ඒ සමග අපේ වේදිකාවෙත්, සිනමාවෙත්, ළමා ලෝකයෙත් ලොකු පෙරළියකට මඟ පෑදුණා. දීප්තිමත් තරු තුනක් පායලා ඒ අංශ තුනට අමුතු එළියක් වැටුණා. ‘මනමෙ’ වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාව එළිය කළේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා. ‘රේඛාව’ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාව එළිය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ‘කුඩ හොරා’ අමුතු ම ආකාරයේ ළමා චිත‍්‍ර හා කතා රටාවක් හඳුන්වා දෙමින් ළමා ලෝකය එළිය කළේ සිබිල් වෙත්තසිංහ නැන්දා. සරත්චන්ද්‍ර මහත්තයා දැන් අප අතරින් වියෝ වෙලා! ලෙස්ටර් මහත්තයා විශ‍්‍රාම අරන්. ඒත් සිබිල් නැන්දා තාමත් පින්සල, පෑන අත් ඇරලා නෑ. ඒ විතරක් නෙවෙයි, ගන්න සම්මාන අත් ඇරලත් නෑ.
පසුගිය පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙදි හොඳම ළමා පොතට දුන් සම්මානය අර ගත්තෙ සිබිල් නැන්දයි. ඒ ‘කිරිහාමි’ කියන ළමා පොතටයි. 2012 ජාත්‍යන්තර නෙකී ආසියානු සම්මානය හිමි වුණෙත් එයාටයි. එයාගෙ සම්මාන ලැයිස්තුව හරිම දිග එකක්. එයාට ජනාධිපති සම්මානයක් හිමි වුණා, නම්බුනාමයක් එක්ක. දැන් ඒ නිසා අප හරි නම් එයා අමතන්න ඕනෑ, කලාකීර්තී සිබිල් වෙත්තසිංහ කියලයි.
සිබිල් නැන්දාගේ අසූ පස්වැනි උපන් දිනය තිමිති කර ගෙන ඔක්තෝබර 31 කොළඹ ජාත්‍යන්තර කාන්තා සංගම් ශාලාවේ දී සුබපැතීමේ උළෙලක් පැවැත් වෙනවා. මෙම උත්සවය පැවැත්වෙන්නෙ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂිකා සුමිත‍්‍රා පීරිස් මහත්මියගෙ ප‍්‍රධානත්වයෙන්.
සිබිල් නැන්දා හපන්කම් පෙන්නන්න පටන් ගත්තේ පුංචි ළමයෙක්ව සිටියදීමයි. 1940 දී අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ප‍්‍රතිසංස්කරණය කරන කාලෙ, ඒ වටේ ඇති ඇත්පවුර හදන්න ඉස්සරහ බලන් ඉන්න ඇත් රූපය ඇඳල දුන්නෙ එයයි. එයාගෙ සීය තමයි ඒ ඇත්පවුර නිර්මාණය කළේ. ඒ වයස
අවුරුදු 12 දී. එතැනින් පටන් ගත් ගමන චිත‍්‍රශිල්පිණියක් ලෙස දිගට ම ගියා.
අපේ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයාගෙ ‘අපේ ගමට’ චිත‍්‍ර ඇන්දා, අවුරුදු 15ඳී. එච්.ඞී. සුගතපාල මහත්තයගෙ ‘නවමඟ’ පොත් පෙළට චිත‍්‍ර ඇන්දා. ඒ 1943-45 අතර කාලෙදි. ඊළඟට ඞී. එෆ්. ඊ. පනාගොඩ හා කේ. ජී. පෙරේරා මහත්වරුන්ගේ ‘පද්‍ය රසය’ පොත් පෙළ චිත‍්‍රවලින් සැරසුවා.
1952 දී ‘ලංකාදීප’ පත්තරයට ගියා. එතැනින් 1953 දී ලෙක්හවුස් ආයතනයේ ‘ජනතා’ පත්තරයට බැඳුණා. සිබිල් නැන්දා ළමයින්ට ලියන්න පටන් ගත්තෙ එහෙදියි. ‘කුඩ හොරා’ කියන කතාව තමයි ඉස්සෙල්ලම ‘ජනතා’ පත්තරයෙ ළමා පිටුවට ලියලා චිත‍්‍ර ඇඳලා පළ කළේ. ඒක තමයි, පස්සෙ 1955 දී පොතක් හැටියට පිටවුණේ. ඒ කාලෙදිම එයා විවාහ වුණා, ‘ජනතා’ පත්තරේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු වූ ධර්මපාල වෙත්තසිංහ මහත්තයා එක්ක. එයා අපේ පත්තර කලාවේ ගුරුවරයෙක්. පුවත්පත් කලාවේ සියුම් තැන් අපට කියා දුන්නේ ඔහුයි. පසුව ඔහු සිළුමිණ, දිනමිණ, ඬේලිනිවුස් පුවත්වල ප‍්‍රධාන කර්තෘ පදවිය හෙබ වූවා. සිබිල්ගේ කීර්තිමත් ලේඛන ජීවිතයටත් අඩිතාලම වැටුණෙ වෙත්තසිංහ මහත්තයා නිසයි, කියලයි මම හිතන්නෙ.
එදා ඉඳල මේ වෙනකන් පොත් 200කට වැඩිය පළ කරලා තියෙනවා. මේ ළමා පොත් මේ වන විට ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ජපන්, චීන, ස්වීඩන්, නෝවේජියන්, ඩෙන්මාක්, ඉංගී‍්‍රසි, ලන්දේසි, දෙමළ ආදිය ඉන් කීපයක්. මේ තරම් විදේශීය භාෂා ගණනකට තමන්ගෙ නිර්මාණ පරිවර්තනය වුණු ශී‍්‍ර ලාංකික ලේඛකයෙක් තවත් ඇත්තේ නෑ.
ශී‍්‍ර ලංකාවෙ දකුණු පළාතෙ ගිංතොට ගැමි පරිසරයක 1928 ඉපදිලා අවුරුදු 6 දී කොළඹ ඇවිත් නුහුරු නුපුරුදු නාගරික පරිසරයක ජීවත්වෙමින්, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙ ඉගෙන ගෙන ජගත් කීර්තිය දිනූ ලේඛිකාවක් වුනත් ඇය තාමත් මනසින් ජීවත් වන්නෙ මුල් අවුරුදු 6 ජීවත්වුණු ගමේමයි. ඒ නිසා ඇයට මුළු ලෝකය ම හඳුනන මිනිස්කම ගැන තමන්ගෙ ම අනන්‍යතාවක් තියාගෙන ලියන්න පුළුවන් වුණා.
සිබිල් නැන්දේ ඔයා අවුරුදු 60කට ඉස්සර අපේ ළමා කාලය, චිත‍්‍රවලින් විචිත‍්‍රවත් කළා. ඊළඟට අපේ දරුවන්ගේ ළමා කාලය වර්ණවත් කළා, ලස්සන චිත‍්‍රවලින් හා ළමා කතාවලින්. දැන් අපේ මුනුපුරු මිනිපිරියන්ගේ ළමා ලෝකය ඊටත් වඩා ලස්සන කරනවා ඔයාගේ නව නිර්මාණවලින්. ඔයා අපේ ආයුෂත් අරන් තවත් දිගු කලක් ඔයාගෙ නිර්මාණ ගංගාව සිඳෙන්න නැතුව තියා ගන්න, අපේ මීමුනුපුරන්ගේ ලෝකය බිහි වෙනකන්. අපේ එකම පැතුම එයයි.
සිබිල් නැන්දා අපට කිසිදාක අමතක නොවන චරිත ගණනාවක් එයාගෙ පෑනෙන් මවලා දුන්නා. ඒ ගොඩ අතරින් කීපයක් තමයි, බිංදු, සූත්තර පුංචා, රසවතී, කුසුමලතා. කුසුමලතා මුලින් ම අප අතරට ආවෙ ‘සරසවිය’ පත්තරෙන්. සිබිල් නැන්දා ළමයින්ට විතරක් නෙවෙයි, වැඩිහිටියටත් රස විඳින්න කතා ලිව්වා. 70 ගණන්වල සරසවියට ලිව්ව ඒ කතා පසුව පොතක් වුණා. ‘කුසුමලතා’ පොතේ තියෙන කතා ළමයින්ටත් රස විඳින්න පුළුවන්. ළමයින්ට විතරක් නෙවෙයි, ඕනැම වයසකටත් ඔට්ටුයි. මෙන්න ඒ පොතේ අලූත් ම මුද්‍රණයෙන් කතාවක්.
සිබිල් වෙත්තසිංහගේ ‘කුසුමලතා’ පොතෙන් කතාවක්.
තෑගි! තෑගි!
1971 ලබන වෙලාවේ අපේ නැන්දම්මා කුස්සියෙ කැවුම් බැද්දා. චට පට ගාමින් වෙඩි ගොඩ අවට පිපිරුණා. ”සුබ අලූත් අවුරුද්දක් වේවා”පතමින් අපේ එක්කෙනා ගේ පුරා ඇවිද්දා. කුස්සිය පළාතට ගිය විට අම්මා පුතාට කැවුමක් දික්කරපි!
කැවුම් කන්න තද ආසාවක් ඇති මේ පුතා කැවුම දෑතින් බදා ගත්තා. ඒත් එවේලේ ම ඇඟිලි දිග ඇරියා.
කැවුම බිම වැටුණා. අපේ එක්කෙනාගෙ අත පිච්චිලා. කැවුම උණුයි.
”අවුරුද්ද පුරා අත පුච්චගන්න මට වෙයි ද?” කියමින් අපේ එක්කෙනා අතට පිඹ පිඹ ගෙට ගියා.
ඊට පසු පැය තුනක් පමණ නින්දට ගිය අපි නැකත් වෙලාවට කිරි බත් හදන්න නැඟිට්ටා.
දීසියකට කිරි බත් වඩවලා මේසෙ උඩ තිබ්බ විතරයි ටැක්සියක් ගෙදරට හරවනවා ඇහුණා. එළියට එබිලා බැලූවා. ටැක්සියෙන් බැස්සෙ වර්ණවතී කෙනෙක්.
”කවුද කවුද ආවෙ ?” නැන්දම්මා ඇවිත් ඇහුවා.
”අවුරුදු කුමාරි” අපේ එක්කෙනා කිව්වා.
නොයෙක් වර්ණවලින් දිලිසෙන කෙනෙක් ටැක්සියෙන් එළියට බැස්සා.
දිලිසෙන වස්ත‍්‍රාභරණ දිහා බලා සිටි මට, මූණ බලන්න අමතක වුණා. ඒත් ”සුබ අලූත් අවුරුද්දක් වේවා,” කීවේ හුරුපුරුදු කටහඬක්.
මූණ බැලූ විට කව්ද මේ? දෝනා දං කොඩ හාමු!
රන් රිදී මුතු මැණික්වලින් දිලිසෙන, පරණ අවුරුදු ගණනාවක් බෙල්ලෙ පුරවලා දාගෙනයි ආවෙ.
හරි බරි ගැහිලා පුටුවක වාඩි වුණා, වර්ණවතී හෙවත් දෝනා දං කොඩ හාමු, මෙහෙම කීවා.
”මගේ විසි එකේ උපන් දිනේට තෑගි ලැබුණු මාලෙ තමයි මේ” කියා බෙල්ලෙ ඔතාගෙන හිටි පැන්ඩන්ට් මාලයක් පෙන්නුවා. ”ඒ 1901 අවුරුද්දෙ” අපේ එක්කෙනාගෙ හුස්ම හිර වුණා. මුතු මාලය පෙන්නලා කීවා ”මේ තමයි අපේ මහත්තයා මාව බලන්න ඉස්සෙල්ලා ආපු දවසේ ගෙනා මාලය.”වහල දිහා බලාගෙන හෙමින් කිව්වා. ”ඒ 1920.”
බෙල්ලෙ තිබුණු දිග ම මාලය රතු පබළු මාලයක්. දෝනා දං කොඩ හාමු දෑතින් ම මාලෙ අල්ලමින් තනියෙන් හිනා වුණා. අපේ් නැන්දම්මා ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා. අපේ එක්කෙනා පස්සෙන් පස්සට ගියා.
”මේ මාලෙ තමයි අපේ තඹ මංගල්ලෙට මහත්තයා මට දුන්නෙ.”
”මොනවා තඹ මංගල්ලෙ?” අපේ නැන්දම්මා ඇහුවා.
”ඔව් ඔව් තඹ මංගල්ලේ”
”මොන මංගල්ලයක් ද ඒ රිදී රත්තරන් නැතුවට ද?” නැන්දම්මා ඇහුවා.
දෝනා දං කොඩ හාමු පුදුම වුණා. ”රිදී මංගල්ලෙට දුන්නෙ මේකයි” කියලා විශාල මුද්දක් පෙන්නුවා.
”රත්තරන් මංගල්ලෙට” කියලා කූරක් පෙන්නුවා. දියමන්ති මංගල්ලෙට දුන්නයි කියලා ලන්තෑරුම් වගේ ඔරලි අතු දෙකක් කන් දෙකේ එල්ලාගෙන හිටියා. අනිත් ආයිත්තම් ඔක්කොම උපන් දිනවලට ලැබුණු ඒව ලූ.
”බොහොම රස්නෙයි” කියලා දෝනා දං කොඩ හාමු පවන් ගහන්න පටන් ගත්තා. අවාන පරණ කාලෙ පිහාටු අවානක්. ”මේක ලැබුණේ අපි ඉස්සෙල්ල ම තරහවක් වෙලා යාළු වුණ දා.”
”හරි! හරි!! ” නැන්දම්මා කෑගහලා හිනා වුණා. ”මහත්තයා බොහොම නුවණ ඇති කෙනෙක් නෙංවෙ ද?”
”දන්නෙ කොහොමද ?” දෝනා දං කොඩ හාමු පුදුම වෙලයි ඇහුවෙ.
”අවාන දුන්නෙ කේන්ති නිවෙන්න.” නැන්දම්මා කිව්වා.
”කිරි බත් කෑල්ලක් කමු!” අපේ එක්කෙනා වතුර ඇල්ලූවා.
සරසපු ඇතෙක් නැඟිටිනවා වාගේ දෝනා දං කොඩ හාමු හිට ගත්තා.
හැම පැත්තට ම දිස්නෙ වැටි වැටි සිල්ක් සාරි පොට හුළෙඟ පා කරමින් දෝනා දං කොඩ හාමු තේ මේසෙ පැත්තට ගියා.
තේ බොන ගමන් රිදී නුලෙන් වැඩ දමාපු අත් පසුම්බියක් ඇරලා සියුම් රේන්ද ලේන්සුවක් එළියට ගත්තා.
”මේක තමයි 1907 දී දවසක් මගේ ඇඟිල්ලෙ ඉඳිකටුවක් ඇනිලා මම අඬන කොට අපේ මහත්තයා මට කඳුළු පිහදමාගන්න ගෙනත් දුන්න ලෙන්සුව.”
ලේන්සුව අතින් අල්ලලා බලපු නැන්දම්මා කිව්වා ”කටු අත්තක් නෙ මේ ලේන්සුව” කියලා. ”කටු ඇනුනහම පිහ දමන්න ගන්නෙ කටු අතු තමයි නුවණැත්තො.” කියලා අපේ එක්කෙනා කිව්වා.
ගිගිරිසද්ද නංවමින් හැම පැත්තට ම හැරි හැරි අපි කාටත් සුබ පතලා දෝනා දං කොඩ හාමු ගියා.
”දීග කීයක අර ගෑනී ගිහිල්ල ද ?” නැන්දම්මා පුදුමයෙන් ඇහුවා.
”එක දීගෙ තමයි” මම කිව්වා.
”එහෙනම් අර කිව්වෙ තඹ, රිදී, රන්, දියමන්ති මංගල්ල ගැන.” අපි ඔක්කොම වේලක් හිනා වුණා. අලූත් අවුරුද්දෙ හිනා වෙන එක හොඳයි නේ.
ඊට පස්සේ මම කීවා, ”ඒ ඔක්කොම එක දීගෙ ම යි. කසාද බැඳලා අවුරුදු දහතුනකට තඹ මංගල්ලෙ. ඔන්න ඔය විදියට නම් දාගෙන තියෙනවා.”
”හත් අඩිය නේ බොලං ඒ” නැන්දම්මා කියාපි.
”අනේ බැරි වුණානේ මේ අවුරුද්දෙ දුන්නෙ මොනවද කියලා අහන්න.” අපේ එක්කෙනා කිව්වා.
”මොකුත් නෑ!” නැන්දම්මා කියා හිටියා.
”දන්නෙ කොහොම ද?” මම ඇහුවා.
”ඒක නේ පරණ අවුරුදු ටික ඇඳ පැලඳගෙන මෙහාට ආවෙ.” නැන්දම්මාගේ පිළිතුර.
ටික දවසකට පස්සෙ දෝනා දං කොඩ හාමුගේ මහත්තයා අපේ ගෙදර ආවා.
අපේ නැන්දම්මාගෙන් ලෙහෙසියෙන් ගැලවෙන්න බැහැ කාටවත්. ඈ තෑගි බෝග දීම ගැන කතා පිංචක් පටන් ගත්තා.
එක සැරේට ම දෝනා දං කොඩ හාමු මහත්තයා කීවා.
”අනේ මම නම් කවදාවත් තෑගි බෝග දෙන්න කැමති නැහැ, කිසි ම කෙනෙකුට. අපේ නෝනට තෑග්ගක් ඕනෑ වුණහම ‘බේගල්ස්ගෙ’ සාප්පුවට ගිහින් ගන්නවා. මං සල්ලි දෙනවා විතරයි.”
කර්තෘ සටහන: සිබිල්ට වගේම අපටත් අද විශේෂ දවසක්. 2011 ඔක්තෝබර් 31 වැනිදා අප ‘මල් කැකුළු’ ආරම්භ කලා. ‘මල් කැකුළු’ අද දෙවන වසර සපුරයි. ඔබේ මනදොළ සපුරාලන්නට තවත් නව වසරකට පා තබයි!
4 Comments
දීර්ඝායුෂ ලැබේවා.
ReplyDeleteසීබිල් නැන්දා මගේ හිතේ ලොකු තැනැක් අයිතිකරගෙන හිටියත් මෙච්චර විස්තර දැනගත්තේ අද!
ReplyDeleteකලාකාරයෙක් ට සීබිල් නැන්දා වගේ වෙන්න තියෙනවා නම් ඒක හරිම වාසනාවක්.....
එයා පොත් ලිව්වා, ළමයින්ට කතන්දර කිව්වා, ඒවා එයාගේ ඇත්තම අද්දැකීම් වෙන්නත් ඇති. සමහර එව්වා එයාගේ අද්දැකීම් එක්ක එක්කහු වුනු හිතලු වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් එයා ලස්සන කතන්දර ලියලා ඒවා චිත්‍රවලින් තහවුරු කලා. කලාකාරයෙක් හැටියට පොඩි අයට යමක් දෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? ඒක හැමෝටම කරන්න බෑ. අනික පොඩි අයටයි, ලොකු අයටයි දෙගොල්ලන්ටම රස විඳින්න ලියන්න ඊටත් අමාරුයි. කතන්දර ලියලා ඒ පෑන පැත්තකින් තියලා, ඒ වෙනුවට පින්සලෙන් වැඩ දානවා කියන එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්. කලාකාරියක් හැටියට එයා ඒ හැම දේම කලා. ඒ විතරක් නෙමෙයි, එයාගේ කතන්දර පරිවර්ථනය වෙලා ලෝකේ වටේ ගියා. අපි රුසියානු ළමා කතාවක් කියවනවා වගේ කොහේ හරි පිටරටක ගෙදරක ළමයි අපේ කතාවක් කියවලා, කවදාවත් පය නොගහපු තැනැක් ගැන හිතේ ඇදගන්නවා ඇති. වැදගත් ම දේ එයා එයාගේ හැකියාවට නියම වටිනාකමකුත් දුන්නා. ඒ නිසා එයා සම්මාන වලින්වත්, ආර්ථික අතින්වත්, ළමයින්ගෙන් - දෙමාපියන්ගෙන් තමන්ට ලැබෙන ආදරය අතින්වත් දුප්පත් වුනේ නෑ.
ගමෙන් ළමා කාලෙදීම නගරෙට ආපු කෙනෙක්ට තමයි ගමේ අගේ දැනෙන්නේ. ළමා කාලෙදී ගමේ දුෂ්කරතා දැනෙන් නේ නෑනේ. සිබිල් නැන්දා ඒ අද්දැකීමට මුණ දුන්නු එක ගමෙන් නගර වලට ආපු දාහස් ගාණකගේ වාසනාවක්! මම මුලින් ම කියෙව්වේ සිබිල් නැන්දගේ රාවනා රැවුල කියන පොත. ඊට පස්සේ රක්ෂණ සමාගමක් එක්ක එක්කහු ලිව්ව වෙලා අනතුරු වලකමු කියන කවි පොත. ඊට පස්සේ ගොඩක් පොත් කියෙව්වා. තාමත් ටවුමේ පොත් කඩේ සීබිල් නැන්දට වෙනම රාක්කයක් වෙන් කරලා තියෙනවා. සමහර වෙලාවට ඒ පොත් කියවද්දි හිතෙනවා, මටත් පුලුවන් මේ වගේ පොතක් ලියන්න කියලා. ඒත් අපට ඒක කරන්න බැරි - හොයාගන්න අමාරු හේතුවක් තියෙනවා. හේතුව සිබිල් නැන්ද ද මන්දා.
කොහොම වුනත් සිබිල් නැන්දා තවමත් විශ්‍රාම නොගෙන වැඩ කරන එක ගැන නම් අපි හැමෝම එයාට ස්තුති කරන්න වටිනවා. අපේ හුගක් කලාකාරයෝ දැන් අලුත් දේවල් කරන්නෙ නැතුව විශ්‍රාම අරගෙන. (ඒක ඒගොල්ලන්ගේ
කැමැත්ත තමා. ඒකට අපි මොකවත් කියන්නෙ නෑ.)
මේ මගේ පුද්ගලික අදහස්. සීබිල් නැන්දට දිගාසිරි!!!
ඒ වගේම ලොකු පොඩි කාටත් කියවන්න දේවල් පිරිලා ඇති මල් කැකුලුටත් සුබ පැතුම්!!
මගේ ලමා කාලයේ මා ගොඩක් ආදරේ කරපු චිත්‍ර ශිල්පිනිය සිබිල් වෙත්තසිංහ මහත්මියයි...අදටත් ඒ කැමැත්ත එදා වගේම වෙනසක් නැතිව පවතින්නේ ඔබ අදිනලද ඒ සිතුවම් පුංචි අපේ සිත් තුළ නොමැකෙන ලෙසට පින්තාරු වූ නිසයි...
ReplyDeleteදිර්ඝායුෂ ලැබේවා....
ReplyDeleteඅපේත් අපේ දරුවන්ගේත් ප්‍රියතම ලේඛිකාව සිබිල් නැන්දායි.....