HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිදුහත් කුමරු උපන් තැන පැරණි පන්සල මතුවෙයි! එය ගසක් වටා තැනූ විහාරයක්!

බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූයේ තැනත්, එය සිදුවූ කාලයත් තහවුරු කර ගත හැකි සාක්ෂි පසුගියදා ලූම්බිනියේ කළ කැණීම්වලින් මතු වී තියෙනවා.

බුදු උපත සිදු වූයේ මෙතෙක් පිළිගෙන ඇති පරිදි කි‍්‍රස්තු පූර්ව 4 වන සියවසේදී නොව කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේදී බැව් මේ පිළිබඳව නේපාලයේ කැණීම් කළ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් පසුගියදා හෙළිදරවු කර ගෙන තියෙනවා.

මේ සොයා ගැනීම කර ඇත්තේ එංගලන්තයේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කනින්හැම් ප‍්‍රමුඛ 15 දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥයන්ගේ කණ්ඩායමක් විසිනුයි. නේපාලයේ ලූම්බිනිහී පිහිටි මායා දේවි පන්සල් භූමියෙහි කළ කැණීම්වලදියි, මේ විස්මිත සොයා ගැනීම කරන්නට ඒ විද්‍යාඥ පිරිස සමත් වූයේ. මෙම පන්සල් භූමිය මේ නමින් හැඳින්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෑණියන් වූ මහා මායා දේවිය සිහිපත් කරනු පිණිසයි.


මෙම කණ්ඩායමට නායකත්වය දෙන මහාචාර්ය රොබින් කනින්හැම් ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවේ කැණීම්වලට ද ක්ෂේත‍්‍ර මට්ටමෙන් උපදේශකයකු වශයෙන් වසර කීපයකට පෙර සහභාගි වූ අයෙක්. එසේ සහභාගි වූයේ අනුරාධපුර රාජධානිය හා ඒ අවට ප‍්‍රදේශයේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලටයි. එහිදී ඉපැරණි බෞද්ධාගමික නටබුන් ගැනත් විහාරාරාම වලින් ලංකාවේ වාර්මාර්ග පද්ධතියට ලැබුණු දායකත්වය පිළිබඳවත් තොරතුරු හෙළිදරවු කර ගනු ලැබුවා.

නේපාලයේ ඇති මෙම සිද්ධස්ථානය වසර 2600කටත් වඩා පැරණි ලොව පැරණි ම පන්සල්වලින් එකක් සේ සැලකෙනවා. මෙතෙක් කලක් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ තැන ලෙස ලොව පුරා බොදු බැතිමතුන් වන්දනාමාන කරන මේ ස්ථානය පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේ පළමු වතාවට බව කැණීම් කළ කැනින්හැම් ප‍්‍රමුඛ විද්‍යාඥ පිරිස විසින් ප‍්‍රකාශ කර තියෙනවා. මේ නිගමනයට ඔවුන් එළඹ ඇත්තේ කැණීම්වලදී මතු කර ගත් පුරාවස්තු නවීන විද්‍යානුකූලව කාල නිර්ණයට අනුව පරීක්ෂා කිරීමෙන් පසුවයි.

මෙම ස්ථානය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන්නක්. සිදුහත් කුමරුගේ උත්පත්ති ස්ථානය ලෙස විශ්වාස කරන ලූම්බිනි මේ මායා දේවි පන්සල් භූමිය බුදුන්වහන්සේ ජීවිතයේ මුල්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය ලෙස සැලකෙනවා.

ශී‍්‍ර ලංකාවෙන් පමණක් නොව ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, තිබ්බතය, කාම්බෝජය වැනි පෙරදිග රටවලින් ද බටහිර රටවල රටවලින් ද බෞද්ධ බැතිමතුන් දස දහස් ගණනක් දිනපතා මේ ස්ථානයට වැඳුම් පිදුම් කරන්නට මෙහි පැමිණෙන නිසා මේ ස්ථානය ඉතාමත් ජනාකීර්ණ තැනක්.

බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම මෙම ශුද්ධ භූමියෙහි කැණීම් කටයුතු කළේ බොදු බැතිමතුන්ගේ හා භික්ෂූන් වහන්සේලාගේ වන්දනාමානවලට බාධා නොවන පරිද්දෙනුයි. ඔවුන්ට මේ සඳහා නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සැලසුම්කරුවන්ගේ සහය ලැබුණා.


බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායමේ සාමාජිකයන් මේ ස්ථානයේ කැණීම්වලට හා නිරීක්ෂණ කටයුතුවලට ගියේ එහි වන්දනාවේ යන බැතිමතුන් මෙන් ම පාවහන්වලින් තොරව හෝ සෙරෙප්පු පමණක් භාවිත කරමින්. ඔවුන් මෙහි කැණීම්වලදී ඉතාමත් අසීරු යැයි සැලකෙන ශීත ඍතු තුනක් ඇතුළත්ව වසර තුනක් මෙහි කැණීම්වල නිරත වී තියෙනවා.

බුද්ධත්වයට පත් වීමෙන් පසු ගෞතම බුද්ධ යනුවෙන් හැඳින්වුණු සිදුහත් කුමරුන්ගේ මහා මයා දේවිය එකල චාරිත‍්‍රවලට අනුව කුමාරෝත්පත්තිය සඳහා මව්පියන් වෙත යමින් සිටියදී අතරමග ලූම්බිනි සල් උයනේ දී මෙහි වූ ගසක අත්තක් අල්ලා ගෙන කුමරුන් බිහි කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

මහාචාර්ය කනින්හැම් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩායම විශ්වාස කරන්නේ මෙම විහාරය ඇතුළේ මැද ඇති විවෘත කොටසෙහි දී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නට ඇතය කියායි. එහි වූ ඒ ගස වටා ඈත අතීතයේ දී පන්සලක් ඉදිකරන්නට ඇතැයි යන විශ්වාසය මතයි, ඔවුන් මේ කැණීම් සිදු කළේ. එහිදී ඔවුන්ට ඒ ගසේ කොටස් පවා හමු වී තිියෙනවා.

මහාචාර්ය කනින්හැම් පවසන්නේ බෞද්ධ ආගමික පිළිගැනීම් තුළ සිදුහත් උපත සිදු වී ඇත්තේ කි‍්‍ර.පූර්ව 4 සියවසේ දී හෝ කි‍්‍ර. පූර්ව 7 හෝ 8 වැනි සියවස්වල දී සඳහන් වුවත් ඔවුන්ගේ අලූත් ම කැණීම් හා සම්බන්ධ නිරීක්ෂණවලින් එය සිදුවන්නට ඇත් ස්ථිරව ම කි‍්‍රස්තු පූර්ව 6 වන සියවසේ දී බව තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවයි.

”මේ සොයා ගැනීම බෞද්ධ පුරාවිද්‍යාව අතින් සිදු කළ විශිෂ්ට එකක්. කලින් කැණීම්වලින් මේ ස්ථානය නිශ්චිත ලෙස හඳුනා ගනු ලැබුවත් ගසක් වට කොට ඉදි කළ ඒ පැරණි පන්සල කෙබඳුදැයි දැන් අපට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා.” යනුවෙන් මහාචාර්ය රොබින් කනින්හැම් ඒ පිළිබඳ ව කරුණු පැහැදිලි කරනවා.

මේ ස්ථානයේ නව කැණීම් කටයුතුවලට අරමුදල් සපයන ලද්දේ නේපාල රජයත් සමග ජපාන රජයත් ඇති කර ගත ගිවිසුමක් අනුව යුනෙස්කෝ ව්‍යාපෘතියක් හැටියටයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙහි පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු හා පන්සල් භූමියේ කළමනකාරණය විධිමත් කිරීමයි.

 
සිදුහත් කුමරුන් උපන් තැන ලෙස ලොව පුරා බොදු බැතිමතුන්ගේ වන්දනාමනයට පාත‍්‍ර වී ඇති නේපාලයේ මායා දේවි පන්සල දැනටත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ස්ථානයක්.

 
බුදුන්වහන්සේගේ උපත සිදු වූයේ කි‍්‍රස්තු වර්ෂ 6 වන සියවසේ බැව් පුරාවිද්‍යාඥයන් විසින් සොයා තහවුරු කර ගෙන ඇත්තේ මෙම ස්ථානයේ කරන ලද කැණීම්වලින්.

 
මහාචාර්ය කනින්හැම් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයන්ට ලූම්බිනියේ පැවති සල්ගස වටා ඉදිකර තිබූ ඉපැරණි පන්සල හමුවූ ස්ථානය.



Post a Comment

1 Comments