සදාකල් ජීවත්වෙන්න ඔබ කැමති ද? සත්වලෝකයේ කොහේ හෝ අමරණීයත්වය තියෙනවද?

මේ ප‍්‍රශ්නවලට උත්තර සොයන්න පසුගියදා විද්‍යාඥයන් පිරිසක් උත්සාහ කළා. සත්වලෝකය තුළ මරණය ජයගත් සත්ව විශේෂ තියෙනවද? ඒ ගැන සොයා යද්දී විද්‍යාඥයන්ට පෙනී ගියා සත්වලෝකයේ විතරක් නෙවෙයි, ශාකලෝකයේත් ‘අමර’ නාමය ලැබිය හැකි අය සිටින බව.

සමහර අය තමන්ගේ බලූ හෝ බළල් සුරතලකු හදිසියේ මියගියහොත් ඒ ගැන දුක් වෙනවා. එවන් දුකක් ඇති නොවන්නට නම් කිසිදාක මිය නො යන සුරතල් සතකු ඇති කරන්න ඕනෑ.

විද්‍යාඥයන් කියන්නේ සදාකල් ජීවත්වන අය සත්ව ලෝකයේ ඉන්නා බවයි. ඒ අතර මිරිදිය බුහුබාවන් (polyps) ප‍්‍රධානයි. ඒ වගේ ම තවත් සත්ව වර්ග ඉන්නවා වයසට යන්න යන්න වඩ වඩා ශක්තිමත් වෙන.

එවැනි එක සතකු තමා හයිඩ‍්‍රා මැග්නිපැපිල්ලාටා (Hydra magnipapillata) කියන බුහුබාවා. පියවි ඇසට නොපෙනෙන නිසා අන්වීක්ෂයකින් බැලිය යුතු සතකු වුවත් සුරතලකු සේ ඇති කිරීමට පුළුවන් සතකු නෙවෙයි. ඌට ඇත්තේ නලයක් බඳු සිරුරක්. උගේ මුව අවට හිස වටා ග‍්‍රාහිකා පිහිටා ඇති අතර පාදවලින් ගලකට ඇලී සිටින්නට ඌට පුළුවන්. ඇති කළ හැකි සුරතලකු නොවූවත් ඌ වියපත් වීමේ ගැටලූවෙන් මුලූමනින් ම පාහේ මිදුණු සතෙක්.

 
හයිඩ‍්‍රා මැග්නිපැපිල්ලාටා නම් ක්ෂුද්‍රජීවියාට ඇත්තේ හිසෙහි අඬු සහිත නලාකාර සිරුරක්. ඌට ඇත්තේ කිසිදාක වයසට නොයන කටක් හා ගල් වැනි මතුපිටක ඇලී සිටිය හැකි ‘පාදය’ක් සහිත විස්මිත සිරුරක්!

විද්‍යාඥයන් විවිධ ජීවී විශේෂ 46ක් ගැන විමසීමක් කළා. ඊට ක්ෂීරපායීන්, ශාක, දිලීර හා ඇල්ගේ ආදිය ඇතුළත් වුණා.

මිනිසුන්, ක්ෂීරපායීන් හා කුරුල්ලන් වියපත් වීමත් සමග දුර්වලව ගියත් ඉදිබුවන් හා ඇතැම් ගස්වර්ග තවතවත් ශක්තිමත් වෙමින් වැඩි කලක් පවතින බව පෙනී ගොස් තියෙනවා.

දකුණු ඩෙන්මාක විශ්ව විද්‍යාලයේ පරිණාමීය ජීවවිද්‍යාඥ ආචාර්ය ඕවන් ජෝන්ස් කියන්නේ, ”බොහෝ දෙනා සිතා සිටින්නේ, විද්‍යාඥයන් පවා වියපත් වීම මිහිමත සිටින සියලූම ජීවීන්ට පොදු දෙයක් කියායි. මිනිසා වගේම අනෙක් සෑම සත්ව විශේෂයක් ම වියපත් වීමත් සමග අවසානයේ දී දුර්වල වී මරණයට පත් වන බවයි. ඒත් ඇත්ත ඒක නොවෙයි.” කියායි.

ඔහුගේ කණ්ඩායම අධ්‍යයනය කළා, විවිධ සත්ව හා ශාක විශේෂ රැසක් ගන. ඕක් ගස්වල සිට මුහුදු ශාක දක්වාත්, වට පණුවන්ගේ සිට උකුණන් දක්වාත්, සිංහයන්ගේ සිට බැබූනයන් දක්වාත් සත්ව හා ශාක ගණ ඊට ඇතුළත් වුණා.

ඔවුන් විමර්ශනය කළා, ක්ෂීරපායීන් 11ක්, පෘෂ්ඨවංශීන් 12ක්, අපෘෂ්ඨවංශීන් 10ක්, පැළෑටි වර්ග 12ක් හා එක් ඇල්ගී වර්ගයක් ගැන.

”මේ ජීවීන්ගේ මර්ත්‍යතාව (mortality) හා සාඵල්‍යතාව (fertility) පිළිබඳ රටාවල විවිධත්වයෙන් අප මවිතයට පත් වුණා. මේ අතින් තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතුයි. වියපත් වීම පිළිබඳ පරිණාමීය සාධක ගැන වැඩි දුරටත් විභාග කළ යුතුයි. මිනිසාගේ වියපත් වීම පිළිබඳ පවතින ගැටලූවලට විසඳුම් සෙවිය හැක්කේ එවිටයි.” ජෝන්ස් වැඩිදුරටත් කියනවා.

 
මේ කාන්තාර ඉදිබු වර්ගය වන සතුන් අතර වැඩිම කලක් ජීවත්වන බවයි, සොයා ගෙන තියෙන්නෙ. මොවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 80ක් පමණ වෙනවා.

ක්ෂීරපායීන්ගේ හා කුරුල්ලන්ගේ වියපත් වීම පිළිබඳ මීට කලින් ද විද්‍යාඥයන් අධ්‍යයනය කර තියෙනවා. ඒත් ‘නේචර්’ (Nature) ජර්නලයේ පළ වී ඇති මේ අලූත්ම වාර්තාවෙන් මෙතෙක් නොකළ පැතිවලින් අධ්‍යයනය කර තියෙනවා. පෘෂ්ඨවංශී හා අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ මෙන් ම ඇල්ගී ශාක හා දිලීර ගැනත් එහි දී විමසා බලා තියෙනවා.

වියපත් වීමේ කි‍්‍රයාවලියේ වෙනසක් නැතිව එක හා සමානව නොමියෙමින් ජීවත්වන සතුන් මේ අතර හමු වීම විස්මයජනකයි.

එවැනි එක සතකු තමා හයිඩ‍්‍රා මැග්නිපැපිල්ලාටා (Hydra magnipapillata) නමින් හැඳින්වෙන මිරිදිය බුහුබාවා. රසායනාගාර තුළ දී මෙවැනි සතකු මරණයට පත් වීමේ අවදානම ඉතාමත් අවමයි. ඒ නිසා ඌ නොමැරෙන සතකු ලෙස හඳුන්වන්න පුළුවන්.

”අපේ නිගමනවලට අනුව මේ හයිඩ‍්‍රා සත්ව විශේෂය මේ පර්යේෂණාගාරවල වසර 1,400කට පස්සෙත් මේ විධියට ම වෙනසක් නැතිව දකින්න පුළුවන් වේවි.” ආචාර්ය ජෝන්ස් කියනවා.

බොහෝ සත්ව විශේෂවලට වයසත් සමග මරණයට වඩාත් ළං වෙනවා. මිනිසා වගේම මිනීමරු තල්මසාත් ඇතුළු බොහෝ ක්ෂීරපායීන්ගේ තත්වය එහෙමයි.

එහෙත් සමහර සත්ව හා ශාක වර්ග වයසට යාමත් සමග තවත් වැඩි කලක් ජීවත්වීමට ඇති හැකියාව වැඩි කර ගන්නවා. ඒවායේ ආයු කාලය වැඩි වෙනවා. නිදසුනක් හැටියට මේ විධියට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කර ගන්නා සතුන් විශේෂයක් ලෙස ඉදිබුවන් හඳුන්වන්න පුළුවන්. ඒ සතකු සාමාන්‍යයෙන් වසර 80ක් විතර ජීවත්වෙනවා. කඩොලාන ශාක වර්ගත් ඒ වගේමයි.

 
වියපත් වෙන්න වෙන්න නොවැහැරෙන මේ හණ වර්ගයේ ශාකය (agave) දිගු කාලයක් ජීවත්වෙන ශාකවලට එක් නිදසුනක්. මෙය මෙක්සිකෝවේ හා දකුණු ඇමරිකාවේ දී හමුවන්නක්.

මාරත්මල් (rhododendrons), සාමාන්‍ය කටුස්සන් හා තාපස කකුළුවන් ආදීන් සිය ජීවිත කාලය තුළ දී වයසට ගියත් වැහැරෙන බවක් පෙන්වන්නේ නැහැ.

පර්යේෂකයන් ඒ ජීවී විශේෂ 46යේම සාඵල්‍යතා රටාවන් ගැනත් විමසීමක් කළා. ඒවා ඉතාමත් විවිධ වූ අතර ඒ අතරින් මිනිසාගේ සාඵල්‍යතාව ජීවිතයේ ඉතාම කෙටිකාලයකට පමණක් සීමාවූවක්.

ඒ වගේ ම වයසෙන් වැඩෙත් ම වර්ගයා බෝ කරන්න තවතවත් හැකියාව ඇති ශාක තියෙනවා. එවැනි හණ වර්ගයේ ශාකයක් තියෙනවා, අගාවේ (agave) කියලා. මෙක්සිකෝවේ හා දකුණු ඇමරිකාවේ දී තමයි, හමුවන්නේ. ඒ වගේම ඒ ශාකය වැහැරී විනාශ වෙන්නෙත් නැහැ.

වටපණුවා (nematode) ගේ ජීවිතය පටන් ගන්නේ ඉහළ ඵලදාවක් ඇතිව වුවත් හදිසියේම උගේ ප‍්‍රජනන ශක්තිය නැතිවී යනවා.

විද්‍යඥයන් කියන්නේ සත්ව හා ශාක විශේෂ අතරින් ඇතැම් ඒවා වියපත් නොවී වුවද තවදුරටත් දිගු කාලයක් ජීවත් වන බවයි. එසේම ඇතැම් ඒවා වියපත් වුවද ඒ තත්වයෙන් බොහෝ කාලයක් ජීවත් වෙනවා.

”ඒ නිසා වියපත් වෙන ආකාරය දෙස බලා යම් සත්ව හෝ ශාක විශේෂයක් මෙපමණ කලක් ජීවත්වෙතැයි කිසිවකුටත් කිව නොහැකියි.” ආචාර්ය ජෝන්ස් කියනවා.
අරුම පුදුම හයිඩ‍්‍රා සත්ව ගණය.

හයිඩ‍්‍රා සත්ව ගණය ඉතා කුඩයි, සරලයි. මිරිදියෙහි වෙසෙන මේ සතුන්ට ඇත්තේ අරීය සමමිතියෙන් යුත් සිරුරක්.

ඒ සතකු කොටස් කීපයකට කැපුවොත් ඒ හැම එකකින්ම එක හා සමාන අලූත් හයිඩ‍්‍රාවකු බිහි වෙනවා.

මේ සතුන් අපට හමුවන්නේ මධ්‍යස්ථ හා ඝර්මකලාපීය දේශගුණයෙන් යුතු ප‍්‍රදේශවල පිහිටි පිරිසිදු මිරිදියෙන් පිරි, විල්, වැව්, පොකුණු හා දිය කඩිතිවලයි.

බහුසෛල ජීවීන් වන ඔවුන් සාමාන්‍යයෙන් මිලිමීටර කීපයකට වඩා දිග නැහැ.

ජීව විද්‍යාඥයන් මේ හයිඩ‍්‍රාවන් ගැන විශේෂ උනන්දුවක් දක්වන්නට හේතු වී ඇත්තේ සිරුරු වියපත් නොවී අමරණීයත්වයෙන් පවත්වා ගෙන යාමට ඔවුන් තුළ ඇති අපූරු හැකියාව නිසයි.

හයිඩ‍්‍රාට නලාකාර සිරුරක් තියෙන්නෙ. දිග මිමී 10ක් විතර වෙනවා. එහි පාමුල ඇලෙනසුලූ තැටියක් වැනි උපාංගයක් තියෙනවා. තැටියෙහි ඇති ග‍්‍රන්ථි සෛලවලින් ඇලෙනසුලූ ද්‍රව්‍යයක් වෑස්සෙනවා. ඒකෙන් තමයි ඇලී සිටින්නට හැකියාව ලැබෙන්නේ.

සිරුරෙහි මුදුනෙහි මුවක් හා ඒ වටා චලනය කළ හැකි දිග අඬු 12ක් විතර තියෙනවා.

හයිඩ‍්‍රාට ජීවිත අවදානමක් හෝ ප‍්‍රහාරයක් එල්ල වුණොත් සැණෙකින් ඒ අඬු ගුළියක් වෙලා ඇකිළෙනවා. සිරුර නිකම් ජෙලටීන ගුළියක් බවට පත්වෙනවා.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. ස්තුති අලුත් තොරතුරු බෙදාගන්නවට

    ReplyDelete
  2. දැනටත් ජනාග්‍රහණය ප්‍රශ්නයක් වෙලා තියෙද්දී අමරණිය වෙන්න විදිහක් හම්බුනොත් විනාසයි.....

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete