HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ සියවසේ විසූ මහා විශ්ව පුරුෂයාගේ නික්ම යාම! නෙල්සන් මැන්ඩෙලාට අපේ උපහාරය!

ඔහු විමුක්ති සටන්කාමියෙකි; සිරකරුවෙකි; ජනපතිවරයෙකි; මානව කි‍්‍රයාකාරියෙකි; මානව හිතවාදියෙකි; මහා යුග පුරුෂයෙකි; අසමසම චරිතයකි. ඔහු දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන් ම එරට ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ද වෙයි. වර්ණ භේද වාදය තුරන් කිරීමෙහිලා තම ජීවිතය කැප කළ මහා පුරුෂයකු ලෙසත්, සංහිදියාව ඇති කර ගැනීම සම්බන්ධයෙන් ලොවට විශේෂ දැක්මක් සහ නව මාවතක් හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨයකු ලෙසත් මුළු ලෝකයේ ම ගෞරවයටත් ආදරයටත් පත් වූ නෙල්සන් මැන්ඩෙලා පෙරේදා (6) මෙලොවින් සමුගත්තේය.


මැන්ඩෙලාගේ අභාවය පිළිබඳ පුවත, නිල වශයෙන් මාධ්‍ය වෙත නිවේදනය කළේ දකුණු අපි‍්‍රකාවේ වර්තමාන ජනාධිපති ජේකොබ් සූමාය. එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ‘අප ජාතියේ ශ්‍රේෂ්ඨතම පුත‍්‍රයා අප අතරින් සමුගත් බවය. පෙණහලූ ආසාදනයයකට ලක් වීමෙන් දීර්ඝ කාලයක් රෝගී ව සිටි මැන්ඩෙලා අභාවප‍්‍රාප්ත වූයේ ජොහැන්නස්බර්ග් නුවර ඔහුගේ නිවසේදීය. පසුගිය මාස පහක පමණ කාලයේ මැන්ඩෙලාගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබුණු අතර, ඔහු දිවි සුරැකුම් යන්ත‍්‍රයකට සම්බන්ධ කර තිබුණි. ඔහුට කතාබහ කිරීමට නොහැකි ව තිබුණා පමණක් නොව, ඔහු සිටියේ ද සිහිසුන් තත්ත්වයකින් යැයි මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සැප්තැම්බර් මාසය තෙක් මැන්ඩෙලා රෝහලේ සිටිද්දී ඔහුගේ ළඟ සිටියේ ඔහුගේ දෙවැනි බිරිය විනී මැඩිකිසෙලා සහ වත්මන් බිරිය ග‍්‍රාසා මචෙල් ය.


මැන්ඩෙලා ගැන දැනටමත් හුඟක් දේ අසන්නට ලැබුණා නිසැකය. මේ සමග පළ වෙන්නේ සමහර විට ඔබට අසන්නට නොලැබුණු දේ විය හැකිය.

මැන්ඩෙලා ගැන ඔබ නොදත් අප‍්‍රකට දේ

1. උපත් නමට ගැළපෙන ආකාරයට වැඩ කළ බව: මැන්ඩෙලාගේ උපත් නම ‘රෝලිලාලා’ (Rolihlahla) යි. දකුණු අපි‍්‍රකාවේ එක් නිල භාෂාවක් වන ‘ක්ෂෝසා’ (Xhosa) බසින් එහි මතුපිට අරුත ‘අත්තක් කඩා ගැනීම’ වුවද එහි සැඟවුණු අරුත ‘කරදරකාරයා’ යන්නයි. ඔහු ඇත්තෙන් ම ජාතිවාදීන්ට, වර්ගවාදීන්ට කරදරකාරයෙක් ම විය. නෙල්සන් යන නම යටත් විජිත යුගයේ දී හෝඩියට ඇතුළු වෙද්දී සුදු ජාතික ගුරුවරිය තමන්ට අමතන්නට ලේසියට තැබූ ඉංගී‍්‍රසි නමයි.

2. ඔහු ගරු රඟපෑමක් කළ නළුවකු බව: ස්පයික් ලී අධ්‍යක්ෂණය කළ ‘මැල්කම් එක්ස්’ (Malcolm X) චිත‍්‍රපටයේ ගුරුවරයකුගේ චරිතය රඟ පෑවේය. ඔහු කළු ජාතික විප්ලවාදියකු වූ මැල්කම් එක්ස්ගේ සුප‍්‍රකට කථාවක් පන්තියේ ළමුන්ට කියා දුන්නේය. ‘අපි අයිතිවාසිකම් දිනා ගතයුතුයි කුමන ආකාරයෙන් හෝ’ යනුවෙන් මැල්කම් එක්ස් කළ කථාව කියද්දී ‘කුමන ආකාරයෙන් හෝ’ යන්න සාමයට කැමති මැන්ඩෙලා කීවේ නැත. ඒ නිසා අධ්‍යක්ෂවරයාට මැන්ඩෙලා නොකී කොටස මැල්කම් එක්ස්ගේ හඬින් ම යොදා චිත‍්‍රපටය අවසන් කරන්නට සිදු විය.

3. ඔහුගේ නමින් කෑරළකු නම් කර ඇති බව: මැන්ඩෙලාට ගෞරව දක්වන්න දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් සිට ඇමරිකාවේ කැලිෆෝනියාව වීදී ගණනාවක් මැන්ඩෙලා නමින් නම් කොට ඇත. ඒ අතර අපූරු උපහාර පිදීම් ද දැකිය හැකිය. පසුගිය වසරේ ඔහුගේ උපන් දිනය දා ජර්මන් හා ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් ඔහුට ගෞරව දැක්වීමක් හැටියට ඔවුන්ට හමු වූ ප‍්‍රාග් ඓතිහාසික කෑරළකුගේ පොසිලයක් ‘ඔස්ට‍්‍රලෝපිකස් නෙල්සන්මැන්ඩලායි’ (Australopicus nelsonmandelai) යනුවෙන් නම් කළහ. 1973 දී ලීඞ්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයන් න්‍යෂ්ටික අංශුවක් ‘මැන්ඩෙලා පාටිකල්’ කියා නම් කළහ.

4. ඔහුගේ බිරිඳ රාජ්‍ය දෙකක ජනාධිපති ආර්යාවක් බව: ඔහුගේ බිරිඳ ග‍්‍රාෂා මචෙල් සමගය. ඇය ඔහු හා විවාහ වීමට පෙර මොසැම්බික් රාජ්‍යයේ ජනාධිපතිව සිටි සැමෝරා මචෙල්ගේ බිරිය වූවාය. සැමෝරාගේ අභාවයෙන් පසු මැන්ඩෙලාගේ 80 වැනි උපන්දිනය දා ඔහු හා විවාහ විය. ඒ අනුව ඇය රටවල් දෙකක ජනාධිපති ආර්යාව වූවාය. මැන්ඩෙලාගේ අවසාන කාලයේ ඔහුට සමීපව සිටියේ ඇයයි.

5. සෑම වසරක මැන්ඩෙලා වෙනුවෙන් දිනයක් ඇති බව: මැන්ඩෙලාගේ උපන් දිනය යෙදී ඇත්තේ ජූලි 18 වැනිදාටය. මැන්ඩෙලාට ගෞරව දැක්වීම පිණිස සෑම වසරක ම ජූලි 18 වැනිදා ‘මැන්ඩෙලා දිනය’ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. ඒ අනුව ‘මැන්ඩෙලා දිනය’ට දකුණු අපි‍්‍රකාවේ පමණක් නොව, ලෝ පුරා රටවල් රැසක සහන සේවා, පුණ්‍ය කටයුතු සහ සමාජ සේවා රැසක් කි‍්‍රයාත්මක වෙයි.

6. ඔහුගේ පි‍්‍රයතම ආහාරය ඔබ අකැමැති එකක් බව: ඔහු ලෝකයේ විශිෂ්ට රාජ්‍ය නායකයන් සමග එකට හිඳ කෑම කා ඇතත් ඔහු කෑමට වඩාත් පි‍්‍රය කළේ හරක් බොකුවලටයි.

7. ලොව ඉහළම සම්මාන තුනම දිනා ගත් එකම තැනැත්තා ඔහු බව: ලොව පුරා රට රටවලින් ඔහු ලබා සම්මාන හත්සියයකට ආසන්නය. ඒ අතර ලෝකයේ ඉහළ ම සම්මාන තුන වශයෙන් සැලකෙන අමෙරිකා එක්සත් ජනපදයේ සාමය සඳහා වූ ජනාධිපති පදක්කමත්, රුසියාවේ ලෙනින් සම්මානයත්, නොබෙල් සාම සම්මානයත් එකවර දිනූ ලොව එකම තැනැත්තා ඔහුය.

8. කැනඩාවෙන් පිරිනමා ඇති එකම සම්මානය ඔහු දිනා ඇති බව: කැනඩාව ලෝකයේ ශ්‍රේෂ්ඨ විදේශ වැසියනට ගෞරව දැක්වීම සඳහා සම්මාන පුරවැසි භාවය පිරිනමයි. ජීවත්ව සිටිය දී කැනේඩියානු සම්මාන පුරවැසිභාවය ලත් ලොව එකම තැනැත්තත් ඔහුය.

9. ඔහුගේ නම ඇමරිකා එක්සත් ජනපද ත‍්‍රස්තවාදී ලැයිස්තුවේ තිබූ බව: ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කර අවධානයෙන් සිටියුතු යැයි සැලකූ භායානක ත‍්‍රස්තවාදීන්ගේ නාමාවලියේ මැන්ඩෙලාගේ නම 2008 වන තෙක් තිබුණේය. ඔහු සමග අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ අනෙක් සාමාජිකයන් කීපදෙනකුගේ නම් ඊට ඇතුළත් වූයේ දකුණු අපි‍්‍රකාවේ එවකට පැවති රජයේ වර්ණභේදවාදී පිළිවෙතට එරෙහි ව සටන් වැදුණු නිසාය. ඔහුගේ ඉවත් කෙරුණේ වයස අවුරුදු 89 දී ය.

10. ඔහු කවියකින් ආභාසය ලබා ගත් බව: රොබෙන් දූපතේ දසක ගණනාවක් සිර කර සිටිය දී ඔහු තමන් සමග සිටි සිරකරුවනට එක්තරා කවි පන්තියක් කියවන්නට පුරුදු වී සිටියේය. යටත් නොකළ හැකි යන අරුත් ඇති ‘ඉන්වික්ටස්’ (Invictus) නම් වූ ඒ කවිය ලියා ඇත්තේ මීට වසර 135කට පෙර එංගලන්තයේ විසූ වික්ටෝරියානු යුගයට අයත් ඉංගී‍්‍රසි ජාතික කවියකු වූ විලියම් අර්නස්ට් හෙන්ලි විසිනි. ධෛර්යවන්ත භාවයේ ලක්ෂණ ප‍්‍රකට කරන ඒ කවිය මැන්ඩෙලාගේ දිවියට ලොකු පිටිවහලක් වූ බව නොරහසක්. මේ කවියේ අවසාන දෙපදය වූ ‘මගේ දෛවයේ ස්වාමියා මමයි - මගේ ආත්මයේ නියමුවා මමයි’ යන්න නිතර ම මැන්ඩෙලා හා සහෘද සිරකරුවන් සිරගෙදර දී ගායනා කර ඇත. සමහර විට මේ කවිය ක්ලින්ට් ඊස්ට්වුඞ්ගේ ‘ඉන්වික්ටස්’ චිත‍්‍රපටය දුටුවා නම් ඔබ මීට කලින් දැන සිටින්නටත් ඇත. චිත‍්‍රපටයේ දී මැන්ඩෙලා ලෙස රඟපාන මෝර්ගන් ෆී‍්‍රමන් එහි රග්බි කැප්ටන් පීනර් ලෙස රඟපාන නළුවා වූ මැට් ඬේමන්ට මේ කවිය දෙන උද්වේගකර අවස්ථාව අමතක නොවනසුලූ එකකි.


මැන්ඩෙලාගේ රුවන් වැකි 10ක්!

1. ඇමරිකාව හරි බි‍්‍රතාන්‍යය හරි මැතිවරණ පවත්වන විට ඔවුන් අපි‍්‍රකාවෙන් හා ආසියාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නෙ නැහැ. ඒත් අපි මැතිවරණ පවත්වන විට ඔවුන් නිරීක්ෂකයන් ඉල්ලනවා.

2. විශාල කන්දක් මුදුනට නැග්ගාම තමයි, තවත් නැගීමට කඳු ගොඩක් තියෙන බව.

3. ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යාපනයයි.

4. ඔබ යමකුට තේරෙන භාෂාවකින් කතා කළොත් එය ඔහුගේ මොළයට යනවා. ඒත් ඔබ ඔහුගේ භාෂවෙන් කතා කළොත් එය යන්නේ ඔහුගේ හදවතටයි.

5. නිදහස් වීමට නම් අතේ පයේ ඇති විලංගු කඩා බිඳ දැමීමෙන් විතරක් බැහැ. අනෙක් අයගේ නිදහසට ගරු කරන හා ඒ නිදහස අගයන, ජීවිතයක් ගත කළ යුතුයි.

6. අනෙක් අය ඉදිරියට දමා තමා පසුපසින් සිට නායකත්වය දීම තමා වඩාත් හොඳ, විශේෂයෙන් ජයග‍්‍රහණය සමරන විට හා හොඳ දේ සිද්ධ වෙන කොට. අනතුරක් අවදානමත් ඇති විට ඔබ ඉදිරියට යායුතුයි. ජනතාව ඔබ අගය කරන්නේ එවිටයි.

7. යමක් හැම විට ම කළ නොහැක්කක්, එය කර නිම කරන තෙක්.

8. හොඳ ඔළුවක් හා හොඳ හදවතක් හැම විට ම පැරද විය නොහැකි සවිමත් සබඳතාවක්.

9. සමාජයක ආත්මය හෙළිදරවු කර ගත හැකි හොඳම මග ඔවුන් ළමුන්ට සලකන ආකාරය විමසීමයි.

10. සුන්දර දකුණු අපි‍්‍රකාවක් පිළිබඳ සිහින ඇත්නම් ඒ අරමුණුවලට ළඟා විය හැකි ඉලක්කත් තිබෙනවා. එහි යා හැකි මාවත් දෙකක් ලෙස කරුණාවන්තකම හා සමාව දීම නම් කළ හැකියි.


Post a Comment

1 Comments

  1. මැන්ඩලාට පක්ෂ වගේම විපක්ෂ ජනතාවක් යුරෝපයේ සහ අමරිකාවේ සිටින බව ඔහු ගැන වූ වීඩියෝවකට යූ බටයෙ ්ලැබී තිබුන කමෙන්ටු නැරඹීමෙන් මා වටහා ගතිමි.

    ReplyDelete