HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 50කට පෙර කෙනඩි ඝතනය දුටු අපූරු පුවත්පත් කලාවේදියාගේ ඇසින් දුටු කතාව!

මීට පනස් වසරකට පෙර, 1963 නොවැම්බර් 22 වැනිදා, ඇමෙරිකාවට අඳුරු දිනයක් විය. ඇමෙරිකන් ජනපති ජෝන් එෆ් කෙනඩි, ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර සංචාරයක යෙදී සිටිද්දී ඝාතනයට ලක් වූයේ එදාය.

එම සිදුවීම් පෙළ සියැසින් දැක, එය වාර්තා කිරීමට අවස්ථාව උදා වූයේ ලොව එකම එක මාධ්‍යවේදියකුට පමණි. ඔහු හියු අයින්ස්වර්ත්ය. අහම්බෙන් සිදුවුවත් එය තමා ලැබූ වාසනාවක් යැයි අයින්ස්වර්ත්ගේ විශ්වාසයයි. එහෙත් සිදු වීම ඔහු වවාගෙන කෑවේ නැත. එදා ඔහු සේවය කළ පුවත්පතට ඒ වාර්තාව සැපයුවා හැරෙන්නට ඔහු ඒ පිළිබඳ පොතක් ලියන්නැයි ඉල්ලීම් කළ ලෝක ප‍්‍රකට ප‍්‍රකාශකයන්ට බැහැයි කීවේ විශාල මුදලක් හම්බ කර ගන්න පෑදුණු ඉල්ලමට පයින් ගසමිනි.

ඒත් අද ඔහු නිහඬව පොතක් ලියා ඇත. ඒ යටකී ලෝක ප‍්‍රකට ආයතනවලට නොව අප‍්‍රකට ප‍්‍රකාශකයකුටය. ඒ වාර්තා කර තැබීමේ අවශ්‍යතාව සඳහා පමණය. මේ හියු අයින්ස්වර්ත් උත්තම ගණයේ පත්තර කාරයකු ලෙස සැලකිය යුත්තේ ඒ නිසාය.

කෙනඩි ඝාතනයේ 50 වැනි සැමරුම එළඹෙන 22 වැනිදාට යෙදෙන අතර, ඒ නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඬේලිටෙලිග‍්‍රාෆ් පුවත් සේවයේ මාධ්‍යවේදී නයිජල් රිචඞ්සන්, හියු අයින්ස්වර්ත් හමුවීමට ගොස් ඔහු සමඟ පිළිසඳරේ යෙදී විශේෂාංග ලිපියක් සකස් කළේය. මේ, සැකැසෙන්නේ ඒ ඇසුරෙනි.

දෛවය හරිම පුදුමාකාරය! මීට පනස් වසරකට පෙර, එනම් 1963 වසරේ නොවැම්බර් 22 වැනිදා, ජනපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි තබා ඝාතනය කරද්දී, තිස් දෙහැවිරිදි හියු අයින්ස්වර්ත්, ‘ඩලාස් මෝනිං නිවුස්’ පුවත්පතේ වාර්තාකරුවෙක් ලෙස රැකියාව කළේය.

එදින උදේ, අයින්ස්වර්ත් සිටියේ සිත් අමනාපයෙනි. ඊට හේතුව, ජනපතිතුමාගේ ඩලාස් නුවර සංචාරය වාර්තා කිරීම ඔහුට පැවැරී නොතිබීමය. අයින්ස්වර්ත් උදෑසන ආහාරය ගත්තේ පුවත්පත් ආයතනයේ ආපන ශාලාවේ දීය. අහම්බෙන් මෙන්, එදා ඔහු අසල ජැක් රූබී නමැත්තා ද අසුන් ගෙන සිටියේය. ජැක් රූබී, ඩලාස් නුවර රාතී‍්‍ර සමාජශාලා හිමිකරුවෙක් විය. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු යැයි පසුව හෙළි විය. ඒ, ඔහුට එරෙහි නඩුව පැවැත්වෙද්දීය.

ජනපති කෙනඩි රැගත් රිය පෙරහැර, පුවත්පත් ආයතනයේ සිට මීටර් කිහිපයක් දුරින් පිහිටි ඬේලි ප්ලාසා වෙත පැමිණෙනු දැකගන්න ජැක් රූබීට ඕනෑ විය. ‘ජනපතිවරයකු දකින්න ලැබෙන්නේ කලාතුරකින්’ යි කියමින් ඔහු ඬේලි ප්ලාසා දෙසට ගියේය. හියු අයින්ස්වර්ත් ද ඉබේටම වාගේ ඒ දෙසට ඇදී ගියේය.

පළමු වෙඩිල්ල පත්තු වෙද්දී, අයින්ස්වර්ත් සිතුවේ, එය ජනපති මෝටර් රථ පෙළේ ගමන් කළ පොලිස් යතුරු පැදියක සයිලන්සරයක සිරවුණු දුම් ගුලි නිසා නැගුණු හඬක් යැයි කියාය. එදා, ජනපතිගේ රථ පෙළ සමඟ පමණක් නොව, මඟ දෙපසත් බොහෝ පොලිස් යතුරු පැදි දකින්න ලැබුණි. දෙවැනි සහ තෙවැනි වෙඩි හඬවල් ඇසෙද්දී, ඒවා වෙඩි හඬවල් බව අයින්ස්වර්ත්ට වැටහෙන්නට වැඩි වේලාවක් ගත නොවිණි යැයි ඔහු අතීතය සිහිපත් කරමින් කියයි. ජනපති ඝාතනයට ගත වුණේ තත්පර කිහිපයක් පමණක් වුවත්, එම සිදුවීම ඇමෙරිකන් ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය. ඉතිහාසය වෙනස් විය. හියු අයින්ස්වර්ත්ගේ ජීවිතය ද මුළුමනින් ම වෙනස් විය. ඔහු මේ සියල්ල මා සමඟ පැවැසුවේ ඩලාස්හි ඔහුගේ නිවසට මා ගිය අවස්ථාවේදීය.

‘ඉතිහාසය වෙනස් කළ සිද්ධියක් සියැසින් දැකීම’ යන්නට හොඳ ම උදාහරණය අයින්ස්වර්ත් යැයි කීවොත් එය නිවැරදිය. කෙනඩි ඝාතනය, ලී හාවි ඕස්වල්ඞ් අල්ලා ගැනීම සහ පසුව ජැක් රූබි කළ වෙඩි තැබීමෙන් ලී හාවි ඕස්වල්ඞ් මියයෑම යන සිදුවීම් සියල්ල වාර්තා කිරීමට ඒ ඒ ස්ථානවල සිටි එක ම මාධ්‍යවේදියා වූයේ අයින්ස්වර්ත්ය. ඩලාස් නගරය මේ වන විට කෙනඩි ඝාතනයේ 50 වැනි සැමැරුමට සූදානම් වෙයි. අද 82 හැවිරිදි වියෙහි පසු වන අයින්ස්වර්ත් එදා තමා දුටු දේ ගැන විස්තර කරන්නේ මහත් වූ ආඩම්බරයකිනි.

එදා, මීට වසර 50 කට පෙර ටෙක්සාස් ජනපදයේ ඩලාස් නුවර අද මෙන් නොව, රතු මස්වලට බෙහෙවින් පි‍්‍රය කරන, ගතානුගතික ජනතාවගෙන් පිරුණු නගරයක් විය. එහෙයින් මධ්‍යස්ථ මතධාරියකු වූ ඩිමොක‍්‍රටික් පාක්ෂිකයකු වූ කෙනඩි ඩලාස් නුවරට පැමිණීම ගැන බොහෝ දෙනාගේ පැහැදීමක් නොතිබුණි. ‘ජනපති මැරූ නගරය’ යන නමින් අද හැඳින්වෙන ඩලාස් නගරය එදා මෙන් නොව මුළුමනින් ම පාහේ වෙනස් වී ඇතැයි අතීතය සිහිපත් කරන බොහෝ දෙනා පවසති.


කෙනඩි ඝාතනයත් සමඟ ඩලාස් නගරය ජනපි‍්‍රය වූ බව කාටත් නොරහසකි. ‘ඩලාස් කවුබෝයිස්’ රගර් කණ්ඩායම ලෝ පුරා ප‍්‍රසිද්ධය. කෞතුකාගාර සහ කලාගාර 160 කින් සමන්විත ඩලාස් නගරයේ ඇමෙරිකාවේ ධනවත් ම සමාගම් 500 ක් පිහිටුවා තිබේ. තමන් ඩලාස් නගරය තෝරා ගෙන ඇත්තේ ‘ලොකු ලොකු දේවල් සිදුවන නගරය’ යන ඩලාස් නිසා යැයි ඔවුහු කියති.

කෙනඩි ඝාතනය නිමිත්තෙන් ලබන 22 වැනිදා පැවැත්වීමට සැලැසුම් කර ඇති විශේෂ ගුණ සැමරුමට තමා සහභාගි නොවන බව එයින්ස්වර්ත් කියයි. ගුණ සැමරුම පැවැත්වෙන්නේ වෙඩි තැබීම සිදුවුණු ඩලාස් ප්ලාසා ඉදිරිපිටය. එම ගුණ සැමරුමට සහභාගි විය හැක්කේ ප‍්‍රවේශපත් මගිනි. ඒ සඳහා නිකුත් කෙරන්නේ ප‍්‍රවේශපත් 5,000ක් පමණි. සැමරුම පැවැත්වෙන්නේ අධි ආරක්ෂාවක් යටතේය. හේතුව, කෙනඩි ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පළ කරන ඇතැමුන් එම ගුණ සැමරුමට බාධා කරාවි යැයි පොලිසිය විශ්වාස කිරීම නිසාය. ”සැමරුම අතරතුරේ එවැනි අයකු කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් තමන් ලියූ පොතක් විකුණා ගැනීමට තැත්කළොත් කුමක් වේවිද? ඩලාස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනීවි.”

එවැනි පොතක් මේ අවස්ථාව දී අයින්ස්වර්ත් ද ලියා ඇත. එහි එදා තමා සියැසින් දුටු දෑ ඒ ආකාරයෙන් ම ලියා තිබේ. එහි නම් කර ඇත්තේ ‘නොවැම්බර් 22, 1963: විට්නස් ටු හිස්ටරි’ (1963 නොවැම්බර් 22 වැනිදා: ඉතිහාසය සියැසින් දැකීම) කියාය. කෙනඩි ඝාතනය පිළිබඳ පරීක්ෂණය සිදු කළ වොරන් කොමිසම, එහි වාර්තාවේ සඳහන් කර තිබූ ආකාරයට වෙඩි තැබීමට සම්බන්ධ වූයේ එක් වෙඩික්කරුවකු පමණකි. ඒ ලී හාවි ඔස්වල්ඞ්ය. එය අයින්ස්වර්ත්ගේ කෘතියෙන් ද සනාථ වෙයි. කෙනඩි ඝාතනයට අපරාධ කල්ලි කිසිවක් හෝ එවකට උප ජනපති ජොන්සන්, ෆිදෙල් කස්ත්‍රෝ හෝ එෆ්.බී.අයි. ආයතනයේ පුරෝගාමියා ජේ.එඞ්ගර් හූවර් හෝ පිටසක්වළ ජීවීන් හෝ සම්බන්ධ නැති බව අයින්ස්වර්ත්ගේ කෘතියෙන් අවධාරණය කරයි. අයින්ස්වර්ත් පවසා ඇත්තේ, ඔස්වල්්ඞ් සහ රූබී එකිනෙකා හඳුනන්නේ නැති පුද්ගලයන් දෙදෙනකු කියාය.

එහෙත් මේ වසර මුලදී මාධ්‍ය ආයතන මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමෙරිකානුවන්ගෙන් සියයට 59 දෙනෙකු තවමත් විශ්වාස කරන්නේ එහිදී ඔස්වල්ඞ් තනිව ම කටයුතු නොකළ බවය. ඒත් අනෙක් කෘති මෙන් නොව, අයින්ස්වර්ත්ගේ කෘතියට සාහිත්‍යමය වටිනාකමක් ඇත. එහි බොරු පුරාජේරු හෝ වැල්වටාරම් ඇත්තේ ද නැත. ඇත්තේ ඔහු සියැසින් දුටු දෑ පමණය.

අයින්ස්වර්ත්ගේ නිවස පිහිටා ඇත්තේ, ඇමෙරිකන් ජනපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ නිවසට නුදුරිනි. මා ඔහුගේ නිවසට රැගෙන ගියේ, කළු ජාතික කුළී රථ රියැදුරෙකි. ඔහු ඩලාස්හි පදිංචියට පැමිණ ඇත්තේ, අපි‍්‍රකානු රටක් වන ටෝගෝ සිටය. කෙනඩි ඝාතනය වෙද්දී ඔහුගේ වයස අවුරුදු 11 කි. එදා සිදුවූ දේ ඔහුට අද මෙන් මතක යැයි කියා සිටියේය.

වසර ගණනාවක් ගත වුණත්, කෙනඩි ඝාතන සිදුවීම සහ ඊට අදාළ සිදුවීම් වාර්තාකරණය තම ජීවිතේ වෙනස් කළ බව අයින්ස්වර්ත් පැහැදිලි කරයි. ‘මා විවිධ මාතෘකා යටතේ පුවත් වාර්තා කළා. ජාතික පුවත්පත් රැසකට සම්බන්ධ වී රාජකාරි කළා. සඟරාවලට සම්බන්ධ වුණා. ගවේෂණාත්මක පුවත් ලියුවා. විශේෂාංග ලියුවා. ඒත් කෙනඩි ඝාතන සිද්ධිය මගේ මුළු ජීවිතය ම වෙනස් කළා. ඒ සිදුවීම මතක් වෙද්දී කවුරුත් කතා කළේ මගේ නමත් ඊට ඈඳා ගනිමින් යැයි හෙතෙම කියයි. පුලිට්සර් සම්මානය වෙනුවෙන් ද අයින්ස්වර්ත්ගේ නම සිව්වරක් අවසන් වටයට යෝජනා වී ඇත.


”ඇත්ත. කෙනඩි ඝාතනය මෙයාගෙ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් කළා තමා.” යැයි අයින්ස්වර්ත්ගේ බිරිය පෝලා පැවැසුවේ, අපේ කතාබහට සම්බන්ධ වෙමිනි. ඇය විසිත්ත කාමරයට පැමිණියේ අපට අයිස් තේ රැගෙනය. ඇය පූසා උන් තැනින් එළවා දමමින්, අයින්ස්වර්ත් අසලින් වාඩි වුණාය. ”හරිම පුදුම දෙයක් එදා සිදු වුණේ. හරිම පුදුමයි! ඔහු එදා ඒ සිදු වීමට සම්බන්ධව හැම තැනක ම හිටියා.” ඇය කීවාය.

‘එදා ඔහුට වාසනාව පෑදුණේ අහම්බෙන්. වාර්තාකාරයකුට ලැබෙන වාසනාවක්! වෙඩි ප‍්‍රහාරයත් සමඟ ඔහු තුළ වූ වාර්තාකාරයකුගේ සහජ ඉව කි‍්‍රයාත්මක වුණා. ඒ වෙලාවේ ඔහුගේ අතේ පෑනක් පොතක් තිබුණේ නැහැ. ඔහු ළඟපාත සිටි දරුවකුගෙක් පැන්සල් කැබැල්ලක් අරගත්තා සත 25 ක් දීලා. සාක්කුවේ තිබුණු බිල් පතකයි, තමා දුටු දේවල් සටහන් කර ගත්තේ.’

ජනපති කෙනඩි සහ පිරිස ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරු හමුවී කතාබහ කළ පළමු වාර්තාකරු ද අයින්ස්වර්ත්ය. එම සාක්ෂිකරු ජල නළ කාර්මික ශිල්පියකු වූ හොවාඞ් බ්‍රෙනන්ය. ඔහු සිටියේ පාරේ අනෙක් පැත්තේ පිහිටි හූස්ටන් වීදියේ ටෙක්සාස් පාසල් පෙළපොත් ගබඩාව ඉදිරිපිටය. එදා වෙඩි තැබීම සිදු වූයේ දහවල් 12.30ටය. ”මං වෙඩික්කරුව දැක්කා. ඔහු ඒ මොහොතේ සිටියේ මරණ බයෙන්. ඔහු තොප්පියක් පැලඳ සිටියා. වෙඩික්කරුව මං දැක්කේ උඩු මහලේ ජනේලය අසලයි හිටියේ. මං ඔහුව හොඳටම දැක්කා.’ යැයි හොවාඞ් බ්‍රෙනන් පවසා තිබේ.

හොවාඞ් බ්‍රෙනන් ලබා දුන් තොරතුරු අනුව, ටෙක්සාස් පාසල් පෙළපොත් ගබඩාවේ සයවැනි මහලේ සිටි වෙඩික්කරුගේ විස්තරයක් පොලිස් පණිවුඩ හුවමාරු ඔස්සේ ප‍්‍රසිද්ධ කෙරුණි. ඒ වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් ගත වෙද්දීය. එම පණිවුඩය අසන්න ලැබුණු පොලිස් නිලධාරී ජේ.ඞී. ටිපිට්, ඕක් ක්ලිෆ් නමැති ස්ථානය පසුකර යද්දී, පණිවුඩයේ සඳහන් විස්තරයට ගැළපෙන අයකු මුණ ගැසුණි. ඒ තැනැත්තා ඔස්වල්ඞ් විය. ඔස්වල්ඞ් ටිපිට්ට වෙඩි තබා පළා ගියේය.

ජේ.ඞී. ටිපිට්ගේ මරණය ගැන දැනගත් සැණෙන් අයින්ස්වර්ත් එම ස්ථානයට ගියේය. ඒ, කෙනඩි ඝාතනය සහ පොලිස් නිලධාරියාගේ ඝාතනය අතර සම්බන්ධයක් තිබිය හැකි යැයි අනුමාන කිරීමෙනි. එම අනුමානය නිවැරදි විය. එහිදී ඔහුට එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්ගේ පණිවුඩ හුවමාරුවක් අසන්නට ලැබුණි. ඒ, අසල පිහිටි සිනමා ශාලවෙකදී ඔස්වල්ඞ් පොලිස් නිලධාරීන්ට කොටු වී සිටින බවටය. අයින්ස්වර්ත් වහා එම ස්ථානයට ගියේය. අයින්ස්වර්ත් සහ ලී හාවි ඔස්වල්ඞ් මුහුණට මුහුණ හමුවුණේ එස අවස්ථාවේදීය.

සිනමාශාලාවේදී, තමා වට කළ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට ඔස්වල්ඞ් උත්සහ කළ ද ඔහු අතේ තිබූ මිලිමීටර් 38 ගිනි අවිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවිණි. පොලිස් නිලධාරීහු සහ එෆ්.බී.අයි. පරීක්ෂකවරු පස් හය දෙනෙක් අසුරු සැණින් ඔහුගේ අඟට කඩා පැන ඔහු මෙල්ල කර ගත්හ. ‘ඔවුන් ඔහුට පහර දී බිම දැම්මා. එවිටයි ඔහුගේ මුහුණේ කැපුම් තුවාලය ඇතිවුණේ’ යැයි අයින්ස්වර්ත් තමා දුටු දේ මා සමඟ පැවැසීය.


යළිත් වරක් අයින්ස්වර්ත්ට ඔස්වල්ඞ් දකින්න ලැබුණේ, නගරසභා ශාලාවේ බිම් මහලේ පොලිස් මූලස්ථානයේදීය. පොලිස් නිලධාරීහු ඔහු ප‍්‍රධාන බන්ධනාගාරයට රැගෙන යෑමට සූදානම් වී සිටියහ. ‘මං ඒ අවස්ථාවේ හිටියේ හැකි තරම් ඔහුට ළං වෙලා. මට ඉදිරියෙන් බොහෝ දෙනා සිටියා. මං දැක්කා රූබී රැස්ව සිටි පිරිස අතරින් ඉදිරියට එනවා. ඔහු පිස්තෝලය දිගු කළා එක වෙඩිල්ලයි. වෙඩි තැබුවේ ඔස්වල්ඞ් ගේ හිසට’


රූබීගේ කෝබ‍්‍රා කෝල්ට් වර්ගයේ පිස්තෝලයෙන් සිදු කළ වෙඩි තැබීමත් සමඟ නොකඩවා පැය 48 ක් පුරා අයින්ස්වර්ත් කළ පුවත් වාර්තාකරණය අවසන් වුවත්, ඔහුගේ කතාව එතැනින් අවසන් නොවීය. ගත වූ 50 වසර තිස්සේ, කෙනඩි ඝාතනයට අදාළ සිදුවීම් සහ පුද්ගලයන් සොයා ගවේෂණ රැසක් සිදු කළේය. ඔහු ඔස්වල්ඞ්ගේ වැන්දඹුව මරීන් හමුවූයේය. ඇය හොඳින් දැනහඳුනා ගත්තේය.තවමත් ඔහු ඇය සමඟ දැනහැඳුනුකම් පවත්වයි. අයින්ස්වර්ත් රූබීගේ පවුලේ අය හමුවී කතා කළේය. එපමණක් නොව, කෙනඩි ඝාතනය කුමන්ත‍්‍රණයක් යැයි නොයෙක් නොයෙක් මත පළ කරන බොහෝ දෙනා හමුවී කතාබහ කර ඇත. ඔවුන් කියා සිටින්නේ ඔස්වල්ඞ් තනිව ම කි‍්‍රයා නොකළ බවත්, රූබී ද ඔහුට හවුල් අයකු බවත්ය. කෙසේ නමුත් කාටත් වඩා සිදුවුණේ මොක්කදැයි තමා දුටුවේ යැයි අයින්ස්වර්ත් කියා සිටී. ඒත් කෙනඩි ඝාතනය මහා කුමන්ත‍්‍රණයක් බව පෙන්වා දෙමින්, ධනවත්වූත්, ප‍්‍රසිද්ධියට පත්වූත් අය බොහෝ වෙති. තමා දුටු දේ හෝ තමා දැනගත් දේ හෝ විකෘති කරමින් වාසි ගැනීමට හෝ ප‍්‍රසිද්ධ වීමට හෝ අයින්ස්වර්ත් කිසිවිටෙකවත් ඉදිරිපත් වූයේ නැත.

”මෙයා යහපත් ගතිගුණ ඇති කෙනෙක්. හොඳ මනුස්සයෙක්. මෙයාට තිබුණු මෙයා දුටු දේවල් සහ දැනගත් දේවල් ප‍්‍රසිද්ධ කරමින් වාසි ගන්න. බොරු ගොතා කියන්න. ඒත් එහෙම කළේ නැහැ. එහෙම කළා නම් මෙයා අද කෝටිපතියෙක්” යැයි බිරිඳ පෝලා කියා සිටියේ සිනහසෙමිනි. අයින්ස්වර්ත් සමඟ කළ පිළිසඳර මා අවසන් කරන්නේ, වසර 50 කට පෙර ඔහු ලියූ මාධ්‍ය වාර්තාවක අවසානය උපුටා දක්වමිනි, ”කුමන්ත‍්‍රණයක් ගැන අහන්න කවුරුද අකමැති. ඒ වගේමයි කවුරුන්ද අකමැති විශ්වාස කරන්න කවුරුත් නොදන්න කිසිම සම්බන්ධකමක් නැති පුද්ගලයන් දෙදෙනකු ඉතිහාසයේ මඟ වෙනස් කළා කියලා. ඒත් ඒක තමා ඇත්තටම සිදු වුණේ”






Post a Comment

2 Comments

  1. අද රෑ අටට නැෂනල් ජෝග්‍රෆික් එකේ මේ ගැන වාර්තා වැඩසටහනක් තියෙනවා.

    ReplyDelete