HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිටකොන්දක් ඇති සතුන් උපන් හැටි සොයා ඬේවඞ් ඇටන්බරෝ වසර මිලියන 500ක් අතීතයට!

ඬේවිඞ් ඇටන්බරෝ කොටස් දෙකකින් යුත් අලූත් ම වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා. පසුගියදා බීබීසී රූපවාහිනී සේවයෙන් විකාශය වූ එම වැඩ සටහන හැඳින්වූයේ ‘සතුන්ගේ උදාව: පෘෂ්ඨවංශීන්ගේ ජයග‍්‍රහණය’ (Rise of Animals: Triumph of the Vertebrates) කියායි.

ඔහු මේ සඳහා ලෝකයේ පුරාජීව විද්‍යාත්මක (paleontological) වශයෙන් ඉතා වැදගත් තැන් කීපයකටම ගියා. කශේරුකාව ඇත්තන් හෙවත් පෘෂ්ඨවංශීන් පෘථිවිය පාලනය කරන්නට හැකි තත්වයට වර්ධනය වූයේ කෙසේද, ඔවුන් දේහයන් අද තත්වයට පරිණාමය වූයේ කෙසේද යන්න සොයන්නයි.


සොබා දහම පිළිබඳ ලොව සිටිනා අංක එකේ රූපවාහිනී විද්වතා ලෙස සැලකෙන සර් ඬේවිඞ් මෙවර ගවේෂණයේ යෙදෙන්නේ වසර මිලියන 500ක් පුරා සිදු වූ සත්ව පරිණාමය පිළිබඳ තතු අපට කියන්නයි. මේ වතාවේ ඔහු චීනයටත් යනවා. ඒ චීනයේ අලූතින් ම සොයා ගෙන ඇති සත්ව පරිණාමයේ ‘අහිමි පුරුක’ ගැන විමසා බලන්නයි. ඌ නොගැඹුරු ජලයේ විසූ විලෝපිකයෙක්, දඩයක්කාරයෙක්. ඌට මාළුවකුට මෙන් පිහිනා යාහැකියි. පසුව ඌ මුල්වරට ගොඩබිමට පිවිසුණා, අනෙක් පුරාණ යෝධ සතුන් සමග. දැන් ඌ හමු වී තියෙනවා, පියාඹන ඩයිනෝසෝරයකුගේ පොසිලයක් හැටියට.

සර් ඬේවිඞ් ගියා පෘෂ්ඨවංශිකයන් මුලින් ම ගොඩට ආ හැටි හොයන්න. ඒ ගමනෙදි කැනේඩියානු ආක්ටික් ප‍්‍රදේශයට ගියා. එහිදි ඔහුට හමුවුණා විස්මිත සතකුගේ පොසිලයක්. ඒ සතා හඳුන්වන්නෙ ටික්ටාලික් (Tiktaalik) කියලයි. ඒ සතාගේ මේ පින්තූරය පරිගණක ක‍්‍රමයට චලන චිත‍්‍රයට නඟාපු එකක්.

සර් ඬේවිඞ් ක්ෂීරපායින්ගෙ කතාව සොයා ගෙන දකුණු චීනයේ ලූෆෙන් සානුව (Lufeng Basin) වෙත ගියා. එහිදි ඔහුට හමු වුණා, වසර මිලියන 195ක් පැරණි හැඞ්රොකෝඩියම් (Hadrocodium) නම් ක්ෂීරපායී සතාගෙ හිස් කබලෙ පොසිලයක්. ඌ ඉතා කුඩා සතෙක්. හිසේ ප‍්‍රමාණය සෙන්ටි මීටරයක් විතර ඇති. මේ දැනට සොයා ගෙන ඇති ඉපැරණි ම ක්ෂීරපායීන් අතරින් කෙනෙක්. මේ ඒ හිස් කබලට අනුව තැනූ මුළු සිරුරේ ම ආකෘතියක්.

සර් ඬේවිඞ් ඇටන්බරෝ විසින් බීබීසියට නිපදවා ඇති අලූත් ම සත්ව විද්‍යාත්මක රූපවාහිනී වැඩ සටහන් පෙළ සඳහා ඈත අතීතයේ දී ජීවත්වූ අද පොසිල ශේෂ වශයෙන් හමු වී ඇති සතුන්ට රැසකට පණ උපද්දා තියෙනවා. පරිගණක රූපවාහිනී සජීවීකරණ ක‍්‍රමයට පණ දී ඇති සතුන් නිසා ඔබට එදා සිදු වූ දෙය ඔහු කියා දෙන විට ඔබ ඉදිරියේ ඇති රූපවාහිනී තිරය මත සැබැවින් ම ඒ සිද්ධි දාමය එදා සිදු වූයේ යැයි සිතිය හැකි ආකාරයෙන් දිග හැරෙනවා.

මාළුන්, උභයජීවීන්, උරගයන්, කුරුල්ලන් හා ක්ෂීරපායීන් මිහිමත මතු වූ හැටි ඔබට ඒ වැඩටහනෙන් දැකගත හැකියි.

සර් ඬේවිඞ් ඇටන්බරෝ චිත‍්‍රපටයක් තනන්නට චීනයට ගියේ මේ පළමුවන වතාවයි, මේ. එහිදී ඔහුට පුරාජීව විද්‍යාවේ මුහුණුවර වෙනස් කරන විධියේ පොසිල ගණනාවක් ම හමුවුණා. මෙසේ ලෝක ගෝලයේ ඉතා දුර බැහැර තැන්වල ඇවිද්ද ඔහුට පෘෂ්ඨවංශිකයන්ගේ ආරම්භය පිළිබඳ මෙතෙක් අබිරහසක්ව පැවති කරුණු හෙළිදරවු කර ගැනීමට හැකි වුණා. ක්ෂීරපායී සතුන් දියෙන් ගොඩට විත් පරිණාමය වූ ආකාරය ඔහු මේ ඔහුගේ අලූත්ම වැඩසටහනෙන් අපට පැහැදිලි කර දෙනවා.

”බටහිර ලෝකයට තවමත් හමු නොවූ දුර්ලභ පොසිල කීපයක් ම චීනය විසින් සොයා ගෙන තියෙනවා.” ඔහු කියනවා. ”මීට වසර 30කට උඩදි මා චීනයට ගියා. ඒ ගැන සිහිපත් වුණු මොහොතෙ තමයි, මට නැවත චීනයට යන්න හිතුනේ, මෑත දශකවල චීන විද්‍යාඥයන් සොයා ගත් විස්මිත දේ චිත‍්‍රපටයට නඟන්න.” ඔහු පවසනවා.

සර් ඬේවිඞ්ට විශේෂ අවසරයක් ලැබුණා, චීනයේ අලූතින් ම හමු වී ඇති පොසිල සාධක සම්පත් කන්දරාව පිරික්සන්නට. ඔහු ඒවා තුළින් පිළිතුරු සොයන්න තැත් කරනවා, සතුන්ට ඇඟිලි ඇති වුණේ කොහොමද? ඔවුන්ට අචලතාපී (warm-blooded) සිරුරු ලැබුණේ කොහොමද? ආදී ප‍්‍රශ්නවලට.

සර් ඬේවිඞ් සොයා ගත්තා පොසිල ගත සතුන් තුළින් අතීතයේ යෝධ උරගයන්ගේ ස්වභාවය හෙළි වන බව. ආදීම යුගයට අයත් මේ පිහාටු ඇති අමුතු සතා ඩයිනොසෝරයෙක්. මෙය පරිගණක සජීවීකරණයෙන් මැවූවක්.

සර් ඬේවිඞ්ගේ අලූත් බීබීසී වැඩ සටහනෙන් පෘෂ්ඨවංශිකයන්ගේ මුලාරම්භය දෙස බලන්නේ චීනයෙන් හමු වූ ප‍්‍රාථමික මත්ස්‍යයකුගේ පොසිලයකින්. ඔහු චීනයේ යුනාන් පළාතේ කැණීම් කළ ගවේෂණ කණ්ඩායමකට එක් වුණා. එහිදී වසර මිලියන ගණනකට පෙර මුහුදු පතුලක්ව පැවති ප‍්‍රදේශයක වැළලී තිබූ ඇටසැකිලි හා පොසිල ගොඩ ගනු ලැබුවා.

පොසිල විශාල වශයෙන් ඇති මේ පුරාවිදු බිම සලකනු ලබන්නේ 20 වැනි සියවසේ සිදු කළ සුවිශේෂ සොයා ගැනීමක් හැටියටයි. සත්ව පරිණාමය පිළිබඳව කතාන්තරයේ හිස් තැන් පුරවන්නට හැකි පොසිල රැුසක් මේ බිමෙහි වැළලී ඇති බවයි, සර් ඬේවිඞ් හෙළිදරවු කරන්නේ. මෙහි ප‍්‍රධානතම පුරුක ලෙස සර් ඬේවිඞ් සලකන්නේ කඩදාසි ක්ලිප්, එකක තරම් වූ මාළුවකුගේ කොඳු ඇට පෙළක්. මේ මාළුවා හඳුන්වා දී ඇත්තේ මයිලොකුන්මින්ගියා (Myllokunmingia) කියායි.

මුහුදේ ජීවත් වූ මේ සතුන්, පෘෂ්ඨවංශිකයන් ඇතුළු ව, ජීවත් වීමට ඉඩහසර හා ආහාර සොයා ඉතා ඈත අතීතයේ දී ගොඩබිමට ඇදී යන්නට ඇති.

සර් ඬේවිඞ් පෘෂ්ඨවංශිකයන් මුල්වරට දියෙන් ගොඩට ආ ආකාරය විමසන්න ගියාම ඔහුට යන්න සිදු වුණා, කැනේඩියානු ආක්ටික් ප‍්‍රදේශයෙන් හමු වූ පොසිල බලන්න. එහි දී අමුතු ම සතෙක්! ඒ විස්මිත සතා හැඳින්වෙන්නේ ටික්ටාලික් (Tiktaalik) කියලයි.

ටික්ටාලික්ගේ අස්ථි වර්ධනය වූයේ ඉතාම සරල ගාත‍්‍රා හතරක් හැටියටයි. ඒවා උදවු වුණා, නොගැඹුරු මිරිදියේ එහා මෙහා යන්න, ඊට පස්සෙ අන්තිමේ දී ගොඩ බිමට පළමු පියවර තියන්න. මේ සතුන් තමයි, අපේ අත්පාවල හා කොටස් කීපයකින් යුත් බෙල්ල යන අවයවලට ආරම්භය දුන්නේ.

සර් ඬේවිඞ් විමසා බලනවා, පරිණාමික නව්‍යකරණයන් මතු වූ ආකාරයන් ගැන, මුලින් ම ගොඩබිමට විත් පොළොවේ ගුල් හාරා ඒවායේ ජීවත් වූ උරගයන්ට තිබූ දිය බාහක (watertight) හෙවත් දිය නාල්ලන සිරුරු ගැන.

 
ඬේවිඞ් ඇටන්බරෝ ගියා බලන්නට නව පොසිල විද්‍යාත්මක සාක්ෂි සොයා ගත් තැන් බලන්නට. ඒ එක් තැනක් තමා ලූෆෙන් ඩයිනොසෝර ජාතික භූඋද්‍යානය. පෘෂ්ඨවංශිකයන් පෘථිවිය පාලනය කරන්න හැකි පරිදි පරිණාමය වූ ආකාරය ගැන මෙතෙක් සොයා නොගත් තතු මෙහි දී හෙළිදරවු කෙරුණා. ඒවා ඔහුගේ අලූත් ම බීබීසී වාර්තා වැඩසටහන් දෙකට ඇතුළත් වෙනවා.

උතුරු චීනයේ ලියෝනින් පළාතේ යුනාන්වල පිහිටි ලූෆෙන් ඩයිනොසෝර ජාතික භූඋද්‍යානයේ දී ඔහුට දැක ගන්න ලැබෙනවා, පොසිල බවට පත් වූ දිය බාහක ඩයිනොසෝර බිත්තර. ඒ වගේ ම ඒවා තුළින් සර් ඬේවිඞ් සොයා ගන්නවා, මුල් ම පිහාටු සහිත, පියාඹා ගිය යෝධ උරගයන් පිළිබඳ ජීවමාන සාක්ෂි.

චීනයේ යුනාන් පළාතේ කැණීම් කළ මේ ජියෝපාක්’ (Geopark) උද්‍යානය හරියට ඉතාලියේ පොම්පෙයි නගරය වගේ තැනක්. ප‍්‍රාග් ඓතිහාසික සතුන් රැුසක් මෙහි තැන්පත් ව ඇති යමහල් අළු හා ලාවාවලට යට වී සැඟ වී තියෙනවා. ඒ අතරින් දැන් හමුවී තියෙනවා, රුක් වැසි කුඩා ඩයිනොසෝර කාණ්ඩයකට අයත් පොසිල වගයක්. ඒ සතුන් වත්මන් කුරුල්ලන්ගේ ආරම්භකයන් ලෙස සැලකිය හැකියි. මුලින් ඔවුන් පිහාටු උපයෝගී කර ගන්නට ඇත්තේ උණුසුම ලබා ගන්නයි, පියසැරිය ඇරඹෙන්නට ඇත්තේ ඉන්පසුවයි.

”ඒ තමා අපට ලැබුණු අංක එකේ සොයා ගැනීම. ඒ පිහාටු සහිත ඩයිනොසෝර විශේෂය, ඒවා කාචයකින් පරීක්ෂා කරන්න ලැබුණා. ඒක හරිම වාසනාවක්.” සර් ඬේවිඞ් කියනවා.

”අපට හමු වුණා, ඒ මුල් ම පිහාටු ඇති ඩයිනොසෝරයන් හඳුනා ගත් තැනැත්තා. ඔහු ඓතිහාසික පුද්ගලයෙක්. ඔහු සමග එකට වාඩි වී කතාබහ කරන්න ලැබීම පවා ලොකු වාසනාවක්,”

සර් ඬේවිඞ් ඇටන්බරෝ දකුණු චීනයේ ලූෆෙන් නිම්නයේ ක්ෂීරපායීන්ගේ කතාව දෙසට හැරුණා. ඔහු එහිදී වසර මිලියන 195ක් පැරණි ආදීම ක්ෂීරපායීයකුගේ කුඩා හිස් කබලක් පරීක්ෂාවට ලක් කරනවා. සෙන්ටිමීටරක් තරම් කුඩා එය හැඳින්වෙන්නේ හැඞ්රෝකෝඩියම් (Hadrocodium) හිස් කබල කියලයි. එය දැනට සොයා ගෙන ඇති අති පැරණි හිස් කබලක් ලෙස හැඳින්විය හැකියි.

 
සර් ඬේවිඞ් ඔහුගේ අලූත් ම වැඩසටහනෙන් ගවේෂණය ආරම්භ කරන්නේ ප‍්‍රාථමික මත්ස්‍යයෙකුගෙන්. ඔහු චීනයේ යුනාන් පළාතේ කැණීම් කළ පිරිස හා එක් වුණා. එහි වූයේ වසර මිලියන 525ක් පැරණි මුහුදු පත්ලක්. එහි කළ කැණීම්වලින් කඩදාසි ක්ලිප් එකක් තරම් ඇති, මයිලෝකුන්මින්ගියා (Myllokunmingia) යනුවෙන් නම් කරන ලද, අති පැරණි මාළුවෙකු හමු වුණා.

 
උතුරු චීනයේ ලියෝනින් පළාතේ යුනාන්වල පිහිටි ලූෆෙන් ඩයිනොසෝර ජාතික භූඋද්‍යානයේ දී හමු වූ, පොසිල බවට පත් වූ දියබාහක ඩයිනොසෝර බිත්තර.

 
ඉතාලියේ පොම්පෙයි නගරයේ විසූවියස් ගිනිකන්දට හසු වී යට ගිය ශිෂ්ඨාචාරයකින් මතු කර ගත් දේ වැනි ඉතා වටිනා, ඉපැරණි දේ චීනයේ මෙම ස්ථානයෙන් ද මතු කර ගනු ලැබුවා. මේ ස්ථානයේත් පුපුරා ගිය ගිනිකන්දකට යට වී තිබී ඇන්කියෝනිස් (Anchiornis) නම් රුක්වැසි ඩයිනොසෝර වර්ගයකට අයත් නවීන කුරුල්ලන්ගේ මුතුන්මිත්තන් ලෙස සැලකිය හැකි සත්ව විශේෂයකට අයත් පොසිල මෙහිදී සොයා ගෙන තියෙනවා. ඔවුන් මුලින්ම පිහාටු පාවිච්චි කරන්න ඇත්තේ උණුසුමටයි අලංකාරයටයි. ඒවායින් පියාඹන්න පටන් ගන්න ඇත්තේ පසුවයි. සර් ඬේවිඞ් ඒ පොසිල පිරික්සන අයුරු.

සර් ඬේවිඞ් මේ අලූත්ම වාර්තා චිත‍්‍රපට දෙකෙන් විමසා බලනවා කොහොමද ඒ සත්වයාට ලොම් ඇති වුණේ, ඒවගේම අචලතාප හෙවත් උණුසුම් රුධිරය ඇති සිරුරක් ලැබුණේ, රාති‍්‍ර කාලයේ දඩයමේ යන්නට පුරුදු වුණේ ආදී වශයෙන් ඇති කරුණු ගැන. ඒ වගේම විමසා බලනවා, වසර මිලියන 160කට විතර ඉස්සර අනෙක් ක්ෂීරපායින්ට කිරි නිපදවීමේ හැකියාව ලැබුණේ කෙසේද කියා.

උතුරු චීනයේ දී ඬේවිඞ්ගේ අවධානයට ලක් වුණා, දැනට ජීවත්වන සත්ව කාණ්ඩ දෙකකට අයත් පැරණිතම පොසිල වර්ග දෙකක්. ඒ පැසිපොව්වන් හෙවත් සේපාටිකයන් (marsupials) හා වදෑමහ සහිත සතුන් (placentals) යන දෙවර්ගයයි. ඒ පැටවුන් බිහිකිරීමේ ක‍්‍රම දෙක තමයි, අදත් ජීවත්වන සියලූම ක්ෂීරපායී සතුන්ගෙන් සියයට 99ක්ම යොදා ගන්නේ. ඔහු ලොව පුරා ගියා අමුතු ක්ෂීරපායී සතුන් ගැන සොයන්න. මෙහිදී පැරසෙරාතේරියම් (Paraceratherium) වැනි දැවැන්ත සත්වයකු කිරී බී වැඩෙන සුපිරියකු (Megafauna) ලෙස ඔහු නිදසුන් ලෙස ගේනවා. උගේ උස මීටර පහකටත් වැඩියි, දිග මීටර අටක්.

මෙහිදී සර් ඬේවිඞ් අපට පෙන්වනවා, සුවිශේෂ පොසිල හිස් කබලක්. සමහර විශේෂඥයන් කියන්නේ දැනට හමු වී ඇති පැරණිම මිනිස් හිස් කබල කියායි. මෙය මීට වසර 68,000කට පෙර චීනයේ විසූ ආදී මානවයකුට අයත් එකක්. මෙය ඔහු අපට පෙන්වන්නේ ළමයකුගේ විශාල මොළයට ඉඩ සැලසීමට මිනිස් හිස් කබල විශාලව පිහිටන බව කියන්නට පෙරාතුවයි. අනතුරුව මේ හිස්කබල් සන්සන්දනය කිරීමෙන් ඔහු පෘෂ්ඨවංශිකයන්ගේ කතාව සම්පූර්ණ කරනවා.

”පරිණාමය නොකඩවාම නව රටාවන් ඉදිරිපත් කරනවා. එවැනි සමහර රටා ඉතිහාසයේ විශේෂිත අවස්ථාවල දී ඒ ඒ පරිසරවලට උචිත ලෙස හැඩ ගැසුණු ඒවායි. ඒත් අපේ සිරුරු ගැන සලකන කොට ඉතාමත් විස්මිත සංවර්ධනයන් සිදු වී තිබෙනවා. ඒවා ඇති වී තිබෙන්නේ වසර මිලියන 500ක් තිස්සේ විවිධ කාල වකවානුවලදීයි.

ලොව පුරා අමුතු ක්ෂීරපායී සතුන් සොයා යද්දී ඔහුට මේ පැරසෙරාතේරියම් (Paraceratherium) නම් දැවැන්ත සත්වයකු හමුවෙනවා. කිරී බී වැඩෙන සුපිරියකු (Megafauna) වන අපූරු සතාගේ උස මීටර පහකටත් වැඩියි, දිග මීටර අටක්.

”සතුන්ගේ ඇති වූ මේ වෙනස්කම් විවිධාකාර ලෙසයි, සිදු වූයේ. මාළුන්ට වරල් හතරක් පිහිටියේ අපේ අත්පා පිහිටි ආකාරයේ ආරම්භයක් හැටියටයි. උභයජීවීන් හැකියාව ඇති කර ගෙන තිබුණා අප වාගේ හුස්ම ගන්නට. උරගයන් දියබාහක සමක් ඇති කර ගත්තේ දියෙන් ගොඩට විත් ජීවත් වෙන්නයි. ඒකත් අපට තියෙන හැකියාවක්. රාති‍්‍ර කාලයේ දී සකි‍්‍රය වීමේ හැකියාව ඇති කර ගත් ආදීම අචලතාපී සත්ව විශේෂයේ උරුමයන් දායාද කර ගත්තේ අපමයි.” මෙසේ කියන සර් ඬේවිඞ් ඇටන්බරෝ වෙනත් සතුන්ගෙන් ඈත්ව මිනිසා සුවිශේෂී හැකියා ඇති සත්වයකු ලෙස පරිණාමය වූයේ කෙසේ දැයි ඔහුගේ මේ අලූත්ම වාර්තා චිත‍්‍රපට දෙකෙන් පැහැදිලිව පෙන්නා දෙනවා.

ඒවා පසුගියදා බීබීසි රූපවාහිනියෙන් විකාශය කෙරුණා. නැවත විකාශනය විට බලන්න අමතක කරන්න එපා!

උතුරු චීනයේ ලියෝනින් පළාතේ යුනාන්වල පිහිටි ලූෆෙන් ඩයිනොසෝර ජාතික භූඋද්‍යානයේ දී විශාල ඩයිනොසෝර බිත්තර හමු වූ කැණීම් බිමෙන් ඇටසැකිල්ලක් මතු කර ගනිද්දී ඬේවිඞ් ඊට සහය වූ අයුරු.

සර් ඬේවිඞ් ඇටන්බරෝ ඔහුගේ අලූත්ම වාර්තා චිත‍්‍රපට දෙකෙන් ඔබ වෙත ඉදිරිපත් කරන අමුතු සතුන් මෙන්න:

මයිලොකුන්මින්ගියා (Myllokunmingia) - සියලූම පෘෂ්ඨවංශිකයන්ගේ පොදු ආදිමයා ලෙස මේ සතා හැඳින්විය හැකියි. ඌ සතු වූ ඒ ඉපැරණි කොඳු ඇට පෙළ උපයෝගී කර ගෙන ඌ අමුතුම ක‍්‍රමයකටයි, එහෙ මෙහෙ ගියේ. මේ කොඳු ඇට පෙළ තමයි, වසර මිලියන ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් ගොස් විසිතුරු සතුන් වර්ග රාශියක් අද මේ ග‍්‍රහ ලොව තුළ බිහිකර තියෙන්නේ.

පැරායුනැනෝලෙපිස් (Parayunnanolepis) - අලූතින් ම හඳුනා ගත් ‘අහිමි පුරුක’ මෙයයි. මේ සතා හමු වූයේ චීනයෙන්. ආදීම මාළුන්ට තිබුණේ ඉදිරි වරල් දෙකක් වුවත් මේ මාළුවාට පසුපසත් වරල් දෙකක් හෙවත් ශ්‍රෝණි වරල් දෙකක් තියෙනවා. එයින් ඌට වඩා හොඳ පිහිනීමේ හැකියාවක් ලැබුණා.

ටික්ටාලික් (Tiktaalik) - නොගැඹුරු ජලයේ ජීවත් වූ ඉපැරණි විලෝපිකයෙක්. ඒ තමයි, උරහිස නොසෙල්වා හිස සෙලවිය හැකි ලොව මුල් ම පෘෂ්ඨවංශිකයා. ගැඹුරු දියේ වෙනත් මාළුන් මෙන් පිහිනා ගිය ඌ නොගැඹුරු ජලයේ දී උගේ විශාල පේශීන් හා වරල් පාවිච්චි කර හබල් ගාන්නාක් මෙන් එහා මෙහා ගියා. මේ ප‍්‍රධාන පරිණාමීය පියවර තමයි, පරිණාමීය ඉතිහාසයේ චිත්තාකර්ෂණීය සිදු වීම් මාලාවක පළමුවැන්න සඳහා ආරම්භයක් ලබා දුන්නේ. ඒ පෘෂ්ඨවංශිකයන්ගේ ගොඩබිම් ආගමනයයි.

ලූෆෙන්ගොසෝරස් (Lufengosaurus) - සවිමත් පාද හා සන්ධිත් උකුල් පෙදෙසත් නිසා ලූෆෙන්ගොසෝරස් වැනි ඩයිනොසෝරයන්ට වෙනත් ඩයිනොසෝරයන්ට වඩා දුරින් පාද තියා ඇවිදින්නත් ඔවුන්ගේ සිරුරු දරා සිටින්නත් වැඩි හැකියාවක් තිබුණා. ඒ වගේම ලූෆෙන්ගොසෝරසයන්ට අද අප කරන්නාක් මෙන් පසු පාදවලට මුළු සිරුරේම බර දරා නැඟී සිටීමටත් හැකි වුණා.

හැඞ්රෝකෝඩියම් (Hadrocodium) - මේ තමා අපට හමු වී ඇති ආදීම ක්ෂීරපායී සත්ව පොසිලය. අද ජීවත්වන සියලූම ක්ෂීරපායීන්ගේ ආදීමයා මොහුයි. මේ සතාට අලූතින් ඇති කර ගත් අචලතාපී ලක්ෂණවලට අමතරව වැඩෙන මොළයක් හා එමගින් මෙහෙයවන දියුණු සංජානන හැකියාවක් තිබුණා. ඒ නිසා ම මොහුට රාති‍්‍ර කාලයේ කි‍්‍රයා කිරීමේ හැකියාවත් තිබුණා.

ජුරාමේනියා (Juramania) - මේ කුඩා ක්ෂීරපායියා තමයි, සිය සිරුර තුළ ගර්භාෂයක පැටවුන් හැදීමට පටන් ගත් මුල් ම සත්වයා. ඒ නිසා අපත් ඇතුළු ගර්භාෂයක් ඇති ක්ෂීරපායී කාණ්ඩයට ඔහුත් අයත් වෙනවා. මේ ජුරාමේනියාවන් තුළ ගර්භාෂය තුළ පැටවුන් හැදීම ආරම්භ වූයේ මීට වසර මිලියන 160කට පමණ පෙරයි.

ටයිටැනෝදෙයා (Titanothere) - මේ සතුන් මුලින් ම මිහිමත ඇවිද ගිය ‘සුපිරි සතුන්’ වර්ගයක් වුවත් ඔවුන්ගේ ආරම්භය කුඩාවටයි, සිදු වුණේ. පසුවයි, විශාල සතුන් බවට පත් වූයේ. විශාල සතුන් වූ පසු මේ වර්ගයේ වැඩුණු සතකු මීටර දෙකහමාරක් පමණ උස් වුණා. ඔවුන්ගේ හිස් කබල් විශාල මෙන් ම සවිමත් බවින්ද යුක්ත වූ නිසා ඔවුන් ගොදුරු කර ගන්නා ආ විලෝපිකයන්ට එරෙහිව සටන් වදින්නත් ඔවුන්ට හැකියාව තිබුණා.

පෘෂ්ඨවංශිකයන් පිළිබඳ විස්මිත තොරතුරු

  • කශේරුකාවක් ඇති සෑම සතකුම පැවත එන්නේ පුරාතනයේ කැම්බි‍්‍රයානු සාගරයේ විසූ කුඩා මත්ස්‍යයකුගෙන්.
  • අපේ හකුපාඩා අපට ලැබී ඇත්තේ අපටත්, මෝරුන්ටත් නෑ වෙන එකම ආදීමයකුගෙන්. ඒ වගේම අපේ අත්පා ලැබී ඇත්තේ මත්ස්‍යයන් සංවර්ධනය කර ගත් වරල් හතර සංවර්ධනය කර ගත් ආදීමයකුගෙන්.
  • අපට හැරවිය හැකි හිස හා ගෙල ලැබී ඇත්තේ නොගැඹුරු දියේ හා වගුරු බිම්වල මසුන් දඩයමේ ගිය ආදීතම විලෝපිකයකුගෙන්. ඉන්පෙර හිස හා උරහිස් එකට සවිවෙලයි තිබුණේ.
  • අපට පෙණහලූ ආවේ ආදීම උභයජීවීයකුගෙන්. මුලින් ම වාතයෙන් ඔක්සිජන් ආශ්වාස කළේ ඒ උභය ජීවියාගෙන් ලද උරුමයෙන්.
  • අපට ඉක්කා වැටෙන්නට සලස්වන විඛාසකය වැසීමේ උපක‍්‍රමය උරුම වූයේ ද උභයජීවීන් ගෙන්මයි. උභයජීවීන් දිය යට සිටින විට මුවින් ජලය ගෙන කරමල්වලින් ඔක්සිජන් උරා ගන්නා විට පෙණහලූවලට ජලය යාම වළක්වෙන්නේ විඛාසකයෙන්. එයින් ශේෂ වූ දෙයක් නිසයි, අපට ඉක්කාව ඇති වන්නේ.
  • අපේ දියනාල්ලන (දියබාහක) සම අපට ලැබී ඇත්තේ උරගයන්ගෙන්. උන් තමා සමෙහි පිටත වියළි ස්තරය සංවර්ධනය කර ගත්තේ. අපේ සිරුරේ සියයට 70ක් ඇත්තේ ජලයයි. ඒත් අපට ජලය නැතිව දින කීපයකට වඩා ජීවත්වෙන්න බැහැ. අපේ ඇතුළු කන අපට උරුම වී ඇත්තේ උරගයන්ගේ හකුපාඩාවෙන්.
  • ක්ෂීරපායීන්ගේ විශාලතම මොළයත්, ඉවත්, සුවඳ දැනීමේ හා ඇසීමේ හැකියාවත් අපට උරුම වූයේ ආදීම නිශාචර ක්ෂීරපායීන්ගෙන්. අප සතු අචලතාප සිරුරු අපට උරුම වූයේ ආදීම ක්ෂීරපායීන් තුළ පැවති ලක්ෂණයකින්. ඒ නිසා ඔවුන්ට රාති‍්‍ර කාලයේ සකි‍්‍රය වීමට හැකි වුණා.
  • කිරි නිපදවීම නිසා අප අනෙක් පෘෂ්ඨවංශිකයන්ට වඩා වෙනස් වුණා. මුල් ම ක්ෂීරපායීන් තවමත් බිත්තර දමනවා. කිරි වෙනුවට ඔවුන්ගේ සමෙන් දහඩිය මෙන් ස‍්‍රාවයක් වෑස්සෙනවා. අපේ පරිණාමයේ එක් ප‍්‍රධාන බලවේගයක් වුණේ කිරි නිපදවීමට හැකි ස්තන ග‍්‍රන්ථි ඇති වීමයි.
  • ක්ෂීරපායීන්ගේ ආරම්භයේ සිට මුල්ම වසර මිලියන 150ක කාලය තුළ කිසිම ක්ෂීරපායී සතකු බළලකුට වඩා විශාල වුණේ නෑ. වැඩි දෙනකු මීයකුට වඩා ලොකු වුණේ නෑ.

Rise of Animals වැඩසටහන් කීපයක් නරබන්න:







Post a Comment

0 Comments