ඌරකු වැනි සතකු පසුපස ගොස් සොයා ගත් වසර 10,000ක් පැරණි ලෙන් චිත‍්‍ර

මිනිසුන්ව වස්තුව තියෙන තැන්වලට රැගෙන යාම ගැන ඌරන් හරිම ප‍්‍රසිද්ධයි. සමහර අවස්ථාවල ආහාරයට ගන්නා සුවඳ හතු විශේෂයක් සොයා ගන්න ඔවුන් උදවු කරනවා. පොළොව යට වැඩෙන මේ හතු ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරයක් නිසා මේ සතුන් පසුපස ගිහින් මිනිසාටත් ඒ හතු කෑමට ගන්න නම් ඌරන්ගේ සහය අවශ්‍ය වෙනවා.

මේ හතු සොයන්න ඌරන්ට වඩා දක්ෂ සත්ව විශේෂයක් දකුණු ඇමරිකාවේ ඉන්නවා. ඒ තමා පෙනුමෙන් ඌරකුට සමාන පෙකරියන්. සුදු පැහැති හොම්බක් ඇති පෙකරියා (peccary) ‘මැක්සිකානු ඌරා‘ කියාත් ව්‍යවහාර වෙනවා. මේ පෙකරියකු මෑත දී ඊට වඩා විස්මිත හපන්කමක් කළා. ඒ විද්‍යාඥ පිරිසකට වසර 10,000ක් පැරණි චිත‍්‍ර ඇති ලෙනක් සොයා දීමයි. මේ පෙකරියන් පසුපසින් හතු සොයා ගිය විද්‍යාඥ පිරිසකට තමයි, බ‍්‍රසීලයේ සෙරාඩෝ (Cerrado) සානුවේ දී මේ අපූරු ගුහා චිත‍්‍ර හමු වුණේ.

 
ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් ඉන්ස්ටිට්යුටෝ ක්වින්ටා ඩි සොල් නම් රාජ්‍ය නොවන දේශීය සංවිධානය හා එක්ව තමයි, මේ ඉපැරණි ලෙන් චිත‍්‍ර සොයා ගත්තේ. ඔවුන් එසේ ගියේ බ‍්‍රසීලයේ දී හමුවන සුදු හොම්බක් ඇති පෙකරියන් පිළිබඳ තොරතුරු සොයන්නයි. මෙහි චිත‍්‍රයෙන් දැක්වෙන්නේ විශාල බිළාලයකු ගොදුරකට ළං වන අයුරුයි.

වසර දහස් ගණනක් පැරණි මේ චිත‍්‍රවලින් දැක් වුණේ ආමෙඩිලාවන්, කුරුල්ලන් හා උරගයන් ආදී සතුන්ය. ඒ හැරෙන්නට ජ්‍යාමිතික රූපවල හැඩතල ද මේ වැලිගලෙහි කොටා තිබුණා.

මේ චිත‍්‍ර ඇතුළත් ලෙන් සොයා ගනු ලැබුවේ ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් ඉන්ස්ටිට්යුටෝ ක්වින්ටා ඩි සොල් නම් රාජ්‍ය නොවන දේශීය සංවිධානය හා එක්ව බ‍්‍රසීලයේ දුර බැහැර වනගත පෙදෙසක කළ සංචාරයකදීයි. මේ ලෙන් සොයා ගැනීමට හැකි වූයේ ඔවුන් බ‍්‍රසීලයේ සෙරාඩෝ සානුවෙහි කළ සංචාරයේදියි. මෙම ලෙන් පිහිටයේ බ‍්‍රසීලයේ පැන්ටනාල් ප‍්‍රාන්තයට ආසන්නවයි.

”අපට බොහෝ විට ඈත දුර ප‍්‍රදේශවලට යන්නට සිදු වන නිසා මේ වගේ විස්මිත සොයා ගැනීමට හැකිවෙනවා. මේ අවස්ථාවේදී අපට සොයා ගැනීමට හැකි වූ දේ මානව සංස්කෘතික ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලැබීමට උදවු වේවි කියලයි අපි හිතන්නෙ.” යයි ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ බ‍්‍රසීල වැඩසටහනට එක්වූ පර්යේෂකයකු වූ ආචාර්ය ඇලෙක්සීන් කියුරෝලියන් (Alexine Keuroghlian) කියනවා.

 
මිනිසාගේ වනාන්තර විනාශයත්, දඩයම් කිරීමත් නිසා පෙකරියන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා! ඔවුන් දැනටමත් විසිරී ජීවත්වුණු දකුණු මැක්සිකෝවේ සිට උතුරු ආජෙන්ටිනා දක්වා ප‍්‍රදේශයෙන් විශාල වශයෙන් වඳ වී ගිහින්.

මෙම පෙකරියන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ම මිනිස් කි‍්‍රයාකාරම් නිසයි. ඒ දඩයම් කිරීමත් කැළෑ එළි කිරීමත් නිසයි. මේ සතුන් විශාල වශයෙන් විසිරී ජීවත්වනු කලකට ඉහත දී දක්නට ලැබුණා, දකුණු මැක්සිකෝවේ සිට උතුරු ආජෙන්ටිනාව දක්වා. එහෙත් අද ඔවුන් වඳ වී ගිහින්, විශාල වශයෙන් වගා කිරීම සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා.

සුදු හොම්බැති පෙකරයන්ට රේඩියෝ කරපටි පලඳවා ඔවුන් පිළිබඳ තොරතුරු රැස් කරන්නයි, ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් පිරිසක් එහි ගියේ. පෙකරියන් රංචු සොයා යද්දී තමයි, ඔවුන්ට චිත‍්‍ර ඇඳපු මේ ඉපැරණි ගල් ලෙන් හමු වී ඇත්තේ.

මේ පිරිසට අයත් ආචාර්ය ඇලෙක්සීන් කියුරෝලියන් ඔවුන්ගේ මේ සොයා ගැනීම ගරන ලෙන් චිත‍්‍ර පිළිබඳ කලාපීය විශේෂඥයකු වූ මහාචාර්ය රොඞ්රිගු ලූයී සිමාස් ඞී ඇගුවර් (Rodrigo Luis Simas)මහාචාර්ය වරයා විශ්වාස කරන්නේ, මේ චිත‍්‍ර මීට වසර 4000ටත්, 10,000ත් අතර කාලයකට පෙර ආහාරය සඳහා දඩයම් කරමින්, පලවැල රැස් කරමින් ජීවත් වූ ආදිම මිනිසුන් විසින් අඳින ලද ඒවා කියායි. එක්කෝ ඔවුන් මේ ලෙන්වල ජීවත් වෙලා තියෙනවා, නැත්නම් චිත‍්‍ර ඇඳීම සඳහා මේ ගල්ගුහා යොදා ගෙන තියෙනවා.

මහාචාර්ය ඇගුවර් කියන විධියට මේ චිත‍්‍ර ශෛලිය මධ්‍යම බ‍්‍රසීලයේ පිහිටි ප්ලැනල්ටෝ සානු බිම් ප‍්‍රදේශයෙහි හමු වී ඇති චිත‍්‍ර ශෛලියට බොහෝ සේ සමානයි.

එහෙත් පුදුමයට කරුණක් වන්නේ සමහර චිත‍්‍ර නෝඩෙස්ට් (Nordeste) හා ඇග්රෙස්ට් (්ටරුිඑැ* යන චිත‍්‍ර සම්ප‍්‍රදායන්ට සමාන වීමයි. ඒ ශෛලීන් කලකට ඉහත දී වයඹදිග බ‍්‍රසීලයෙන් හමු වූ සාම්ප‍්‍රදායයන්. මෙහි ඇති විස්මිත දෙය නම් පෙකරියන් මේ චිත‍්‍රවලට ඇතුළත් නොවීමයි.

මහාචාර්ය ඇගුවර් බලාපොරොත්තු වෙනවා, මෙහි කැණීම් කරන්න. ඒ සමඟ ම මේ බිම්වල භූ විද්‍යාත්මක දින නිර්ණයක් කරන්න. ඒ අනුව මේ චිත‍්‍ර පිළිබඳ සම්පූර්ණ ආර්ථකථනයක් දීමට ඔහු අපේක්ෂා කරනවා.

”මේ ලෙන් චිත‍්‍ර සොයා ගැනීම නිසා මේ සෙරාඩෝ හා පැන්ටනල් පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම වඩාත් තහවුරු වෙනවා. ඔවුන්ගේ සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලියි.” ඒ ගැන සඳහන් කරන ලෝක වනජීවී සංරක්ෂණ සංගමයේ ලතින් ඇමරිකානු හා කැරිබියානු වැඩ සටහනෙහි අධ්‍යක්ෂ ආචාර්ය ජූලී කූනෙන් අවධාරණය කරනවා. එයා මායා පුරාවස්තු ගැන විශේෂඥවරියක්.

 
සෙරාඩෝ සානුවේ ගල් ලෙනක් තුළින් හමු වූ චිත‍්‍රවලින් කොටසක්.

 
වසර දහස් ගණනක් පැරණි මේ චිත‍්‍රවලින් දැක් වුණේ ආමෙඩිලාවන්, කුරුල්ලන් හා උරගයන් ආදී සතුන්ය. ඒ හැරෙන්නට ජ්‍යාමිතික රූපවල හැඩතල ද මෙහි දැකිය හැකි වුණා. මේ එහි තිබූ මිනිස් රුවක් බඳු චිත‍්‍රයක්.

බ‍්‍රසීලයේ සෙරාඩෝ සානුව පිහිටි ප‍්‍රදේශය ගැන තතු බිඳක්

  • සෙරාඩෝ කියන්නේ බ‍්‍රසීලයේ පිහිටි ඝර්ම කලාපීය සවානා බිම් ප‍්‍රදේශයක්. ඒ රටට අයත් මුළු බිම් ප‍්‍රදේශයෙන් සියයට 21ක් ඊට ඇතුළත් වෙනවා. 
  • වඳ වී යාමේ අවදානමට ලක් වූ සතුන් විශේෂ 60ක් එහි ඉන්නවා. එයින් 20කට මේ තර්ජනය සෑහෙන ප‍්‍රමාණයකින් එල්ල වී ඇති අතර 12කට ඉතා දරුණු ලෙස මේ අවදානම එල්ල වී තියෙනවා.
  • එහි ඇති ශාක විශේෂවලින් සියයට 44ක් ලොව කිසිම තැනක දක්නට නොලැබෙන ඒවායි.
  • එහි ඇති ශාක විශේෂ 300ක් පමණ මිනිසා විසින් ප‍්‍රයෝජනයට ගනු ලබනවා, එක්කෝ ආහාර වශයෙන් නැත්නම් ඖෂධ වශයෙන්. ඒ හැරෙන්නට අත්කම් සඳහාත් ඇතැම් ඒවා යොදා ගන්නවා. කෙළින් ම ශාක ලෙසින් ම අලෙවි කරන ඒවාත් තියෙනවා.
  • බ‍්‍රසීලයේ ජනගහනයෙන් දහයෙන් නවයක් ම පාවිච්චි කරන්නේ මේ සෙරාඩෝ ප‍්‍රදේශයෙන් නිපදවන ජල විදුලියයි.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments