ස්වර්ගයෙයි අපායෙයි වෙනස!

ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.

”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහු දෙවියන්ට කීවා.

ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.

දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.

ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.


ඒ වට මේසය වටා වාඩි වී සිටි පිරිස කෙසඟ සිරුරින් යුත් රෝගී පෙනුමක් ඇති අයයි. ඔවුන් බොහෝ කලකින් කෑම නොකෑ අය මෙන් සිටියේ දැඩි හාමතෙන්.

ඔවුන් සැමදෙනා අතේ ම හැන්දක් බැගින් තිබුණා. ඒත් ඒ හැඳිවල මිට හරිම දිගයි. ඒ වගේ මිට දිග හැඳි ඊට පෙර ස්වාමි කවදාවත් දැක තිබුණේ නෑ. ඒ හැඳි හැම එකක් ම ඒ අයගෙ අත්වලට බැඳලයි තිබුණේ. ඒත් ඔවුන් හැමදෙනාටම පුළුවන්කම තිබුණා, මේසය මැද තිබුණු බඳුනට තමන්ගේ හැන්ද දමලා හැන්ද පිරෙන්න ඒ රස වෑහෙන ආහාර අර ගන්න. ඒත් ඒ හැඳිවල මිට දිග හින්දා ඒ ආහාර තමන්ගේ කටට දමා ගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා කෑම නැතුව ඒ අය ලතවෙවී තමයි, හිටියෙ. ඒ කෑමට ඇති ආසාව ඔවුන්ගෙ මුහුණුවල තිබුණා. ඒත් කන්නට නොලැබීම ගැන ලොකු කනස්සල්ලක් ඒ මුහුණුවල ඇඳිල තිබුණා.

ඒ දර්ශනය දුටු ස්වාමිගෙ ඇඟ කිලිපොළා ගියා. ඔවුන් විඳි වේදනාව හා සංතාපය ස්වාමිට තදින් දැනුණා.

ශිව දෙවියන් ඒ දොර වසා දැම්මා.

”ඒ ඔබ දැක්කේ අපායයි.” ශිව දෙවියන් කීවා.

ශිව දෙවියන් ඊළඟ දොර ළඟට ගියා. ඒ දොර ඇර ස්වාමිට පෙන්නුවා.

ඒ කාමරයත් කලින් කාමරය වගේමයි. ලොකු කවාකාර මේසයත් ඒ මැද සුවඳ හමන ස්ටුවලින් පිරි විශාල බඳුනත් කලින් කාමරයෙ විදියට ම තිබුණා. ඒ ආහාර සුවඳ නිසා ස්වාමිගේ කටට කලින් වගේ කෙළ ඉනුවා.

ඒ මිනිසුන්ගේ අත්වලටත් අර වගේම දිග මිට ඇති හැඳි තිබුණා. ඒත් එහි උන් පිරිස නිරෝගීව මෙන් ම පුෂ්ටිමත්ව සිටියා. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉතිරිලා ගොස් තිබුණා. ඔවුන් සිනාසෙමින් එකිනෙකා හා කතාබහේ යෙදෙමින් සිටියා.

ස්වාමිගේ මුහුණේ ප‍්‍රශ්නාර්ථයක් ඇඳුණා. ”දෙවියනි, මට මේක තේරෙන්නේ නැහැ.” ස්වාමි කිව්වා.

”ඒක හරිම සරල දෙයක්.” ශිව දෙවියන් කීවා. ”ඔවුන්ට ඒ සතුට ලැබිලා තියෙන්නේ ඔවුන් හඳුනා ගෙන තියෙන පුංචි දෙයක් නිසයි. ඔබට පේනවද ඔවුන් ඒ හැඳිවලින් එකිනෙකාට කවා ගන්නවා. කෑදර ආත්මාර්ථකාමී අය හිතන්නේ තමන් ගැන විතරයි.” ශිව දෙවියන් කීවා.

ශිව දෙවියන් ලෝකය මැව්වෙ ඔබ ගැන හිතා ගෙනයි. මතක තියා ගන්න හැම තිස්සෙම මගේ හැන්ද තියෙන්නෙ ඔබ සමග බෙදා ගන්නයි.

(ඉන්දියානු ජන කතාවක්)




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. අාත්මාර්ථයයි පරාර්ථයයි අතර වෙනස?

    ReplyDelete
  2. කාල ඉවරව වෙලා හැන්දකුත් අතේ බැදගෙන Toilet ගියාම මොකද වෙන්නේ.

    ReplyDelete