සිංහල සිනමාවේ වයස 67 ද? 78 ද? තවමත් ජීවමානව ඉන්නා පැරණිම සිනමාවේදියා අමරදේව!

අදට සිංහල සිනමාවට අවුරුදු 67ක් වෙනවා කියලයි කියන්නෙ. ඒත් ඒක හරිද? මුල්ම සිංහල කතානාද චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ 1947 ජනවාරි 21 වැනිදා තිරයට ආවේ කොළඹ කිංස්ලි සිනමාහලේදියි. ඒ නිසයි, ජනවාරි 21 වැනිදා සිංහල චිත‍්‍රපටයේ උපන් දිනය ලෙස සැලකෙන්නේ. නමුත් සිංහල චිත‍්‍රපට කීපයක් ඊට කලින් තැනුවා. ඒ වගේම ප‍්‍රදර්ශනය කළා.

1922 දී ඉන්දියාවේ කල්කටා නුවර පැවති සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයට ධර්මපාල තුමන් සහභාගි වූ ආකාරය දැක්වෙන නිහඬ කෙටි වාර්තා චිත‍්‍රපටයක් පැලස් ශාලාවේ දී තිර ගත කෙරුණා. ඒක සිංහල බෞද්ධ ජනතාව දහස් ගණනින් නැරඹූ බව සඳහන් වෙනවා. එයින් අදහසක් ඇති කර ගත් ටී. ඒ. නූර්බායි නම් චිත‍්‍රපට ප‍්‍රදර්ශකයා සිංහල චිත‍්‍රපටයක් තැනීමට මුල් වුණා. 1925 දී ඔහු නිෂ්පාදනය කළ එය නිහඬ චිත‍්‍රපටයක්. ‘ශාන්තා නොහොත් රාජකීය වික‍්‍රමය’ නමින් නිපදවුණු ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපෑවේ ඇන්. ඇම්. පෙරේරා (පසුව අමාත්‍යවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා) සමග සිබිල් ෆිට්, ඇල්බට් සිල්වා, ගේ‍්‍රෂන් පෙරේරා, රෙජිනෝල්ඞ් පෙරේරා, පර්සි පෙරේරා ආදීන්. කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේ ගුප්ත නම් ඉන්දියානු ජාතිකයෙක්. කලා අධ්‍යක්ෂවරුන් වූයේ ඇම්. සාර්ලිස් හා ජී. එස්. ප‍්‍රනාන්දු යන දෙදෙනාට බාර වූයේ රූප අතරට එක් වන දෙබස් සිංහල අකුරෙන් ලිවීමයි. මේ චිත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශනය නොකළද එහි ප‍්‍රධාන චරිතය රඟපෑ ඇන්. ඇම්. පෙරේරා සිංහල චිත‍්‍රපටයක රඟපෑ ප‍්‍රථම නළුවා ලෙස ඉතිහාසයට එක් වෙනවා.

මෙය බම්බලපිටියේ නිවසක සකසා ගත් කුඩා චිත‍්‍රාගාරයක දී කැමරාවට නගා රසායනික හා තාක්ෂණික කටයුතු සඳහා ඉන්දියාවට ගෙන එය ඒ කටයුතු නිමවා එහි පිටපත ඉන්දියාවේ හා සිංගප්පූරුවේ නරඹන්නන් ඉදිරියේ ප‍්‍රදර්ශනය කළ බව සිනමා ඉතිහාසය ලියන ඞී. වී. සෙනෙවිරත්න සඳහන් කර තියෙනවා. එහි පිටපත ලංකාවට ගෙන එන අතරමගදී ගිනි ගෙන විනාශ වූ නිසා මෙරට ප‍්‍රදර්ශනය නොවූ බවත් කියැවෙනවා. මෙය කිසියම් කුමන්ත‍්‍රණකාරී ප‍්‍රයත්නයක් නිසා සිදුවූවක් ලෙසයි, සැලකෙන්නේ.


මේ සමගම සිංහල චිත‍්‍රපටයක් තැනීමේ තවත් උත්සාහයන් ගණනාවක් විවිධ අය විසින් ගනු ලැබුවද ඒ කිසිවක් මල්පල ගැන් වුණේ නෑ. එහෙත් 1933 දී එවකට ටවර්හෝල් සංගීතඥයකු වූ ඩබ්ලිව්. දොන් එඞ්වඞ් විසින් ‘පළිගැනීම’ කියා නිහඬ චිත‍්‍රපටයක් නිෂ්පාදනය කොට ප‍්‍රදර්ශනය කර තියෙනවා. ඔහු විසින් ම කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කර ඇති, විනාඩි 30ක් (රීල් තුනක්) වූ, මෙම චිත‍්‍රපටය මුලින් ම ප‍්‍රදර්ශනය වුණේ මීට වසර 81කට පෙර එනම් 1933 මැයි මාසයේ 19 වැනිදා කොළඹ ගෙයිටි සිනමා හලේදියි. එහි ප‍්‍රධාන චරිතය රඟපෑ ඇන්. ආර්. ඩයස් මෙරට ප‍්‍රදර්ශනය කළ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ලෙස සැලකිය හැකි ‘පළිගැනීම’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා ලෙස ඉතිහාස ගත වෙනවා. මේ අවස්ථාව දේශීය සිංහල සිනමාවේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. එහෙම නම් සිංහල සිනමාවට දැන් වයස 78ක් වෙන්න ඕනෑ.

හැබැයි එයින් පස්සේ 1947 වන තෙක් සිංහල චිත‍්‍රපටයක් ආවෙ නෑ. 1939 දී ලූවී සීඞ්ල් සමාගම සිංහල චිත‍්‍රපටයක් තනන්න හැදුවා, හරි ගියේ නෑ. චිත‍්‍රපට ප‍්‍රදර්ශක සමාගමක් වූ සිලෝන් තියටර්ස් සමාගමත් ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ චරිතය ඇසුරෙන් සිංහල චිත‍්‍රපටයක් නිපදවන්න තැත් කළත් සාර්ථක වුණේ නෑ. ඉම්පීරියල් සමාගමත් ‘පේ‍්‍රමවතී’ නමින් නිෂ්පාදනයට අත ගැසුවත් එයත් තිරයට ආවේ නෑ.


1945 අවුරුද්දේ සිංහල චිත‍්‍රපටයක් හදන්න සිතූ ඇස්. ඇම්. නායගම් චිත‍්‍රකලා මුවිටෝන් නමින් නිෂ්පාදන සමාගමක් පිහිටුවා ඒ සඳහා ඉන්දියාවේ මදුරෙයි නගරයේ චිත‍්‍රකලා නමින් චිත‍්‍රාගාරයක් ද ආරම්භ කළා. ඔහු මුලින් ම ශාන්තිකුමාර් එක්ක ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ගැන සිංහල චිත‍්‍රපටයක් හදන්න සැලසුම් කළත් වියදම් අධික වීම එය අතර මග නවතා දමා පසුව ශාන්තිකුමාර්ගේ ‘අශෝකමාලා’ තිර පිටපත ඔස්සේ චිත‍්‍රපටයක් තැනීමට අත ගැසුවත් එයත් වැරදී ගියා. එහි අධ්‍යක්ෂණය පිළිබඳ ඇති වූ මතභේදයක් නිසා ශාන්තිකුමාර් අත්හැර දමන්නට ඔහුට සිදු වුණා. ඉන්පසුව දිවයින පුරා 800 වාරයකටත් වඩා පෙන්වා ජනපි‍්‍රය වූ ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා සමාගමේ වේදිකා නාට්‍යයක් වූ ‘කඩවුණු පොරොන්දුව’ ඇසුරෙන් චිත‍්‍රපටයක් කරන්න එකඟ වුණා.

ඒ වන විටත් ෂන්මුග චිත‍්‍රපට සමාගමත් ලයිලා මජ්නු පේ‍්‍රමකතාව ඇසුරෙන් ‘දිව්‍ය පේ‍්‍රමය’ නමින් සිංහල චිත‍්‍රපටයක් තනන්නට දකුණු ඉන්දියාවට ගොස් සිටියා. සිංහල කතානාද චිත‍්‍රපටයක් හදන්න ඉන්දියාවට ගිය මුල්ම පිරිස ඒ අයයි. ඔවුන්ට එහිදී නොයෙකුත් කරදරවලට මුහුණපාන්නට සිදු වූ අතර එහි නිෂ්පාදන කටයුතු ද පමා වුණා. ඒ චිත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශන කෙරුණේ 1948 මැයි 22 වැනදායි.

පසුව ශාන්තිකුමාර්ගේ ‘අශෝකමාලා’ පිටපත ඇසුරෙන් චිත‍්‍රපටයක් නිපදවන්න සිලෝන් තියටර්ස් සමාගම කැමති වුණා. ඉන්දියාවේ කොයිම්බටූර්හී සෙන්ට‍්‍රල් චිත‍්‍රාගාරයේ එහි නිෂ්පාදන කටයුතු ඇරඹුණා.


මෙරට ප‍්‍රදර්ශනය කෙරෙන ප‍්‍රථම කතානාද සිංහල චිත‍්‍රපටය වන්නට මේ නිෂ්පාදන කණ්ඩායම් දෙක අතර විශාල තරගයක් පැවතුණා. අන්තිමේ දී මේ තරගයෙන් ජය ගත්තේ ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයයි. එය 1947 ජනවාරි 21 වැනිදා තිරයට කොළඹ කිංස්ලි සිනමාහලේ තිරගත වුණා. එවකට වේදිකාවේ අතිශය ජනපි‍්‍රය ව සිටි එඞී ජයමාන්න හා රුක්මණී දේවි එහි රඟපෑම නිසා විශාල ආදායම් වාර්තා තබන්නට ඒ චිත‍්‍රපටය සමත් වුණා.

‘අශෝකමාලා’ දෙවන කතානාද චිත‍්‍රපටය ලෙස 1947 අපේ‍්‍රල් 9 වැනි දින මරදානේ ඇල්පින්ස්ටන් ශාලාවේ දී තිරගත වුණා. එය සිංහල සිනමාවේ කඩවුණු පොරොන්දුවට වඩා වැදගත් මං සලකුණු කිහිපයක් තැබූ චිත‍්‍රපටයක්. ස්වතන්ත‍්‍ර තිර පිටපතක් යොදා ගෙන තැනුණු, එසේ ම සිංහලයකු සම අධ්‍යක්ෂණයෙන් එක් වූ ප‍්‍රථම කතානාද චිත‍්‍රපටය එයයි. ශාන්තිකුමාර් සෙනෙවිරත්න එහි පිටපත ලියා සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. (එහි අනෙක් සම අධ්‍යක්ෂවරයා වූයේ ටී. ආර්. ගෝපු නම් ඉන්දියානු ජාතිකයායි.) සාලිය අශෝකමාලා පෙම්පුවත ඇසුරු කර ගෙන, සිංහල දෙමළ ජාතික සමගිය තේමාව කර ගෙන නිපදවූ එහි සංගීතය ද ගීත තනුද ස්වතන්ත‍්‍ර ඒවා වුණා. මොහොමඞ් එහි සංගීත අධක්ෂවරයා වූ අතර එහි සහය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඩබ්ලිව්. ඞී. ඇල්බට් පෙරේරායි. (ඒ අප කවුරුත් දන්නා අපේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයි.)

සංගීතඥ මොහොමඞ් ගවුස් ඇල්බට් පෙරේරා තරුණයා ඔහු සමග කැටුව ගියේ වයලීන වාදකයකු හැටියට ඔහුට සහය වෙන්නටයි. එහෙත් චිත‍්‍රපටයට ඔහුගෙන් ලැබුණු දායකත්වය ගැන පැහැදුණු ගවුස් ඇල්බට් පෙරේරා තරුණයාට නොකියාම එහි සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස ඔහුගේ නම එහි නාමාවලියට ඇතුළත් කිරීමට උනන්දු වූ තිබෙනවා. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අදත් එය කෘතවේදීව සිහිපත් කරනවා.

මේ ඉහත සඳහන් කළ සිංහල සිනමාවේ පුරෝගාමී චිත‍්‍රපටවලට දායක වූ එක් අයකු හැර, අනික් සියලූ දෙනාම, අද මේ සමරන මොහොතේ ජීවතුන් අතර නැහැ. එසේ ජීවමානව සිටින එකම සිනමාවේදියා ආචාර්ය පණ්ඩිත් අමරදේවයි. ඔහු අශෝකමාලා චිත‍්‍රපටයේ සහය සංගීත අධ්‍යක්ෂවරයා වූවා විතරක් නෙවෙයි, ‘ඇයි කළේ යමෙක් ආලේ’ ගීය ගයමින් එහි රඟපෑමක් ද කළා. ඒ නිසා ඔහු ජීවතුන් අතර සිටින පැරණිම සිංහල චිත‍්‍රපට නළුවාත්, පැරණිම ගායකයාත් චිත‍්‍රපටයේ ක්ෂේත‍්‍ර කීපයක් හෙබවූ පැරණිම සිනමාවේදියාත් ඔහුයි. අපි ඔහුට චිරජීවනය ප‍්‍රාර්ථනා කරමු!

- පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. කවදාවත් අහල නොතිබුන විස්තරයක්... බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. අළුත් විස්තර ගොඩක් තියෙනවා. හොඳයි එකතු කළ එක. මාත් අමරදේවයන්ගෙ හොඳ පංකාවක්. :)

    ReplyDelete