HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අහසින් එන විස්මිත ගිනි බෝලවල රහස් හෙළිවේ! ප‍්‍රථම වතාවට වීඩියෝවටත් නඟලා!

අහසින් එන ගිනි බෝල හැම විට ම අපව මවිතයට පත් කළා. මේවා දේවතා එළි කියලයි, සමහරුන් විශ්වාස කරන්නේ. මේවා සක්වළ යානා කියලත් සමහරුන් සැක කළා. සියවස් ගානක් තිස්සේ මේවා විසඳිය නොහැකි ගැටලූ අතරට වැටිලයි තිබුණේ.

දැන් ඒ ගිනි බෝල, ඒ කියන්නෙ, අකුණු ගහන වෙලාවට මතු වෙන විශාල දීප්තිමත් ආලෝක ගෝල ප‍්‍රථම වතාවට වීඩියෝවකට නඟා තියෙනවා.

චීන පර්යේෂකයන් පිරිසකට අහම්බෙන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ විස්මිත ගිනි බෝල වීඩියෝවට නඟන්න, චීනයේ ක්වින්හයි (Qinghai) වල කුණාටු අවස්ථාවක විකිරණශීලිතාව සිතියම් ගත කරද්දි.

 
විද්‍යාඥයන් විසින් මේ සොබාදහමේ එන ගිනිබෝල මතුවීමේ දර්ශනය නිරීක්ෂණය කළ පළමු වතාව මෙයයි. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අහසේ වලාකුළකින් පොළොවට එන අකුණක වර්ණාවලියයි. එහි දී ගිනි බෝලයක් නිර්මාණය වෙනවා. ඒ ගිනි බෝලය වම් කෙළවරේ සුදු තිතක් ලෙස පෙනෙනවා. එහි වර්ණවලිය මඳ දීප්තියක් ඇති වර්ණ පටියක් සේ අක‍්‍රමවත් ප‍්‍රධාන වර්ණාවලිය පාමුල තිබෙනු දැකිය හැකියි.



ප‍්‍රබල අකුණක් පොළොවට පාත් වූ පසු පොළවෙන් මතුවන ගිනි බෝලය අඩි 50ක් (මීටර 15ක්) පමණ අහසින් ගොස් අතුරුදන් වෙනවා.

ඒ දීප්තිමත් ගිනි බෝලය අඩි 16ක් (මීටර 5ක්) පමණ විශාලට පෙනුනු අතර තත්පර දෙකකටත් අඩු කාලයක් තමයි, එය දැක ගත හැකි වූයේ. චීනයේ ලෑන්ෂෝ (Lanzhou) වල පිහිටි නෝත්වෙස්ටර්න් නෝමල් (Northwestern Normal University) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ පිළිබඳව වාර්තා කරන්නේ.

මෙහි වීඩියෝව හා වර්ණාවලීක්ෂය කැමරාවට නගා ඇත්තේ 2012 දී ඇති වූ කුණාටුවකින්. දැන් තමයි, එය විද්‍යාඥයන් විසින් ලෝකයාට දැක ගැනීමට සලස්වා ඇත්තේ. මෙය පළ කළ නිව් සයන්ටිස්ට් (New Scientist) සඟරාව කියන්නේ සොබා දහමේ අපූර්ව සංසිද්ධියක් වූ මේ ගිනි බෝල මේ ආකාරයට විද්‍යාත්මක වාර්තාවකට ඇතුළත් වූ ප‍්‍රථම වතාව මෙය කියලයි.

අකුණු සහිත කුණාටුවල දී ඇති වන දීප්තිමත් ගිනි බෝල ප‍්‍රමාණයෙන් ගොල්ෆ් බෝලයක තරමේ සිට මීටර ගණනාවක් විශාල ඒවා ලෙසින් මතු වෙනවා.

එවැනි සංසිද්ධි ගණනාවක් ගැන ම විවිධ කාලවකවානුව දී වාර්තා වී තියෙනවා. සමහර අවස්ථාවල දී ඒවායින් ගිනි හටගෙන තියෙනවා. ගොඩනැගිලි ගිනිගත් අවස්ථා මෙන් ම මිනිසුන් මරණයට පත් වූ අවස්ථාත් වාර්තා වෙනවා.

බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත්පතට 1936 දී පාඨකයකුගෙන් ලිපියක් ලැබිලා තියෙනවා, එවැනි අත්දැකීමක් ගැන. ‘විශාල රතු ගිනි බෝලයක් අහසින් කඩා වැටුණා. අපේ ගේ මතට කඩා වැටුණු එය ටෙලිෆෝන් කම්බි විනාශ කළා, එයින් ජනේල රාමු ගිනි ගත්තා. ඊළඟට එය යටින් තිබූ වතුර බේසමේ වැටිලා නිමිලා ගියා.’ ඒ ලිපියේ ලියා තිබුණා.

අකුණු ගහන වෙලාවට මෙවැනි ගිනි බෝලයක් එක් ගහකින් තවත් ගහකට යනවා මාත් දැකලා තියෙනවා. අපේ ගැමියන් දේවතා එළි කියා කියන්නේ එවැනි අවස්ථාවක් දුටු විටයි. ඔවුන් හිතන්නේ ඒ ගමන් කරන්නේ දෙවියන් කියලයි.

1960 වන තෙක් ම එවැනි දෙයක් ඇත්තටම සිදු වෙන්නේ යැයි විද්‍යාඥයන් විශ්වාස කළේ නැහැ.

2013 අගෝස්තුවේදී ඇමරිකාවේ කොලරාඩෝවල පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ පර්යේෂකයන් ඔවුන්ගේ රසායනාගාරයේ දීප්තිමත් සුදු පැහැති ප්ලාස්මීය බෝල (plasmoid balls) තනා ඒවා ඡායාරූප ගත කළා. ඔවුන් ඒ බෝල ජනනය කළේ අධිබලැති විදුලි පුපුරු යොදා ගෙනයි. ඒවා ජනනය කරනු ලැබුවේ ඉලෙක්ට්‍රොලයිට් දියරයක අඩක් ගිල්වූ ඉලෙක්ට්‍රෝඩවලින්.

මේ පර්යේෂකයන්ට පවා නිශ්චිත සිතා ගන්නට බැරි වුණා, ඔවුන් මේ නිර්මාණය කළේ සැබැවින් ම අකුණු ගිනි බෝලයක් ද කියා. ඒ නිසයි, ඔවුන් මේ සංසිද්ධිය ‘වායුගෝලීය පීඩනය යටතේ ඇති වන ප්ලාස්මීය බෝලයකට සමාන ගිනි බෝලයක්’ කියා මෙය හඳුන්වා ඇත්තේ.

කෙසේවෙතත්, මෙවැනි සංසිද්ධියක් රසායනාගාරයෙන් පිටත සාර්ථකව කැමරාවට නැඟූ ප‍්‍රථම වතාව මෙයයි.

පර්යේෂකයන් සොයා ගත්තා ඒ ප‍්‍රදේශයේ ඇති පසෙහි අන්තර්ගත සිලිකන්, යකඩ හා කැල්සියම් මේ ගිනි බෝලයේ ද අන්තර්ගතව ඇති බව.

ඒ අනුව ඔවුන් විශ්වාස කරනවා, වීඩියෝවෙන් හසු කර ගත් ගිනි බෝලය පොළොවත් සමග අන්තර් කි‍්‍රයාවක් නිසා ඇති වූවක් බව. මේ න්‍යාය මෙයට දශකයකට විතර කලින් ඉදිරියට ආ අදහසක්. මේ නව වර්ණාවලීක්ෂ විශ්ලේෂණය මගින් එය තහවුරු කර ගත හැකි වුණා.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ අකුණු පිළිබඳ විශේෂඥයකු වූ මාටින් උමාන් ඇමරිකන් භෞතික විද්‍යා සංගමයේ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ ගැන පවසා ඇත්තේ මෙවන් අදහසක්. ”මං හිතන්නෙ මේක ඉතාමත් සුවිශේෂී වූ නිරීක්ෂණයක්.

 
ගිනි බෝලයක් ඇති වීමේ සංසිද්ධිය සාමාන්‍යයෙන් විස්තර කෙරෙන්නේ අකූණු කුණාටු අවස්ථාවක හෝ එවැනි අවස්ථාවකට පසුව හෝ මෙවැනි දීප්තිමත් ගිනි බෝල ඇති වන බවයි. සමහර න්‍යායන්ට අනුව ඉහත දැක්වෙන ආකාරයේ ගිනි බෝලයක් ප්ලාස්මා හෙවත් අයනීතෘකත ගෑස් පුංජයකින් ඇති විය හැකියි. එසේ ම රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා ඇති වන රසානික ප‍්‍රතිදීප්ති කි‍්‍රයාවලියකින් මතුවන්නක් විය හැකියි.

 
ගිනි බෝල ඇති වීමේ සංසිද්ධීන් ගැන සියවස් ගණනාවක් තිස්සේ වාර්තා වී තියෙනවා. 1901 දී අඳින ලද මේ චිත‍්‍රයෙන් නිරූපණය වන්නේ ද එවැනි ගිනි බෝලයක් ගමන් කළ ආකාරයි.

මොනවද මේ ගිනි බෝල කියන්නේ ?

මේ ගිනි බෝල හෙවත් පැරැන්නන් සිතූ විධියට ‘දේවතා එළි’ කියන සංසිද්ධියේ දී ඇත්තටම සිදු වන්නේ කුමක් ද? ඒවා ගැන සියවස් ගණනාවක් තිස්සේ අපට නොයෙකුත් කතාන්තර අසන්ට ලැබුණා.

ඒ විස්තර වාර්තා අනුව මේ ගිනි බෝලයක් ප‍්‍රමාණයෙන් ගොල්ෆ් බෝලයක සිට මීටර කීපයක් විශාල බෝලයක් ලෙසත් දුටු අය ඉන්නවා.

මෙවැනි ගිනි බෝලයක් තත්පර එකක් දහයත් අතර කාලයක් පැවතුනු බව සඳහන්.

මෙවැනි සංසිද්ධියක් ඇති වීමට හේතුව ලෙස දක්වන එක් මතයක් මෙහෙමයි. අකුණක් පොළොවට වැදුණු විට පසෙහි ඇති සිලිකේට් ඛනිජවලින් කොටසක් වාෂ්ප බවට පත් වෙනවා.

පසෙහි ඇති කාබන් නිසා වෙන්වන ඔක්සිජන් සිලිකේට එහි අන්තර්ගත සිලිකන් පරමාණුවලින් ප‍්‍රබල ගෑස් බෝලයක් ඇති කරනවා. ඒවා ඊළඟට නැනෝ අංශු හෙවත් සූති‍්‍රකා පුංජයක් බවට පත් වෙනවා.

ඒවා වාතයේ පාවී යමින් ඔක්සිජන් සමග ප‍්‍රතිකි‍්‍රයා කරමින් තාපයත් දීප්තිමත් ආලෝකයක් නිකුත් කරනවා. ඒවා මෙසේ පාවී ගොස් ඒ ප‍්‍රතිකි‍්‍රයාව අවසන් වූ පසු නිවී යනවා.


Post a Comment

4 Comments

  1. අකුණු ගහන විට පෙනෙන ගිනි බොල හා දේවතා එලි පටලවාගන්න එපා......කවුරු මොනවා කීවත් නියම අත්දැකීම අහිත පුද්ගලයා එය අදුනා ගනි

    ReplyDelete
  2. Man pili gan na nameka dewatha eli gena mage athdakim ekka beluwoth ape bashawenkiwoth meka pukenuth ekka hinayana kathawak mcn man adath weda erala ankota dakka aurudu ganakin

    ReplyDelete
  3. Man pili gan na nameka dewatha eli gena mage athdakim ekka beluwoth ape bashawenkiwoth meka pukenuth ekka hinayana kathawak mcn man adath weda erala ankota dakka aurudu ganakin

    ReplyDelete