ළමා පරපුර නිර්මාණකරණයට යොමු කළ හෙළයේ මහා වියතාණන්ගේ 70 වන සමරුව!

සිංහල බසට මහ මෙහෙයක් කළ මුනිදාස කුමාරතුංග පඬිවරයා මෙලොව හැර ගොස් ඊයේ දිනයට (මාර්තු 2දාට) වසර හැත්තෑවකි. එතුමා මිය ගියේ 1944 මාර්තු 2 වැනිදාය. වසර 127කට පෙර, එනම්, 1887 ජූලි 25 වැනිදා මාතර දික්වැල්ලේ දික්හේනේ ඉඳිගස් ආරෙහි දී උපන් එතුමා දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලේ දොළොස් වැනියා විය.

කුඩා කල සිය පියාණන්ගෙන් උගත් එතුමන් මුලින්ම ගියේ දික්වැල්ලේ බොදුනු පාසලටය. ඔහු කුඩා කල ම පියාණන් මිය ගියෙන් වැඩිමහලූ සොහොයුරා කුඩා මුනිදසුන් මාතර සාන්ත තෝමස් විදුහලට ඇතුළත් කර ඉංගී‍්‍රසි අධ්‍යාපනයට යොමු කළේය. එහි හත්වැන්න තෙක් උගත් ඔහු එතැනින් ඉවත්ව වැවුරුකන්නල පිරුවනේ පූජ්‍ය කහවේ ආනන්ද හිමියන්ගෙන් සකු බව උගත්තේය. එහිදී පැවිදි වන්නට සිතා සිටියද වැඩිමහලූ සොහොයුරා එය වළක්වා කොළඹ රජයේ අභ්‍යාස විද්‍යාලයට යැවීය.


ගුරු පුහුණුවෙන් පසු වසර 11ක් විවිධ පාසල්වල ඉගැන්වීමේ හා පාසල් පරිපාලන කටයුතුවල යෙදුණු මුනිදසුන්ට 1917 දී පාඨශාලා පරීක්ෂක තනතුරක් ලැබිණ. එහි වසර පහක් සේවය කළ එතුමා ඉන් ඉවත්ව දෙස, බස, රැස රැක ගනු සඳහා පූර්ණකාලීන ලේඛන මෙහෙවරට එක් වූයේය.

මුලින් ම මුනිදස්හු පැරණි සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් පිරිසුදු කොට විවරණ ගන්වා මතු පරපුරට දායාද කරලීමට වෙහෙසුණහ. 1922 දී ‘නිකාය සංග‍්‍රහය’ විවරණයෙන් පටන් ගෙන ඔහු අතින් පැරණි ග‍්‍රන්ථ 32ක් සංස්කරණය විය. අනතුරුව ළමයින් උදෙසා ලියන්නට සිය පෑන මෙහෙය වූ එතුමා අතින් ලියැවුණු පෙළ පොත් මහත් රැසකි. ඉන් ශික්ෂා මාර්ගය හා කියවන නුවණ කැපී පෙනෙයි. ළමයින් වෙනුවෙන් ලියැවුණු කව්, ගී මහ රැසක් ඒ පෙළ පොත්වලට ඇතුළත් කෙරිණ. මේ සමග පළ වන්නේ ඒ අතුරින් ශික්ෂා මාර්ගය තුන් වන පොතේ ආ එක් පැදි පෙළකි. (‘හාවාගේ වග’ කව් පෙළ කලින් ‘මල් කැකුළු’ තුළින් දුටුවා ඔබට මතක ඇති.)


එතුමා විසින් ළමයින්ට විශේෂයෙන් ලියන ලද ‘කුමර ගී’, ‘මඟුල් කෑම’, ‘හීන්සැරය’, ‘හත්පණ’ දසක හයකට පසුත් තවමත් එකසේ ළමුන් අතර ජනපි‍්‍රයය. නිර්මාණකරණය එක්වන තරුණ පෙළට ප‍්‍රයෝජනවත් වන අයුරින් ‘ප‍්‍රබන්ධෝපදේශය’, ’ප‍්‍රබන්ධ සංග‍්‍රහය’, ‘කවි ශික්ෂාව’, ‘විරිත් වැකිය’, ‘කි‍්‍රයා විවරණය’, ‘ව්‍යාකරණ විවරණය’ පමණක් නොව, ‘පිය සමර’ විශිෂ්ට කාව්‍ය සංග‍්‍රහය ඇතුළු ඔහු කළ නිර්මාණ ග‍්‍රන්ථ ගණනින් 40කි. ඒ හැරෙන්නට පුවත්පත් කලාවට එතුමා කළ මෙහෙය අතිමහත්ය. වර්තමාන පුවත්පත් බසට පාර කැපුණේ එතුමාගේ ‘ලක් මිණි පහන’ පුවත්පතෙන් හා ‘සුබස’ සඟරාවෙනි.

නැළැවිල්ල

තොටිල්ල සැම සුව පිරී
පැද්දෙයි තාලෙට සරී
අසමින් ගී සුමිහිරී
නිදන්න පුතු රන් කිරී

දොයි දොයි දොයි
බයි බයි බයි
නිදි මව එයි
වැලැඳ ගනියි

උණු වැඩි යයි හිරුගෙ රැස්
තෙමා නැවත ගෙනෙන ලෙස්
ගියේද වැද මුහුදු කුස්
පෙනේද ආදර වෙසෙස්

සිහිල් වෙති යි සඳ ඉතා
සාවා එහි පැන ගතා
රැසින් අඩක් නො නවතා
සිටීද ඒ හොඳ සතා

සුරතල් දරු බිය වෙතී
කුරුලූ පැටවු නො හඬතී
නැළැවිල්ලෙන් කම් නැතී
කිරිල්ලෝද සැතපෙතී

වසු පැටියෝ ගෙල පසා
මිණිවැල් සෙලැවෙන නිසා
රිසි ලෙස ඇඟ නොම කසා
හිඳිති තණට ඇස ගසා

හූනෝ එළියට අවුත්
මැස්සන් පස්සෙන් ගතොත්
නඟතියි උන් හඬ මහත්
කට ම කටෙහි ලා ගනිත්

හෝරා යතුරත් අපේ
පතා ඔබට නිදි සැපේ
ගෙවනා සැටියට කපේ
පුරුදු පරිදි නො වැලැපේ

සුවඳ ගෙනෙන මලූ‘යනා
සුළඟ කවුළු තිරයෙනා
තද ගති අඩු කැර ගෙනා
එයි ඔබ හට දී සිනා

සර සර ගානා තදේ
ගසුත් සුළඟ වැද මඳේ
දැන් නොම කැර කිසි සදේ
අතු අතරින් හමන දේ

ගඟද සුළඟ සමඟිනි
කතා නොකර පෙර මෙනි
හබල් පහර ඔරුයෙනී
නිසොල්මන් ව විඳගනී

සඳ පානේ වැලි තලා
සුර කුමරියො මල් සලා
නටති මෙ දෙස බල බලා
ගිගිරි වළලූ පය නො ලා

සුර කුමරුවො පෙළ සැදී
අතින් හිසින් රඟ යෙදී
හඟවති තාලය බැඳී
වීණා බෙර නද නොදී

සඳ ද සිනිඳු රැස් කදූ
නො හෙළා බිම එක බදූ
වලා කුළින් පිරිසුදූ
පෙරා එවයි බිඳු බිදූ

කැර ගස් අඳුරත් වටා
තද ගොස් නො ඇසෙන්නටා
සඳ රැුස් ගඟ දිය පිටා
පය උස් නො කැර ම නටා

සුර බිලිඳෙ සඳ කැලූම්
තළත සමන් මල් නොහිම්
බිහිරි වෙතියි කන සියුම්
නවතති දී අත් කුසුම්

අහසේ තරු රැස් දිළී
අහෝ යහන ළඟ එළී
වැඩි නම් නො වෙති යි කෙළී
වෙවුලයි බිය ගෙන පෙළී

ඔබ සිප ගන්නට ලොබා
වෙමින් උනුන් පසු බබා
එති සුර කුමරියො බබා
පයැඟිලි අග බිම ඔබා

සරසවි ඔබෙ මුව සිඹී
සිරි ඇඟ දැවැටී හොබී
සැම දෙවියෝ එබි එබී
බලති අමා රස නො බී

දොයි දොයි දොයි
බයි බයි බයි
නිදි මව එයි
වැලැඳ ගනියි

- පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. කුමාරතුංග මුණිදාසයින් එකල විසූ ඔහුගේ සතුරු වාද කරුවන්ද ගරු කල චරිතයක් වුනා. භාෂාව රැක ගැන්ම සඳහා කුමාරතුංගයන් තුල වූ කැපවීම පුදුමාකාරයි. එතුමාගේ සමකාලීනයින් අතර බොහොම වැදගත් කෙලින් තීරණ ගත් හොඳ පදනමක් තිබූ වියතෙක් විදියට කුමාරතුංග මුණිදාස මහතා හඳුන්වන්න පුලුවනි.

    ReplyDelete
  2. methumage poth walin thamath salli hambu karanwa DM Gunasoona. ethumata nisi kathrubagaya gewwe na. thamath nama wikunanawa

    ReplyDelete