අභ්‍යවකාශ ගමනක නැවුම් අත්දැකීමක් විඳ ගන්න! මෙන්න ඔබටත් අවස්ථාවක්!

මේ අලූත්ම අත්දැකීම ස්ටාර්ෂිප් එන්ටප‍්‍රයිස් වගේ අභ්‍යවකාශ යානයක යද්දී දක්නට ලැබෙන එකක් වගේ වුනත් අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට යන ඔබට දැක ගත හැකි එකක්!

ඒත් මේක අපේ විශ්වය හරහා යන විට ඔබ ඉදිරියේ දිග හැරෙන දසුන් පෙළක්. කරකැවිල්ල හැදෙනසුලූ දසුනක්! පරිගණකයෙන් කළ අනුකාරක නිර්මාණයක්.

මෙය දැනට අප හඳුනාගෙන ඇති සක්වළ පරිගණක තිරයේ මවා පෑමක්. මෙය නරඹද්දී ඔබ මොහොතකට අභ්‍යවකාශ යානයක් තුළ ගමන් කරන්නකු බවට පත් කෙරෙනවා.

මේ සඳහා යොදා ගෙන තියෙන්නෙ ‘ගැලැක්සි ඇන්ඞ් මාස් ඇසෙම්බ්ලි’ (Galaxy and Mass Assembly) හෙවත් ගැමා (Gama) නමින් හැඳින්වෙන විශ්වයේ පිහිටි මන්දාකිණි හා විවිධ ස්කන්ධ ඇතුළත් නාමාවලියයි.

මේ වීඩියෝ දසුනෙන් ඔබට අද අප විශ්වය හඳුනන ආකාරයට දැකිය හැකියි. මෙහි දී ගැලැක්සිවල ප‍්‍රමාණයන් මඳක් විශාල කර තියෙනවා, ඔබේ දැක ගැනීමේ පහසුව සඳහා.


ගැමා කියන්නේ අන්තර්ජාතික ව්‍යාපෘතියක්, භූමි ස්ථාපිත හා අභ්‍යවකාශයේ ස්ථාපිත දුරේක්ෂ යොදාගෙන විශ්ව න්‍යාය විද්‍යාව (cosmology) හා ගැලැක්සි හෙවත් මන්දාකිණිවල ප‍්‍රභවය හා පරිණාමය හැදෑරීම සඳහා කැප වුණු එකක්.

මේ දර්ශන නිර්මාණය කර නිකුත් කර ඇත්තේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයෙන්. එහි සිදු වන අලූත් ම පර්යේෂණයක කොටසක් හැටියට. විශ්වයේ ගැලැක්සි හෙවත් මන්දාකිණි අතර ඇති ‘විශාල හිස් කලාප’ (vast empty regions) ඉතා සංකීර්ණ ලෙස සියුම් රැහැන් ජාලයක් මගින් බැඳී ඇති බව ඔවුන්ගේ මේ නව සොයා ගැනීමෙන් පැහැදිලි වෙනවා.

මේ බව බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලය මගින් කළ පර්යේෂණයකිනුත් පෙන්වාදී තියෙනවා, ඔවුන් මේ මන්දාකිණි අතර ඇති ‘හිස් කලාප’ යා කරන සියුම් රැහැන් ජාලයන් හඳුන්වන්නේ ‘අත්පසුරු’ (tendrils) කියායි.

මෙන්න නරඹන්න! අප දැනට හඳුනාගෙන ඇති විශ්වය හරහා ගමනක් යන්න!





ඔබට මේ විශ්වය හරහා යන ගමන සැකැස්මට යොදා ගත් දුරේක්ෂ:
  • ඇංග්ලෝ-ඔස්ටේ‍්‍රලියානු දුරේක්ෂය (The Anglo-Australian Telescope)
  • වීඑල්ටී ස්ර්වේ දුරේක්ෂය (The VLT Survey Telescope)
  • දෘෂ්‍යාලෝක හා අධෝරක්ත කිරණ භාවිත තාරකා විද්‍යා දුරේක්ෂය (The Visible and Infrared Survey Telescope for Astronomy)
  • ඔස්ටේ‍්‍රලියානු පාත්ෆයින්ඩර් දුරේක්ෂය (The Australian Square Kilometre Array Pathfinder)
  • හර්ෂෙල් අභ්‍යවකාශ නිරීක්ෂණාගාර දුරේක්ෂය (The Herschel Space Observatory)
  • මන්දාකිණි පරිණාම ගවේෂක දුරේක්ෂය (The Galaxy Evolution Explorer)
මේ විශ්වය තුළ අති විශාල මන්දාකිණි ප‍්‍රමාණයක් තියෙනවා. ඒවා අතර ඇති ‘හිස් කලාප’ යා කරන අති සංකීර්ණ, දිගු දුර විහිදුණු රැහැන් ජාලයක් ද තියෙනවා.

මේ අති දැවැන්ත ‘හිස් කලාප’ ගැන වසර ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ වගේම ඒවා අතර ඇති කුඩා මන්දාකිණි ප‍්‍රමාණයත් ඔවුන්ගේ අවධානයට ලක් වුණා.

මේ දුරේක්ෂ පද්ධතිවලින් ලත් දත්ත යොදා ගෙන කළ අධ්‍යයනයේදී මෙම අධ්‍යයනයේ මූලිකත්වය ගත් ආචාර්ය ඇල්පස්ලාන් සොයා ගත්තා මේ ‘හිස් කලාප’ තුළ ඇති කුඩා ගැලැක්සි කිසියම් රටාවකට එකිනෙක හා බැඳී ඇති බව. එය මින් පෙර නුදුටු දෙයක්.

”අපට හමුවුණා හිස් කලාප තුළ අතරින් පතර පිහිටි මන්දාකිණි කීපයක් හා ඒවා එකිනෙකට බැඳ තබන කුඩා රැහැන් විශේෂයක්. සම්පූර්ණයෙන් ම අලූත් වර්ගයක ව්‍යුහයක්. අප ඒවා ‘අත්පසුරු’ (tendrils) කියලයි හැඳින්නුවෙ.” කියා ආචාර්ය ඇල්පස්ලාන් කියනවා.

 
දැනට අප බහඳුනාගෙන ඇති මන්දාකිණි පොකුර අතරින් පියාසර කරන්න.

 
ජනපි‍්‍රය ටෙලිවිෂන් හා චිත‍්‍රපට මාලාවක් වූ ‘ස්ටාර් ටෙ‍්‍රක්’හී ආ මෙම ස්ටාර්ෂිප් එන්ටර්ප‍්‍රයිස් අභ්‍යවකාශ යානයෙන් විශ්වයේ සවාරියක් යන ආකාරයක් සේ මේ අත්දැකීම ඔබට දැනේවි.

 
මන්දාකිණි පොකුරු, ඒවා අතර ඇති හිස් කලාප හා ඒ මන්දාකිණි යා කර සෑදෙන අන්තරීක්ෂ ජාලයක් දැක්වෙන රේඩියෝ දුරේක්ෂවලින් ලබා ගත් පිළිබිඹුවලින් සකසා ගත් සේයා රුවක්. ආචාර්ය ඇල්පස්ලාන් හා කණ්ඩායම ඒවා යා කරන ‘අත්පසුරු’ සොයා මේවා නිරීක්ෂණය කරමින්.

කුමක්ද මේ ‘කොස්මික් වෙබ්’ හෙවත් අන්තරීක්ෂ ජාලය කියන්නේ?

මේ විශ්වය මන්දාකිණි හෙවත් ගැලැක්සි ඉතා විශාල ප‍්‍රමාණයකින් පිරී තියෙනවා. ඒවා පිහිටා ඇත්තේ කිසියම් රටාවකටයි. ඒවා අති සංකීර්ණ පොකුරු (clusters) හා පුරුක් (nodes) වලින් දිගු අත්පසුරුවලට යා වෙනවා.

විශ්වයෙහි සංවිධානාත්මකව පවතින මේ ව්‍යුහයට තමයි, කොස්මික් වෙබ් (cosmic web) හෙවත් අන්තරීක්ෂ ජාලය කියන්නේ. මේ ගැලැක්සි අති සංකීර්ණ ලෙස විශ්වය පුරා පැතුරුණු ජාලයකින් එකිනෙක බැඳී තියෙනවා. අපට ඒවා පෙනෙන්නේ හිස්කලාප ලෙස පමණයි.

මේ අත්පසුරු සොයා ගැනීමට හැකි වුයේ ‘ගැලැක්සි ඇන්ඞ් මාස් ඇසෙම්බ්ලි’ (Galaxy and Mass Assembly) හෙවත් ගැමා (Gama) නමින් හැඳින්වෙන, විශ්වයේ පිහිටි මන්දාකිණි හා විවිධ ස්කන්ධ ඇතුළත් නාමාවලියක් සැකසීම සඳහා කළ නිරීක්ෂණ මාලාවකින් පසුවයි. දකුණු ආකාශ අර්ධගෝලයේ කළ මේ නිරීක්ෂණ සඳහා ඔවුන් යොදා ගත්තේ ඕස්ටේ‍්‍රලියාවේ නිවුසවුත් වේල්ස්හී ස්ථාපිත කර ඇති ඇංග්ලෝ- ඕස්ටේ‍්‍රලියානු දුරේක්ෂයයි.

”අපේ මේ නව නාමාවලිය සඳහා සිතියම් සකස් කරද්දී අපට අභ්‍යවකාශයේ ගැඹුරට බලන්න සිද්ධ වුණා. අභ්‍යවකාශය කුඩා කොටස්වලට වෙන් කර ගෙන ඒ හැම කොටසක් ම දහ වතාවකට වැඩි වාර ගණනක් සිතියම් ගත කළා, එය හැකිතාක් දුරට නිවරදි කර ගන්න.” යැයි ආචාර්ය ඒරන් රොබොතම් කියනවා. ඔහු බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ එක් අංශයක් වූ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ (ICRAR) ප‍්‍රධානියායි.

”අපට මේ හිස් කලාප දෙස වඩාත් විමසිලිවත්ව බලන්නට පෙර මේ ගැන හරි දැනීමක් තිබුණේ නැහැ. නමුත් අප විස්මයට පත් වුණා, අප මෙතෙක් ශූන්‍ය තැන් ලෙස දැන සිටි තැන් මේ අත්පසුරුවලින් පිරී ඇති බව දැකලා.” යැයි ආචාර්ය රොබොතම් වැඩිදුරටත් කියනවා.

මේ පර්යේෂණ කණ්ඩායම අනාගතයේ දී මුළු අකාශගෝලයම අධ්‍යයනය කර සෑම තැනම ඇති අත්පසුරු ඇතුළත් සවිස්තරාත්මක සිතියමක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 
පරිගණකයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද ඉහත රූපයෙන් දැක්වෙන්නේ අති සංවේදී රේඩියෝ දුරේක්ෂවලින් ලබා ගත් පිළිබිඹුවලින් ඒ කොස්මික් වෙබ් හෙවත් අන්තරීක්ෂ ජාලය පෙනෙන හැටියි. දකුණේ ඇත්තේ ඒ රූපය මැද ආලෝක මිලියන 10ක් දුරට විහිදුනු කොටසක් විශාලනය කොට අධිරූපණ ක‍්‍රමයට සකසා ඇති අයුරුයි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments