හොරු දෙන්නා : එස්. ජී. පුංචිහේවා ලියූ අලූත්ම කතාව

කවදත් අපේ බුද්ධිමය ඉම පුළුල් කරන්නට පුංචි කතාවලින් උත්සාහ කරන අපේ එස්. ජී. පුංචිහේවා ලේඛකයා ‘මෙහෙවු රටේ’ කියලා අලූත් තීරුවක් ‘රාවය’ පත්තරෙන් පටන් අරන් තියෙනවා. ඔහුගේ කතා අසා රස වින්දායින් පසු එතැනින් නතර වෙන්නේ නෑ. ඒ ගැන තවදුරටත් හිතන්න පොලඹවනවා. මේ අලූත් තීරුවෙනුත් ඔහු එවැනි කතාවක් ඉදිරිපත් කරනවා. ඔහු එහි ලියූ කතා පුංච අද අප ‘මල්කැකුළු’තුළින් මෙසේ පළ කරන්නට තීරණය කළේ එහි ඇති කාලීන වටිනාකම නිසයි. එසේ ම මෙවැනි කතා වැඩි දෙනකු අතට යාමෙන් ලේඛකයාගේ අරමුණට වැඩි වටිනාකමක් ද එක් වෙතැයි අප සිතන නිසයි.


හොරු දෙන්නා
එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය. හිසට සෙවණ වූයේ මහ ගසය. නිදන ගෙපිළ වූයේ මහ පොළොවය. රෑට හොරකමේ යෙදී අවුත් දවල්ට ගස යට නිදා ගනිති. හැමදාම මෙසේ කල ගෙවුණේ නැත. හොරකම් කරද්දී සමහරදාට ගම්මුන්ට අසුවී යහමින් ගුටි කති. යළිත් සොරකමේම යෙදෙනමුත්, යළි අසුවී ඇඟපත තළාපෙළා ගනිති.

දිනක් උදේ පාන්දර නින්දෙන් නැගිටගත නොහැකිව එක් හොරෙක් මෙසේ කීය: ”යාළුවේ මේ රස්සාව නම් හරියන්නේ නැහැ. මුළු ඇඟපතම වණයක් වගේ වේදනාවයි.”

”මගේ සරුවාංගෙත් එහෙමයි. වෙන මොනවා කියා කරන්නද? කිසිම යහපත් රැකියාවක් අපට පුරුදු නැති කොට.” අනිකා පැවසීය.

එහෙත් පසුවදාද ඔවුහු හොරකමේ යෙදුණාහ. නැවතත් අඩුවක් නැතිව ගුටි කෑහ.

ඊළඟ දින එක් හොරෙක් මෙසේ යොජනා කළේය.

”දැන් නම් මෙහේ හිටියා ඇති. වෙන කොහේ හරි ගිහින් කන්න දෙයක් සොයා ගනිමු.”

”අපොයි, කොහේ යන්නද? වෙන රස්සාවක් පුරුදු වෙන්න කාලයකුත් නැහැනේ?”

”එහෙනම්, උඹ හිටපං. මං යනවා යන්න.” කියා ඒ හොරා ඔහු හොරකම් කර ගෙන ආ සුදු සළු කීපයක් ද පොදිකර ගෙන පිටත්ව ගියේය.

දින කීපයකට පසු ඈත ගම්මානයකට යන පාරක් අයිනේ ගසක් යට සුදු සළුවක් උතුරු සළු කොට පොරවා භාවනා ඉරියව්වකින් ඔහු හිඳ ගෙන සිටියේය. පූජාව පිණිස යන ගම්මුන් ඔහුගෙන් සුවදුක් විමසූ නමුත් ඔහු මුවින් නොබැණ හුන් ඉරියව්වේම සිටියේය. ගම්මු රැුගෙන ගිය ආහාර හා පලතුරුවලින් කොටසක් ඔහු වෙත තබා ගියහ.

පසුදාද එසේම සිදුවිය. ටික දිනක් යනවිට ඔහුට ආහාරවලින් හිඟයක් නොවීය. මේ භාවනානුයෝගී පින්වතාට තවත් ටික කලකදී ලී දඬුවලින් හිසට වහලක්ද තැනිණි. බණ දෙසුම්ද සිවුපසය ලැබීමද නොකඩවා සිදුවිය.

අවුරුදු කීපයක් ගෙවීයත්ම එතැන ඇත් පවුරකින් වටවූ විශාල දෙමහල් තෙමහල් මන්දිර තැනී තිබිණ. සමහර දිනවල බැතිමතුන්ගෙන් පිරී යයි. ‘මහත් අනුහස් ඇති තැනකි’යි රට පුරා පතළ විය. ව්‍යාපාරිකයෝද දේශපාලකයෝද පැමිණ තම රැකියාවේ වැඩි දියුණුව පතා ආශිර්වාද ලබා ගනිති. එසේ ලබා පන්සලට සුවපහසු කුටියක්, අලංකාර රන් වැටක් ආදිය තනා දෙති.

තවත් වසර ගණනාවකට පසු ඈත පළාතක දේශපාලනඥයෙක්, අධිවේගී රියකින් පැමිණ ස්වාමීන් වහන්සේ මුණ ගැසුණේය. සුදු අත්කොට කමිස ඇඳ සිටි රැකවල්ලූ හතරපස් දෙනෙක්ද වූහ. පිළිසඳරේ යෙදෙමින් හිමියෝ ඔහුගේ වංහුං විමසූහ.

”ඔව්, මා ඈත පළාතකයි. පන්සලේ අනුහස් ගැන අසා ළඟ එන මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට පැමිණියා.”

”ඔබතුමා ඈත පළාතකය කීවාට මට හුඟක් ළඟ පළාතක කෙනකු වාගෙයි දැනෙන්නේ.”

”මාත් ඔබ වහන්සේ දුටු මොහොතේ පටන් සිතුවේ හොඳින් දැක පුරුදු කෙනකු බවයි.”

එවිට දෙදෙනාටම අතීතට මතක් වී කොක් හඬලා සිනාසුණහ.

ඇතුළු කුටියේ සුළු සාදයකින් පසු ”දැන් ඉතින් ඉස්සර වගේ ඇඟට අමාරුවක් නැහැ නේදැ”යි පැවිදි සගයා විහිළුවට මෙන් ඇසීය.

”ඔව්, හාමුදුරුවනේ, හොරකම් කරන්න අවශ්‍ය නැහැ. ඡුන්දය දෙනවිටම ඒ වරම ලැබෙනවා. ඔබ වහන්සෙට කොහොමද?” දේශපාලක සගයා ඇසීය.

”පේනවා නේ අතීතයේ අමාරුවෙන් ගත් දේවල් දැන් ළඟටම ලැබෙනවා. නවීන ශිල්ප ධර්මයේ පිහිටයි.”

(ඉන්දීය ජනකතාවක් ඇසුරෙනි.)

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. ලස්සනයි. අවසානෙට වෙ මොනාහරි දෙබසක් තිබුණානම් හොදයි කියල හිතෙනවා

    ReplyDelete