චිත‍්‍ර ශිල්පියෙක් පැන්සලෙන් හැඩ වැඩ දමා ඇඳපු චිත‍්‍ර කියලයි හිතන්නෙ. ඒ වගේම සමහර ඒවා රටහුණුවලින් වර්ණ යොදපු චිත‍්‍ර කියලා ඕනෑම කෙනෙක් රැවටෙනවා.

මේ අතිදක්ෂ සිත්තරා 2007 ජූනි 25 වැනිදා මියගියා. ඔහු මෙලොවින් සමුගනිද්දී ඒ විස්මිත සිත්තම් ඉතිරි කර ගියා. ඒ නිසා ඔබටත් අද ඒවා අන්තර් ජාලය ඔස්සේ නරඹන්න පුළුවන්. මේ චිත‍්‍ර සම්ප‍්‍රදාය ඔබත් කැමති නම් අනුකරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ මේ හපන්කමෙන් දිරිමත් වෙලා නව චිත‍්‍ර ක‍්‍රමයක් සොයා ගන්නත් පුළුවන්.

මෙන්න ඔහුගේ ටයිප්රයිටර් චිත‍්‍ර දැක්මෙන් තෝරා ගත් කීපයක්. බලන්න! මේ සියල්ල ටයිප්රයිටරෙන් කළ කියලා විශ්වාස කළ හැකිද?

අපට මේ චිත‍්‍ර එවපු මිතුරා ඒ සමග මේ රුවන් වැකියත් අමුණා එවා තිබුණා. ”මම කඳුළු අතරින් ලෝකය දෙස බලන්නෙමි. එවිට මට වියළි දෑසින් නොදැකිය හැකි දේ දැකිය හැකියි.” මෙහෙම කියන්නේ ඇමරිකානු දර්ශනවාදියකු වූ නිකලස් වෝල්ටර්ස්ටෝෆ් (Nicholas Wolterstorff)

ඒ මිත‍්‍රයා මට අවසානයේදී මෙහෙම දෙයකුත් ලියා තිබුණා. ”යමෙක් ඔබ සමග අගය ඇති වටිනා දෙයක් බෙදා හදා ගත් විට, ඔබ එයින් පලක් ලදොත්, එය තවත් අය සමග බෙදා හදා ගැනීම ඔබේ යුතුකමයි.” ඔබට ස්තුතියි මිත‍්‍රයා! අපේ ‘මල් කැකුළු’වල ආදර්ශ පාඨයත් එයයි.




























Post a Comment

0 Comments