යාන්ත‍්‍රික රෙබෝ සතුන් දස්කම් විස්කම් පෑ ‘රොබොට් සෆාරි’ දක්මක්!

පසුගියදා ලන්ඩනයේ ‘රොබට් සෆාරි’ නමින් සන්දර්ශනයක් පැවැත් වුණා. ඒ සඳහා විවිධ රටවලින් අපූරු නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. ස්වයංකී‍්‍රයව කි‍්‍රයාකරන යාන්ත‍්‍රික රෙබෝ සතුන් තමයි මේ විස්මිත ප‍්‍රදර්ශනයට ඇතුළත් වුණේ.

මේ දැක්මේ සුවිශේෂත්වය වූයේ, විශාල පරිශ‍්‍රමයක් දරා රොබෝ විශේෂඥයන් විසින් නිර්මාණය කර තිබූ මේ අපූරු සතුන් දැක බලාගෙන, ඒ සතුන් සමග කි‍්‍රයාකාරම්වලට එක්වී පසුව තමාගේ රෝබෝවන් තනා ගෙන අත්දැකීම් ලැබිය හැකි ආකාරය ගැන කියා දීමට පවා කාලය වෙන් කර තිබීමයි.

ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ දී දින තුනක් තිස්සේ නොමිලයේ පැවැත් වුණු මේ රොබෝ දැක්මට යුරෝපය පුරා රටවල් කීපයකින් විස්මිත නිර්මාණ 13ක් ද ඇතුළත් වුණා. එයින් ඇතැම් නිර්මාණ ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කෙරුණේ ප‍්‍රථම වතාවටයි.

සොබාදහම අනුකරණය කරන ආකාරයටයි, මේ රොබෝලා තනා තිබුණේ. සැබෑ වවුලකු මෙන් අත්තටු ගසා පියාඹන රොබෝ වවුලෙක්, දියගොඩ දෙකෙහිම යා හැකි සැලමැන්දරාවෙක්, බළල් පාද චලනයන් අනුකරණය කළ වේගයෙන් දුවන රොබෝ චීටාවෙක් ඒ අතර කැපී පෙනුණා.

 
මේ වවුල් රොබොට්ටාට උගේ කෘති‍්‍රම අත් හා පියාපත් වවුලෙකු මෙන් හසුරුවා ගෙන රාති‍්‍ර කාලයේ දී වුවත් හොඳින් පියාසර කළ හැකියි. මෙය ප‍්‍රදර්ශනයට තැබූ පළමු වතාවයි. නිෂ්පාදනය කර ඇත්තේ ස්පාඤ්ඤයේ මැඞ්රිඞ්හී යුනිවර්සියාඞ් පොලිටෙක්නිකා ආයතනයේ ස්වයංකී‍්‍රය හා රොබෝටික මධ්‍යස්ථානය මගිනුයි.

මෙහි දී සොබාදහමේ කි‍්‍රයාකාරම් අනුකරණය කරන රොබොට්ටන් රාශියක් නරඹන්නන්ට දැක ගන්න ලැබුණා. මාළුන් මෙන් පිහිනන, කුරුල්ලන් හා වවුලන් මෙන් පියාසලන, උරගයන් මෙන් බඩගාන, රොබෝවරුන් සමග අපූරු වින්දනයක් එහි ආ නරඹන්නන්ට ලැබුණු අතර එය ඔවුන්ට සුවිශේෂ අත්දැකීමක් වුණා.

මේ ප‍්‍රදර්ශනයට දිය යට පිහිනා යන රොබෝ කැස්බෑවකු, රෝබෝ චීටා පැටියකු, සංදීප්ත රොබෝ මාළුවකු, ප්ලූරොබොට් නම් යාන්ත‍්‍රික සැලමැන්දරාවකු ද ඇතුළත් වුණා.

රොබෝ නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ කි‍්‍රයා කරන ආකාරය පෙන්වා දී මෙවැනි රොබෝවරුන් ගෙදරදී පහසුවෙන් ම තනා ගන්නා හැටි ද කියා දුන්නා. ඊට අමතරව මේ අතින් ඔවුන් ලබා තිබූ දියුණුව හා දැනුම ගැනත් නරඹන්නන්ට පැහැදිලි කළා.

 
මේ ජෙසිකෝ - රොබෝ මාළුවෙක්. සැබෑ මාළු රංචුවක් එකට පිහිනමින් ඔවුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීමට මේ රොබෝ පාවිච්චි කරන්න පුළුවන්. මේ නිර්මාණය ප‍්‍රංශයේ රොබොට්ස්විම් එස්ඒආර්එල් ආයතනයේ එකක්.

මේ ප‍්‍රදර්ශනය සමග තමන්ගේ ම සරල රොබොට්ටන් තනා රේස් දුවවන්නත් නරඹන්නන්ට හැකියාව ලැබෙන පරිදි වැඩ සටහන් ද කි‍්‍රයාත්මක කෙරුණා.

මේ ප‍්‍රදර්ශනය සංවිධානය කළ නිකොලා බර්ග්හෝල් ඒ ගැන මෙසේ අදහස් දක්වනවා: ”මේ ප‍්‍රදර්ශනය නරඹන අයට, සොබාදහම මේ රොබෝටික සැලසුම්වලට කෙතරම් ආභාසයක් සැපයුවාද යන්න ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ සජීවීරොබොටික අනුකරණයන් ඇත්තෙන් ම ඔවුන් අනුකරණය කරන සතුන් හා ශාක පිළිබඳ අප ලබන අවබෝධයත් පුළුල් කරනවා.”

මෙහි ආ චීටා රොබෝ පෙනුමෙන් චීටා වගේ නෙවෙයි. ඒත් එහිදී අනුකරණය කෙරෙන්නේ චීටාගේ පාද චලනයයි. සාමාන්‍යයෙන් බළලූන් ඇවිදින, දුවන, හැල්මේ යන විධිය තේරුම් ගන්න මේ රෙබෝ අපට උපකාර වෙනවා.

ස්විට්සර්ලන්තයේ එකෝලේ පොලිටෙක්නික් ෆෙඞ්රල් ඞී ලෝසානේ තාක්ෂණික ආයතනයේ මහාචාර්ය ඕක් ඉජ්ස්පීට් (Auke Ijspeert) කියන්නේ, රොබෝ චීටා සාම්ප‍්‍රදායික සිවුපා රොබෝවකුට වඩා වෙනස් බවයි. මෙහිදී ඒ රොබෝ අනුකරණය කරන්නේ හරියට ම බළලූන්ගේ සුවිශේෂ පාද චලනයයි. ඒ වගේ ම ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ ප්ලූවෝරොබොට් සැලමැන්දරාවකුගේ ස්නායු පද්ධතිය මගින් සංකීර්ණ චලන ඇති කරන ආකාරය දැක්වෙන නිර්මාණයක් කිරීමයි.

”අපේ ඉලක්කය ප්ලූවෝරොබොට් වැන්නකු පොසිල අධ්‍යයන විද්‍යාව සඳහා යොදා ගැනීමට ඇති හැකියාව ගැන පර්යේෂණ කිරීමයි. අප උත්සාහ කර බලන්න යනවා, ඈත අතීතයේ විසූ සිවුපා සතුන් රොබෝලා මගින් සජීවීකරණය කිරීමට.” ඒ මහාචාර්යවරයා කියනවා.

‘බැට්බොට්’ (Bat-Bot) නම් වවුල් රොබෝවන්ගේ කෘති‍්‍රම අත්හැඳි ඉතාමත් සැහැල්ලූයි. පියසැරියේ දී ඒවා ඊට සරිලන විධියට වෙනස් වෙනවා. ඒ වගේ ම ‘රොබෝ ස්පයිඩර්’ (Robo Spyder) කියා නම් කර ඇති රොබෝ මකුළුවාට සැබෑ මකුළුවකු මෙන් හැසිරෙන්න පුළුවන්. ඌට බාධකවලට මුහුණ දීමටත් ශබ්දය අනුව ප‍්‍රතිචාර දැක්වීමටත් හැකියාව තියෙනවා.

එක් රොබොවකු තනා තිබුණා, සුළෙඟ් කරණම් ගසා ගෙන යන වියළ පඳුරක ආකාරයට. එය කි‍්‍රයාත්මක කළ විට සුළඟ නැතත් සුළඟින් ගසා ගෙන යන ආකාරයට යනවා. තවත් එකක් තිබුණා, ඌට ලොඩියකු හෙවත් ජෙලි ෆිෂ් මාළුවකු චලන වන ආකරයට ජලයේ පිහිනා යා හැකි වුණා.

ඒ වගේ ම දිය යට යා හැකි රොබෝටික සතුන් රැසක් ම මේ දැක්මට ඉදිරිපත් කර තිබුණා. මුහුදු කැස්බෑවන් වගේ ම, අයිටූනා (iTuna) නම් බලයා වැනි මාළුවාද, ජෙසිකෝ නම් වූ ප‍්‍රතිදීප්ත රොබෝටික මාළුවා ද එහිදී සුවිශේෂ අවධානයට ලක් වුණා.

 
මේ ‘ප්ලූවෝරොබොට්’ යාන්ත‍්‍රික සැලමැන්දරාවා සැබෑ සැලමැන්දරාවකුගේ චලනයන් ඒ ආකාරයට ම ඉටු කරනවා. මෙහි වමේ ඇත්තේ ඒ රොබෝ සැලමැන්දරාවාගේ චලනයන් එක්ස්රේ මගින් නිරීක්ෂණය කළ අයුරුයි. දකුණේ දැක්වෙන ‘සැලමැන්දරා රොබොටිකා-2’ට පුළුවන් දියගොඩ දෙකෙහි ම එක වාගේ හැසිරෙන්න. මේ නිර්මාණය කර ඇත්තේ ඒ සතාගේ කොඳු ඇටපෙළෙහි ඇති ස්නායු පද්ධතිය කි‍්‍රයාකරන ආකාරය අධ්‍යයනය කරන්නයි.

 
‘රොබොට් සෆාරියේ’ දී ලිස්සනසුලූ සැලමැන්දරාවා බිම දිගේ බඩගා ගොස් දිය මතින් පිහිනා ගිය අයුරු. මේ රොබෝ සැලමැන්දරාවා පළමු වතාවටයි, මෙසේ ප‍්‍රදර්ශනය කෙරුණේ.

 
මේ රොබෝ චීටා පැටියා තමයි, ලෝකයේ වේගයෙන් ම දිවිය හැකි සතා, මේ කිලෝග්රෑම් 30 අඩු බර පන්තියේ. තත්පරයකට මීටර 1.42ක වේගයෙන් නොපෙරළී දුවන්න පුළුවන්. සැහැල්ලූ, එහෙත් සංකීර්ණව සැකසුණු මේ සතාට බළලකු මෙන් පා හසුරුවන්නත් පුළුවන්. දැනට මෙය භාවිත කරන්නේ බළලූන්ගේ චලනයන් අධ්‍යයනයටයි. නිර්මාණය කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ‘එකෝලේ පොලිටෙක්නික් ෆෙඩරල් ඞී ලෝසානේ’ (École Polytechnique Fédérale de Lausanne - EPFL) ආයතනයයි.

 
මේ පුරාවිද්‍යා ගවේෂණ සඳහා යොදා ගන්නා රොබෝ කැස්බෑවෙක්. දුරස්ථව මෙහෙය වන්නේ නැති ස්වයං කි‍්‍රයාකාරිත්වයක් ඇති මේ රොබෝ කැස්බෑවාට මිනිසාට යා නොහැකි මුහුදේ අනතුරුදායක තැන්වලට යා හැකියි. මතුපිටට ඒමට පෙර එයට පැය ගණනාවක් ස්වාධීනව පරීක්ෂණ කටයුතු කළ හැකියි. එස්ටෝනියාවේ ටෝලින් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ බයෝරොබටික අංශයෙන් කළ නිර්මාණයක්. එංගලන්තයේ දී මෙසේ ප‍්‍රදර්ශනයට තැබුවේ ප‍්‍රථම වරටයි.

 
මේ රොබෝ හැඳින්වෙන්නේ ‘ඩොඩෙකාරොබ්’ (Dodecarob) කියලයි. එහි අරුත දොළොස් මුණතක් ඇති වස්තුවක් හෙවත් ද්වදශතලය (Dodecahedron) යන්නයි. පාද 12ක් ඇති මෙය සුළෙඟ් ගසා ගෙන යන කරණම් ශාකයක් වගෙයි. නිර්මාණය කර ඇත්තේ රුමේනියාවේ බුකාරස්ට්හී බහුතාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසිනුයි.

 
අයිටූනා නම් මේ රොබෝ මාළුවා, ඉතා සරල, සැහැල්ලූ, නිහඬව කි‍්‍රයා කරන කෘති‍්‍රම අවයව සහිත එකෙක්. ඌට දිය යට පරිසරවලට සැබෑ මාළුන්ට නොදැනෙන්න ගවේෂණ කටයුතුවල යෙදෙන්න පුළුවන්. නිර්මාණය කළේ ස්පාඤ්ඤයේ මැඞ්රිඞ්හී යුනිවර්සියාඞ් පොලිටෙක්නිකා ආයතනයේ ස්වයංකී‍්‍රය හා රොබෝටික මධ්‍යස්ථානයයි.








Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. බොහොම වටිනා දැනුම් සම්භාරයක් රැගත් ලිපියක් . ලංකාවත් ඔය වගේ නව නිපැයුම් නැතුව නෙමෙයි. එත් ඒවා ලෝකයට එලි වෙන්නේ නෑ. ඇත්තම කියනවනම් ලෝකයට එලි වෙන්න දෙන්නේ නෑ. එක ඉතින් අපේ ඉතිහාසයේ ඉඳන් එන සිංහල කමේ ලක්ෂණයක් නේ.

    ReplyDelete
  2. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete