HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශාකවලට බුද්ධියක් තිබේද? නිදිකුම්බා ශාකය ඇසුරෙන් කළ විස්මිත හෙළිදරවුවක්!

අලි ඇතුන් වැනි සතුන්ගේ මතකයන් ගැන අපට නිතරම අහන්නට ලැබිලා තියෙනවා. අලියා තමන්ට කරන හතුරුකම් ‘ඇතු හක්කේ පොල් වාගේ මතක තියා ගෙන ඉන්නවා’ කියලා කියමනකුත් අප අතර තියෙනවා.

ඒත් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා මේ මතකය අලි ඇතුන් වැනි සතුන්ට විතරක් නොවෙයි, ඒ තරම්වත් මොළයක් නැති ගස්වැල්වලටත් තියෙන බව.

ශාකවලට ඇති මේ විස්මිත හැකියාව විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ගෙන ඇත්තේ නිදිකුම්බා ශාකය පිළිබඳ කළ පර්යේෂණයකින්.

ඒ අනුව විද්‍යාඥයන් දැන් කියන්නේ යම්තම් ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන නිදිකුම්බා පැළය වැහි බින්දුවලට එසේ නොකරන්නේ ඒවා තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා කියලයි.

ඔවුන් ඒ පිළිබඳව කළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අත්දැකීමෙන් දිවිරැකුම ගැන ඉගෙන ගන්නා නිදිකුම්බා වැනි ශාකවල ඇති මේ අපූරු හැකියාව නිසා විද්‍යාඥයන්ට ගහකොළ දෙස නව දැක්මකින් බලන්නට හැකි වී තිබෙන බවයි.

 
නිදිකුම්බා ශාකය ඇසුරෙන් කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන එය, වැහි බිඳු අහිතකර නොවන බව අත්දැකීමෙන් තේරුම් ගෙන සති කීපයකට පසුව ඒවාට එම ප‍්‍රතිචාරය නොදක්වන බවයි.


නිදිකුම්බා ඇඟිලි තුඩු තැබූ පමණින් නිදියන හැකිළෙන්නේ ඇයි?

නිදිකුම්බා ශාකය විද්‍යාඥයන් හඳුන්වන්නේ මිමෝසා පුඩිකා (Mimosa pudica) කියායි. එය ඉංගී‍්‍රසියෙන් සංවේදී ශාකය යන අරුත් ඇති (sensitive plant, sleepy plant, touch-me-not) නම් ගණනාවකින් හැඳින්වෙනවා. දෙමළෙන් ‘තෝට්ටාල් වාඩි’ කියා ද කියනවා.

ඇඟිලි තුඩු තැබූ පමණින්ම හැකිළෙන නිදිකුම්බා පැළය තවත් මිනිත්තු කිහිපයකට යළිත් කලින් තිබූ පරිදි දිග හැරෙන බව ඔබත් අත්දැක ඇතුවා නිසැකයි. මෙසේ වන්නේ එය ගොදුරු කර ගන්නට එන සතුරන්ගෙන් ආරක්ෂාවක් ලෙසයි.

අපේ රටේ සෑම තැනකම තියෙන මෙම කටු සහිත ශාකය දකුණු ඇමරිකාව හා මධ්‍යම ඇමරිකාව නිජබිම් කරගත් ශාකයක් ලෙසයි සැලකෙන්නේ.

ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන ශාක අතර නිදිකුම්බා ශාකයට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි, එහි කොළ රාති‍්‍ර කාලයට හැකිළී නින්දට යන අතර උදේ හිරු එළියත් සමග නැවත අවදිවෙනවා.

ඒ ශාකයේ පත‍්‍ර ඇඟිලි තුඩු ස්පර්ශ කළ විගස මෙසේ උණුසුම් වී සැලීමකට ලක් වීම හැඳින්වෙන්නේ කම්පනාසන්නමය චලනයන් (seismonastic movements) නිසා සිදු වන්නක් ලෙසයි.

මෙය සිදු වන්නේ පත‍්‍රවල ඇතැම් කොටස් තුළ ඇති වන ශූනන පීඩනය (turgor pressure) අඩු වීම නිසයි. සාමාන්‍යයෙන් ගසක කඳ හා පත‍්‍ර දැඩි බවට පත් වන්නේ ඊට අවශෝෂණය කර රඳවා ගන්නා ජලය නිසයි. බාහිරව සිදු වන ස්පර්ශයක් වැනි දෙයක දී ගසෙහි අභ්‍යන්තර කි‍්‍රයාවලියක් මගින් මෙසේ පත‍්‍ර ෙසෙල බිත්තිවල ඇති වන ශූනන පීඩනය බිඳ වැටීමට සලස්වනවා. එවිටයි, නිදිකුම්බා ගස නිදියන්න පටන් ගන්නේ.

තවදුරටත් එම කි‍්‍රයාවලිය විස්තර කළොත්, නිදිකුම්බා ශාකයට කිසියම් බාධාවක් ඇති වුණොත්, එහි කඳෙහි ඇති විශේෂිත කොටසකින් පොටෑසියම් අයන ඇතුළු රසායනිකයක් මුදා හැරෙනවා. ඒ මගින් පත‍්‍ර සෛලවල ඇති ජලය ඉන් ඉවත් කෙරෙනවා. මේ පත‍්‍ර ෙසෙලවල ඇති ජලය ඉවත් වූ විට එහි ඇතිව තිබූ තද ගතිය නැති වී යනවා. එවිට පත‍්‍ර හැකිළෙනවා.

සාමාන්‍යයෙන් ජලය අවශෝෂණය නිසා ශාකවල සෛල දැඩි බවට පත් වීම සිදු වන අතර, නිදිකුම්බා ශාකයෙහි අභ්‍යන්තරයේ ඇති වන කිසියම් කි‍්‍රයාවලියක් නිසා මෙසේ බිඳ වැටෙන බවත් පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා.

මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවේ වෙස්ටර්න් ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයෙන්. ඒ සඳහා ඉතාලියේ ෆ්ලොරන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆානෝ මෑන්කූසෝ (Stefano Mancuso) ද එක් වුණා. ඔහු හඳුනා ගත්තා, මේ කි‍්‍රයාවලිය සරල ප‍්‍රතිකි‍්‍රයාවක් නැත්නම් ප‍්‍රතිචාර දැක්වීමක් නොවන බව.

ඔවුන් මෙම ශාක විශේෂයේ කෙටි කාලීන හා දිගු කාලීන මතකයන් පරීක්ෂාකර බැලීමට අත්හදා බැලීම් කීපයක් ම කළා. ඒ පරීක්ෂණවල දී ඔවුන්, අඩු ආලෝකය හා වැඩි ආලෝකය ඇති පරිසරවලදී වරින්වර වතුර දැම්මා මේ ශාකවලට. ඒ සඳහා ශාකවල ප‍්‍රතිචාරයන් මැනීමට හැකි වන සේ විශේෂයෙන් සැකසූ උපකරණ යොදා ගෙනයි, මෙම ජලය සැපයීම සිදු කළේ.

ඔවුන් විස්මයට පත් කරමින්, මේ නිදිකුම්බා ශාකය එසේ ජලය වැටීමෙන් සිය දිවි රැකුමට හානියක් නොවන බව අවබෝධ කර ගත් පසු හැකිළීමේ කි‍්‍රයාවලිය නතර කර දැම්මා. මේ පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ඔවුන් විසින් ‘ඔඉකොලොජියා’ (Oecologia) ජර්නලයේ පළ කර තියෙනවා.

නිදිකුම්බා ශාකය තත්පර කීපයක් ඇතුළත, සතුන් මෙන් ම අත්දැකීම් තුළින් ඉගෙන ගන්නා බව තහවුරු වුණා. මේ ඉගෙනීම අඩු ආලෝකයේ දී වඩාත් ඉක්මනින් සිදු වන බවට ඔවුන්ගේ පරීක්ෂණවලදී පෙනී ගියා.

”මෙහි ඇති වඩාත් පුදුමය නම්, මේ ශාක තමන් ඉගෙන ගත් දේ සති කීපයක් යන තෙක් මතක තබා ගැනීමයි. පරිසර තත්වයන් වෙනස් කරනු ලැබුවත් ඒ ශාකවල මතකය වෙනස් වුණේ නැහැ.” ඒ පර්යේෂකයන් කියනවා.

මේ අධ්‍යයනයෙන් හෙළි වූ කරුණු අතිශයින් විස්මයජනක වුණා! සතුන්ට වගේ යමක් ඉගෙන ගෙන එය මතක තබා ගන්නට හැකියාවක් නිදිකුම්බා ශාකයට ඇති බව අදහන්නත් බැරි තරම් දෙයක්. ඒ මක්නිසාද නිදිකුම්බා ශාකයට මොළයක් වැනි ඉන්ද්‍රියයක් නැති නිසා.

 
කතා කරන ශාක ගැන ජේ. ආර්. ආර්. ටෝකීන් (J.R.R. Tolkien) ගේ ‘ලෝඞ් ඔෆ් රින්ස්’ (Lord of the Rings) නවකතාවේ ආ විස්තරයට අනුව චිත‍්‍රපටයේ කතා කරන ගසක් නිරූපණය කර තිබූ අන්දමයි, මේ.

ශාක මේ ආකාරයට හැසිරෙන්නට, මතක තබා ගන්නට, ඉගෙන ගන්නේ කෙසේ දැයි තවමත් හරියට කියන්න විද්‍යාඥයන්ට හැකියාවක් නැහැ. ඒත් ඔවුන් විශ්වාස කරන්නේ සතුන්ගේ මතක කි‍්‍රයාවලියට සමාන දෙයක් ශාක ෙසෙවල ඇති කැල්සියම් පාදක සංඥා ජාලයක් මගින් සිදු කෙරෙන බවයි.

මේ පර්යේෂණය නිසා මිනිසා ශාක දෙස බලන ආකල්පවල වගේම, සත්ව හා ශාක අතර පවතින බෙදීමේ සීමාවලත් විශාල පෙරළියක් සිදු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, විද්‍යාඥයන් කියන්නේ, ‘ඉගෙනීමේ කි‍්‍රයාවලිය ස්නායු පද්ධතියක් ඇති ජීවීන්ට පමණක් සීමාවූ විශේෂ හැකියාවක්ය’ යන නිර්වචනය පවා වෙනස් කරන්නටත් මේ සොයා ගැනීම හේතු විය හැකි බවයි.

බටහිර ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ පරිසර ජීව විද්‍යා අංශයේ පර්යේෂණවල නියුතු ආචාර්ය මොනිකා ගැග්ලියානෝ (Dr Monica Gagliano) තමයි, මේ නව පර්යේෂණ අධ්‍යයනයට නායකත්වය දුන්නේ. ඇය ඕස්ටේ‍්‍රලියානු පර්යේෂණ කවුන්සිලයේ පර්යේෂිකාවක්. ඇය මේ පිළිබඳව කළ සිය අධ්‍යයනයන් ගැන පර්යේෂණ පති‍්‍රකාවක් පසුගියදා ප‍්‍රසිද්ධ කළ අතර ඇය එහිදී අවධාරණය කළා ශාක ශබ්ද උපයෝගී කර ගෙන ‘කතා’ කරන බව.

මේ විශ්ව විද්‍යාල පර්යේෂණයෙන් හෙළිදරවු වී තියෙනවා, සතුන් වැඩිපුර භාවිත කරන හැකියාවන් ශාකවලටත් ඇති බව. ඒ බව අප දුටුවා ජේ. ආර්. ආර්. ටෝකීන් (J.R.R. Tolkien) ගේ ‘ලෝඞ් ඔෆ් රින්ස්’ (Lord of the Rings) නවකතාවෙන්. ඒ වගේ ම ඒ නවකතාව ඇසුරු කර තැනූ චිත‍්‍රපටයෙන්. එහි වනාන්තරය රැක බලා ගත්, පැරණි වෘක්ෂ විශේෂයක් තිබුණා. එන්ට්ස් කියා හැඳින්වුණු ඒවාට කතා කළ හැකියි, ඒ වාගේ ම සිතිය හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, ශාක එකිනෙකාට කතා කොට ඔවුන් ගොදුරු කර ගන්නට එන විලෝපිකයන් ගැන අනතුරු අඟවන බව.

 
මේ සේජ්බ‍්‍රෂ් ශාකය වාතය හරහා රසායනික පණිවිඩ යවනවා කියා සොයා ගෙන තියෙනවා.

මීට කලින් 2009 දී කළ අධ්‍යයනයකින් හෙළි වුණා, එළවළු ශාක අතර සමහර ඒවා එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගන්නා බව.

ඇමරිකානු කීට විශේෂඥයකු වූ මහාචාර්ය රිචඞ් කාර්බාන් කියන්නේ අපි හිතනවාට වඩා ඔවුන් සංකීර්ණ හැකියාවන්ගෙන් යුක්ත බවයි.

ඔහුගේ පර්යේෂණවල ප‍්‍රතිඵලත් ඇදහිය නොහැකි තරම් විස්මිතයි! විවාදාත්මකයි! ඔහු සිය අත්දැකීම් අනුව කියන්නේ සමහර ශාක වාතය හරහා රසායනික පණිවිඩ යවමින් අනිකුත් ශාකවලට ඒවා ආහාරයට ගන්නට එය සතුරන් ගැන අනතුරු හඟවන බවයි.

මේ පණිවිඩ ලබන අසල්වැසි ශාක, පලාපෙත්තන්, දළඹුවන් ආදී ආක‍්‍රමණියන්ගෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියනවා.

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන කාර්බාන් තමන් මේ ශාක සන්නිවේදනය සේජ්බ‍්‍රෂ් (sagebrush) නම් කහ පැහැති මල් පිපෙන, සේර වැනි පඳුරු විශේෂයක් තුළින් අත්දුටු බවයි. එම ශාකය බටහිර එක්සත් ජනපදයට ආවේණික වූ සපුෂ්ප ශාක විශේෂයක් ලෙසයි හැඳින්වෙන්නේ.

ඔහු මේ පරීක්ෂණවල දී විශේෂ කතුරක් උපයෝගී කර ගෙන තම ගෙවත්තේ පෝච්චිවල පළ කර තිබූ පඳුරුවල ඉති කීපයක් කපා දැම්මා, හරියට පලාපෙත්තකු කපා දමනා ආකාරයට.

ඉන්පසු ඔහු හානි කළ හා හානි නොකළ ශාක කීපයක් එකම බිමක රෝපණය කර ඒවායේ අසල්වැසි ශාකවලට සතුරු සතුන්ගෙන් වන හානිය මැන බැලීමට පියවර ගත්තා.

කපා දැමූ පත‍්‍ර සහිත පැළවල අසල්වැසි පැළෑටිවලට පලාපෙත්තන්ගෙන් වූ හානිය ඉතාමත් අවම මට්ටමකින් පැවති බව ඔහු පැහැදිලි කරනවා. මේ පිළිබඳ සවිස්තර පර්යේෂණ වාර්තාවක් ඔහු විසින් ‘ඉකොලොජි ලෙටර්ස්’ (Ecology Letters) නම් ජර්නලයේ පළ කර තියෙනවා.


Post a Comment

2 Comments

  1. ශා නියමයි මං ගොඩක් ආශාවෙන් කියවුවේ ,ස්තුති , මං ආස කරන විෂය තමයි සොබාදහම , මේ වගේ ලිපි නිතර දාන්න ,, ස්තුති

    ReplyDelete