HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න විද්‍යාවේ අලූත් ම පෙරළිය! වේයන් මෙන් වැඩ කළ හැකි පුංචි රොබෝ කණ්ඩායමක්!

වේයන් තුඹසක් බඳින හැටි ඔබ දැක තිබෙනවාද? එක ජනපදයක සිටින වේයන් ඉතා කඩිසරව එකිනෙකා හා මනා අවබෝධයකින් යුතුව ඒ කටයුත්තට සංවිධානය වී ඇති ආකාරය විස්මය දනවන්නක්.

ඒ විධියටම වේයන් සේ කි‍්‍රයා කළ හැකි ස්වයං-සංවිධානයක් සහිත කුඩා රොබොට්ටන් කණ්ඩායමක් නිපදවන්නට ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා.

ඒ රොබොට්ටන්ට කුලූනු, මාලිගා, පිරමීඩ වැනි දේ, සවිස්තරාත්මක උපදේශනයක්, අධීක්ෂණයක් නොමැතිව තනිවම නිපදවන්න පුළුවන් කීවොත් සමහර විට ඒක ඔබ විශ්වාස කරන එකක් නැහැ.

මෙය ඇත්තෙන් ම මිනිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තබන්නට යන දැවැන්ත පියවරක ආරම්භයයි! මෙය කලින් කළ සැලසුමකට අනුව අධීක්ෂණයකින් තොරව එහෙත්, එකිනෙකා සමග සහයෝගයෙන්, තමන්ට අයිති කොටස ස්වාධීනව කළ හැකි රොබොට්ටන් කණ්ඩායමක් නිපදවූ පළමු වතාවයි.

මේ අනුව අනාගතයේ දී මේ මිහිමත හෝ වෙනත් ග‍්‍රහ ලෝකවල මිනිසා වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා මේ රොබොට්ටන් යොදා ගත හැකියි.

 
මෙන්න විද්‍යාඥයන් තනා ඇති ‘රොබෝ වේයා’ හෙවත් ‘වේරොබොට්ටා.’ මේ රොබෝ වේයාට අධීක්ෂණයක් නැතිව ස්වයං-සංවිධානය වී ඕනෑම ගොඩනැගිලි ඉදිකිරීමක් කළ හැකියි.


මේ වේරොබොට්ටන් වැඩ කරන්නේ කොහොමද?

වේරොබොට්ටන් වැඩෙහි යොදවන්න කලින් ඔවුන්ගේ කටයුත්ත අවසානයේ දී ඉදිවන ගොඩනැගිල්ල කොයි ආකාරයේ එකක්ද, ඒ වෙනුවෙන් සිදු කළයුතු සමස්ත කාර්යය කුමක්ද කියා අවබෝධයක් ලබා දෙනවා.

ඔවුන්ට මග පෙන්වන්නේ අධෝරක්ත හා අතිධ්වනි සංඥා මගින්. ඒවායින් කෙරෙන්නේ යන්න, නවතින්න වගේ යාම්ඊම්වලට අදාළ තීරණ ගත හැකි සංඥා කීපයක් භාවිත කිරීමක් විතරයි.

මේ වේරොබොට්ටන්ට මධ්‍යගත පාලන ක‍්‍රමයක් හෝ එකිනෙකා හා කථා බස් කළ හැකි ක‍්‍රමයක් නැහැ.

වේරොබොට්ටන් භාවිත කරන්නේ කළු සුදු රටාවලින් ගඩොල්වල හැඩතල හඳුනා ගත හැකි අධෝරක්ත සංවේදකයි. ඒ වගේම මග සොයා යාමට භාවිත කරන්නේ සෝනාර් ක‍්‍රමයක්.

ඔවුන් අනුගමනය කරන්නේ නියෝග දෙකක් විතරයි. ඉදිකළයුතු ව්‍යුහයට අදාළව යායුත්තේ කොතැනටද? ඊළඟට කළ යුතු කාර්යය කුමක්ද? යන කරුණු දෙකයි.

අනික්වා විශේෂිත ඉදිකිරීමට අදාළව යාම්ඊම් කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයි.

යාම්ඊම්වලට අදාළ නීතිවලින් තමයි, වේරොබොට්ටන්ට ඔවුන් ඊළඟට යා යුතු වැඩබිම කළයුතු කාර්යය කියා දෙන්නේ. ඒ වගේම වැඩට අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය හා වේරොබොට්ටන් අඩුපාඩුවක් නැතිව ලබා දීමට මග පෙන්වන්නේ.

මෙහිදී වේරොබොට්ටන් එකිනෙකා හා ගැටීමක් එකිනෙකාගේ වැඩ කටයුතුවල පැටලීමක් නොවන්නට ආරක්ෂක පියවර ගැනීමක් කෙරෙනවා.

”මේ වේරොබොට්ටන් වැඩෙහි යොදවන්න කලින් ඔවුන් විසින් නිමා කළයුතු කටයුත්ත අවසානයේ දී කුමන ආකාරයේ එකක්ද, ඒ වෙනුවෙන් සිදු කළයුතු සමස්ත කාර්යය කුමක්ද කියා පරිගණක වැඩසටහනක් මගින් අවබෝධයක් ලබා දෙනවා.” යයි පර්යේෂකයන් ඒ කාර්යය පහදමින් කියනවා.

ගඩොලක් එසවිය යුත්තේ කොතැනදීද, එය සවිකළ යුත්තේ කොතැනකට ද කියා ඔවුන් දන්නවා. ඒ වගේ ම එකිනෙකා හා නොගැටී යා හැටිත් ඉදිකිරීමේ දී ඉහළ මට්ටම්වලට ළඟා කළ යුතු ආකාරයත් ඔවුන් දන්නවා.

දැනට මේ වේරොබොට්ටකුගේ දිග අඟල් 6ක් විතර වන නිසා මේ අත්හදා බැලීම් සඳහා ගන්නා ගඩොල් සැහැල්ලූ ද්‍රව්‍යයකින් තමයි තනා තියෙන්නේ.

දැනටමත් ඔවුන්ගේ මේ වේරොබොට්ටන් තැනීමේ නිර්මාණශීලී හැකියාවන් ගැන විද්‍යාඥයන් සෑහීමකට පත්වෙලයි ඉන්නේ.

අනාගතයේ දී මේ ආකාරයේ ස්වයංකී‍්‍රයව වැඩ කළ හැකි වේරොබොට්ටන් යොදා මිනිසාගේ ප‍්‍රයෝජනයට යොදා ගත හැකි මහා පරිමාණයේ ඉදිකිරීම් කළ හැකි බව විද්‍යාඥයන්ට දැන් ප‍්‍රත්‍යක්ෂ වී හමාරයි.

ඔවුන් කියන්නේ මිනිසාට යා නොහැකි අනතුරුදායක තැන්වලට ගොස් ඉදිකිරීම් කටයුතුවල යෙදෙන්නට මේ වේරොබොට්ටන්ට හැකියාව ඇති බවයි. මිහිමත දියයට කෙරෙන ඉදිකිරීම්වලට, හඳ මත හෝ අඟහරු මත කරන ඉදිකිරීම් සඳහා මේ වේරොබොට්ටන් යොදා ගත හැකියි.

 
අනාගතයේ දී ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වැඩ සඳහා මේ වේරොබොට්ටන් යොදා ගන්න පුළුවන්. ඔවුන් කි‍්‍රයා කරන්නේ අධෝරක්ත හා අතිධ්වනි සංඥා මගින්.

 
වේයන් ආදර්ශයට අරගෙනයි මේ වේරොබොට්ටන් නිර්මාණය කරල තියෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත වේයන් පිරිසක් එක්ව මනා සංවිධානයක් ඇතිව කළ තුඹසක්.


මේ වගේ අඩි 8ක් විතර උස තුඹසක් තනන්න වේයන්ට එතරම් කාලයක් ගත වන්නේ නැහැ.

අනාගතයේදී මිනිසා අඟහරු මත ජනාවාස ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මිනිසා එහි යන්නට පෙර මේ වේරොබොට්ටන් එහි යවා ඉදිකිරීම් නිම කර විය හැකියි. එහිදී මේ වේරොබොට්ටන්ගේ වටිනාකම කිව නොහැකි තරම්.

”අපට වේයන්ගෙන් මේ සඳහා අභාසයක් ලැබුණු බව කියන්න ඕනෑ. කණ්ඩායමක් වශයෙන් වැඩකරමින් මනා සංවිධානයකින්, වැඩ අධීක්ෂකයන් නොමැතිව, ඔවුන් එකිනෙකා හා සිදු කරන දේ ගැන කතාබස් නොකර, ඔවුන් කරන කාර්යය අපට මේ සඳහා මග පෙන්නුවා කීවොත් නිවැරදියි. ඒ ආකාරයේ පරිසරයක් අප මේ වේරොබොට්ටන් සඳහාත් නිර්මාණය කළා.” ඇමරිකාවේ පරිගණක විද්‍යාඥවරියක වූ මහාචාර්ය රාධිකා නාග්පාල් කියනවා. ඇය හවාඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක්.

වේයන්ගේ ඉදිකිරීම් හැකියාව විශේෂඥයන් බොහෝ කලක් තිස්සේ විස්මයට පත් කළ කරුණක්.

”වේයන් මිලියන ගණනක් එක්ව අඩි 8ක් පමණ උසට තුඹසක් නිර්මාණය කිරීම ඇත්තෙන්ම අපූරු දෙයක්. ඒ විතරක් නොවෙයි, ඒ තුළ වාතාශ‍්‍රය හා සිසිලස පවත්වා ගෙන යාමත් ඇදහිය නොහැකි තරම් විස්මිත දෙයක්.” ඇය පවසනවා.

 
ප‍්‍රමාණයෙන් කුඩා වුවත් විද්‍යාඥයන් තමන් කළ මේ නිර්මාණය ගැන දැනටමත් සෑහීමට පත්වෙලයි ඉන්නෙ. අනාගතයේ දී විශාල ඉදිකිරීම් සඳහා යොදා ගත හැකි, මිනිසාට යා නොහැකි අනතුරුදායක තැන්වල වැඩ කරන්නට හැකි, විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර තනන්නට මේ රොබොට්ටන් උපකාර කර ගත්තෑකි කියා ඔවුන් විශ්වාසය පළ කරනවා.

මේ වේ තුඹසක් ඇතුළේ අති සංකීර්ණ උමං මාර්ග පද්ධතියක් තියෙනවා. මිනිස් ඉදිකරන්නන් මෙන් නොව ඔවුන්ට ඒ සඳහා ප්ලෑන්, පිඹුරුපත්, නිර්මාණ සැලසුම්, සවිස්තරාත්මක රූප සටහන් කිසිවක් නැහැ. ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ ඉවෙන් මෙන් හඳුනා ගන්නා අදිසි සන්නිවේදන ක‍්‍රමයක්.

ඔවුන් එකිනෙකා තමන් අවට පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කර ඒ මොහොතේ තමන් කළ යුතු දේ නිශ්චය කොට ඒ කාර්ය කොටස නොපමාව ඉටු කරනවා. ඒක එක්තරා විධියක බුද්ධිමය කි‍්‍රයාවක්. විද්‍යාඥයන් නිර්මාණය කරන මේ වේරොබොට්ටන් කි‍්‍රයා කරන්නෙත් ඒ වේයන්ගේ න්‍යාය අනුවයි.

 
මේ වේරොබොට්ටන්ට ආභාසය ලැබුණේ වේයන්ගෙන්. කණ්ඩායමක් වශයෙන් වැඩකරමින් මනා සංවිධානයකින්, වැඩ අධීක්ෂකයන් නොමැතිව, ඔවුන් එකිනෙකා හා සිදු කරන දේ ගැන කතාබස් නොකර, ඔවුන් කරන කාර්යය තමයි, මේ අපූරු රොබෝවන් තැනීමට ආදර්ශය වුණේ.

මේ රොබොට්ටන් වැඩ කරන ස්ථානය කුමක් වුනත් ප‍්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ කාර්යය ඒකාබද්ධ කරන්න මධ්‍යගත පාලකයෙක් හෝ සංකීර්ණ කාර්ය පද්ධතියක් හෝ වන්නේ අවශ්‍ය නැහැ.

මේ වර්ගයේ එක රොබොට්ටකුට රෝද කට්ටලයක්, යමක් එසවීමට අතක් හා එය නොවැටෙන්නට හිරකර තබා ගැනීමට නැම්මක් සහිත කොටසකුත් තියෙනවා.

මේ රොබොට්ටන් ගමනාගමනයේ දී මග සොයා ගැනීමට උදවු කර ගන්නේ අතිධ්වනි ශබ්ද (සෝනාර්) තරංගයි. ඒ වගේම ඉදිකිරීම්වලදී ගඩොල්වල කළු සුදු රටා හඳුනා ගැනීමට භාවිත කරන්නේ අධෝරක්ත කිරණයි.

ඉදිකිරීම් ව්‍යාපෘතියක රොබොට්ටන් මෙහෙයවන මාර්ග නීති දෙකම තමයි, වෙනත් ඕනෑම ව්‍යාපෘතියකටත් යොදා ගන්නෙ. ඒ ගැන අවුලක් නැහැ. එහි දී කි‍්‍රයාත්මක වන්නේ ඒ මොහොතේ රොබොට්ටන් අවට සිදු වන දෙයට ප‍්‍රතිචාර දක්වා කි‍්‍රයාත්මක වීමක් නිසා ඕනෑම තැනකට ඒවා සාධාරණයි.

මේ පරීක්ෂණයේ අධ්‍යයන වාර්තාවක් ‘සයන්ස්’ (Science) කියන විද්‍යා ජර්නලයේ අන්තර්ජාල මුද්‍රණයේ පළ වී තියෙනවා.

මාර්ග නීතිවලින් තමයි, රොබොට්ටන් තමන් වැඩ කරන පරිසරය තුළ හසුරුවන්නේ. ඔවුන් ඊළඟට යා යුතු තැන කියා දෙන්නේ. ඒ වගේ ම රොබොට්ටන්ගේ ප‍්‍රමාණය නොඅඩුව සපයන්නේ. ඔවුන්ගේ අඛණ්ඩව ගලා යාම සිදු කරන්නේ. නිෂ්පාදන ද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණයට සපයා දෙන්නත් මෙහිදී උදවු වන්නේ.

”මේ රොබොට්ටන් නොසැලකිලිමත් ලෙස ඉදිකිරීම්වල යෙදුණොත් ඉක්මනින්ම වැඩ ඇණ හිටින තැනකට පත් වෙනවා. ඒ නිසා රොබොට්ටකු වැඩබිමක තමා අවට පරිසරය පරීක්ෂාකරද්දී ඒ කාර්යය සඳහා ආරක්ෂක අධීක්ෂණයක් සිදු කරනවා. එහිදී ගොඩනැගිලි ද්‍රව්‍ය ගබඩා කර ඇති තැන්, අනෙක් අය සිටිය යුතු තැන් ආදියත්, එහි සියල්ල නිසි පරිදි ඇත්දැයි විමසා බලනවා. ඒ ගැන සෑහීමකට පත් වුණාට පසුවයි, ඒ රොබොට්ටා වැඩට බහින්නේ.” ආචාර්ය ජස්ටින් වර්ෆෙල් (Justin Werfel) කියනවා. ඔහු මේ පර්යේෂණ කණ්ඩායමට එක් වී සිටින එක් විශේෂඥයෙක්. ඇමරිකාවේ කේම්බි‍්‍රජ්හී හවාඞ් විශ්වවිද්‍යාලය හා සබැඳි වයිස් (Wyss Institute) විද්‍යායතනයේ ජීව ආභාසිත ඉංජිනේරු විද්‍යාව (Biologically Inspired Engineering) පිළිබඳ මහාචාර්යවරයෙක්.

”මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මේ රොබොට්ටන් එකෙක් හරි කැඩුණොත් එයා නැතිව අනිත් අයට වැඩ ටික වෙනසක් නැතිව කර ගෙන යාමට පුළුවන් වීමයි. ඒ අඩුව කිසි විටෙකත් දැනෙන්නේ නැහැ.” ආචාර්ය වර්ෆෙල් පැහැදිලි කරනවා.

මේ වේරොබොට්ටන්ට කළ හැකි දේ මොනවාද? ඔවුන්ට පුළුවන් ඉදිරියට යන්න, පසුපසට යන්න, හැරෙන්න, උඩට නගින්න, පහළට බසින්න. ගඩොල් ගොඩෙන් එකක් අර ගෙන ඔසවා ගෙන ගිහින් නියමිත තැන නිවැරදිව තියන්න. ඒ වගේම අහල පේන හරියේ ආසන්නවම ඇති ගඩොල් හා රොබොට්ටන් සැණෙන් හඳුනා ගන්න. ඒ වගේම මග සොයා ගෙන ඒ කාර්යයට දායක වෙන්න.

මේ වේරොබොට්ටන්ට අනුගමනය කිරීම සඳහා ලබා දෙන උපදෙස් මේවායි: කලින් සැකසූ මාර්ග නීති පිළිපදින්න! ගඩොල් තැන්පත් කළ යුතු ආකාරය තේරුම් ගන්න වටයක් යන්න! ඉදිකරන ව්‍යුහයේ ඉහළට නගින්න! ගඩොලක් ලබා ගන්න! එහි ඇති ජ්‍යාමිතික රටාවලට ගැළපෙන ආකාරයට ආසන්නම හිස් තැන පුරවන්න! දැන් ඉහළ සිට පහළට බසින්න! නැවත එය කරන්න!





Post a Comment

2 Comments

  1. හොඳ ලිපියක්... පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනා.. ඉංග්‍රීසි භාෂාවේ Robot කියන වචනය ‍කියන්නේ රොබොට් කියලා නෙමෙයි.. රොබෝ කියන වචනයයි නිවැරදි.. ‍"ට"යන්න මෙහි ශබ්ධ වෙන්නෙ නැ..

    ReplyDelete
  2. හොද ලිපියක්. මේ බ්ලොග් අඩවිය www. නැතුව malkakulu.com කියලා ටයිප් කරාට එන්නේ නෑ. කරුණාකරලා ඩොමේන් එක ගත්ත තැන www දාලා රෙකෝඩ් එකක් ඇඩ් කරන්න.

    ReplyDelete