HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න නව ලොවට පෙරළිකාර ගෘහභාණ්ඩ පෙළක්! ලන්දේසි තරුණයෙකුගෙන්!

තරුණ නිර්මාණ සැලසුම්කරුවෙක් අමුතුම මාදිලියේ ගෘහ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කරල තියෙනවා. ලීවලින් කළත් ඒවායේ ඇණ කිසිවක් නැහැ. මේ නව මාදිලියේ ගෘහභාණ්ඩ කට්ටලයක් මිලදී ගන්න කෙනෙකුට ඒවා ගෙදර ගෙනිහින් සවි කර ගන්න ඇණ, මිටි ආදිය කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ.

නව ආරකින් යුත් මේ ගෘහභාණ්ඩ සවි කරන එක හරිම ලේසියි. වානේ හා දැව මිශ‍්‍ර කර නිමවා ඇති මේ ගෘහභාණ්ඩ සවි කිරීමට ඇණ වෙනුවට ඇත්තේ චුම්බකයි. ඔබට තියෙන්නේ ඒ ඒ කොටස් නිසි තැන තියන එක විතරයි, ඒවා ඉබේම සවි වෙනවා. සවිශක්තියෙන් සම්ප‍්‍රදායික ගෘහභාණ්ඩවලට කිසිසේත් දෙවැනි වන්නේ නැහැ.

නව ලොවට එක්වුණු මේ පෙරළිකාර ගෘහභාණ්ඩ ඇත්තෙන් ම විස්මිතයි, විස්මයජනකයි!

මේ අපූරු නව නිපැයුම ඉදිරිපත් කරන්නේ ලන්දේසි තරුණයෙක්. තවත් විධියකින් කීවොත් ඕලන්දක්කාරයෙක්. ඔහුගේ නම බෙන්ජමින් වර්මියුලන්.

 
සිත්ගන්නාසුලූ සැලසුමක්! තරුණ බෙන්ජමින් වර්මියුලන් ඉදිරිපත් කරන ගෘහභාණ්ඩ කීපයක්. මේවා සවි වෙන්නේ තනිකරම චුම්බකවලින්.


මේ නව ගෘහභාණ්ඩ පෙළ හඳුන්වා දී ඇත්තේ ‘මැග්’ (MAG) යන කෙටි වදනින්. ඒ නම සාදා ගෙන ඇත්තේ ‘චුම්බක යෙදූ ජ්‍යාමිතික සැලසුම්’ යන අරුත් ඇති ’මැග්නට් ඇසිස්ටඞ් ජ්‍යොමෙට්රි’ (magnetic assisted geometry) යන වදන්වල මුල් අකුරු එක්කොට සෑදූ කෙටි වදනකින්.

මේ ගෘහභාණ්ඩ කට්ටල නිමවා තියෙන්නේ වානේ තහඩු හා තද දැව කොටස්වලින්. දැව කොටස්වලට එබ්බ වූ චුම්බකවලින් තමයි, මේ එකිනෙක සවි වෙන්නෙ. ඒ නිසා මේ ගෘහභාණ්ඩ කට්ටලයක් එකලස් කරන්න මිනිත්තු කීපයකට වඩා යන්නේ නෑ.

 
බෙන්ජමින් වර්මියුලන් හැදූ මේ කැබිනෙට්ටුව සවි කරන්න යන්නේ මිනිත්තු කීපයක් විතරයි. මේ ගෘහභාණ්ඩ කට්ටලය සමග ලැබෙන සැලැස්ම අනුව ඒ ඒ කොටස් එකලස් කළාම ඉබේම ඇල වෙනවා ඒ ඒ කොටස්වලට කවා ඇති චුම්බක කැබලි නිසා.

”මේවා සාම්ප‍්‍රදායික වෙන දැව ගෘහභාණ්ඩ වගේ නෙවෙයි, ඔබ ලෝකයේ කොහේ හිටියත් පහසුවෙන් නැව් මගින් හරි ගුවනින් ගෙන්නා ගන්න පුළුවන්. මේවා පරිසර හිතකාමියි” ඔහුගේ මේ නව නිර්මාණය ගැන වර්මියුලන් දක්වන්නේ එවන් අදහසක්.

”මේ ගෘහභාණ්ඩ කට්ටල එකලස් කර සවි කර ගන්න හරිම ලේසියි. වෙන වෙනම කැබලි වශයෙන් සරලව අසුරා ඇති මේවා සවි කරන්න විශේෂ මෙවලම්වත් ලොකු දැනුමක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ.” ඔහු පවසනවා.

”ඔබට කරන්න තියෙන්නේ ඒ ඒ කොටස් නිසි පරිදි ගළපා ඒවා එකිනෙක ළං කිරීම විතරයි. එක්වරම ඒවා එකිනෙක ඇලී සිටිනවා. හදිසියකදීවත් ගැලවෙන්නේ නැහැ.” ඔහු වැඩිදුරටත් කියනවා.

බෙන්ජමින් වර්මියුලන් නෙදර්ලන්තයේ අයින්ඞ්හෝවන් (Eindhoven) සැලසුම් ඇකඩමියේ උපාධිධාරියෙක්.

”මගේ ප‍්‍රධාන අරමුණ ජනතාව වෙනුවෙන් සැලසුම් කිරීමයි. ඒත් එයින් අදහස් කෙරෙන්නේ නැහැ, විශාල වශයෙන් නිෂ්පාදනය කරනවා කියලා. මට අවශ්‍ය වුණේ විශාල වශයෙන් කරන නිෂ්පාදනයකට වඩා මහජනයාට විස්මිත යමක් දීමටයි.” ඔහු තම නිපැයුම ගැන කියන්නේ එහෙමයි.

”මගේ තවත් අරමුණක් තමා කෙනකුට එක්වරම අවබෝධ වන සරල සැලසුමක් ඉදිරිපත් කිරීම. සරල වුනත් බුද්ධිමත් ක‍්‍රමවේදයක් ඉදිරිපත් කළාම මිනිසුන් මවිතයට පත් වෙනවා. එහෙම දෙයක් කිසිවිටෙකත් සංකීර්ණ එකක් වෙන්නෙ නෑ.”

වර්මියුලන් හදන මේ භාණ්ඩවලට ඕනෑ තරම් කොටස් පසුව වුනත් ඕනෑම වෙලාවක එකතු කර ගන්න පුළුවන්. පුංචි කැබිනෙට්ටුව විශාල කර ගන්න ඕනෑ නම් තවත් කොටස් කිසිම අපහසුවක් නැතිව ඊට එක්කර ගන්න පුළුවන්. මේක මේ තරම් පහසු වෙලා තියෙන්නේ එහි යොදා ඇති චුම්බක කැබලි නිසයි.
ඔහු මේවා අලෙවි කරන්නේ ඔහුගේ වෙබ් අඩවිය හරහායි.

මේ ගෘහභාණ්ඩ මුළුමනින් ම සවි වෙන්නේ චුම්බක කැබලිවලින් විතරයි.

 
මේ විස්මිත නව ගෘහභාණ්ඩ කිසිම අපහසුවක් නැතිව එකලස් කර ගන්නත්, අවශ්‍ය විටෙක ගලවා ගෙන ගොස් වෙනත් තැනක සවි කරන්නත් පුළුවන්.

 
වර්මියුලන් දැනටමත් මේ වර්ගයේ පුටුවක්, මේසයක් හා කැබිනෙට්ටුවක් ඉදිරිපත් කරල තියෙනවා.

 
ඉහත ඡායාරූප පෙළෙන් පෙනෙන්නේ ඒ විස්මයජනක පුටුව එකලස් කර සවි කර ගන්නා ආකාරයයි.

 
වානේ හා දැව කොටස්වලින් යුත් මේ කැබිනෙට්ටුව සවි කරන්න මිනිත්තු කීපයකට වඩා යන්නේ නෑ. මිටියක්වත් ඇණවත් අවශ්‍ය වන්නේ නෑ. ඒ ඒ තැන්වල ඇති චුම්බක කැබලිවලින් තමයි, ඒ කොටස් එකිනෙක සවි වෙන්නේ.

 
බෙන්ජමින් වර්මියුලන් නෙදර්ලන්තයේ අයින්ඞ්හෝවන් (Eindhoven) සැලසුම් ඇකඩමියේ උපාධිධාරියෙක්. ඔහුට වුවමනා වී ඇත්තේ පාරිභෝගිකයාට පහසුවෙන් සවි කර ගත හැකි සරල ආකාරයේ ගෘහභාණ්ඩ සැලසුම් ඉදිරිපත් කරන්නයි.

විස්මිත ගෘහභාණ්ඩ එකලස් කරන හැටි



ඔහුගේ සැලසුමට අනුව පුටුවට කොටස් දෙකක රාමුවක් තියෙනවා. මුලින් සවි කරන්නේ පසුපස ඇන්ද සහ එහි පාදයි. වාඩි වෙන අසුන් කොටසටත් හේත්තු වන කොටසටත් යොදන වානේ තහඩු සවි කරන්නේ අන්තිමටයි.

හැකිළිය හැකි වානේ මේස තට්ටුවේ කොන්වල ලෝහ කූඤ්ඤ සවි කර තියෙනවා. ඒවා මේස කකුල්වලට යොදා ඇති චුම්බක නලවලට වැටෙන ලෙසටයි, සවි කරන්නේ.

කැබිනෙට්ටුව සැලසුම් කර ඇත්තේ පාවිච්චි කරන්නාගේ අවශ්‍යතා අනුව එය යළි සකසා ගත හැකි ආකාරයටයි. මුලික කැබිනෙට්ටුවට ඇත්තේ එක තට්ටුවයි. තවත් තට්ටු අවශ්‍ය නම් එක්කර ගන්න පුළුවන්. දොරවල් ඇතුව හෝ නැතුව එහෙම නැත්නම් දොරවලට වීදුරු ආදිය යොදා විවිධ උසට තනා ගත්තෑකි.


Post a Comment

0 Comments